Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මාතර නගරය ගංවතුරෙන් රකින කිරළ කැලේ තෙත් බිම

ශ්‍රී ලංකාවේ රැක ගත යුතු බොහෝ තෙත් බිම් දිනෙන් දින අභාවයට යන බව යි පෙනෙන්නේ. වැනසෙන තෙත්බිම් අතරින් මුල් තැන ගන්නේ කොළඹට නුදුරු මුතුරාජවෙල යි. මාතර නගරයට නුදුරින් පිහිටි වටිනා සුන්දර තෙත්බිම් අභය භූමියක් වන කිරළ කැලේටත් මුහුණදීමට සිදු ව ඇත්තේ පරිසර විනාශයේ අවදානමකට යි.   

මාතර නගරය ගංවතුරෙන් ආරක්ෂා කරන තෙත් බිමක් ලෙස ක්‍රියාකරන කිරළ කැලේට ඒ නම ලැබුණේ කඩොලාන ශාකයක් වන කිරළ ගස් බහුල ව පැතිරීම නිස යි.  මෙම තෙත් බිම දීර්ඝ කාලයක් තිස්සේ නොසලකා හැර තිබිම නිසා අද වනවිට සිදුව ඇති පරිසර විනාශය ඉමහත්. ඒ ගැන විමසීමක් කිරීමට උත්හාහ ගැනීමක් තමයි මේ.

 කිරල කැලේට මඟ පෙන්වන නාම පුවරු- facebook.com

පිහිටීම

මාතර සහ තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පැතිර තිබෙන කිරළ කැලේ තෙත් වගුරු හෙක්ටයාර් 530ක් ද සමඟ හෙක්ටයාර් 1800ක පමණ ප්‍රදේශයක පැතිර පවතිනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර ගොඩගම පිවිසුම අසලින් දකුණට ඇති අඩි පාර වැටී ඇත්තේ කිරළ කැලේට යි. මාතර නගරයේ සිට ඒ වෙත දුර කිලෝ මීටර 3ක්.

කිරළ කැලේ නමින් දක්ෂිණ අධිවේගි ප්‍රවේශය අසල පුවරුවක් ද සවිකර තිබෙනවා. දක්ෂිණ අධිවේගයේ බෙලිඅත්ත දක්වා කොටස කිරළ කැලේ හරහා ඉදිකිරීමට මුලින්ම සැලසුම් කර තිබුණත් පරිසරවේදීන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය නිසා එය වෙනස් කර වෙනත් මඟක් ඔස්සේ ඉදිකිරීම සිදු වුණා. භූ විද්‍යාත්මක සාධක අනුව වසර මිලියන ගණනාවකට පෙර කිරළ කැලේ ප්‍රදේශය මුහුදට යාව පැවතුණා.

අදත් ඒ ප්‍රදේශය කැණීමේ දී බෙලිකටු, සිප්පිකටු ආදිය හමුවන්නේ ඒ බව සනාථ කරමින්.ලේනදුව, වටගෙදර, කුඩාලේනදුව, අත්තුඩාව, පාලමුව, ගොඩගම, හිත්තැටිය, තුඩාව ආදී ගම්මාන රාශියක් තෙත් බිම අවට පිහිටා තිබෙනවා.

අභය භූමියේ මල්පිලිහුඩුවවා – facebook.com

 අභය භූමිය

වර්ෂ 2003 දී විශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙහි අක්කර 750ක් රක්ෂිත ප්‍රදේශයක් බවට ප්‍රකාශ කර තිබුණා. ඉන් පසු 2013 වසරේ දී අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් කිරළ කැලේ ප්‍රදේශය අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර එයට වැඩි නීතිමය ආරක්ෂාවක් ලබාදීමට යි. එහි පාලනය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතටයි අයත් වන්නේ. නමුත් මෙහි ඉඩම් ගොඩ කිරීම්, ශාක ඉවත්කිරීම් වැනි හානිදායක කටයුතු ද සිදුවන බව වාර්තා වෙනවා.

