Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ෆ්ලොරීඩාහි දාම ඝාතක කත – අයිලීන් වුර්නොස්

2002 වසරේ දී ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩා ප්‍රාන්තය වසර 25ක ඉතිහාසය තුළ දසවන වතාවට කාන්තාවක් අරබයා මරණ දඬුවම ක්‍රියාත්මක කළා. ඒ 1976 වසරේ දී එම ප්‍රාන්තයේ මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කිරීමට පටන්ගත් පසු යි. මෙම දඬුවමට යටත් වූයේ අයිලීන් වුර්නොස් නම් කාන්තාව යි. අභිසාරිකාවක් ලෙස කාලයක් කටයුතු කළ ඇයට එරෙහිව නැගුණු චෝදනා වූයේ 1989 – 1990 අතර කාලයේ දී මිනිසුන් සත් දෙනෙකු ඝාතනය කිරීම යි.

වුර්නොස්ගේ අඳුරු සමාජ පසුබිම

අයිලීන් වුර්නොස්ගේ ජීවිත කතාව අළලා පසුකාලීනව සිනමාපට වැනි දෑ ද බිහිවුණා. මේවායින් ලෝකයාට අනාවරණය වූයේ යමෙක් සිය මුල් ළමාවියේ දී මුහුණපාන ගැටළු නිසා ඔහුගේ හෝ ඇයගේ ඉදිරි ජීවිතය හැඩගැසෙන්නේ කෙසේ ද යන්න යි.

ළමා වියේ ලත් අත්දැකීම් නිසා යමෙකු දාම ඝාතකයෙකු බවට පත්වන්නේ යැයි කිසිවෙක් තර්ක කරයි නම්, අයිලීන් වුර්නොස් ඊට සැපයිය හැකි හොඳම උදාහරණයක් වෙනවා. වුර්නොස් කුඩා කාලයේ දීම ගණිකා වෘත්තියේ යොදවා ඇති අතර දුම්වැටි ජාවාරම්වලට සම්බන්ධ වී ඇත්තේ 11 වියැතිව සිටිය දී යි. මේ සියල්ලටම බලපා තිබුණේ ඇය ජීවත් වූ සමාජය යි.

අයිලීන් කුඩා කළ- Oxygen

කම්කටොළු පිරි අයිලීන්ගේ කුඩා කාලය

අයිලීන් වුර්නොස්ට කිසිසේත්ම යහපත් කුඩා කාලයක් තිබුණේ නැහැ. 1956 වසරේ පෙබරවාරි මස 29 වන දා මිචිගන් හි උපන් ඇයගේ, පියා ලිංගික අපචාරකයෙකු වූ අතර වැඩිපුරම සිටියේ සිරගතව යි. අයිලීන් 13 වියැති වන විට ඔහු සිරකුටිය තුළම සියදිවි නසාගන්නවා. ෆින්ලන්ත සම්භවයක් තිබූ ඇයගේ මව ඒ වන විටත් ඇය අතැර ගොස් තිබූ අතර කුඩා අයිලීන් හැදී වැඩුණේ පියාගේ දෙමව්පියන් සමග යි.

අයිලීන්ගේ මිත්තණිය ඇයට යම් කරුණාවක් දැක්වූවත් ඇයගේ අවාසනාවට පියා මියගොස් වසරක් ගතවීමටත් මත්තෙන් මිත්තණිය අක්මාවේ ඇති වූ ආබාධයක් හේතුවෙන් මියයනවා. අයිලීන්ගේ සීයා සිය බිරියට වඩා වෙනස් අයෙකු වූ අතර, කුඩා අයිලීන්ව නිතරම සිය ලිංගික අවශ්‍යතා සඳහා යොදාගන්නවා. මීට අමතරව ඔහු විසින් ඇයට ශාරීරික අඩන්තේට්ටම් ද සිදුකරන්නට යෙදුණා.

අයිලීන්ට 15 විය එළැඹෙන විටම ඇයට සිය පාසල් ගමන අතරමඟ නැවැත්වීමට සිදුවෙනවා. ඒ, ඇගේ සීයාගේ මිතුරෙක් නිසා ඇය ගැබ්බර වීමත් සමග යි. මේ තදාසන්නව සීයා ද ඇය ඇතැර යන අතර ඇයට ජීවත්වන්නට කිසිදු මඟක් නොමැති වෙනවා. මාස කිහිපයකට පසුව ඇයට පුත්‍රයෙකු ලැබෙන අතර, ඇය ඔහු හදාවඩා ගැනීමට යුවලකට භාර දී ගණිකා වෘත්තියේ නිරතවන්නට පටන්ගන්නේ සිය මූලික අවශ්‍යතා සරිකර ගැනීමට වත් මුදල් හදල් ඇය අත නොතිබූ නිසාවෙනුයි.

