Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කාන්තාවන් වශී කරගැනීමට පුරුෂයන් රංගනයෙහි යෙදෙන අපූරු ගෝත්‍රික චාරිත්‍රයක්

ඕනෑම සමාජයක කාන්තාවන්ගේ සුන්දරත්වය නිබඳ ව අගය කිරීමට ලක් වෙනවා. පුරුෂයෙකුගේ හිත පහසුවෙන් දිනාගැනීමට කාන්තාවක් සතු අගනා ම ආභරණය ඇගේ රූප සම්පත්තිය යි. අතීතයේ පටන්ම රංග පීඨයන් තුළ කාන්තාවන්ට හිමි වූයේ අතිශයින් වැදගත් ස්ථානයක්. ඕනෑම රාජ සභාවක විවිධ ආභරණයන්ගෙන් සැරසුණු කාන්තාවන්ගේ නර්තනයන්  නොමඳ ඇගයීමට ලක් වුණා. සතුටු පඬුරු ලැබීමට පවා හේතුවක් වුණා. කෙසේ නමුත් ලොව විසිරී පවත්නා විවිධත්වයෙන් යුත් ජාතීන් අතර පිළිගත් සම්මතයෙන් පිටස්තර ව ක්‍රියාත්මක වන අපූරු චාරිත්‍ර විධි ගණනාවක් දැකගැනීමට පුළුවන්. බටහිර අප්‍රිකාවේ නයිජර් හි වුඩාබ් ගෝත්‍රිකයන් අතර පවත්නා අපූරු චාරිත්‍රයක් විසින් පිරිමින්ට අලංකාර වීමට අවස්ථාව සලසා තිබෙනවා.

උත්සවයට සැරසුණු පිරිමින් (albertonrecord.co.za)

මෙම ගෝත්‍රයේ පුරුෂයන් විශ්වාස කරන්නේ ඔවුන් කාන්තාවන්ට වඩා රූපයෙන් අනූන බව යි. තමන් අතිශයින් කඩවසම් පිරිසක් බවට ආඩම්බරයෙන් සිතන ඔවුන් තමන් යන යන තැන කැඩපතක් රැගෙන යාමට කිසිවිටෙක අමතක කරන්නේ නැහැ. මෙකී ගෝත්‍රය තුළ ක්‍රියාත්මක වන විවාහය නමැති බන්ධනය අතිශය නිදහස් ගිවිසුමක්. මෙකී ගෝත්‍රිකයන් ඉතා බාල අවදියෙහි පටන් විවාහප්‍රාප්ත වීම සිදුකරනවා. ස්ථිර ව විවාහයකට ඇතුළත් වීමට පෙර තමන් කැමති ප්‍රමාණයක් පුරුෂයන් සමඟ ලිංගිකව හැසිරීමේ නිදහස මෙම ගෝත්‍රය විසින් එකී ගෝත්‍රයේ කාන්තාවන් වෙත පිරිනමා තිබෙනවා. මෙම ගෝත්‍රය තුළ වසරකට වතාවක් අපූරු චාරිත්‍රයක් පැවැත්වෙනවා. එහෙත් එකී උත්සවය පැවැත්වෙන්නේ කාන්තාවන්ගේ හැකියාවන් ඉදිරිපත් කිරීම සඳහා නම් නොවෙයි.

උත්සවයට සැරසුණු පිරිමි (lolamagazin.com)

Gerewol යන නමින් හැඳින්වෙන එකී උත්සවයේ දී වැදගත් ම පාර්ශවය වන්නේ පුරුෂ පාර්ශවය යි. එදිනට එම ගෝත්‍රයේ සවි ශක්තියෙන් යුත් සියලුම වැඩිහිටි පිරිමි, ඉතා විචිත්‍රවත් ව සැරසී කාන්තාවන් ඉදිරියේ රංගනයෙහි නිරත වීම සිදුකරනවා. ඔවුන් මෙසේ රංගනයෙහි සහ නර්තනයෙහි නිරත වීමට ප්‍රථම, ස්වභාවික වර්ණයන්ගෙන් සිය ශරීරයන් සහ මුහුණු සරසා ගන්නවා. ඊට අමතර ව ඔවුන් සත්ත්වයන්ගේ ශරීර කොටස්වලින් (ඔපමට්ටම් කරන ලදුව ආභරණ විලාසයෙන් හැඩතලවලට කපන ලද ඇට කැබලි ආදිය) මෙන්ම කුරුලු පිහාටු යනාදියෙන් ද සැරසෙනවා. සැබැවින් ම මෙහි දක්නට ඇත්තේ සංදර්ශනයක ස්වරූපයක්. මෙහි දී පුරුෂයන් විවිධ ස්වරූපයෙන්, විචිත්‍රත්වයෙන් යුක්ත ව සැරසෙන්නේ වෙනත් පුද්ගලයන්ගේ බිරින්දෑවරුන් තමන් වෙත ආකර්ෂණය කරගැනීමේ අපේක්ෂාවෙන්.

