Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අතීත මිනිසුන් බූරුවන්ගෙන් වැඩගත් හැටි

එදිනෙදා ජීවිතයේ දී “බූරුවා” යන වචනය සාමාන්‍යයෙන් අපට අසන්නට ලැබෙන්නේ අපහාසාත්මක ස්වරයෙන්. යම් කෙනෙකු අනුවණ ක්‍රියාවක් කළොත් “බූරුවෙක් වගේ වැඩ කරන්න එපා” යි කීමට ඇතැම් මිනිසුන් පුරුදුව සිටිනවා. එසේම විශාල බරක් ඔසවාගෙන යන කෙනෙකු දුටුවොත් “අන්න අර මනුස්සය බූරුවෙක් වගේ බර උස්සන් යනව” යි සමහර උදවිය පවසනවා. 

බූරුවා අපි අතරේ මෙතරම් ප්‍රසිද්ධ වුණේ කොහොමද? අපි හොයලා බලමු. 

බූරුවාගේ සාමාන්‍ය තොරතුරු 

Equus asinus නම් විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන බූරුවා අයත් වන්නේ අශ්ව පවුලට යි. උසින් අඟල් 32-60 අතර වන මෙම සත්ත්ව විශේෂය බරින් රාත්තල් 350-1000 පමණ අගයක් ගන්නවා. සාමාන්‍යයෙන් බූරුවෙකු විවේකීව සිටින දිනවල තණකොළ රාත්තල් 18ක් පමණ ආහාරයට ගන්නවා. බූරුවාගේ ආයු කාලය වසර 20-30 පමණ වන බවට හඳුනාගෙන තිබෙනවා. මෙම අපූරු සත්ත්ව විශේෂය චීනයේ වැඩිපුර වාසය කරනවා. වර්තමානය වන විට එරට ජීවත් වන බූරුවන් ප්‍රමාණය මිලියන 44ක් බවට අනුමාන කරනවා. 

කැළයේ සිටින බූරුවෙක් (Wikipedia)

බූරුවන් සතුව පවතින සුවිශේෂී ලක්ෂණ 

වෙහෙස මහන්සි වී වැඩ කරන සතෙකු වන බූරුවාට දරාගැනීමේ හැකියාව මෙන්ම ඉවසන සුළු ගුණයත් තිබෙනවා. එසේම හොඳ මතක ශක්තියක් ඇති සතෙකු ලෙසින් සලකනු ලබන බූරුවාට ගමනක් යන විට කිසි දිනෙක පාර නොවරදින බවට මතයක් පවතිනවා. එම නිසා කඳුකර පළාත්වල ආශ්‍රිතව යන අවදානම් ගමන් සඳහා බූරුවන් යොදාගැනීමට බොහෝ දෙනෙකු පුරුදුව සිටිනවා. ඒ එවැනි ගමන්වල දී බූරුවන් ඉතාමත් සංයමයෙන් නිවැරදි මාර්ගය ඔස්සේ ගමන් කරන නිසා යි. එසේම උන්ට ඉතා සියුම් හඬක් වුණත් ඇසෙන නිසා අනතුරක් කල් ඇතිව දැනගැනීමේ හැකියාව පවතිනවා. තව ද බූරුවන් සිය ස්වාමියාට ඉතා හිතවත්ව වැඩ කිරීමට ප්‍රියතාවයක් දක්වන නිසා ඈත අතීතයේ සිට උන්ගෙන් විවිධ වැඩ කරගැනීමට මිනිසා පුරුදුව සිටියා.

බර අදින බූරුවෙක් (Newsweek)

මිසරයේ මිනිසුන් බූරුවන්ව වෙළඳාම් කටයුතු සඳහා යොදාගත්තා 

ඈත අතීතයේ දී උතුරු සහ නැගෙනහිර අප්‍රිකානු ප්‍රදේශ ආශ්‍රිතව වල් බූරුවන් සුලබව දක්නට ලැබුණා. දිගු කන් සහ කෙටි කෙස් වැටියක් ඇති එම බූරු විශේෂය කාන්තාර ප්‍රදේශවල තිබෙන දේශගුණයට ඔරොත්තු දීමේ හැකියාව පවතිනවා. එවැනි වර්ගයේ බූරුවෙකුට කාන්තාර ප්‍රදේශයක් හරහා ගමන් කරන විට ආහාර ස්වල්පයකින් පමණක් සෑහීමකට පත්වීම සුවිශේෂී ගුණයක් ලෙසින් සඳහන් කළ හැකියි. එසේම මෙම බූරු විශේෂය කාන්තාර ආශ්‍රිතව වැවෙන වියළි තණකොළ වර්ග ආහාරයට ගැනීම සඳහා අනුවර්තනය වනවා.

