අප ජීවත් වෙන පෘථිවියේ සියලු ම රහස් විද්‍යාඥයින් සොයාගෙන නැති බව අපිට වැටහෙන්නේ ඔවුන් කලින් කලට සොයා ගන්නා විවිධ සොයා ගැනීම් හා නව නිර්මාණයන් නිසා යි. මින්ග් නැමති බෙල්ලා ද කාලයක් ලෝකයට රහසක් ව සිටි බෙල්ලෙක්. ඒත් මින්ග් ව සොයා ගැනීමත් සමග සියල්ල ම වෙනස් වීමට පත් වෙනවා. ඒ මින්ග් ලෝකයේ සොයා ගත් වයස්ගත ම ප්‍රාණියා බවට පත් වීම නිසා යි.
මින්ග්ව මුලින් ම සොයා ගන්නේ 2006 දී මහ බ්‍රිතාන්‍යයේ බැන්ගෝර් විශ්ව විද්‍යාලයේ පරික්ෂකයන් පිරිසක් විසින් අයිස්ලන්තය ආශ්‍රිත ව සාගරයේ කරන ලද ගවේෂණයක ප්‍රතිඵලයක් විදියට යි. ඔවුන්ගේ ගවේෂණයේ දී නිරික්ෂණය කර ඇත්තේ දේශගුණික වෙනස් වීම පිළිබඳව යි. ඔවුන් සාගර පත්ලේ කරන ලද ගවේෂණයක දී බෙල්ලන් 200කට ආසන්න ප්‍රමාණයක් අල්ලා ගන්නවා. සියලුම බෙල්ලන් අයිස් බහලුම්වල දමා නැවත බ්‍රිතාන්‍ය වෙත ගෙනි යන්නට තීරණය කරනවා. ඒ දේශගුණික බලපෑම්වලට යම් හෝඩුවාක් බෙල්ලන්ගෙන් සොයා ගැනීමට හැකියාවක් ලැබෙනු ඇතැ යි අනුමාන කරලා යි. ඒත්, එකතු කර ගත්ත බෙල්ලන්ගෙන් විශාල ප්‍රමාණයක් නැවත ගමනේ දී මිය යනවා. මින්ග් ඇතුළු කිහිපදෙනෙකු ඉතිරි වෙන්නේ වාසනාවට යි.
මින්ග් ව මේ පර්යේෂකයන් පිරිස බැන්ගෝර් විශ්ව විද්‍යාලයේ සරසවිය තුළට ගෙන ගොස් අන්වීක්ෂීය පරික්ෂාවකට ලක් කරන තුරු ම, මින්ග් නැමති බෙල්ලාගේ වටිනාකම ගැන අවබෝධයක් තිබුණේ නෑ.
මින්ග්ගේ වයස නිර්ණය කරන විද්‍යාඥයින්, මින්ග් වයස අවුරුදු 407ක් බව තහවුරු කර ගන්නවා. ඒ ලෝකයේ වයස්ගත ම ප්‍රාණියා බවට ද තහවුරු වීමේ ගෞරවය ද හිමි කර ගනිමිනුයි. මින්ග් ගැන තවත් පරික්ෂණ කළ විද්‍යාඥයින්, තවත් අපූරු වූ කරුණු කාරණා ටිකක් සොයා ගැනීමට සමත් වෙනවා. ඒ මින්ග් නැමති බෙල්ලා උපත ලබන්නේ ලියානාඩෝ ඩාවින්සි විසින් “මොනාලීසා” චිත්‍රය සිතුවම් කරන්නට පටන් ගත් කාලයේ දී වන බවත්, පළමු වන එලිසබෙත් මහ රැජීණ ඔටුනු පළදින දිනයේ දී මින්ග්ට වයස අවුරුදු 52ක් වූ බවත් විද්‍යාඥයින් සොයා ගත් ඒ අපුරු කාරණා අතර තිබුණා.
විද්‍යාඥයින්ට මින්ග්ගේ වයස නිර්ණය කිරීමේ දී වයස අවුරුදු 100ක් අඩු වෙලා තිබුණු බව සඳහන් වෙනවා. බෙල්ලන්ගේ වයස නිර්ණය කිරීමේ දී සමුදුරු විද්‍යාඥයින් උපයෝගී කර ගන්නේ බෙල්ලාගේ කටුවේ ඇති බැමි, නැත්නම් කවයන් ප්‍රමාණය යි. සෑම වසරක ම බෙල්ලෙකුගේ කටුවේ අලුතින් කවයක් නිර්මාණය වෙනවා. මින්ග්ගේ වයස ගණනය කිරීමේ දී විද්‍යාඥයින්ට වසර 100ක් අඩු වී තිබුණේ, මින්ග්ගේ සමහර කවයන් ඉතාමත් සියුම්ව නිර්මාණය වී තිබීම නිසා යි. ඒ අනුව මින්ග්ගේ වයස අවුරුදු 507ක් බව පසුව තහවුරු වුණා. මේ ඉපැරැණි බෙල්ලාට “මින්ග්“ යන නම තියන්නත් හේතුවක් තිබුණා. ඒ චීනයේ බලවත් පාලකයෙකු වු මින්ග් අධිරාජ්‍යයාගේ (ක්‍රි.ව. 1368 – 1644) සමයේ දී මේ බෙල්ලා උපත ලබන්නට ඇති බව සිතූ නිසයි.
විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ, මින්ග් වැනි තවත් ඉතාමත් වයස්ගත බෙල්ලන් ලෝකයේ සාගර පත්ලේ සිටි හැකි බව යි. නමුත් බෙල්ලන් ව මිනිසා විසින් ආහාරයට ගැනීම නිසා විශාල බෙල්ලන් ප්‍රමාණයක් මරණයට පත් වෙන බවත්, එලෙස මරණයට පත් වෙන බෙල්ලන් අතර ද මින්ග් වැනි බෙල්ලන් සිටිය හැකි බවත් ඔවුන් තවදුරටත් පෙන්වා දෙනවා. සාමාන්‍ය බෙල්ලන් අතර ද වයස අවුරුදු 100 සිට 300 දක්වා හෝ ඊට වැඩි බෙල්ලන් සිටිය හැකි බව ද විද්‍යාඥයින් පවසා තිබුණා. මින්ග්, එතෙක් මෙතෙක් හමු වූ බෙල්ලන්ගෙන් වැඩි ම වයස්ගත බෙල්ලා බව ද පවසා තිබුණා. මින්ග් වැනි තවත් බෙල්ලන් ගැඹුරු සාගර පත්ලේ ඉතාමත් සුළු ප්‍රමාණයක් සිටිනු ඇති බව ද ඔවුන් විශ්වාස කරනවා.
මින්ග් සතු ව තිබූ “වයස්ගතම ප්‍රාණියා” වීමේ වාර්තාව දිගටම මින්ග්ට රඳවා ගෙන සිටීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද මින්ග් ව රැගෙන විත් තිබුණේ දේශගුණික වෙනස් වීම් පිළිබඳ ව ජීව විද්‍යාත්මක සාධක සොයා බැලීම නිසා යි. මින්ග් වයස සමග බැලු විට වසර 500ක දේශගුණික දත්තයන් ඇති බව විද්‍යාඥයින් සිතනවා. දැඩි කුතුහලයෙන් සිටි ඔවුන් ඒ නිසා ම මින්ග්ගේ කටුව විවෘත කිරීමට තීරණය කරනවා.
ඒ අනුව 2007 වසරේ දී මින්ග්ගේ කටුව විවෘත කරනු ලබනවා. කටුව විවෘත කිරීමෙන් පසුව මින්ග්ට තවත් ජීවත් වීමට හැකියාවක් නොතිබුණු නිසා මින්ග් මරණයට පත් වෙනවා. මින්ග් මරණය බොහෝ තැන්වල ප්‍රධාන සිරස්තලයක් බවට ද පත්වුණා.
බොහෝ දෙනා මෙය අපරාධයක් ලෙස සලකා චෝදනා කළත්, විද්‍යාඥයින් පවසා තිබුණේ ශතවර්ෂ ගණනාවක් පුරාවට ම සාගරයට බලපෑ දේශගුණික විපර්යාස පිළිබඳ ව විශාල දැනුමක් ලබා ගැනීමට තිබු හොඳම මෙන්ම වටිනා ම අවස්ථාවක් ලෙස මින්ග්ගේ ජීවිතය පේනවා දිය හැකි බව යි. ඒ නිසා ම මින්ග් නැමති බෙල්ලා ඒ පරික්ෂණවලට යොදා ගැනීමට ම අවශ්‍ය වූ බව ඔවුන් පෙන්වා දෙනවා.
වසර 507ක් පුරාවට ම ඔවුන්ට සොයා ගැනීමට අපොහොසත් වූ දේශගුණික වෙනස් වීම සොයා ගැනීමට මින්ග්, ඉතාමත් හොඳ මුලාශ්‍රයක් වූ බව ද විද්‍යාඥයින් පවසා තිබුණා.
කොහොම වුණත්, ක්‍රි.ව. 1499 දී උපත ලැබූ මින්ග් නැමති බෙල්ලා ලෝකයේ වයස්ගත ම ජීවියා වෙමින් සමස්ත ලෝකයේ රහස් සොයා දීම වෙනුවෙන් 2007 වසර දී දිවි පිදුවේ එ් විදියට යි.