කැඩපත්වලින් බලමින් සැරසෙන ආකාරය (DNB Stories)

මෙකී සංස්කෘතිය තුළ විශ්වාස කෙරෙන්නේ සුන්දරත්වය මැනීමේ මිම්ම නම් නාසයෙහි පවත්නා සෘජු ස්වභාවයත්, දත්වල පවත්නා පිරිසිදු සුදු පැහැති වර්ණයත් වන බව යි. මෙකී සුන්දරත්වයේ නිර්ණායකයන් සිහියේ තබාගනිමින් ඒවාට ප්‍රමුඛත්වය ලබාදෙමින් උත්සවය සඳහා සැරසීමට සෑම පිරිමියෙක් ම වගබලා ගන්නවා. මෙම උත්සවය ආරම්භ වීමට ප්‍රථම ඊට සූදානම් වීම සඳහා පිරිමින් පැය හයක පමණ කාලයක් ගත කරනවා. උත්සවය ආරම්භ වීමෙන් පසු ව ඔවුන් ඉතා අලංකාර ව නර්තනයෙහි යෙදීම ආරම්භ කරනවා. සූර්යාලෝකය මධ්‍යයේ රතු මැටි පස්වලින් සායම් කරන ලද ඔවුන්ගේ මුහුණු දිස්නය දීමට පටන් ගන්නවා. ඔවුන්ගේ ඇස් වඩාත් සුදු පැහැයෙන් දිස්වීම සඳහා ඇස් වටා රසඳුන් තැවරීම සිදු කරනු ලබනවා. දත් පෙළ තවත් සුදු පැහැයෙන් දිස්වීම සඳහා තොල් ආලේපන තැවරීම ද මෙකී උත්සවයට සහභාගී වන පිරිමින් විසින් සිදුකරයි.

කාන්තාවන් මෙම පිරිමින්ට වශී වන ආකාරය (Daily Mail)

තමන්ව වඩාත් උසට දිස් වීම සඳහා තම හිසේ සුදු පැස්බර පිහාටු පැළඳීම ද මෙම උත්සවයට සහභාගී වන පිරිමින් සිදුකරයි. උත්සවය අතරතුර කවාකාරයට පෙළ ගැසෙමින් පිරිමින් නර්තනයෙහි යෙ‍දෙන විට ඔවුන්ව විනිශ්චය කිරීම සඳහා ‍ගෝත්‍රයෙහි රූමත් ම කාන්තාවන් තිදෙනෙකු පත් කෙරෙනවා. දැනටමත් විවාපත් වී සිටින සෙසු කාන්තාවන්, එනම් රංගනයෙහි නිරත වන ස්වාමිපුරුෂයන්ගේ භාර්යාවන් සිය දෙවන සැමියා තෝරාගැනීමේ අදහසින් වඩාත් විමසිලිමත් ව රංගනය දෙස බලා හිඳිමින් ඔවුන් කැමති පිරිමියාට වඩා හොඳින් රංගනයෙහි නිරත වීමට උ‍ද්යෝගය ලබාදෙනවා. එමෙන්ම තමා තුළ ඔහුට පවත්නා කැමැත්ත එසේ ඔල්වරසන් නැගීම තුළින් පෙන්නුම් කරනවා. කිසියම් වූ පුරුෂයෙක් තම හැකියාව එසේ පෙන්වා කාන්තාවක දිනා ගතහොත් එකී එක්වීම එම ගෝත්‍රික සමාජය තුළ අනුමත කෙරෙනවා.

මෙම ගෝත්‍රික සමාජය බහු විවාහය (එක් අයෙකුට වඩා විවාහ කරගැනීම) අනුමත කරනවා. කෙසේ නමුත් තම භාර්යාවන්ගේ සිත් වෙනත් පිරිමින් විසින් සොරාගනු ඇතැ යි බියට පත්වන ඇතැම් ස්වාමිපුරුෂයන්, සිය භාර්යාවන්ට මෙකී උත්සවය සඳහා සහභාගි වීමට ඉඩ ලබාදෙන්නේ නැහැ.

කවරයේ පින්තූරය: Pinterest.com

මූලාශ්‍රයයන්:

The Wodaabe Wife Stealing Festival, guardian.ng

The Wodaabe’s Age-Old Wife-Stealing Ceremony, face2faceafrica.com

The Wodaabe wife-stealing festival where men dress up to take each other’s women, dailymail.co.uk

The male beauty contest judged by women, bbc.com

Have You Heard About The Wodaabe Wife Stealing Festival In Niger?, africanexponent.com

Wodaabe Wife Stealing (flirtation) Festivals, lianaquiones.atavist.com

Related Articles