අප්‍රිකානු වල් බූරුවන් සතුව සුවිශේෂී ලක්ෂණ ගණනාවක් තිබුණු නිසා ක්‍රි.පූ 4000 දී පමණ මිසර වැසියන් විසින් වනාන්තරවල සිටි බූරුවන් අල්ලාගෙන විත් හීලෑ කරනු ලැබුවා. එලෙස හීලෑ කරන ලද බූරුවන් භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදාගත්තා. ඒ අනුව එදා මිසරයේ සිටි වෙළෙන්ඳන් බූරුවන්ගේ සහාය ඇතිව සිය වෙළඳාම් කටයුතු කිරීම සඳහා විවිධ රටවල්වලට ගමන් කළා. එලෙස වෙළෙන්දන් සමග වැඩවල නිරත වුණු බූරුවන් ඕනෑම කාලගුණික තත්ත්වයක දී ඉතා වෙහෙස මහන්සි වී වැඩ කළ බව කියැවෙනවා.

බූරුවෙකු දැක්වෙන පැරණි ඊජිප්තු සිතුවමක් (pinterest)

රෝමවරුන් බූරුවන්ගෙන් වැඩගත් හැටි 

ජූලියස් සීසර් රෝමයේ පාලකයා ලෙසින් කටයුතු කළ අවධියේ රෝමවරුන් ආසියාවේ සහ අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශ අත්පත් කරගත්තා. එකල අප්‍රිකානු යටත් විජිතවල සිටි හීලෑ කරන ලද බූරුවන් මඟින් වටිනා වෙළඳ භාණ්ඩ රෝමය වෙත රැගෙන ආවා. එලෙස රෝමයට රැගෙන ආ බූරුවන් මිදි වතු වගාකිරීම සඳහා යොදාගනු ලැබුවා. එසේම ධාන්‍ය මෝල් සහ ජල මෝල් හැරවීම සඳහා බූරුවන්ගේ සහාය ලබාගත්තා. එසේම එකල රෝමයේ ගම්මාන ආශ්‍රිතව ජීවත් වුණු බූරුවන් එදිනෙදා ජීවිතයේ බර ඇදීමේ කටයුතු සඳහා ද යොදාගත්තා. ක්‍රි.ව 43 දී රෝමන්වරුන් බ්‍රිතාන්‍ය ආක්‍රමණය කළා. එම ආක්‍රමණය කළ අවස්ථාවේ දී බර එසවීම සඳහා බූරුවන් එහි රැගෙන ගියා. 

බූරුවන් රෝමයේ මිදි වතුවල වැඩ කළ ආකාරය දැක්වෙන සිතුවමක් (AWL Images) 

මධ්‍යතන යුගයේ දී බූරුවන් පාන් බේකරිවල රාජකාරි කළා 

මධ්‍යතන යුගයේ දී පාන් යුරෝපය තුළ ජනප්‍රිය වුණා. එම යුගයේ දී බ්‍රිතාන්‍යය ජාතිකයන් රයි පිටි යොදා නිෂ්පාදනය කළ මස්ලින් නම් පාන් වර්ගය ඉතාමත් ජනප්‍රිය වුණා. එම අවධියේ දී බේකරිවල වැඩ කටයුතු කිරීම සඳහා ජල මෝල් යොදාගනු ලැබුවා. 

15 වන ශත වර්ෂය පමණ වන විට බ්‍රිතාන්‍යය තුළ නිපදවූ පාන්වලට සහතික මිලක් නියම කළා. ඒ අනුව පාන් රාත්තලක් අලෙවි කිරීමට නියම වුණේ පැන්ස 1ක මුදලකට යි. වැඩි මුදලට පාන් විකුණන බේකරි හිමියන්ට දඬුවම් ලබාදීමේ ක්‍රමයක් බ්‍රිතාන්‍යය තුළ ක්‍රියාත්මක වුණා. එම දඬුවම් ක්‍රමයේ දී අදාළ බේකරි හිමියාගේ බෙල්ලේ පාන් ගෙඩියක් එල්ලා ජනාකීර්ණ වීදී දිගේ ඇදගෙන යාම සිදු වුණා. එවැනි දඬුවමක් විඳීමෙන් විශාල අවමානයකට මුහුණපාන්නට සිදුවන නිසා බේකරි හිමියන් නියමිත මුදලට පාන් අලෙවි කළා. 