කරදිය හා මිරිදිය මිශ්‍ර තෙත්බිම් පරිසර පද්ධතියක් වන කිරළ කැලේ අභය භුමියේ ශාක හා සත්ත්ව විශේෂ ගණනාවක් දැකගත හැකි යි. එළ කඩොල්, කඩොල්, කැරන් කොකු, කටු ඉකිලි, හීන් කඩොල්  ආදී කඩොලාන ශාක වර්ග  මෙන්ම පක්ෂින්,  සමනළයන්, මත්ස්‍යයන්, සර්පයන්, උරගයන්, උභය ජීවීන් රැසක් මෙහි  පරිසර අගය ඉහළ නංවනවා.

අද වනවිට කඩොලාන ශාක බොහොමයක් වඳවීමට භාජනය වෙලා.   කලකට පෙර මා වී වගාවත් මෙම තෙත් පරිසරයේ වඩාත් ප්‍රචලිත ව පැවති බව ගැමියන් පවසනවා.   කිරළ කැලයේ පන් වර්ග ද දක්නට ලැබෙනවා. තුන්හිරියා, ඌරල, පොතු කොළ ආදී පන් වර්ග මෙහි දක්නට ලැබෙන අතර, ගැමි කාන්තාවන් ඒවා කපා වියළා පැදුරු හා මළු විවීමට සිදු කරනවා.

කඩොලාන වනාන්තර, කුඹුරු, විල්, වාරිමාර්ග ඇළවල් ආදී පාරිසරික ලක්ෂණ මෙහි දැකගත හැකි යි. වසරකට දෙවරක් නිල්වලා ගඟ උතුරා යන ජලය එක්රැස් වන්නේ කිරළ කැලේට යි. වියළි කාලයේ දී ප්‍රදේශයේ තෙතමනය රැක ගැනීමටත් මින් සුවිශාල මෙහෙවරක් ඉටු වෙනවා.

 මිටි විල් කෙරැලියා – Wikipedia.org

දුලබ සංචාරක පක්ෂීහු

පසුගිය කාලයේ කිරළ කැලේට පක්ෂිවේදීන්ගේ අවධානය යොමු වූයේ පක්ෂි පර්යටනික සමයේදී එහි ගොඩ වැදුණු විදේශීය දුලබ පක්ෂී විශේෂ නිස යි. ඒ එක් පක්ෂියෙක් නම් Baillon’s Crake (මිටි විල් කෙරැලියා). කලාතුරකින් දක්නට ලැබෙන මෙම පර්යටනික පක්ෂියාගේ සත්ත්ව විද්‍යාත්මක නාමය Porgana Pusilla වෙනවා. අළු සහ කහ පැහැයෙන් යුත් ඌ දිගින් සෙන්මීටර 19ක්.

ඔවුන් පහතරට තෙත් කලාපයෙන් කලාතුරකින් වාර්තා වෙනවා. මිටි විල් කෙරැලියාගේ නිජබිම නැගෙනහිර යුරෝපය සහ ආසියාව යි. ඌ බ්‍රිතාන්‍යය, ජර්මනිය, නෙදර්ලන්තය වැනි රටවල නේවාසිකයෙක්. එම රටවලට ශීත සෘතුව ලබන විට මේ පක්ෂියා උණුසුම සොයාගෙන කිලෝ මීටර දහස් ගණනක් පියාසර කරනවා. ඒ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ද ඇතුළු දක්ෂිණ ආසියාවට සහ නැඟෙනහිර අප්‍රිකා රටවලට යි. සැප්තැම්බර් අප්‍රේල් දක්වා කාලයේ කිරළ කැලේ සංචාරය කළොත් යුරෝපයෙන් පැමිණි මේ පක්ෂියා ද සමහරවිට දැක ගැනීමට හැකි වේවි.

