
උතුරු ඇමෙරිකාවේ පිහිටි, සියළුම විල එකට එක් කොට සැලකූ විට වපසරියෙන් ශ්‍රී ලංකාව මෙන් තුන් ගුණයකටත් වඩා විශාල පංච මහා විල් පිළිබඳව ඔබ වෙත ගෙන එන සවිස්තරාත්මක ලිපි පෙළින් පංච මහා විල් වල විල් සතරක් පිළිබඳව අප සාකච්ඡා කළා. ඒ විල් මෙන්ම සෞන්දර්යයාත්මක මෙන්ම භූගෝලීය වටිනාකමක් ඇති ඊරි විල පිළිබඳව ද එවැනිම හරබර කරුණු රාශියක් ගෙන හැර පෑ හැකියි.
ඊරි විල පිළිබඳ හැඳින්වීම

Ossington/Flickr
වපසරිය අතින් වර්ග කිලෝමීටර 25,700 ක භූමි භාගයක පැතිරී තිබෙන ඊරි විල වපසරිය අතින් පංච මහා විල් වලින් දෙවනුවට කුඩාම විල වන අතර ඝණ කිලෝමීටර 484 ක ජල පරිමාවකට උරුමකම් කියන්නේ එම විල් අතුරින් පරිමාව අතින් කුඩාම විල බවට පත් වෙමිනුයි. ප්‍රමාණයෙන් සාපේක්ෂව කුඩා වුණත් විශේෂත්වය අතින් නම් කිසිදු විලකට මෙය දෙවෙනි වන්නේ නැහැ.
ඊරි විල ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක්, පෙන්සිල්වේනියා,ඔහායෝ හා මිචිගන් යන ප්‍රාන්ත ද කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තය ද අසබඩ පිහිටා තිබෙනවා. මෙහි නැඟෙනහිර කොනේ බෆලෝ නුවර පිහිටා ඇති අතර ටොලෙඩෝ නගරය බටහිර කොනේ පිහිටා තිබෙනවා. මෙහි දකුණු වෙරළ තීරයේ ක්ලීව්ලන්ඩ් හා ඊරි නුවර පිහිටා තිබෙනවා.
ඊරි විලේ පිහිටීම

ඊරි විලේ පිහිටීම දැක්වෙන සිතියමක්-gowaterfalling.com
ඊරි විල පංච මහා විල් අතුරින් දකුණින්ම පිහිටි විලයි. ඒ වාගේම උණුසුම්ම ජලය සහිත විලයි. ඊරි විලට ලැබෙන ජලය බහුතරයක්ම ලැබෙන්නේ උතුරින් පිහිටි හ්‍යුරන්, මිචිගන් හා සුපීරියර් විල් වලින් ගලා එන ජලයෙනුයි. මේ ජලය ඩෙට්‍රොයිට් ගංගාව ඔස්සේ ඊරි විලට ගලාගෙන එනවා. මීට අමතරව ශාන්ත ක්ලෙයාර් ගංගාවෙන් හා කුඩා විලක් වන ශාන්ත ක්ලෙයාර් විලෙනුත් මෙයට ජලය ලැබෙනවා. ඊරි විලෙන් ජලය පිට වන ප්‍රධාන මාර්ගය වන්නේ ලොව සුන්දරතම දිය ඇල්ලක් වන නයගරා ඇල්ල සහිත නයගරා ගංගාවයි. නයගරා ගඟ කිලෝමීටර 58ක් දුර ගෙවාගෙන ගලා ගොස් ඔන්ටාරියෝ විල හමු වනවා.

