Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ප්‍රකට සිතුවම් සඳහා පාදක වූ සැබෑ ලෝකයේ සොඳුරු තැන් 6ක්

නෙත් පිනවන සොඳුරු සිතුවමක් තුළට පිය මනින්නට සාමාන්‍ය පුද්ගලයෙකුට අවස්ථාවක් හිමි වන බව පැවසීම හැඟෙන්නේ හුදෙක් ම සුරංගනා කථාන්තරයක් සේ වුව ද ජනාදරයට පාත්‍ර වූ චිත්‍ර ශිල්පීන් විසින් සිතුවමට නඟන ලද ප්‍රකට සිතුවම් සඳහා පාදක වූ ස්ථාන රාශියක් ම ලොව පුරා විසිරී තිබෙනවා. එවැනි ස්ථාන කිහිපයක් ම අමුත්තන් සඳහා විවර ව ඇති බව දැන ගැනීමට ලැබීම, කලා නිර්මාණ රස විඳින්නන්ට ශුභාරංචියක් වන බවට සැකයක් නැහැ. වින්සන්ට් වෑන් ගොෆ්, ග්‍රාන්ට් වුඩ්, සහ ක්ලෝඩ් මොනේ වැනි සිත්තරුන්ගේ තෙලි තුඩට ජීවය දුන්, දකුණු දිග ප්‍රංශයේ කුඩා අවන්හලක සිට ඇමෙරිකා එක්සත් ජනපදයේ අයෝවා ප්‍රාන්තයේ පිහිටි සරල නිවෙසක් දක්වා විහිදෙන, එවැනි සොඳුරු තැන් කිහිපයක් ගැන යි මේ ලිපිය.

වින්සන්ට් වෑන් ගොෆ්ගේ ‘Café Terrace at Night’

(© Public Domain and HANIA News) ‘Café Terrace at Night’ සහ ‘Le Café La Nuit’ අවන්හල

1888 දී ලන්දේසි ජාතික චිත්‍ර ශිල්පියෙකු වූ වින්සන්ට් වෑන් ගොෆ්, දකුණුදිග ප්‍රංශයේ රෝන් ගං ඉවුරේ පිහිටි ආර්ල් නගරයේ සංචාරයක නිරත වී තිබෙනවා. ඔහු විසින් සිතුවම් කරන ලද ප්‍රකට නිර්මාණයක් ලෙස සැලකෙන ‘Café Terrace at Night’ ඔහු විසින් සම්පූර්ණ කර ඇත්තේ එහි දී යි. සැප්තැම්බර් මාසයේ සැඳෑ යාමයක තරු විසිරුණු අහසක් යට පිහිටි දීප්තිමත් අවන්හලක් එහි දැක්වෙනවා. නගර මධ්‍යයේ ඇති ප්ලේස් ඩි ෆෝරම් චතුරස්‍රයේ පිහිටි එය වර්තමානයේ දී හැඳින්වෙන්නේ ‘Le Café La Nuit’ යන නාමයෙන්. සිතුවම අඳින අතරතුර දී තම සොයුරියට ලිපියක් යවමින් වින්සන්ට් වෑන් ගොෆ් ප්‍රකාශ කර ඇත්තේ “ටෙරසයේ ඇති දැවැන්ත කහ පැහැ ලන්තෑරුම මඟින් ටෙරසය පමණක් නොව අවන්හලේ ඉදිරිපස බිත්තිය, පදික වේදිකාව, සහ විදීයේ අතුරා ඇති වටකුරු ගල් පවා ඒකාලෝක වන බව” යි.