එම පක්ෂියාට අමතර ව රතු දුඹුරු ටුටුර කොබෙයියා (Turtte Dove) ද කිරළ කැලෙන් පසුගිය කාලයේ වාර්තා වී තිබෙනවා. මෙම කොබෙයියාගේ නිජබිම අප්‍රිකාව වන අතර නිවර්තන සහ දකුණු ආසියාවෙන් ද වාර්තාවී තිබෙනවා. දිගින් සෙන්ටි මීටර 33ක් වන අතර  සිරුර අඳුරැ රතු හා දුඹුරු පැහැති යි. කැබලිතියා නම් තාරාවා ද (Comb Duck) කිරළ කැලේ හමු වන තවත් දුලබ පර්යටනික පක්ෂියෙක්. ඌ දිගින් සෙන්ටි මීටර 76ක්. පියාපත් කළු පැහැති යි.  

 නිල්වලා ව්‍යාපෘතියට ඉදිකළ මාර්ග – facebook.com

1989දි ක්‍රියාත්මක කළ නිල්වලා ගංවතුර වැළැක්වීමේ යෝජනා ක්‍රමයට ගඟ දෙපස බැමි ඉදි කළා. ඒ සඳහා පස් ප්‍රවාහනයට කිරළ කැලේ වගුරුබිම් හා ඇළවල් හරහා පස් පුරවා මාර්ග ඉදිකිරීම සිදු වුණා. මේ නිසා ඇළවල් ගොඩ වී පරිසර පද්ධතිය වෙනස් වී ගියා. තෙත්බිම් ශාක විශාල ප්‍රමාණයක් විනාශ වුණා. ඒ නිසා කිඹුල් මිනිස් ගැටුමක් ද නිර්මාණය වී තිබෙනව. ඒ නිල්වලා ගඟේ කිඹුලන්ට කිරළ කැලේට සංක්‍රමණය වීමට තිබූ මාර්ග අවහිර වීම නිසයා. ඒ අතර කිරළ කැලේ සිටි කිඹුලන්ටද ඒ තුළ සිරගතවීමට සිදුවුණා.

එහි ජලජ පක්ෂින් ද බහුලයි – Twitter.com

ජෛව විවිධත්ව ඉහළයි

රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමන් චන්දන එදිරිවීර පවසන්නේ මෙම ප්‍රදේශය මාතර දිස්ත්‍රික්කයේ අනගි තෙත්බිම් වාසස්ථානයක් බව යි. ඒ නිසා කඩිනමින් සංරක්ෂණය කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවත් ඔහු අවධාරණය කර තිබෙනවා. ලෝක ස්වභාව සංරක්ෂණ සංගමයේ අධ්‍යයනයකට අනුව ශාක විශේෂ 83ක්, මත්ස්‍ය විශේෂ 25ක්, ක්ෂීරපායී විශේෂ 13ක් මෙහි දී හමුවෙලා තිබෙනවා. ඒ අතර අප රටට ආවේණික දම් මුහුණැති කොළ වඳුරාත් සිටිනවා. ඒ වගේම එම අධ්‍යයනයට අනුව පක්ෂි විශේෂ 103ක් කිරළ කැලෙන් වාර්තා වුණා.

කිරළ කැලේ ඇළ මාර්ගවල හා දියකඩිතිවල මසුන් ඇල්ලීමත් දැකගත හැකි යි.  අවට සැරිසරන නිල් කිතලා, පැස්තුඩුවා, සැවුල් පෙඳ දිය සෑනා, පොදු ගැලිනුවා, ලතුවැකියා, සේරුවා වැනි ජලාශ්‍රිත පක්ෂින් ද බහුල ව දැකගත හැකි යි. මාදං, ඇඹුල් පේර, මසන්, කිරළ, අඹ වැනි පලතුරු ද මෙහි තිබෙනවා. ජලාශවල ඕලු, කුමුදු, කෙකටිය, නෙළුම් ආදී පුෂ්ප පිපී අලංකාර දසුනක් මවනවා. මේ මල් කඩාගෙන ගොස් අලෙවි කර ජීවනෝපාය සලසා ගන්නා පවුල් කිහිපයක් ද ඒ අවට වාසය කරනවා. 

