ලෝක දේශපාලනය පිළිබඳව සාකච්ඡා කරන විට ජර්මනියේ ඇන්ගෙලා මර්කල් යනු අමතක කළ නොහැකි චරිතයක් වනවා. මර්කල් 2005 සිට ජර්මනියේ චාන්සලර් (අගමැති) ලෙස කටයුතු කරන අතර සැප්තැම්බර් 24 වනදා පවත්වනු ලබන මහ මැතිවරණයෙන් ද ඇගේ ක්‍රිස්තියානු ප්‍රජාතාන්ත්‍රික එකමුතුව (Christian Democratic Union – CDU) සහ එහි බැවේරියානු සගයා වන ක්‍රිස්තියානි සමාජ එකමුතුව (Christian Social Union – CSU) වැඩිම ඡන්ද ප්‍රමාණයක් දිනාගනු ඇතැයි බලාපොරොත්තු වනවා.
විවිධ හැලහැප්පීම් සහ අභියෝග මැද ඇන්ගෙලා මර්කල් වසර 12 ක් චාන්සලර් ධූරය දැරීම ඇගේ සාර්ථකත්වය පිළිබඳ හොඳ සාධකයක් වනවා. 2015 සහ 2016 සමයේ, ජර්මනියට සරණාගතයන් පැමිණීම ඉහළ ගිය අවස්ථාවේ ඇගේ සරණාගත ප්‍රතිපත්ති දැඩි විවේචනයට ලක් වූ අතර ජර්මන් ජාතිකවාදී, අන්ත දක්ෂිශික ජර්මනිය සඳහා විකල්පය (Alternative für Deutschland – AfD) පක්ෂයේ ජනප්‍රියත්වය සැළකිය යුතු මට්ටමකින් ඉහළ ගියා. එමෙන්ම 2017 මුලදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ චාන්සලර් අපේක්ෂකයා ලෙස මාර්ටින් ෂුල්ට්ස් පත් කිරීමෙන් පසුව එම පක්ෂයේ ජනප්‍රියත්වය ද ඉහළ ගියා. මේ අනුව ඇන්ගෙලා මර්කල් නැවතත් චාන්සලර් පදවියට තෝරාගනු ලැබේදැයි යන විශාල සැකයක් මතු වූ නමුත් මේ වනවිට ඇය සිය ජනප්‍රියත්වය නැවත ඉහළ නංවා ගනිමින් යළි එම ධූරයට පත්වීමේ බලාපොරොත්තුවෙන් සිටිනවා.
ඇන්ගෙලා මර්කල්ගේ පසුබිම
ඇන්ගෙලා කැස්නර් උපන්නේ 1954 ජූලි 17 වනදා එවකට බටහිර ජර්මනියේ හැම්බර්ග් නගරයේදී. ඇයගේ පියා ලූතරන් පූජකයකු වූ අතර ඇගේ වයස මාස තුනේදී ඇගේ පියාට නැගෙනහිර ජර්මනියේ මීසමකට පත්වීමක් ලැබුණා. ඒ අනුව ඇය කුඩා කළ හැදී වැඩුණේ බර්ලිනයට උතුරු දෙසින් පිහිටි නැගෙනහිර ජර්මනියේ වූ ප්‍රදේශයකයි. මේ අනුව කොමියුනිස්ට්වාදී පාලනය පිළිබඳ අත්දැකීම් ඇය තරුණ කාලයේ ලැබුවා.
ඇන්ගෙලා එවක කාර්ල් මාක්ස් සරසවිය ලෙස හඳුන්වන ලද ලයිප්සිග් සරසවියෙන් භෞතික විද්‍යාව හැදෑරූ අතර පසුව ක්වොන්ටම් රසායනය පිළිබඳ ඈ ඉදිරිපත් කළ නිබන්ධනයකට ඇයට ආචාර්ය උපාධිය පිරිනැමුණා. ඇය එම අංශයන්හි පර්යේෂණ පත්‍රිකා කිහිපයක්ම පළ කොට තිබෙන විද්‍යාඥවරියක වනවා.
ඇය මර්කල් යන වාසගම ලබාගත්තේ ඇගේ පළමු සැමියාගෙන්. එම විවාහය අවසන් වුවද ඇය දිගටම එම නම භාවිතා කරනවා.
1989 නොවැම්බරයේදී බර්ලින් තාප්පය බිඳ වැටීමෙන් පසු නැගෙනහිර ජර්මනියේ පක්ෂ දේශපාලනයට වූ බාධා ඉවත් වුණා. මේ අනුව බිහිවූ ප්‍රජාතන්ත්‍රවාදී පිබිදීම (Democratic Awakening) නම් දේශපාලන පක්ෂයේ ප්‍රධාන සාමාජිකාවක ලෙස ඇය මතුවුණා. 1990 පෙබරවාරියේ සිට 1990 ඔක්තෝබරයෙදී එම පක්ෂය විසිරුවා හරින තෙක් ඇය එහි ප්‍රකාශිකාව වූ අතර එයින් ජර්මන් ජාතිකයන් ඇය පිළිබඳ දැනගත්තා. 1990 ඔක්තෝබරයේදී නැගෙනහිර සහ බටහිර ජර්මනිය යළි එක්සත් වීමෙන් පසු ඇය ක්‍රිස්තියානි ප්‍රජාතාන්ත්‍රික එකමුතුවට සම්බන්ධ වුණා. 2000 වසරේ එහි නායිකාව ලෙස තෝරාගනු ලැබුණු මර්කල් 2005 මහ මැතිවරණයෙන් පසු චාන්සලර් පදවියට තේරී පත් වුණා.
