
ලෝකයේ විවිධ රටවල් ආශ්‍රිත ව එකිනෙකට වෙනස් ලක්ෂණ සහිත පක්ෂීන් ප්‍රභේද රැසක් ජීවත් වනවා. එම පක්ෂි ප්‍රභේද අතර පෙනුමෙන් ලස්සන පක්ෂීන්, කටහඬින් ලස්සන පක්ෂීන් සේ ම අමුතු ආකාරයේ ලක්ෂණ ඇති පක්ෂීන් ද සිටිනවා.
ඒ අතුරින් අමුතු ආකාරයේ ලක්ෂණ ඇති පක්ෂි ප්‍රභේද ගැන අධ්‍යයනය කිරීමේ දී විස සහිත භයානක පක්ෂීන් වර්ග ද හමුවනවා. එවැනි විස සහිත පක්ෂීන් පිළිබඳ ව බොහෝ දෙනකු වැඩි යමක් දන්නේ නැහැ. ලොව සිටින විස සහිත පක්ෂීන් 3ක් පිළිබඳව තොරතුරු මෙම ලිපියෙන් ඔබට එනිසා ඉදිරිපත් කරනවා.
1) පිටෝහුයි
ඕස්ට්‍රේලියානු මහද්වීපයට අයත් රටක් වන පැපුවා නිව්ගිනියාව ආශ්‍රිතව විවිධ ගෝත්‍ර රැසක් ජීවත් වනවා. එම ගෝත්‍රික ජනතාව ජීවත් වන වනාන්තර ප්‍රදේශ ආශ්‍රිත ව භයානක සතුන් වර්ග වාසය කරනවා. පැපුවා නිව් ගිනියාවේ වාසය කරන භයානක සත්ත්ව විශේෂ අතුරින් පිටෝහුයි නම් කුරුලු විශේෂය කාගේත් අවධානය දිනා ගන්නවා. පැපුවා නිව් ගිනියාවට ආවේණික පක්ෂියකු වන පිටෝහු පෙනුමෙන් වඩාත් සුන්දර යි. නමුත් ඒ සුන්දරත්වයට යටින් සැඟවුණු අසුන්දර කතාවක් තිබෙනවා. ඒ පිටෝහුයි ලොව සිටින අධික විෂ සහිත පක්ෂියකු ලෙසින් හඳුනා ගෙන තිබෙන නිසා යි.

කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ රාජකාරි කළ සත්ත්ව විද්‍යාඥයකු වුණු ජැක් ඩම්බචර් 1990 වසරේ පැපුවා නිව්ගිනියාවේ පර්යේෂණ කටයුතුවල නිරත වුණා. එහි දී ඩම්බචර් අධ්‍යයනය කළේ පැපුවා නිව්ගිනියාවේ වාසය කළ විවිධ සත්ත්ව ප්‍රභේද පිළිබඳ ව යි. එක්තරා දිනයක සිය පර්යේෂණ කටයුතුවල නිරතවවෙමින් සිටි ඩම්බචර් අනතුරකට මුහුණ දුන්නා.
ඒ වනාන්තරයේ සැරිසරමින් සිටිය දී කුරුලු ප්‍රහාරයකට ලක්වීම යි. එහි දී පිටෝහුයි පක්ෂියකුගෙන් එල්ල වුණු අනපේක්ෂිත ප්‍රහාරය නිසා ඩම්බචර්ගේ අත තුවාල වුණා. එම අවස්ථාවේ දී ඇති වුණු අධික වේදනාව නිසා ඩම්බචර් සිය මුඛය ගෙන තුවාලය මත තැබුවා. වැඩි වේලාවක් යන්නට පෙර ඔහුගේ තොල් සහ දිව පිළිස්සෙන්නට පටන් ගත්තා. එම පිළිස්සෙන ගතිය පැය කිහිපයක් පුරා පැවතුණු නිසා පිටෝහුයි කුරුල්ලන්ගේ සිරුරේ විසක් අඩංගු ව ඇති බව ඩම්බචර්ට අවබෝධ වුණා.

