Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව විශාලතම ගල්තාර සංචිතය දරන ලා බ්‍රියා විල

ශ්‍රී ලංකා පොළොව ස්වභාවික සම්පත් වලින් ගහන එකක්. රත්නපුරයෙන් මැණික් හමු වන විට බෝගල, කහටගහ, කොලොන්ගහ පතල් වලින් මිණිරන් හමුවනවා. එමෙන්ම එප්පාවල පොස්ෆේට හා පුල්මුඩේ ඛණිජ වැලි සහිත මුහුදු වෙරළත් අමතක කළ නොහැක්කක්.

ලෝකය පුරාවට විවිධ ස්ථාන වලින් විවිධ ස්වභාවික සම්පත් හමු වනවා. මේ අතරින් බටහිර ඉන්දීය කොදෙව් දූපත් වලට අයත් ට්‍රිනිඩෑඩ් හා ටොබේගෝහි පිහිටා තිබෙන ලා බ්‍රියා විල විශේෂ ස්ථානයක් උසුලනවා. ඒ එහි ලෝකයේ පවතින විශාලතම ගල්තාර (Asphalt) නිධිය පිහිටා තිබීම නිසායි.

මොනවද මේ ගල්තාර?

ගල් තාර මහාමාර්ග ඉදිකිරීම් කටයුතු වලට යොදාගන්නවා -stm.org

ගල් තාර, කළු දුඹුරු පැහැයෙන් යුතු, පෙට්‍රෝලියම් වැනි ගුණ දරන සංඝටකයක්. මේවායේ ස්වභාවය උකු දියරයක සිට තද ඝණ ද්‍රව්‍යයක් දක්වා පරාසයක පැතිරී තිබිය හැකියි. ගල් තාර වල සැකැස්මේ හයිඩ්‍රොකාබන මෙන්ම සුළු වශයෙන් සල්ෆර් හා නයිට්‍රජන් ද අන්තර්ගත අතර විවිධ ඛණිජත් මේත් සමඟ මුසුව තිබිය හැකියි. ගල් තාර මහා මාර්ග ඉදි කිරීමේ දී බහුලව යොදාගැනෙන සංඝටකයක්.

ලා බ්‍රියා විලෙහි පිහිටීම

ලා බ්‍රියා විල හමුවන්නේ නිරිත දිග ට්‍රිනිඩෑඩයේ ලා බ්‍රියා නම් ගම්මානයේ යි. මෙහි වපසරිය අක්කර 100ක් හෙවත් හෙක්ටයාර 41 දක්වා විහිදී තිබෙනවා. මෙහි මධ්‍යයේ ගැඹුර අඩි 250ක් හෙවත් මීටර 76ක් පමණ වෙනවා. මේ විල තුල තාර ටොන් මිලියන දහයක් පමණ අන්තර්ගත වනවා. මෙය කැරිබියානු මුහුදේ සිට මීටර 1100ක් පමණ දුරකින් පිහිටා තිබෙන අතර මුහුදු මට්ටමේ සිට මීටර 42ක් පමණ උසැති කඳු ගැටයක් අසල ඇති අවපාතනයක යි. මෙම අවපාතනය කඳු ගැටය මුදුනේ සිට කෙමෙන් මුහුදු සීමාව දක්වා බෑවුම් වී යනවා.

rishiray.com

මෙහි අඩංගු ගල් තාර වලට අමතරව මෙම විල් තලයෙන් සෑහෙන ප්‍රමාණයක මීතේන හා කාබන්ඩයොක්සයිඩ් වායු නිදහස් වෙනවා. කලාතුරකින් හයිඩ්‍රජන් සල්ෆයිඩ් ද නිදහස් වෙනවා. මෙහි අඩංගු ගල් තාර ඝණත්වය තැනින් තැනට වෙනස් වෙනවා.

බ්‍රියා විල උත්පාදනය වීමේ විද්‍යාත්මක මතය

අතීත විද්‍යාඥයින් මෙහි සම්භවය සිදු වී ඇත්තේ මඩෙන් පිරි ගිණිකඳු පිපිරීමක් නිසා බවට මත පළ කළත් වර්තමානය වන විට එම අදහස වෙනස් වී තිබෙනවා. වර්තමානය වන විට ඉදිරිපත් කර ඇති මතයන්ට අනුව මෙහි සම්භවය ඉතා දීර්ඝ කාලයක් තුල සිදු වූ ඉතා සංකීර්ණ එකක්.

ලා බ්‍රියා විලෙහි ඉතිහාසය හා විශේෂත්වය

තාර සහිත විල් ස්වභාවධර්මයේ අපූරු නිර්මාණයක්. මේවා නිර්මාණය වන්නේ බොරතෙල් නිපදවෙන ආකාරයටම යි. කාලාන්තරයක් තිස්සේ ඓන්ද්‍රීය ද්‍රව්‍ය එක්කාසු වී රසායනික හා ජීව විද්‍යාත්මක විපර්යාසයන් වලට භාජනය වීමෙන් මේවා නිපදවෙනවා.

මෙම විල මුලින්ම ගවේෂණය කළ යුරෝපීය ජාතිකයා ලෙස සැලකෙන්නේ ඉංග්‍රීසි ජාතිකයෙකු වූ ශ්‍රීමත් වෝල්ටර් රැලේ යි. ඒ 1595 වසරේදී යි. ඔහු සිය නෞකාවේ අළුත්වැඩියා කටයුතු සඳහා මේ විලෙන් ගත් ගල් තාර යොදාගෙන තිබෙනවා.