පෝල් සෙසාන්ගේ ‘Still Life with Cherub’

(© The Yorck Project සහ Kelly Richman-Abdou) ‘Still Life with Cherub’ සහ බදාම (ප්ලාස්ටර්) යොදාගෙන නිර්මාණය කරන ලද අනංග රුව

ප්‍රංශ ජාතික සිත්තරෙකු වූ පෝල් සෙසාන්, ඔහුගේ නිර්මාණයන් සඳහා පාදක කර ගත්තේ ද සුන්දරත්වයෙන් අනූන දකුණුදිග ප්‍රංශය යි. එක්ස්-එන්-ප්‍රොවොන්ස් නුවර උපන් ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන් ම පාහේ ගත වී ඇත්තේ එහි ම වන අතර, ඔහුගේ කලාකෘති සඳහා විශාල වශයෙන් පාදක වී ඇත්තේ ඔහුගේ ම නිවෙස සහ එහි වටපිටාව බව යි සඳහන් වන්නේ. ඔහු විසින් 1895 දී ‘Still Life with Cherub’ සිතුවම නිර්මාණය කර ඇත්තේ චිත්‍රාගාරයක් බවට පරිවර්තනය කරන ලද පැරණි ගොවි නිවෙසක දී යි. බදාම (ප්ලාස්ටර්) යොදාගෙන නිර්මාණය කරන ලද අනංග රුවක් දැක්වෙන එයට පාදක වූ ප්‍රතිමාව, වර්තමානයේ දී පවා පෝල් සෙසාන්ගේ චිත්‍රාගාරයේ තැන්පත් කර තිබෙනවා.

පෝල් සෙසාන්ගේ ‘Mont Sainte-Victoire’ සිතුවම් මාලාව

(© Wikimedia Commons) ‘Mont Sainte-Victoire’

(© Phil Haber) Sainte-Victoire කඳුවැටිය

1882 – 1906 අතර කාලයේ දී පෝල් සෙසාන් විසින් ‘Mont Sainte-Victoire’ යන නාමය යටතේ කොටස් 30කින් පමණ සමන්විත සිතුවම් මාලාවක් නිර්මාණය කර ඇති අතර, එහි දැක්වෙන්නේ එක්ස්-එන්-ප්‍රොවොන්ස් නුවරට මුහුණලා දකුණු දිග ප්‍රංශයේ පිහිටා ඇති Sainte-Victoire කඳුවැටිය යි. සිතුවම් නිර්මාණයේ දී කඳුවැටිය අධ්‍යයනය කිරීම සඳහා පෝල් සෙසාන් විසින් තෝරා ගන්නා ලද ස්ථානය පිහිටා ඇත්තේ ඔහුගේ චිත්‍රාගාරයේ සිට කෙටි දුරකින්. වර්තමානයේ දී ‘Terrain des Peintres’ හෙවත් ‘සිත්තරාගේ උයන’ ලෙස හඳුන්වනු ලබන එය, ප්‍රකට සංචාරක ආකර්ෂණයක් වන අතර, එයට ළඟා වීම සඳහා ඇති මාර්ගය හඳුන්වන්නේ ‘සෙසාන් මංපෙත’ ලෙස යි.

ක්ලෝඩ් මොනේගේ ‘Water Lilies and Japanese Bridge’

(© Wikimedia Commons) ‘Water Lilies and Japanese Bridge’
(© Chamelle Photography) ජිවර්නි ගම්මානයේ පිහිටි ක්ලෝඩ් මොනේගේ ජපන් මෝස්තරයේ උද්‍යානය

1883 දී ප්‍රංශ ජාතික චිත්‍ර ශිල්පියෙකු වූ ක්ලෝඩ් මොනේ, උතුරුදිග ප්‍රංශයේ පිහිටි ජිවර්නි ගම්මානයේ පදිංචියට පැමිණ ඇති අතර, ඔහුගේ විශිෂ්ටතම නිර්මාණය ලෙස සැලකෙන ජපන් මෝස්තරයේ උද්‍යානය ඔහු නිර්මාණය කර ඇත්තේ එහි දී යි. අලංකාර විලෝ වෘක්ෂයන්ගෙන් සහ වසර පුරා මලින් බර දිය පොකුණකින් යුතු එය, ඔහු විසින් සිතුවම් කරන ලද ‘Water Lilies and Japanese Bridge’ කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කළ බවට සැකයක් නැහැ. වර්තමානයේ දී ජනප්‍රිය සංචාරක ආකාර්ෂණයක් වන ජිවර්නි ගම්මානයේ පිහිටි ක්ලෝඩ් මොනේගේ නිවෙස නැරඹීම සඳහා සෑම වර්ෂකය දී ම සංචාරකයින් 500,000ක් පමණ පැමිණෙන බව යි වාර්තා වන්නේ.