එනිසා ඩම්බචර් පිටෝහුයි කුරුල්ලන් පිළිබඳ ව දිගින් දිගට ම පර්යේෂණ කළා. වසර 2ක පමණ කාලයක් ඇතුළත සිය පර්යේෂණවලින් වඩාත් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට ඩම්බචර්ට හැකියාව ලැබුණා. එහි දී ඔහු අනාවරණය කර ගත්තේ පිටෝහුයි කුරුල්ලන්ගේ පිහාටුවල සහ සමෙහි බැට්‍රකොටොක්සීන් නමැති විස රසායනික ද්‍රව්‍යය අඩංගු බව යි. ඊට පෙර කොළොම්බියානු ගෙම්බන් විශේෂයකගේ සිරුරිනුත් එම විස වර්ගය සොයා ගෙන තිබුණා.
එම විස වර්ගය පිටෝහුයි කුරුල්ලන්ගේ සිරුරින් නිපදවන්නේ නැහැ. එම විස පිටෝහුයිගේ සිරුරට ඇතුළු වන්නේ උන් ආහාරයට ගන්නා එක්තරා කුරුමිණි වර්ගයක් නිසා යි. දුර්ලභ විස වර්ගයක් වන බැට්‍රකොටොක්සීන් යම් පුද්ගලයකුගේ සිරුරට ඇතුළු වීමෙන් පසුව ස්නායු සහ මාංශ පේශී පටලවලට බලපෑමක් එල්ල කරනවා. එනිසා හිරිවැටීමක් සමඟ දරුණු වේදනාවක් ඇති වනවා. එම විස වැඩි ප්‍රමාණයක් සිරුරට ඇතුළු වුණොත් අංශභාගය, හෘදයාබාධ වැලඳීමේ අවදානම තිබෙනවා පමණක් නොව මරණය පවා උරුම වන්නට පුළුවන්.

පැපුවා නිව්ගිනියාවේ ජීවත් වුණු ගෝත්‍රික ජන කොටස් ඈත අතීතයේ දී පිටෝහුයි විස සහිත පක්ෂියකු බව දැන ගෙන සිටියේ නැහැ. නමුත් ඔවුන් පිටෝහුයි පක්ෂීන් මරා අනුභව කිරීමට උත්සාහ කිරීමේ දී විශාල අකරතැබ්බයකට මුහුණ දුන්නා. ඒ පිටෝහුයිගේ විස නිසා තුවාල ඇතිවීම යි. ඒ විදිහට පිටෝහුයි පක්ෂි විශේෂයේ සිරුරෙහි යම් කිසි විසක් ඇති බව තේරුම් ගත් පැපුවා නිව්ගිනි ගෝත්‍රිකයෝ එම කුරුල්ලන්ගෙන් වඩාත් ප්‍රවේසම් වුණා. එසේම පිටෝහුයිගේ සිරුරෙන් අමුතු ආකාරයේ දුගඳක් හමන බව පැපුවා ගෝත්‍රිකයන් පවසනවා. එනිසා ඔවුන් පිටෝහුයි කුරුල්ලා හැඳින්වීම සඳහා කුණු කුරුල්ලා යන නාමය භාවිත කරනවා.
2) ඉෆ්රිට් කොවල්ඩි
පැපුවා නිව් ගිනියාවේ ජීවත් වන ඉෆ්රිට් කොවල්ඩි අලංකාර පිහාටු තිබෙන පක්ෂියෙක්. එම පක්ෂි විශේෂයේ හිස නිල් පැහැයක් ගන්නා නිසා පහසුවෙන් හඳුනා ගන්නට පුළුවන්. එම කුරුලු විශේෂය නිකුත් කරන හඬ ඉතාමත් මිහිරි යි. බැලූ බැල්මට ම සුන්දර පක්ෂියකු ලෙසින් දිස්වන ඉෆ්රිට් කොවල්ඩි භයානක පක්ෂියකු බව අනුමාන කරන්නටත් තරමක් අපහසු යි.
මෙම පක්ෂියාගේ සිරුරේ ද බැට්‍රකොටොක්සීන් නැමැති විස රසායනික ද්‍රව්‍යය අඩංගු වන බව මීට දශක කිහිපයකට පෙර සත්ත්ව විද්‍යාඥයන් අනාවරණය කර ගත්තා. පිටෝහුයිගේ සිරුරේ අඩංගු වන බැට්‍රකොටොක්සීන් විස ප්‍රමාණයට වඩා වැඩි විස ප්‍රමාණයක් ඉෆ්රිට් කොවල්ඩිගේ සිරුරේ අඩංගු බව සොයාගෙන තිබෙනවා. එනිසා ඉෆ්රිටි කොවල්ඩි ලොව සිටින භයානක කුරුලු විශේෂයක් ලෙසින් සැලකෙනවා.

