Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තාමත් නොබිඳී පවතින අපේ ක්‍රිකට් කණ්ඩායමේ ලෝක වාර්තා පහක්

ලෝකයා ශ්‍රී ලංකාව නම් කුඩා දූපත හඳුනාගන්නේ සනත් ජයසූරියගේ රට, එහෙම නැත්නම් මුරලිගේ හෝ ලසිත් මාලිංගගේ රට වශයෙනුයි. ඒ තරමටම මුළු ලෝකය පුරාවටම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රසිද්ධයි. ඒ අපේ ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර පිටියේ දැක්වූ අසාමාන්‍ය දක්ෂතා හේතුවෙන්. එකල ශ්‍රී ලංකා කණ්ඩායම නව ලෝක වාර්තා තබන්නට බොහෝ ප්‍රසිද්ධ බව අපි කවුරුත් දන්නවා.

මීට වසර ගණනාවකට පෙර ටෙස්ට් හා එක්දින තරගයන්හි ලෝක වාර්තා විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සතු වුණා. කාලයත් සමඟ ඒ වාර්තා වෙනත් රටවල කණ්ඩායම් හා ක්‍රීඩකයන් විසින් බිඳ දැමුවත් අදටත් නොබිඳී පවතින අපේ ක්‍රිකට් කණ්ඩායමේ ලෝක වාර්තා 5ක් පිළිබඳව සටහනක් තමයි මේ ලිපියෙන් අප ඔබ වෙත ගෙන එන්නේ. මීට අමතරව තවත් ක්‍රිකට් ලෝක වාර්තා අපේ රට සතුයි. ඒ ගැන දන්නවනම් comment එකකින් සටහන් කර යන්න.

1. ටෙස්ට් ඉනිමකදී කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු

ලෝක වාර්තාව ලකුණු පුවරුවේ සටහන් වූ අයුරු (CricketCountry.com)

ටෙස්ට් තරගයක එක් ඉනිමක රැස් කළ ඉහළම ලකුණු ප්‍රමාණය රැස් කර එම වාර්තාවට හිමිකම් කියන්නේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමයි. ඒ 1997 අගෝස්තු 2 වනදා සිට 6 වනදා දක්වා ඉන්දියාවට එරෙහිව ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ පැවැත්වුණු පළමු ටෙස්ට් තරගයේදීයි.

පළමුව පන්දුවට පහර දෙන්නට පිටියට පිවිසෙන ඉන්දියානු පිතිකරුවන් තරගයේ දෙවන දිනයේ පන්දුවට පහර දෙන්නට ශ්‍රී ලාංකික පිතිකරුවන්ට ආරාධනා කරන්නේ ලකුණු 537ක් රැස් කිරීමෙන් අනතුරුවයි. මෙහිදී  Sidhu, Tendulkar හා Azharuddin යන පිතිකරුවන් ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් ශතක රැස් කරනවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ට විරුද්ධව ඉහළම ටෙස්ට් තරග ලකුණු ප්‍රමාණයක් වාර්තා කරයි යන්න ඉන්දියානු ක්‍රීඩකයන් මොහොතක්වත් සිතන්නට නැතුව ඇති.

තරගයේ දෙවන දිනයේ පිටියට පිවිසෙන සනත් ජයසූරිය ලකුණු 340ක් රැස් කරනවා. ඒ ඔහු ටෙස්ට් ඉනිමකදී ලබා ගත් ඉහළම ලකුණු ප්‍රමාණයයි. රොෂාන් මහානාම ද්විත්ව ශතකයක් ලබා ගන්නා අතර අරවින්ද සිල්වාගේ ශතකය ඇතුළුව 5ස් වන දිනය අවසානයේදී කඩුළු 6ක් දැවී ලකුණු 952ක් රැස් කර ගන්නට සමත් වෙනවා. එය එදා මෙදාතුර කණ්ඩායක් ඉනිමකදී රැස් කළ ඉහළම ලකුණු ප්‍රමාණය ලෙස වාර්තාගත වෙනවා.

2. එක්දින තරගයකදී කණ්ඩායමක් එල්ල කළ වැඩිම හතරේ පහරවල් ගණන

සනත් ජයසූරිය එදින තරගයේදී හතරේ පහරවල් 24ක් එල්ල කරනවා. (Sports News)

එක්දින තරගයකදී වැඩිම හතරේ පහරවල් ප්‍රමාණයක් එල්ල කර තිබෙන්නේ ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමයි. ඒ 2006 වසරේ ජූලි 6 වනදා නෙදර්ලන්තයට එරෙහිව Amstelveenහි පැවති පළමු එක්දින තරගයේදීයි. කඩුළු 9ක් දැවී ලකුණු 443ක් රැස් කරන ශ්‍රී ලංකා කණ්ඩායම ඒ සඳහා හතරේ පහරවල් 56ක් එල්ල කරනවා. මෙම ලෝක වාර්තාවේ දෙවන ස්ථානය ලබාගෙන සිටින ඉන්දීය කණ්ඩායම එල්ල කර ඇති හතරේ පහරවල් ගණන 48ක් පමණයි,

මෙම හතරේ පහරවල 56න් 24ක් සනත් ජයසුරියටත් පහරවල් 15ක් තිලකරත්න දිල්ෂාන්ටත් අයිතියි.