ශ්‍රීමත් වෝල්ටර් රැලේ – fineartamerica.com

1888 දී ට්‍රිනිඩෑඩ් හි රජය පෞද්ගලික සමාඟමකට කොන්ත්‍රාත් පදනමෙන් මෙහි ගල් තාර නිස්සාරණය කිරීමේ කටයුතු පවරනවා. 1978 දී මෙහි නිස්සාරණ කටයුතු සඳහාම Lake Asphalt of Trinidad and Tobago Limited (LATT) නම් සමාගම ආරම්භ කෙරෙනවා. වර්තමානය වන විට මෙම විලෙන් නිස්සාරණය කරන අමුද්‍රව්‍ය වලින් විවිධ භාණ්ඩ හා ද්‍රව්‍ය නිපදවනු ලබනවා. වාහන වල බඳ ආරක්ෂණ ආලේපන, මළ බැඳීම වලක්වන තීන්ත, පයිප්ප හා යකඩ ආවරණ, ඉමල්ෂන් වර්ග, විවිධ උපාංග මෙන්ම යාත්‍රා වල කාන්දු අළුත්වැඩියා කරන ආලේපන ඉන් කිහිපයක් පමණයි. මීට අමතරව ලොව පුරා මාර්ග ඉදිකිරීම් කටයුතු වලටත්, විදුලිබල ක්ෂේත්‍රයේ කටයුතු වලටත් මේ විලෙන් ලබාගන්නා අමුද්‍රව්‍ය මහෝපකාරී සංඝටක වෙනවා.

ලා බ්‍රියා විලෙහි ශාක හා සත්ත්ව ප්‍රජාව

බ්‍රියා විලෙහි මානෙල් මලක් -roadsideletters.com

තාර සහිත ජලය හා විලෙන් නික්මෙන විවිධ වායු වර්ග නිසා මෙහි ඇත්තේ ජීවීන්ට නම් එතරම් හිතකර පරිසරයක් නොවේ. එනමුත් මේ විලෙහි ක්ෂුද්‍රජීවී වර්ග ගණනාවක්ම ජීවත් වෙනවා. එමෙන්ම මේ විල අවට කජු, අඹ, හා දෙල් ගස් යහමින් දකින්නට පුළුවන්. මීට අමතරව නෙළුම්, මානෙල් වැනි ජලජ පැළෑටි වර්ග ද විල ආශ්‍රිතව වැවෙනවා. ලා බ්‍රියා විල පක්ෂීන් නරඹන්නන්ට ද තෝතැන්නක්. මේ අවට පැණි කුරුළු හා පිළිහුඩු විශේෂයන් ද යහමින් ගැවසෙනවා.

සංචාරක ආකර්ෂණය හා ඓතිහාසික වැදගත් කම

ස්වභාවික සම්පත් ආකරයක් වීමට අමතරව ලා බ්‍රියා විල සංචාරක කර්මාන්තයෙනුත් එරට රජයට ඉතා විශාල වශයෙන් වත්කම් උපයා දෙනවා. සාමාන්‍යයෙන් ට්‍රිනිඩෑඩ් හා ටොබේගෝ දිවයිනට සංචාරය සඳහා පැමිණෙන අයවලුන්ගේ ඉතා ජනප්‍රිය ගමනාන්තයක් ලෙස ලා බ්‍රියා විල සැලකෙනවා. සාමාන්‍යයෙන් වසරකට සංචාරකයින් 20,000 ක් පමණ මෙහි පැමිණෙන අතර, සමහරු මෙහි පිහිනීමට ප්‍රිය කරන්නේ එහි රෝග නිවාරණ ගුණයක් ඇති බව සැලකෙන නිසායි. එහි යම් විද්‍යාත්මක පැතිකඩක් ඇත්තේ මෙහි ඉතා විශාල වශයෙන් සල්ෆර් අඩංගු නිසායි.

බ්‍රියා විලෙහි නෑම රෝග නිවාරණයට හේතු වන බව සැලකෙනවා. -traveltourxp.com

බ්‍රියා විල ට්‍රිනිඩෑඩ් හි වෙසෙන ස්වදේශික ජනතාවටත් වැදගත් වන්නේ එය ඓතිහාසික වැදගත් කමක් උසුලන නිසායි. ඔවුන්ගේ විශ්වාසයන්ට අනුව එකල මෙහි විලක් තිබී නැහැ. වරක් ඔවුන්ගේ මුතුන්මිත්තන් තවත් ගෝත්‍රයක් සමඟ ඇති වූ සටනකින් ජය ලබා මෙම විල වර්තමානයේ පිහිටන ස්ථානයෙහි ජය පැන් බී ඇති අතර, එහි ජීවත් වූ ශුද්ධ වූ හමිංබර්ඩ් කුරුල්ලන් ආහාරයට ගෙන තිබෙනවා. මෙයින් කෝප වූ දෙවියන් ඔවුන්ගේ ගම් නියම්ගම් යට වී යන පරිදි මේ විල නිර්මාණය කළා ලු. මේ කතා වල සත්‍යාසත්‍යතාවය කෙසේ වෙතත් මේ විල් පත්ලෙන් ඓතිහාසික සතුන්ගේ ඇටකටු හා ඉපැරණි මැටි වළං වැනි දේ නම් හමු වී තිබෙනවා.

වර්තමානය වන විට මේ විල තදාසන්න ජනතාව බොහෝ දෙනා විල ආශ්‍රිත කර්මාන්ත වලින් සිය එදිනෙදා ජීවිතය සරි කරගන්නවා.

කවරයේ පින්තූරය -destinationtnt.com

Related Articles