Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නත්තල් සීයාගේ පුංචි උදව්කාරයෝ

නත්තල් සීයා ගැන රසවත් කථාන්තර ඇතුළත් ජනප්‍රවාදයන් රැසක උත්තර ධ්‍රැවයේ පිහිටි නත්තල් සීයාගේ වැඩපොළේ සේවය කරන උල් වූ කන් සහ මායාවී බලයන් සහිත ‘පිසාචයින්’ පිළිබඳ ව සඳහන් වෙනවා. මිථ්‍යා සාහිත්‍යයේ දැක්වෙන්නේ ප්‍රමාණයෙන් කුඩා පිසාචයින්ට, සුරඟනන්ට මෙන් ම තමන්ගේ හැඩරුව වෙනස් කළ හැකි බව යි. ප්‍රකට ඉංග්‍රීසි නාට්‍ය රචක සහ කිවිවර විලියම් ශේක්ස්පියර්, ඔහුගේ නිර්මාණයන් හි මල්වල වාසය කරන පියාපත් සහිත කුඩා ජීවීන් විශේෂයක් ලෙස පිසාචයින් විස්තර කර තිබෙනවා. ඉංග්‍රීසි පුරාවෘත්තයන්ට අනුව කාන්තා පිසාචයින් සොඳුරු යෞවනියන් වුව ද, පිරිමි පිසාචයින් විස්තර කර ඇත්තේ වයස්ගත පුද්ගලයන් ලෙස යි. එසේ ම ඔවුන් වනාන්තර, ඕවිටි, හෝ කුහර සහිත රුක් කඳන් හි රාජ්‍යයන් නිර්මාණය කරගෙන වාසය කරනවා.

(© John George Naish) විලියම් ශේක්ස්පියර්ගේ නිර්මාණයන් හි දැක්වෙන මල්වල වාසය කරන පිසාචයින්

පිසාචයින් පිළිබඳ මුල් වරට තොරතුරු හමුවන්නේ පුරාණ නෝර්වීජියානු මිථ්‍යා සාහිත්‍යයෙන්. 16 වැනි සියවස වන විට සුරඟනන් හා සබැඳි පුරාවෘත්තයන් සමග පිසාචයින් ගැන පැවසෙන කථාන්තරයන් මුසු කර ඇති අතර, 19 වැනි සියවස වන විට බොහෝ දෙනෙකු සුරඟනන් සහ පිසාචයින් සලකන ලද්දේ වෙනස් නාමයන් හඳුන්වනු ලබන එක ම මායාවී සත්ත්ව කොට්ඨාසයක් ලෙස යි. කාලය ගත වන විට විහිළු සහ දඟකාරකම් ප්‍රිය කරන සත්ත්ව කොට්ඨාසයක් ලෙස පිසාචයින් නමක් දිනා ගත් අතර, එදිනෙදා ජීවිතයේ සිදුවන පැහැදිලි කළ නොහැකි සිදුවීම් සඳහා පිසාචයින් මත වරද පැටවීමට මිනිසුන් කටයුතු කර තිබෙනවා. එසේ ම ඔවුන් කෝප ගන්වන පුද්ගලයින්ගෙන් දරුණු ලෙස පළිගැනීමට පිසාචයින් කටයුතු කරන බව යි බොහෝ දෙනෙකුගේ විශ්වාසය වන්නේ.

නත්තල් සීයාට උපකාර කරන පුංචි උදව්කාරයෝ

(© Santova Dílna) නත්තල් සීයාගේ වැඩපොළේ සේවය කරන පිසාචයින්

නූතන නත්තල් ජනශ්‍රැතීන්ට අනුව නත්තල් දිනයේ ලොව පුරා දරුවන්ට තෑගි බෙදා දීමේ නිරත වන නත්තල් සීයා, වසරේ ඉතුරු දින සියල්ල ම ගත කරන්නේ උත්තර ධ්‍රැවයේ පිහිටි ඔහුගේ සෙල්ලම් බඩු වැඩපොළේ යි. සෙල්ලම් බඩු නිර්මාණය සඳහා ඔහුට උපකාර කරන පිසාචයින් කණ්ඩායමක් උත්තර ධ්‍රැවයේ වාසය කරන බව යි නත්තල් කථාන්තරයන් හි සඳහන් වන්නේ. කෙසේ වුව ද, ඉතිහාසඥයින් පෙන්වා දෙන්නේ නත්තල් සීයාගේ උදව්කාරයින් ලෙස පිසාචයින් මිථ්‍යා සාහිත්‍යයට එක් වීම සිදු වී ඇත්තේ අතිශය මෑතක දී බව යි.