විවාහය

තරුණ අයිලීන්- Youtube

වසර කිහිපයක් ගණිකා වෘත්තියෙහි නිරත වූ අයිලීන්ට නිතරම ඉන් මිදීමට අවශ්‍යතාවය තිබුණා. විසි වන වියෙහි දී ෆ්ලොරීඩා ප්‍රාන්තයට සංක්‍රමණය වන ඇයට ලුවිස් ෆෙල් නම් ධනවතා මුණගැසෙන අතර 69 වියැති ඔහු ඇය විවාහ කරගැනීමට තීරණය කරගැනීමත් සමග අයිලීන්ගේ දිවිය හොඳ අතට යොමුවන බවක් පෙනෙන්නට තිබුණා.

විවාහයෙන් කෙටි කලක් ගතවෙද්දීම දෙමාල්ලන් අතර ගැටළු උද්ගත වෙන්නට පටන්ගත්තා. සිය දිවියේ මුල්කාලීනව මුහුණදුන් ගැටළු නිසා අයිලීන් තද සිතැති, නිතර ආරවුල් ඇතිකර ගන්නා ගැහැණියක බවට පත්ව තිබූ අතර මත්පැන් පානයට ද ඇබ්බැහිව සිටියා. නිතර සමාජශාලාවලට ගිය ඇය එහිදී ආරවුල් රාශියක් ඇතිකරගත් අතර අවසන ෆෙල්ට ද පහරදෙන්නට පටන්ගත්තා. මෙහි ප්‍රතිඵලය වූයේ ඇයගේ විවාහය බිඳවැටීම හා ෆෙල්ගේ පරිශ්‍රය ඇයට තහනම් කලාපයක් වීම යි. නැවතත් සියල්ල අහිමි වූ ඇය මිචිගන් බලා යනවා.

අයිලීන් හා ලුවිස් ෆෙල්- NoiseBreak

හදිසියේ පෑදුණු වාසනාව හා නැවත ෆ්ලොරීඩාවට පැමිණීම

නැවත මිචිගන් ප්‍රාන්තයට පැමිණි පසු ඇයට හදිසියේම විශාල මුදලක් ලැබෙනවා. ඒ ඇමෙරිකානු ඩොලර් 10,000ක්. අයිලීන්ගේ සොයුරා හදිසියේ මියයන අතර ඔහුගේ රක්ෂණාවරණ මුදල ඇයට මෙලෙස ලැබෙන අතර ඇය ඉන් සුඛෝපභෝගී කාරයක් මිල දී ගන්නවා. කෙසේ නමුත් බීමත්ව එය පැදවීමට ගොස් ඇය එය නැවත සැකසිය නොහැකි ලෙස අනතුරට පත්කරගන්නා අතර ඉතිරි මුදල ද ඉක්මණින්ම අහවර කරගන්නවා. අවසානයේ ඇය නැවතත් හිස් අතින් ෆ්ලොරීඩාව කරා පැමිණෙනවා.

කඩාකප්පල්කාරී ක්‍රියා හා ඝාතන වල ඇරඹුම

නැවත ෆ්ලොරීඩාවට පැමිණි අයිලීන් ඉතිරි මුදලින් ගිණිඅවියක් ගෙන මංකොල්ලයන් සිදුකිරීමට පටන්ගත් අතර ගණිකාවක් ලෙස ද කටයුතු කරන්නට පටන්ගත්තා. මේ නිසා කිහිප විටක්ම ඇය පොලීසියට ද හසුවුණා. මේ අතර ඇය ටයිරියා මුවර් නම් කාන්තාවක් සමග කුළුපග වනවා. 1987 වසරේ දී ඇය හා ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගන්න අයිලීන් එකට විසීමට පටන්ගන්නා අතර දෙදෙනා එක්ව කඩාකප්පල්කාරී ක්‍රියාවල නිරතවෙන්නට පටන්ගන්නවා.

