ආසියාවේ නොබෙල් ත්‍යාගය ලෙස හඳුන්වන්නේ රමෝන් මැග්සේසේ සම්මානය යි. එය පිලිපීනයේ හිටපු ජනාධිපතිවරයෙක් වන රමෝන් මැග්සේසේ සිහිවීම පිණිස එම පදනම හා පිලිපීන රජය විසින් ලබාදෙන සම්මානයක් ලෙස මෙය හඳුන්වා දෙන්න පුළුවන්.
මැග්සේසේ සම්මානය ලබා ගැනීමට ආසියාතික රටක් නියෝජනය කරන ඕනෑම ජාතිකයෙකුට හැකියාව තිබෙනවා. ඒ වගේ ම ආසියාවේ සේවය කරන අන්‍ය ජාතිකයන්ට ද මේ සම්මානය හිමිකර ගැනීමට බාධාවක් නෑ.
එය 1957 වසරේ දී ආරම්භ කරන අතර, 1958 සිට මේ වන තුරු වාර්ෂික ව සම්මාන ලබාදීමේ කටයුත්ත සිදුවෙනවා. එය ආසියාවේ විශාලතම සම්මාන උළෙල ලෙස ද හැඳින්විය හැකි යි.
මැග්සේසේ සම්මානය අංශ 5ක් ඔස්සේ ප්‍රදානය කළ අතර, 2008 වසරේ සිට එය ප්‍රදානය කරන්නේ නව අංශ දෙකකට පමණ යි. පැරණි අංශ 5 කමිටුව විසින් නවත්වා තිබෙනවා.
පිලිපීන ජනාධිපතිවරයා සිහිවීම පිණිස පිදෙන සම්මානය
රමෝන් මැග්සේසේ ලෙස හඳුන්වන්නේ පිලිපීනයේ හිටපු ජනාධිපතිවරයෙක්. ඔහු දෙවන ලෝක යුධ සමයේ පිලිපීන හමුදාවට එකතු වෙන්නේ කනිෂ්ඨ නිලධාරියෙක් ලෙස යි. වසර තුනකින් පසු ඔහු හමුදාවේ කපිතාන්වරයෙක් දක්වා උසස්වීම් ලබනවා.
දෙවන ලෝක යුද්ධයෙන් පසුව Zambales පළාතේ යුද ආණ්ඩුකාරවරයා ලෙස සේවය කරන ඔහු, ඉන්පසු ව එරට ජාතික ආරක්ෂක ලේකම් ධූරයට පත්වෙනවා. 1953 වසරේ දෙසැම්බර් 30 වන දා එරට ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙනවා. ස්පාඤ්ඤ කොළනි යුගයෙන් පසු එරට ඉපදුණු පළමු ජනාධිපතිවරයා ලෙස රමෝන් ව නම් කළ හැකි යි.
1957 වසරේ මාර්තු 17 වන දා පිලිපීනයේ දී සිදු වූ ගුවන් අනතුරක් හේතුවෙන් රමෝන් මැග්සේසේ මරණයට පත්වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් උදෙසා කටයුතු කළ ඔහු අනුස්මරණය පිණිස සම්මාන ප්‍රදානයක් සිදුකිරීම මරණයෙන් පසුව ආරම්භ කරනවා. ඒ 1957 වසරේ අප්‍රේල් මාසයේ දී යි.
අංශ පහක් ඔස්සේ සම්මාන ප්‍රදානය
1958 වසර සඳහා සම්මාන ප්‍රදානය කිරීමේ දී අංශ පහක් ඔස්සේ ප්‍රදානය කිරීමට එම භාරකාර අරමුදල තීරණය කරනවා. ඒ රාජ්‍ය සේවය, සාමාජ නායකත්වය, මාධ්‍ය, සාහිත්‍ය, හා අනෙකුත් නිර්මාණාත්මක කලාව, මහජන සේවය, හා සාමය ලෙස යි.
1958 වසරේ පැවැත්වෙන පළමු සම්මාන ප්‍රදාන උළෙලේ දී රාජ්‍ය සේවය හැර අනෙකුත් අංශ හතරට සම්මාන ප්‍රදානය කිරීම සිදුකරනවා.
පොදු මහජන සේවය සඳහා 1958 වසරේ දී ප්‍රදානය කළ පළමු මැග්සෙස් සම්මානය දිනා ගැනීමට ලාංකිකයන් වෙනුවෙන් වසර 62ක් පුරාවට සේවය කළ වෛද්‍යවරියක් සමත් වෙනවා. ඒ වෛද්‍ය මේරි රත්නම්. කැනඩාවේ උපත ලබා තරුණ වියේ දී ලංකාවට පැමිණි ඇය, කොළඹ හා යාපනය ප්‍රදේශයන් හි රෝහල්වල සේවය කරනවා. ඇය, කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක් ලෙස මෙරටට ඉමහත් සේවයක් කළ කාන්තාවක්.
