Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගුහා වල දිවිගෙවන චීන ගොවි පවුල්

චීනය, ලෝකයේ වැඩිම ආරථික වර්ධන වේගයක් සහිත රටවල් අතරින් ප්‍රමුඛ ස්ථානයක් දිනාගෙන සිටින රටක් ලෙස නම් කළ හැකි යි. අනාගතයේ දී වර්තමාන ලෝක බලවතා වන ඇමෙරිකා එක්සත් ජනපදය අභිබවා යාමට ඔවුන්ට හැකියාව ලැබෙනු ඇතැ යි ඇතැම් ආර්ථික විශේෂඥයෝ මත පළ කරනවා.

වර්තමානය වන විට චීනයේ බිජිං හා ෂැන්හයි වැනි නගරවල ජනගහන වර්ධන වේගය අධික වීම හේතුවෙන් නොයෙකුත් තාක්ෂණික උපක්‍රම යොදාගනිමින් වැඩි වන ජනගහනයට සාපේක්ෂ ව ගොඩනැගිලි ඉදිකිරීමේ නව ක්‍රමවේදයන්ට අවතීරණය වීමට චීන රජය කටයුතු කරනවා.

නමුත් නාගරික ප්‍රදේශවලින් බැහැර ව ෂැන්සි වැනි පළාත්වල චීන ජාතිකයන් ජිවත් වන්නේ පොළව යට සාදා ගත් ගුහා තම නිවාස කරගනිමින්යැ යි පැවසුවහොත් ඔබ විශ්වාස කරනවා ද? මෙලෙස චීනයේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වෙන චීන ජාතිකයන් ප්‍රමාණය මිලියන 30 ඉක්මවා යනවා.

මෙම ගුහා චීන ජාතිකයන් විසින් යෙදොන්ග් නමින් හඳුන්වන අතර කදුකර ආශ්‍රිත ග්‍රාමීය ප්‍රදේශවල මෙය සුලභ කාරණයක් වන අතර එම ප්‍රමාණය කැනඩාවේ ජීවත් වෙන මුළු ජනගහනයට වඩා මඳක් අඩු යි. ඉතින් අද ලිපිය ඒ පිළිබඳව යි.

ගුහා නිර්මාණය හා ඒ තුළින් ලැබෙන වාසි:

ෂැන්සි හි ගුහා සංකීර්ණයක් (Ripley’s Believe It or Not!)

මෙම පළාතේ කඳුකරය ආශ්‍රිත ව ඇති කහ පැහැති පස හේතුවෙන් පොළොව කැනීම ඉතා පහසු අතර, එබැවින් බොහෝ දෙනා තම නිවාස සඳහා ඈත අතීතයේ සිට ම පොළව යට නිර්මාණය කළ ගුහා තෝරාගෙන තිබෙනවා. වසර දහස් ගණනක සිට ගුහා නිවාසයන් චීනය තුළ ඉදිකිරිම ආරම්භ කර ඇති අතර, මාඕ සේතුං ද චීනයේ නායකයා වීමට ප්‍රථම ගුහාවක ජීවත් වූ පුද්ගලයෙක් වෙනවා.

මෙම ගුහා පෙනුමෙන් ඉතා ආකර්ශනීය නොවන නමුත් ගුහා හි ප්‍රධාන වාසිය වන්නේ ජීවත් වීම සඳහා ඉතා අඩු මුදලක් වැය වීම යි. චීනයේ නගරාශ්‍රිත ප්‍රදේශයක ජීවත් වීමට ඉතා අධික මුදලක් වැය වෙනවා. එවැනි නිවසකට ඩොලර් දහසකට වඩා වියදමක් කුලිය වශයෙන් ගෙවීමට සිදු වූවත් ගුහාවල ජීවත් වෙන පුද්ගලයන්ට මුදල් වැය වෙන්නේ ජලය හා විදුලිය වෙනුවෙන් පමණයි. මෙහි ප්‍රධාන වාසිය වන්නේ එය යි. වර්තමානය වන විට ජලය හා විදුලියට අමතර ව දුරකථන සේවා වැනි නවීන අංගයන්ගෙන් ද ගුහා නිවාස සමන්විත වෙනවා.

ගුහා ඉදිකිරිම සඳහා ඉතා අඩු ප්‍රමාණයක මෙන්ම ලාභදායි අමුද්‍රව්‍ය යොදාගැනීමට හැකි යි. පරිසර හිතකාමී නිර්මාණයක් වීම හා කඳුවැටිවල බෑවුමේ ගුහා නිවාස ඉදිකිරිම තුළින් වගාවන් සඳහා ගොවීන්ට විශාල වශයෙන් තැනිතලා භූමි තෝරාගැනීමට හැකි වීම වැනි කරුණු තවත් වාසි ලෙස දක්වන්න පුළුවන්.