අයිලීන් මනුෂ්‍ය ඝාතන කරන්නට පටන්ගන්නේ මේ අතර යි. ඇය අතින් මුලින්ම ඝාතන වන්නේ 51 වියැති රිචඩ් මැලෝයි වන අතර ඉන් පසුව 43 හැවිරිදි ඩේවිඩ් ස්පියර්ස් ද ඝාතනය කරනවා. ඇගේ තෙවන ගොදුර චාල්ස් කාස්කැඩන් ඇය විසින් මරා දමන්නේ ඊට දින කිහිපයකට පසුව යි. මේ ඝාතන ත්‍රිත්වයම 1989 වසරේ සිදුවන අතර ඇය විසින් ඔවුන් තමන් ලිංගික අතවරයට ලක් කරන්නට පැමිණි බව සමහරෙකුටත්, තමන් ඔවුන් මංකොල්ලකන්නට යාමේ දී මෙලෙස සිදුවූ බව තවත් කිහිප දෙනෙකුටත් පවසා තිබුණා. ඇය විසින් මේ සියළු දෙනාම කිහිප විටක් වෙඩිතබා ඝාතනය කොට තිබූ අතර ඔවුන්ගේ සිරුරු වන ලැහැබ්වල දමා ගොස් තිබුණා.

1990 වන විට මනුෂය ඝාතන කිරීම හා මංකොල්ලකෑම්වලට අයිලීන් හොඳ නිපුණතාවක් ලබා තිබුණා. එම වසරේදී ඇය හා මුවර් පීටර් සීම්ස් නම් අයෙක් ඝාතනය කරන අතර එහිදී අත්වැරදීමකින් අයිලීන්ගේ ඇඟිලි සලකුණු ඔහුගේ කාරයෙහි සටහන් වෙනවා. පොලිසිය ඇය පසුපස හඹා එන්නට පටන්ගන්නේ මේ සමග යි.

අයිලීන්ගේ ගොදුරු- sites.psu.edu

මීළඟ මාස කිහිපය තුළ අයිලීන් හා මුවර් තවත් ඝාතන 3ක් සිදුකරනවා. කෙසේ නමුත් ඒත් සමගම වාගේ මුවර් ඇය හැර යනවා. මේ නිසා මෙතෙක් කල් තිබූ අන්‍යොන්‍ය ආරක්ෂාව දෙදෙනාටම අහිමි වන අතර ඉක්මණින්ම ඔවුන් කොටු කරගන්නට පොලීසිය සමත් වෙනවා.

හසුකරගැනීම හා නඩු තීන්දුව

ටයිරියා මුවර්- Youtube

පොලීසියට මුලින්ම හසුවන්නේ මුවර්ව යි. තමන්ගේ ගැලවීම උදෙසා සිදුවූ සියළු ඝාතනවලට තමන් සම්බන්ධ නැති බැව් ඇය පවසන අතර අයිලීන් හසුකර දෙන්නට ඇය පොරොන්දු වෙනවා. පොලිසියේ අනුග්‍රහය ඇතිව ඇය විසින් අයිලීන්ට දුරකථන ඇමතුම් ලබාගන්නා අතර එවිට අයිලීන් සිදුවූ මනුෂ්‍ය ඝාතන ගැන පාපොච්ඡාරණයක් කරනවා. එහිදී ඇත්තෙන්ම සිදුවූ මනුෂ ඝාතන සමහරකට මුවර්ගේ සම්බන්ධයක් නැති බවත්, ඔවුන් තමන්ට අතවර කරන්නට පැමිණි විට ඒවා සිදුකළ බවත් අයිලීන් පවසනවා. මේ අනුව ප්‍රමාණවත් සාක්ෂ්‍ය ලැබුණු හෙයින් ඇය පොලිස් භාරයට ගැනෙනවා.

සිරගතව සිටියදී- huntakillerwiththebau.com

නඩු විභාගය වහාම ඇරඹෙන අතර ඇය තමන් සිදුකළ ඝාතනවලට පසුතැවෙන බවක් පෙන්වූයේ නැහැ. කෙටි නඩු විභාගයකින් අනතුරුව චෝදනා සමහරකට වැරදිකාරිය වී ඇයට මරණ දඬුවම ලබාදෙන්නට තීරණය කෙරෙනවා. ඇයගේ මානසිකත්වය පිළිබඳ මතභේද ඇතිවූයෙන් මරණ දඬුවම ලබාදීම වසර කිහිපයකට ප්‍රමාද වූ අතර, අවසන 2002 වසරේ ඔක්තෝබර් මස 9 වන දා එය ක්‍රියාත්මක කෙරෙනවා.

Related Articles