ක්ලෝඩ් මොනේගේ ‘Houses of Parliament’ සිතුවම් මාලාව

(© Wikimedia Commons) ‘Houses of Parliament’
 (© Eric / Flickr) වෙස්ට්මින්ස්ටර් මාළිගය

සොඳුරු ජිවර්නි ගම්මානයේ වාසය කිරීම ක්ලෝඩ් මොනේ කොතරම් ප්‍රිය කළ ඔහු විසින් ඉඳහිට ලන්ඩන් නුවර සංචාරයේ නිතර වී තිබෙනවා. එහි දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව රැස් වන වෙස්ට්මින්ස්ටර් මාළිගය මැනවින් අධ්‍යයනය කළ ඔහු, එය විවිධ කෝණයෙන් දැක්වෙන ආකාරය නිරූපණය වන කොටස් 25කින් යුතු සිතුවම් මාලාවක් නිර්මාණය කර තිබෙනවා. විද්වත් මතය වන්නේ, ක්ලෝඩ් මොනේ විසින් අදාළ සිතුවම් නිර්මාණය කිරීම, තේම්ස් නදී තෙර පිහිටි ශාන්ත තෝමස් රෝහලේ දෙවැනි මහල් ටෙරසයේ සිට සිදුකරන්නට ඇති බව යි. ‘Houses of Parliament’ හි සෑම සිතුවමකින් ම සවස් යාමයේ දී වෙස්ට්මින්ස්ටර් මාළිගයේ සෙවණැල්ල, තේම්ස් නදියට වැටී ඇති ආකාරය දක්වා තිබෙනවා.

ග්‍රාන්ට් වුඩ්ගේ ‘American Gothic’

(© Google Cultural Institute සහ American Gothic House Center) ‘American Gothic’ සහ ‘Dibble House’ නිවෙස

ඇමෙරිකානු ජාතික සිත්තරෙකු වූ ග්‍රාන්ට් වුඩ් විසින් 1930 දී සිතුවම් කරන ලද ‘American Gothic’ සැලකෙන්නේ නූතනත්වයට බර නිර්මාණයක් ලෙස යි. නව-ගොතික් මාදිලියේ කවුළුවක් සහිත සුදු පැහැයෙන් පින්තාරු කරන ලද කුඩා නිවෙසක් ඉදිරිපස සිටගෙන සිටින රළු පෙනුමක් සහිත යුවළකගේ රුවක් එයින් නිරූපණය වෙනවා. අයෝවා ප්‍රාන්තයේ එල්ඩන් නගරයේ පිහිටා ඇති  සිතුවමේ දැක්වෙන නිවෙස හැඳින්වෙන්නේ ‘Dibble House’ නාමයෙන්. 1881 – 1882 කාලයේ දී ගොඩ නංවන ලද එය, 20 වැනි සියවසේ අවසන් කාලය දක්වා පෞද්ගලික නිවෙසක් ලෙස පැවතුණා. 1974 දී එය ඓතිහාසික ස්ථාන සඳහා වන ජාතික ලැයිස්තුවට ඇතුළත් කර ඇති අතර, 1991 දී එහි අයිතිකරුවන් විසින් එය අයෝවා ප්‍රාන්තයේ ඉතිහාස සංගමයට පරිත්‍යාග කර තිබෙනවා.

කවරයේ පින්තූරය: © Liesl Walsh Photography

Related Articles