නයගරා ඇල්ල-niagarafallsstatepark.com
ඊරි විලේ හැඩය නැට්ටක් වැනියි. මෙහි නමත් ඒ අනුවම පබැඳී තිබෙනවා. පැරණි ස්වදේශික භාෂාවේ වචනයක් වන ‘ඊරීල්හොනන්’ යන්නෙන් මෙහි නම බිඳී ඇති අතර එහි අර්ථය ‘දිගු වල්ගය’ යන්නයි. ඊරි විල කිලෝමීටර 92 ක දිගින් යුතු අතර කිලෝමීටර 1402 ක වෙරළ තීරයකට (දූපත්ද ඇතුළුව ) උරුමකම් කියනවා. විශාලත්වය අනුව මෙය ලොව 11 වැනියට විශාලම විල ලෙස හඳුනාගෙන තිබෙනවා.
ඊරි විල හා අවට දේශගුණය
අනෙක් මහා විල් 4 ට සාපේක්ෂව දකුණින් පිහිටි නිසා ඒවා සියල්ලටම වඩා ඊරි විලේ ජලයත් අවට පරිසරයත් උණුසුමෙන් වැඩියි. ග්‍රීෂ්ම ඍතුවේදී අවට පරිසරයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 29 දක්ව ඉහළ ගියත් විල් ජලය සෙල්සියස් 21-23 මට්ටමේ පවතිනවා. මේ නිසා මේ කාලයේදී ඊරි විලේ වෙරළ තීරය සංචාරකයිගේ තෝතැන්නක් බවට පත් වෙනවා. ශීත කාලයේදී ජලය මිදෙන තත්වයට පත්වන ඊරි විල අනෙක් සියළුම විල් වලට කලින් මිදී යන්නේ එහි ඇති නොගැඹුරු බව නිසා යි.

සම්පූර්ණයෙන් මිදී ගිය ඊරි විල-dailydot.com
ඊරි විලේ සාමාන්‍ය ගැඹුර අඩි 62ක් වන අතර ගැඹුරුම ස්ථානය අඩි 210ක් වෙනවා. විලේ නොගැඹුරුම පෙදෙසේ සාමාන්‍යයෙන් අඩි 25-30 අතර ජල මට්ටමක් ඇති අතර මේ නිසා තද සුළං මඟින් පහසුවෙන් දැඩි රළ ඇති වෙනවා. ශීත කාලයේ දී මේ අවට හිම පතනයත් වැඩියි.
ඊරි විලේ ඉතිහාසය
පංච මහා විල් පුරාතන යුගයේ නිර්මාණය වූ ආකාරය ගැන අපි මේ ලිපි පෙළේ පලමු ලිපියෙන් ඔබ වෙත ගෙන ආවා. අතීතයේ මේ ප්‍රදේශයේ තිබූ ග්ලැසියරයක් දිය වී යාමෙන් මේ විල් ඇති වූ අතර ඊරි විල වර්තමාන තත්ත්වයට පත් වී වසර 4000ක් පමණ වෙනවා. ප්‍රංශ ජාතිකයින් විසින් ඊරි විල සොයාගන්නේ 1669 වසරේදීයි. ඒ වන විට මේ විල් තීරය අසබඩ ස්වදේශික ඉන්දියානුවන් ජීවත් වුණා.

රේසින් ගංගා ජාතික යුධ උද්‍යානය -michiganhauntedhouses.com
ක්‍රි.ව 1812 දී බ්‍රිතාන්‍ය ජාතිකයන් හා ඇමෙරිකානුවන් අතර ඇති වූ යුද්ධයේ දී ඊරි විල වැදගත් සන්ධිස්ථානයක් වුණා. ‘ඊරි විල අසබඩ යුද්ධය’ ක්‍රි.ව 1813 සැප්තැම්බර් 10 වනදා ඇති වූ අතර ඇමෙරිකානු නාවුක හමුදාව විසින් බ්‍රිතාන්‍ය නාවුක හමුදාව පරාජය කර ඊරි විල හා ඩෙට්‍රොයිට් නගරය යලිත් තමා සතු කර ගත්තා. වර්තමානයේ එම ස්ථානය ‘රේසින් ගංගා ජාතික යුධ උද්‍යානය’ ලෙස හැඳින්වෙනවා. මෙම මාරාන්තික සටනේ දී ඇමෙරිකානු හමුදාව ඔලිවර් හැසාර්ඩ් පෙරී විසින් මෙහෙයවනු ලැබ ඇති අතර 934 ක් වූ ඇමෙරිකානු ඛණ්ඩාංකයෙන් දිවි ගලවාගෙන ඇත්තේ 33 ක් පමණක් බව ඉතිහාසයේ සඳහන් වෙනවා.
ඊරි ඇළ