සමාජ නායකත්වය වෙනුවෙන් සම්මානය ලබා ගන්නේ ඉන්දියාවේ විනෝබා බාවේ යි. මාධ්‍ය, සාහිත්‍ය, හා අනෙකුත් නිර්මාණාත්මක කලාවන් වෙනුවෙන් වෙන් වූ සම්මානය ලබා ගන්නේ පිලිපීනයේ වාසය කළ බ්‍රිතාන්‍ය ජාතික සංගීතවේදියෙකු හා කතුවරයෙක් වන රොබර්ට් ඩික්.
සාමය සඳහා වූ මැග්සෙස් සම්මානය ලබා ගන්නේ එවකට සහාන සේවා සංවිධානයක් ලෙස ස්ථාපනය වී තිබූ ඔපරේෂන් බ්‍රදර්හූඩ් නම් සංවිධානය යි. එම සමයේ වියට්නාමයේ ඇති වී තිබූ යුද්ධය හේතුවෙන් සරණාගතයන් බවට පත් වූ මියන්මාර් ජාතිකයන් දහස් ගණනකට උදව් කරන්නේ මෙම සංවිධානය යි.
පැරණි පහ වෙනුවට අලුත් දෙකක්
1958 වසරේ සිට 2008 වසර වන තුරු මෙම අංශ පහ ඔස්සේ සම්මාන ප්‍රධාන කිරීමට මැග්සේසේ සම්මාන කමිටුව කටයුතු කරනවා. මීට අමතර ව 2001 වසරේ දී නැඟී එන නායකත්වය නමින් තවත් සම්මාන අංශයක් මේ සඳහා එකතු කරනවා.
පැරණි අංශ පහ ඔස්සේ අවසන් වතාවට 2008 වසරේ දී සම්මාන ප්‍රදානය කරන අතර, 2009 වසරේ එම අංශ පහ සම්මාන ප්‍රධාන උත්සවයෙන් ඉවත් කිරීමට කමිටුව තීරණය කරනවා. 2009 වසරේ තව එක් අංශයක් අලුතෙන් හඳුන්වා දෙන අතර, එය නම් වන්නේ “අංශයක් නිර්ණය නොකළ” නමින්. 2016 වසරෙන් පසුව නැඟී එන නායකත්වය වෙනුවෙන් ද සම්මාන ප්‍රධාන වීමක් සිදු වී නෑ.
ඒ අනුව වර්තමානය වන විට මැග්සේසේ සම්මානය එක් අංශයක් ඔස්සේ පමණක් වාර්ෂික ව පිරිනමනු ලබනවා.
රමෝන් මැග්සේසේ දිනාගත් ලාංකිකයෝ
2008 වසරේ දී ආනන්ද ගලප්පති විසින් නැඟී එන නායකත්වය වෙනුවෙන් වෙන් වූ අංශයේ මැග්සේසේ සම්මානය ලබා ගන්නවා.
සාමාජ නායකත්වය වෙනුවෙන් 1969 වසරේ දී මෙරට සර්වෝදය ව්‍යාපාරයේ පෙරගමන්කරු අහංගමගේ ටියුඩර් ආරියරත්න මැග්සේසේ සම්මානය ලබා ගන්නවා.
1959 වසරේ දී මාධ්‍යවේදී ටාසි විටාචි විසින් එම අංශයට අදාළ මැග්සේසේ සම්මානය හිමිකර ගන්නවා. පසුව, කලාව වෙනුවෙන් චිත්‍ර ශිල්පී එල්.ටී.පී. මංජු ශ්‍රී, මර්සලීන් ජයකොඩි පියතුමා, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්, හා සංගීතවේදී ඩබ්ලිව්.ඩී. අමරදේවයන් මැග්සේසේ සම්මානය හිමිකර ගන්නවා.
2017 වසරේ දී “අංශයක් නිර්ණය නොකළ” අංශයෙන් මැග්සේසේ සම්මානය ලබා ගැනීමට ගුරුවරියක වන ගෙත්සි ෂන්මුගම් සමත් වෙනවා. ඒ යුද්ධයෙන් අවධානමට පත් වූ කාන්තාවන් හා ළමයින්ගේ සුබසාධනය වෙනුවෙන් කරන ලද ආදර්ශමත් කාර්යයන් හා කැපකිරීම් හේතු කරගෙන යි.