හොඳින් ආවරණය වී පවතින ගුහා හේතුවෙන් අනෙක් වාසින් ලෙස ශිත කාලයේ දී උණුසුමෙන් ද, අධික හිරු රශ්මිය සහිත කාලයන් හි සිසිලසින් ද ජීවත් වීමට ගුහා වාසීන්ට හැකියාව ලැබෙනවා. තව ද ස්වභාවික පරිසරය පිළිබඳ ව ගුහා වාසීන්ට ඇති දැනුම හේතුවෙන් ස්වභාවික ව්‍යවසන කලින් හඳුනාගැනීමේ හැකියාව ලැබීම තවත් වාසියක් ලෙස හැඳින්විය හැකි යි.

ගුහා අතහැර නගර වෙත සංක්‍රමණය වන තරුණ ප්‍රජාව

දැකිය හැකි ගෘහ නිර්මාණ ශිල්පය (Inhabitat)

ගුහා ඇතුළත පහසුකම් අවම වන අතර මැටි බිත්ති වලින්, පිදුරු, හෝ තිර රෙදිවලින් කාමර වෙන්කර ඇති බව දකින්න පුළුවන්. බොහෝ විට නිදන කාමරවල දකින්න ලැබෙන්නේ ගලින් නිමවන ලද සයනයන්. චීන ජාතිකයන් එය හඳුන්වන්නේ කැන්ග් නමින්.

වර්තමානය වන විට ගුහා ආශ්‍රිත ජීවන රටාවට චීනයේ තරුණ පිරිසගේ වැඩි කැමැත්තක් දකින්න ලැබෙන්නේ නෑ. ඒ ආකර්ශනීය පෙනුමක් හෝ පහසුකම් නොමැතිකම හේතුවෙන්. සැප පහසු හා ආකර්ශනීය නාගරික ජීවිතය සොයා බොහෝ තරුණ පිරිස් නගරවලට සංක්‍රමණය වීම දකින්න පුළුවන්. නාගරික ජීවන රටාවට අනුගත වන ඔවුන් නැවත තම ගුහා බලා පැමිණෙන්නේ නෑ. මේ හේතුවෙන් පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන ගුහා නිවාසයන් ඇතැම් මහලු චීන ජාතිකයන් විසින් විකුණා දමනවා.

ගුහා නිවසක ඇතුළත දර්ශනයක් (Cathay Pacific – Discovery)

වර්තමානය වන විට මෙම ගුහාවල පවතින පැරණි හා ස්භාවික ගෘහ නිර්මාණ ශිල්පය හේතුවෙන් ඒවා කුලියට හෝ මිල දී ගැනීමට නාගරිකයන් බොහෝ දෙනෙක් උත්සාහ කරන නමුත් බොහෝ ගුහා වැසියන් ඒ සඳහා කැමැත්තක් දක්වන්නේ නෑ.

චීනයේ ජාතික වැඩපිළිවෙල ඔස්සේ  

ගුහා නිවැසියෙක් (Pinterest)

නොයෙක්වර ඇති වූ භූමි කම්පා හේතුවෙන් ෂැන්සි පළාතේ වැසියන් දහස් ගණනක් මරණයට පත් වී ඇති අතර මරණයට පත් වූවන් අතරින් වැඩි ප්‍රමාණයක් ගුහා වාසීන් ලෙස හඳුනාගෙන තිබෙනවා. තව ද ගුහා ආශ්‍රිත ව ජීවත් වන්නන් චීනයේ අඩු අදායම් ලබන්නන් ලෙස ද චීන රජය විසින් නම් කර තිබෙනවා.

එබැවින් 2020 වසර වන විට චීනයේ ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිත දුප්පත්කම පිටු දැකීමේ වැඩපිළිවෙල යටතේ ගුහා ආශ්‍රිත දිවිගෙවන ජනගහනය අවම කිරීමට චීනය තීරණය කර තිබෙනවා. ඒ යටතේ ගත් ප්‍රධාන තීරණයක් වන්නේ ඔවුන්ව නව නිවාසවල පදිංචි කරවීම යි. 2018 වසර අවසාන වන විට මිලියන 2.8ක් සඳහා නව නිවාස තනා දී ජනතාව නැවත පදිංචි කිරීම සඳහා චීන බලධාරීන් මේ වන විට ක්‍රියාත්මක වෙමින් සිටිනවා.

කවරයේ පින්තූරය: Pinterest

Related Articles