ඉෆ්රිට් කොවල්ඩි පක්ෂීන්ගේ ප්‍රියත ම ආහාරයක් වන කොරෙසින් පල්ච්රා කුරුමිණියන් හරහා ඒ විස සිරුරට ඇතුළු වනවා. මෙම පක්ෂියකුගේ විස වැඩි ප්‍රමාණයක් සිරුරට ඇතුළු වුණොත් මරණය පවා උරුම වීමට වැඩි ඉඩකඩක් පවතිනවා. මරණය උරුම නොවුණු කෙනකුගේ සිරුරේ අවයව අක්‍රීය වීමට හැකියාවක් පවතිනවා. ඉෆ්රිට් කොවල්ඩි පක්ෂීන් වැඩිපුර ජීවත් වන්නේ මිනිස් වාසයෙන් තොර ප්‍රදේශවල යි.
සාමාන්‍යයෙන් මෙම පක්ෂි විශේෂය ආක්‍රමණශීලී හැසිරීම් රටාවක් පෙන්නුම් කරන්නේ නැහැ. උන් මිනිසුන්ට ප්‍රහාර එල්ල කරන්නේ අනතුරක සේයාවක් දැනුණොත් පමණ යි. එනිසා පැපුවා නිව්ගිනියාවේ වෙසෙන ගෝත්‍රික ජනයාට ඉෆ්රිට් කොවල්ඩි පක්ෂීන්ගෙන් විශාල තර්ජනයක් එල්ල වන්නේ නැහැ. ඒ නිසා පැපුවා නිව්ගිනියා ගෝත්‍රිකයන් ඉෆ්රිට් කොවල්ඩි පූජනීය පක්ෂියකු ලෙසින් සලකනවා. එනිසා මෙම අපූරු කුරුලු විශේෂය මරා දැමීමට පවා තහනමක් පනවා තිබෙනවා.
3) ලිට්ල් ෂ්‍රයික් ත්‍රෂ්
පිටෝහුයි සහ ඉෆ්රිට් කොවල්ඩි පැපුවා නිව් ගිනියාවට ආවේණික පක්ෂීන් යුගළයක් වුණත් ලිට්ල් ෂ්‍රයික් ත්‍රෂ් පැපුවා නිව්ගිනියාව, ඕස්ට්‍රේලියාව සහ ඉන්දුනීසියාව යන රටවල් ත්‍රිත්වයේ දී ම දැක ගන්නට පුළුවන්. මෙම පක්ෂි විශේෂය වැඩිපුර වාසය කරන්නේ පැපුවා නිව්ගිනියාවේ වනාන්තර ආශ්‍රිත ව යි.
මෙම අපූරු පක්ෂි ප්‍රභේදයටත් ඉෆ්රිට් කොවල්ඩිට මෙන් අපූරු කටහඬක් තිබෙනවා. ගෙවුණු දශක කිහිපය තුළ ඕස්ට්‍රේලියාවේ ජේම්ස් කුක් විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යාඥයන් පැපුවා නිව්ගිනියාවේ වනාන්තර ආශ්‍රිත ව පර්යේෂණ කටයුතු සිදු කළා. ඒ පර්යේෂණවලින් පසුව ලිට්ල් ෂ්‍රයික් ත්‍රෂ් පක්ෂීන්ගේ සිරුරේ විස අඩංගු වන බව අනාවරණය කරගත්තා. ඒ අනුව ලිට්ල් ෂ්‍රයික් ත්‍රෂ් පැපුවා නිව් ගිනියාවෙන් හමුවුණු තෙවන විෂ සහිත පක්ෂි ප්‍රභේදය බවට පත්වුණා.

සාමාන්‍යයෙන් ගංගා සහ විල් ආශ්‍රිත ව ජීවත් වීමට වැඩි කැමැත්තක් දක්වන ලිට් ෂ්‍රයික් ත්‍රෂ් පක්ෂීන්ගේ සිරුරේ අඩංගු වන්නේ ද බැට්‍රකොටොක්සීන් නම් රසායනික විස වර්ගය ම යි. පිටෝහුයි සහ ඉෆ්රිට් කොවල්ඩි යන පක්ෂි විශේෂයන් මෙන් ම මෙම පක්ෂි විශේෂය ද විස සහිත කුරුමිණියන් ආහාරයට ගැනීමට පුරුදු ව සිටිනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් උන්ගේ සිරුරට විෂ ඇතුළු වනවා.
ලිට්ල් ෂ්‍රයික් ත්‍රෂ් පක්ෂි විශේෂයේ තවත් උප විශේෂ කිහිපයක් මේ වන විට සොයා ගෙන තිබෙනවා. සත්ත්ව විද්‍යාඥයන් තවමත් එම උප විශේෂ පිළිබඳ ව යම් කිසි අධ්‍යයනයක නිරත වනවා. එම පර්යේෂණවලින් පසුව මෙම අපූරු පක්ෂි විශේෂය පිළිබඳ ව තවත් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට හැකිවනු ඇති.