3. T20 තරගයක වැඩිම ලකුණු පරාසයකින් ජයග්‍රහණය කිරීම

කෙන්යාවට එරෙහි තරගයේදී ජයසූරිය (Cricbuzz.com)

ටෙස්ට්, එක්දින වගේම T20 තරග වලදීත් ශ්‍රී ලංකා කණ්ඩායම තම දක්ෂතා ප්‍රදර්ශනය කරමින් වාර්තා තබා තියනවා. ප්‍රථමයෙන් පන්දුවට පහර දී ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබාගෙන ප්‍රතිවාදීන්ව අඩු ලකුණු ප්‍රමාණයකට දවාගෙන ජයග්‍රහණය කිරීමේදී කණ්ඩායම් දෙක අතර වැඩිම ලකුණු පරාසය රදවාගෙන තිබෙන්නේ අපේ T20 ක්‍රිකට් කණ්ඩායමයි.

2007 සැප්තැම්බර් මාසයේ 17 වනදා කෙන්යාවට එරෙහිව  Johannesburgහිදී පැවැත්වුණු T20 තරගයේදී පළමුවෙන්ම පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් පමණක් දැවී ලකුණු 260ක් රැස් කරනවා. සනත් ජයසූරිය හා මහේල ජයවර්ධන මේ සඳහා වැඩි කාර්යභාරයක් ඉටු කරනවා.

ලකුණු 262ක ඉලක්කයක් හඹා යන්නට පිටියට පිවිසෙන කෙන්යා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 3කදී සියල්ලන් දැවී රැස් කරගන්නට හැකියාව ලැබෙන්නේ ලකුණු 88ක් පමණයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම T20 තරගයක වැඩිම ලකුණු පරාසයක් තබා ගනිමින් ජයග්‍රහණය කර වාර්තාවක් පිහිටුවනවා. කණ්ඩායම් දෙක අතර ලකුණු පරාසය 172ක් ලෙස සටහන් වෙනවා.

4. වැඩිම ටෙස්ට් හා එක්දින කඩුළු ලාභියා

මුරලි (NDTV Sports)

මේ ලෝක වාර්තාව ගැන නම් අපි හොඳින් දන්නවා. එසේම මේ ලෝක වාර්තාව හින්දා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉහළ නමක් දිනා ගන්නට සමත් වෙලා තියනවා.

ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන මුත්තයියා මුරලිදරන් තමයි මේ වාර්තාවට හිමිකම් කියන්නේ. ජාත්‍යන්තර  ටෙස්ට් ක්‍රිකට් පිටියේ කඩුළු 800ක් ලබා ගනිමින් ඔහු ශ්‍රී ලංකාවට අභිමානයක් එක් කර තිබෙනවා. 1992 සිට 2010 වර්ෂය දක්වා ටෙස්ට් තරග 133කට සහභාගී වෙමින් ඔහු මෙම දක්ෂතාවය දක්වා තිබෙනවා. එහි දෙවන ස්ථානය ලබාගෙන සිටින ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ෂේන් වොන් ලබාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 708ක්.

එක්දින තරගයන්හි වැඩිම කඩුළු ප්‍රමාණයක් දවාගෙන තිබෙන්නෙත් මුරලියි. 1993 සිට 2011 වසර දක්වා එක්දින ICC, Asia හා ශ්‍රී ලංකා කණ්ඩායම් නියෝජනය කරමින් තරග 350කට සහභාගී වෙමින් කඩුළු 534ක් දවා ගැනීමට මුරලි සමත් වෙනවා.

ඒ වගේම එක් ක්‍රීඩාංගනයකදී වැඩිම ටෙස්ට් කඩුළු ප්‍රමාණයක් දවාගෙන සිටින්නේ මුරලියි. ඒ කොළඹ SSC පිටියේයි. SSC පිටියේ තරග 24කට සහභාගී වෙමින් කඩුළු 166ක් දවා ගන්නවා.

5. ටෙස්ට් තරගයක ක්‍රීඩකයන් දෙදෙනෙක් අතර ඉහළම සම්බන්ධතාවය

දකුණු අප්‍රිකාවට එරෙහිව වාර්තාව පිහිටුවීමෙන් පසු (Sportskeeda.com)

ටෙස්ට් තරගයක ඕනෑම කඩුල්ලක් සඳහා ක්‍රීඩකයන් දෙදෙනෙක් තැබූ ඉහළම ලකුණු සම්බන්ධතාවයට(partnership) හිමි වාර්තාව තබා තියෙන්නේ දක්ෂ පිතිකරු යුගලයක් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධනයි.

2006 ජූලි 26 වනදා දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹ SSC ක්‍රීඩා පිටියේ පැවති ටෙස්ට් තරගයේදී 3 වන කඩුල්ල සඳහා සංගක්කාර හා මහේල එකතු වී ගොඩනගන සම්බන්ධතාවය ලකුණු 624ක්. එය දැනට ක්‍රීඩකයෙන් දෙදෙනෙක් ගොඩනගන ලද විශාලතම සම්බන්ධතාවයයි.

මෙම ටෙස්ට් තරගයේදී කුමාර් සංගක්කාර ලකුණු 287ක්ද මහේල ජයවර්ධන ලකුණු 374ක්ද ලබා ගන්නවා. මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගන්නේ ඉනිමකින් හා ලකුණු 153කින්.

ලෝක වාර්තා දෙස බැලීමේදී අතීතයේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් පිහිටවූ විශාල වාර්තා ප්‍රමාණයක් අද වන විට බිඳී ගොස් ඇති බව පෙනී යනවා. නමුත් ඔවුන් විසින් පිහිටවූ එක්දින, ටෙස්ට් හා T20 ලෝක වාර්තා රැසක් අද වනතුරුත් නොබිඳී පවතින බවට දැක්වෙන උදාහරණ කිහිපයක් තමයි ඔබ වෙනුවෙන් ඉහත සටහන් කළේ.

මුලාශ්‍ර – stats.espncricinfo.com, www.espncricinfo.com, wikipedia, cricket-records.com

Related Articles