 ජෛව විවිධත්වයට සාධක – mihithuru.lk

 

ක්‍රිම්සන් රෝස්, කොමස් රෝස්, රෙඩ් හෙලන්, බෑන්ඩඩ් පීකොක්, බ්ලූ බොට්ල් ඇතුළු සමනළ විශේෂ 43ක් මෙහි පඳුරු ආශ්‍රිත ව වාසය කරනවා. සර්ප විශේෂ අතර නාගයා, පිඹුරා, පලා පොළගා වැදගත් වෙනවා. සර්ප උකුස්සා, බ්‍රාහ්මණ උකුස්සා, මුහුදු රාජාලියා වැනි මාංශ භක්ෂක පක්ෂින් ද මෙම තෙත්බිම අලංකාර කරනවා. ක්ෂිරපායින් අතර කලවැද්දා, උරුලෑවා, හාවා, කබල්ලෑවා, ඉත්තෑවා, දියබල්ලා, කොළ දිවියා, මීමින්නා දැක ගත හැකි යි.

කිරළ කැලේ ජෛව විවිධත්වය සහ පාරිසරික වැදගත්කම උපයෝගී කරගෙන සංචාරක ආකර්ශනය ළඟා කර ගැනීමට 2010දී කිරළ කැලේ රූදෙස් සංචාරක ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා. අවාසනාවකට මෙන් එය ලත් තැන ම ලොප් වූයේ ව්‍යාපෘතිය නාම පුවරුවට පමණක් සීමා කරමින්.

 තෙත්බිමේ සුන්දරත්වය – facebook.com

පාරිසරික හානිය

නගරයට ආසන්නව පිහිටි නිසා කිරළ කැලේ සිදුවන මිනිස් ක්‍රියාකාරකම් ඉහළ යි.  කසළ බැහැර කිරීම, ඉඩම් ගොඩ කිරීම, ගස් කැපීම, සතුන් දඩයම ආදී වශයෙන් විවිධ අන්දමින් මේ පරිසරය මිනිසා විනාශ කරනවා. ආක්‍රමණශීලි ශාක පැතිරීමත් මෙයට විශාල තර්ජනයක්. නාගරික වැසියන්ගේ කැලි කසළ තොග පිටින් මෙම තෙත් බිමට මුදා හැරීම සිදුවන බව වාර්තා වෙනවා. හිත්තැටිය කෙළවරේ සිට ගොඩගම දක්වා දිවෙන  ගුරු පාර අවට කැලි කසළ බහුලව පවතින බවයි විටින් විට වාර්තා වන්නේ.

කිරළ කැලෙත් ඇතුළු ව දකුණේ කඩොලාන තෙත්බිම් අද මානව ක්‍රියාකාරකම් නිසා පරිසර විද්‍යාත්මකවත් වෙනස් වෙමින් පවතිනවා. කලමැටිය කළපුවටත් එය සිදුව තිබෙනවා. දැන් ඒ කළපුවට මිරිදිය පැමිණීම නිසා කළපු පරිසරය වෙනස් වී ගොස් අවසන්. කිරළ කැලෙත් එය සිදු වනවා. මෙලෙස කරදිය නොපැමිණීම නිසා පවතින පරිසරය වෙනස් වෙනවා. හම්බුපන් පැතිරීම ඉහළ යනවා. ආක්‍රමණශීලි ශාක විශාල වශයෙන් පැතිරෙනවා. එය පක්ෂින්ගේ වාසයට ගැටලුවක්. කලාතුරකින් ලංකාවට එන දුලබ පර්යටනික පක්ෂීන්ගේ පැවැත්මටත් ලොකු තර්ජනයක්.

කවරයේ ඡායාරූපය- සුන්දර කිරළ කැලේ - southernsrilanka.lk

මූලාශ්‍ර:

Sundaytimes.lk

Dinamina.lk

Mihithuru.lk

Related Articles