ඊරි ඇළ -eriecanal.org
ඊරි ඇළ නැඟෙනහිර ඇමෙරිකා එක්සත් ජනපද වල සිට බටහිරට යාමට ඇති පහසුම මාර්ගයක් ලෙස සැළකෙනවා. නැඟෙනහිර පිහිටි හඩ්සන් ගංගාවත් බටහිරින් පිහිටි ඊරි විලත් යා කරමින් මෙය ඉදි කරන ලද්දේ 1825 වසරේදියි. මෙය දිගින් කිලෝමීටර 580ක් වන අතර අතීතයේදී ඔබ මොබ බඩු භාණ්ඩ ප්‍රවාහනයට ඉතා යුහුසුළුව යොදා ගැණුනා. 19 වන සියවසේ මැද භාගයේ දී හා 1903 වසරේදී එය පුළුල් කෙරුණේ භාණ්ඩ ප්‍රවාහන කාර්යක්‍ෂමතාවය වැඩි කිරීමේ අදහසින්. වර්තමානයේ වැඩි වශයෙන් මෙය යොදා ගන්නේ විනෝදජනක කටයුතු සඳහා යි.
ඊරි විලේ ජල දූෂණය

ඊරි විලේ අපිරිසිදු ජලය නිසා මිය ගිය මාළුවෙක් -guardianlv.com
පසුගිය සියවසේ මැද භාගය පමණ වන විට ඊරි විලට කර්මාන්තශාලා අපද්‍රව්‍ය, ගෘහස්ථ අපවහන ද්‍රව්‍ය, පොහොර හා කෘමිනාශක වැනි දෑ එකතු වන්නට පටන් ගැනීම නිසා එහි ජලයේ තත්ත්වය පහළ වැටීමට පටන් ගනිමින් තිබුණා. මේ ක්‍රියාකරකම් හේතුවෙන් ඊරි විල් ජලයේ නයිට්‍රජන් හා පොස්ෆරස් සාන්ද්‍රණය ඉහළ ගිය අතර ඒ නිසා ඇල්ගී වැනි දෑ වැඩීම හෙවත් සුපෝෂණය සිදු වුණා. මේ නිසා විලේ වෙසෙන මත්ස්‍යයින්ට නිසියකාරව ඔක්සිජන් නොළැබුණු අතර බුරුතු පිටින් මිය යාමට පටන් ගත්තා. මේ හේතුව ප්‍රධාන කොටගෙන ඇමෙරිකානු රජය ජල දූෂණය පිළිබඳ නීති තද කළ අතර දැන් දැන් මෙහි ජලයේ තත්වයේ යම් වර්ධනයක් පෙන්වූවත් තවමත් එය සාධනීය මට්ටමට පැමිණ නැහැ.
වෙනත් කරුණු
ඊරි විල කර්මාන්තයක් ලෙසද මාළු බෑම සඳහා ප්‍රසිද්ධියක් උසුළනවා. මීට අමතරව ශීත කාලයේ ‘අයිස් මාළු බෑමත් මෙහි ජයටම කෙරෙනවා. මීට අමතරව බෙසී නම් යෝධ අමනුෂ්‍ය සත්ත්වයෙක් දර්ශනය වීම පිළිබඳ ප්‍රවාදයක් පවතින්නේ ද ඊරි විල සම්බන්ධවයි.

‘අයිස් මාළු බෑම’ -outdoorcanada.ca

බෙසී -thesupernaturalfoxsisters.com
ඊරි විලේ පෝෂක ප්‍රදේශය ඉතාම සරුසාර එකක් නිසා ඒ භූමිය කොන්කෝඩ් මිදි වලට ප්‍රසිද්ධියක් උසුළනවා.
කවරයේ පින්තූරය -roadrunner.travel