1822 දී ක්ලෙමන්ට් ක්ලාක් මුවර් විසින් රචිත ‘The Night Before Christmas’ නම් කාව්‍ය පන්තියේ නත්තල් සීයා ව විස්තර කර ඇත්තේ ‘විනෝදකාමී සහ වයස්ගත පිසාචයෙක්’ ලෙස යි. එයට අමතර ව 1857 දී ‘Harper’s Weekly’ සඟරාවේ පළ කරන ලද ‘The Wonders of Santa Claus’ කවි පෙළේ කේක්, රසකැවිලි සහ සෙල්ලම් බඩු නිර්මාණය කිරීම, සහ කුඩා දරුවන්ගේ නත්තල් මේස් පිරවීමට උදව් කිරීම සඳහා පිසාචයින් රැසක් නත්තල් සීයා විසින් සේවයේ යොදවා ඇති බව සඳහන් වෙනවා. මෙවැනි නිර්මාණයන් මත පදනම් වූ නත්තල් සීයාගේ වැඩපොළ දැක්වෙන සිතුවම් ද 19 වැනි සියවසේ මැද භාගයේ දී බටහිර රාජ්‍යයන් හි ජනප්‍රිය වුණා.

(© The Yule Log 365) ‘Godey’s Lady’s Book’ සඟරාවේ නත්තල් කලාපයේ ‘The Workshop of Santa Claus’ යන මාතෘකාව යටතේ පළ වූ සිතුවම

1873 දී ‘Godey’s Lady’s Book’ නම් ඇමෙරිකානු සඟරාවේ නත්තල් කලාපයේ ‘The Workshop of Santa Claus’ යන මාතෘකාව යටතේ සෙල්ලම් බඩු සහ පිසාචයින් පිරිවරා ගත් නත්තල් සීයාගේ සිතුවමක් පළ කර ඇති අතර, ඇතැම් විද්වතුන්ගේ මතය වන්නේ නත්තල් සීයා විසින් සෙල්ලම් බඩු නිර්මාණයේ යෙදී සිටින පිසාචයින් පාලනය කිරීම දැක්වෙන සිතුවම්, පහළ වැටුපකට සංක්‍රමණික කම්කරුවන්ගේ ශ්‍රමය සූරා කන ඇමෙරිකානු ධනවාදයේ අඳුරු පැතිකඩ ආවරණය කිරීම ගන්නා ලද උත්සාහයක් බව යි.

සැඟ වී වාසය කරන අයිස්ලන්තයේ පිසාචයින්

(© George Pearson) අයිස්ලන්ත ජනශ්‍රැතියේ සඳහන් ‘සැඟවුණු මිනිසුන්’

වර්තමානයේ දී නාට්‍ය, සුරංගනා කථාන්තර, සහ පුරාවෘත්තයන්ට පමණක් පිසාචයින් සීමා වී පැවතුණ ද සියවස් කිහිපයක පෙර කුඩා දරුවන් මෙන් ම වැඩිහිටියන් ද සුරඟනන් සහ පිසාචයින් සත්‍ය වශයෙන් ම වාසය කරන බව විශ්වාස කර තිබෙනවා. තවමත් අයිස්ලන්ත වැසියන් විශ්වාස කරන්නේ පිසාචයින් හා සමාන ‘huldufolk’ හෙවත් ‘සැඟවුණු මිනිසුන්’ වාසය කරන බව යි. අයිස්ලන්ත මිථ්‍යා සාහිත්‍යයට අනුව ලොව ප්‍රථම කාන්තාව වන ඊව්, පෘථිවියේ සංචාරයක් සඳහා දෙවියන් පැමිණි අවස්ථාවක දී කිළිටි වී සිටි ඇගේ දරුවන් ව දෙවියන්ගෙන් සඟවා, ඔවුන්ගේ පැවැත්ම දෙවියන්ගෙන් සඟවා තිබෙනවා. ඇගේ වංක බව ගැන දැනගත් දෙවියන් ප්‍රකාශ කර ඇත්තේ ‘මිනිසා දෙවියන්ගෙන් සඟවන දෑ, දෙවියන් විසින් මිනිසාගෙන් සඟවන බව’ යි. ඒ අනුව සඟවන ලද ඊව්ගේ දරුවන් ‘සැඟවුණු මිනිසුන්’ බවට පත් ව විශාල ගල් පර්වතයන් හි නිවෙස් තනාගෙන වාසය කරනවා.