බ්‍රිතාන්‍යයේ මෙන්ම ඉතාලියේ රෝම නගරයේ ද පාන් ජනප්‍රිය වී තිබුණා. එම නිසා පාන් අලෙවි කිරීම සඳහා වෙනම නීතිරීති පනවා තිබුණා. ඒ අනුව අලෙවි කරන සෑම පාන් ගෙඩියකම බේකරියේ නම යෙදීම අනිවාර්ය වුණා. එසේම ධනවතුන් සඳහා මෘදු පාන් ද දුප්පතුන් සඳහා රළු පාන් ද නිෂ්පාදනය කළා. එලෙස පාන් නිෂ්පාදනය කළ බේකරිවල වැඩ කටයුතු කිරීම සඳහා බහුලවම බූරුවන් යොදාගනු ලැබුවා. 

බේකරි වැඩ සඳහා යොදාගත් බූරුවෙක් (pinterest)

19 වන සියවසේ දී රටවල් කිහිපයක් බූරුවන්ගෙන් ප්‍රයෝජන ලබාගත්තා 

ස්කොට්ලන්තයේ ඉපදුණු තෝමස් එල්ඩර් නම් පුද්ගලයා 1854 වසරේ දී පමණ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණා. ඉන් වසර 12කට පසුව ඔහු ඕස්ට්‍රේලියාවට යුරෝපයේ සිට බූරුවන් ආනයනය කළා. එලෙස ආනයනය කරන ලද බූරුවන් රත්තරන් පතල්වල බර වැඩ කිරීම සඳහා යොදාගත්තා. එසේම කඳුකර ප්‍රදේශවල ජීවත් වුණු මිනිසුන් බර ඔසවාගෙන යාම සඳහා බූරුවන්ව භාවිතා කළා.

ප්‍රංශ ගොවියන් ගොවිපළවල් ආශ්‍රිත කටයුතු සඳහා බූරුවන්ව යොදාගත්තා. එසේම විවිධ වගාබිම්වල බර වැඩ කිරීම සඳහා බූරුවන් අත්‍යවශ්‍ය වුණා. ඊට අමතරව 19 වන සියවසේ මැද භාගය වන විට ප්‍රංශයේ  ඇළ මාර්ග මත බාධක ඇදගෙන යාම සඳහා බූරුවන් යොදාගත්තා.

මහා බ්‍රිතාන්‍යයේ ගොවිපළවල් සහ ගම්මාන ආශ්‍රිතව බූරුවන් වැඩි වශයෙන් දක්නට ලැබුණා. එම බූරුවන් භාණ්ඩ වෙළඳපොළට ප්‍රවාහනය කිරීම, කුණු කරත්ත ඇදගෙන යාම, මිනිසුන් රැගත් කුඩා කරත්ත ඇදගෙන යාම වැනි කාර්යයන් ඉටු කළා. 

ලෝක යුද්ධවල දී බූරුවන් යොදාගත් හැටි 

පළමු ලෝක යුද්ධය අතරතුර යුද බිමේ සිටි සෙබළුන් වෙත උපක්‍රමශීලීව අවි ආයුධ රැගෙන යාම සඳහා බූරුවන්ව යොදාගත්තා. එසේම දුෂ්කර ප්‍රදේශවල දී තුවාල ලැබූ සෙබළුන් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමට ද බූරුවන්ගේ සහාය ලබාගත්තා. එසේම දෙවන ලෝක යුද්ධය පැවති කාල සීමාවේ දී ඇතැම් රටවල බූරුවන්ව පුහුණු කරනු ලැබුවා. එලෙස පුහුණුව ලැබූ බූරුවන් මඟින් මෝටර් රථවලට ගමන් කිරීමට අපහසු ස්ථානවලට භාණ්ඩ ගෙනයාම සිදු කළා.

පළමු ලෝක යුද්ධයේ දී රාජකාරි කළ බූරුවෙක් (pinterest)

බොහෝ රටවල් කාර්මීකරණයට ලක්වීමත් සමගම බූරුවන් ඉටුකළ කාර්යයන් සිදුකිරීම සඳහා යන්ත්‍ර නිර්මාණය වුණා. එම නිසා වර්තමානය වන විට බර ඇදීම, කඳුකර ප්‍රදේශවල ගමන් කිරීම, ගොවිපොළවල වැඩ කිරීම වැනි දේවල් සඳහා පමණක් බූරුවන් භාවිතා කරනවා. 

කවරයේ ඡායාරූපය- gettyimages

මූලාශ්‍රයයන්- donkeywise.org

Related Articles