පිසාචයින් පිළිබඳ ව අයිස්ලන්ත වැසියන් තුළ ඇති විශ්වාසය කොපමණ ද කිවහොත් පිසාචයින්ගේ වාසස්ථාන ඉවත් කළ නොහැකි නිසා කල් දමන ලද මාර්ග ඉදිකිරීම් ව්‍යාපෘති ගණනාවක් පිළිබඳ ව අයිස්ලන්තයෙන් වාර්තා වෙනවා. 2012 දී අයිස්ලන්තය මඟින් බලාත්මක කරන ලද ලිඛිත නීතීන් හි සඳහන් වන්නේ, මායාවී බලයන් ඇති බව සැලකෙන හෝ පුරාවෘත්තයන් හෝ සිරිත් විරිත් හා සබැඳි සියලු ම ස්ථාන අයිස්ලන්ත සංස්කෘතියේ අංගයක් ලෙස සලකා ආරක්ෂා කළ යුතු බව යි.

(© Nova Akropola) Nils Blommér විසින් අඳින ලද ‘Meadow Elves’ නම් සිතුවම

නූතන සාහිත්‍යයේ එන පිසාච කථාන්තර

පුරාණ ජනප්‍රවාදයන් හි පමණක් නොව නූතන සාහිත්‍ය නිර්මාණයන් හි පවා පිසාචයින් හමුවෙනවා. ඉංග්‍රීසි ලේඛක ජේ. ආර්. ආර්. ටොල්කීන් විසින් රචනා කරන ලද ‘The Lord of the Rings’ පොත් පෙළ සහ ඒ මත පදනම් ව නිර්මාණය කරන ලද චිත්‍රපට ත්‍රිත්වයේ පිසාචයින් දක්වා ඇත්තේ ප්‍රමාණයෙන් මිනිසුන්ට සමාන වන දිව්‍යමය ශරීර ලක්ෂණ සහිත ශෝභන සත්ත්ව කොට්ඨාසයක් ලෙස යි. අමරණීය නොවුණ ද එහි දැක්වෙන පිසාචයින් දිගු කාලයක් ජීවත් වන අතර, ජේ. ආර්. ආර්. ටොල්කීන් විසින් ඔහුගේ නිර්මාණයන් හි දැක්වෙන පිසාචයින් විශාල වශයෙන් ස්කැන්ඩිනේවියානු පුරාවෘත්තයන් මත පදනම් කරගෙන තිබෙනවා.

(© Screen Rant) ‘The Lord of the Rings’ චිත්‍රපට මාලාවේ දැක්වෙන පිසාචයින්

ජේ. කේ. රෝලිං විසින් නිර්මාණය කරන ලද ‘Harry Potter’ කථාන්තරයන් හි හමුවන පිසාචයින්, ඔවුන්ගේ ස්වාමියා වෙත දැඩි පක්ෂපාතී බවක් දක්වන ප්‍රමාණයෙන් කුඩා, වවුලන්ගේ හා සමාන කන් සහ මුඩු හිස් සහිත, අවලස්සන මායාවී සත්ත්ව කොට්ඨාසයක්. වහල් සේවයේ යෙදෙන ඔවුන්ට, මායා යෂ්ටි භාවිතා නොකර බලගතු ඉන්ද්‍රජාල සිදුකළ හැකි බව යි සඳහන් වන්නේ.

කවරයේ පින්තූරය: © Pinterest

Related Articles