ඇය ජර්මනියේ චාන්සලර් ධූරයට පත් පළමු කාන්තාව වූවා මෙන්ම දෙවන ලෝක යුද්ධයෙන් පසු චාන්සලර් ධූරයට පත්වූ නැගෙනහිර ජර්මනියේ හැදී වැඩුණ පළමු තැනැත්තා වුණා.
අනුන්ගේ සටන් පාඨ පැහැර ගැනීම
ඇන්ගෙලා මර්කල්ගේ සාර්ථකත්වයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ඇයට සිය දේශපාලන ස්ථාවරයන් වෙනස් කිරීමේ හැකියාව සහ ප්‍රතිවාදීන් ගේ සටන් පාඨ ඇගේ බවට පත් කරගැනීමේ හැකියාවයි. එමෙන්ම සම්ප්‍රදායානුකූලව පැරණි දේ ගරු කරන පාක්ෂිකයන් සහිත ඇගේ පක්ෂයේ මතවාදයන් ද කාලානුරූපීව වෙනස් කරගැනීමේදී ඇය දක්වන හැකියාව ද මෙහිදී වැදගත් සාධකයක් වන බව කිව හැකියි.
න්‍යෂ්ඨික බලය හොඳයි, නෑ නෑ නරකයි
සිය ස්ථාවරයන් කාලානුරූපව වෙනස් කිරීම පිළිබඳ මර්කල් දක්වන හැකියාවට හොඳම උදාහරණයක් වන්නේ න්‍යෂ්ඨික බලය පිළිබඳ ඇය දක්වන මතවාදය උඩු යටිකුරු කිරීමයි. න්‍යෂ්ඨික බලශක්තිය එරෙහි ප්‍රබල කඳවුරක් කවදත් ජර්මනියේ පැවතුණ නමුත් මර්කල්ගේ ක්‍රිස්තියානි ප්‍රජාතාන්ත්‍රික එකමුතුව ඊට පක්ෂ මතයක් දරනවා. 2009 දී මර්කල් කියා සිටියේ ලෝකය පුරා ඉදිවන න්‍යෂ්ඨික බලාගාර සංඛ්‍යාව දකින විට එම ක්ෂේත්‍රයෙන් ජර්මනිය ඉවත් වීම නොකළ යුතු බව පැහැදිලි වන බවයි. නමුත් 2011 ෆුකුෂිමා ව්‍යසනයෙන් පසු ඇය එම ස්ථාවරය සම්පූර්ණයෙන්ම වෙනස් කළ අතර “න්‍යෂ්ඨික බලය මගින් ගෙනෙන අවදානම පාලනය කිරීම කළ නොහැකිය” යනුවෙන් ඇය ප්‍රකාශ කළා. මේ අනුව ජර්මනිය න්‍යෂ්ඨික බලශක්තියෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමේ ක්‍රියාවලියක් සඳහා පියවර ගනු ලැබුණා.
න්‍යෂ්ඨික බලාගාරවලට එරෙහි වීම ජර්මනියේ හරිත පක්ෂයේ ප්‍රධාන සටන් පාඨයක්ව පැවතුණා. නමුත් එය ඔවුනට සටන් පාඨයක් පමණක් වෙද්දී මර්කල් චාන්සලර් වශයෙන් එය ක්‍රියාවට නංවන්නට සමත් වුණා. එමගින් හරිත පක්ෂයට තිබුණ හොඳම සටන් පාඨයක් ඊට අහිමි වුණා.
මර්කල් අනුන්ගේ සටන් පාඨ සොරාගැනීමේදී සාර්ථක වන්නේ ඇය සතුව බලය තිබෙන නිසා බව පැහැදිලියි. අනෙකුත් දේශපාලන පක්ෂවලට සටන් පාඨ වන දේ ක්‍රියාත්මක කිරීමට ඔවුනට බලයක් නැති අතර මර්කල් එම සටන් පාඨ අතට ගත්විට ඒවා ක්‍රියාත්මක කිරීමෙන් අනෙක් දේශපාලන ව්‍යාපාර අසරණ බවට පත් කරනවා.
සමාජයේ මතය පැහැදිලි ලෙස එම සටන් පාඨයට පක්ෂ වන බව පෙනෙන තෙක් මර්කල් එය තමන් අතට ගන්නේ නැහැ. නමුත් ඉන්පසුව ඇය එය තම අතට ගෙන ක්‍රියාවට නගනවා.
සමාජ මතවාදයන් ගෙන් ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයද සම්පූර්ණයෙන් වියුක්ත නැහැ. එම පක්ෂයේද ඇතැම් කොටස් පක්ෂයේ සාමාන්‍ය මතවාදයට විකල්ප අදහස් දරනවා. විශේෂයෙන්ම ෆුකුෂිමා වැනි සිදුවීමකින් පසුව න්‍යෂ්ඨික බලශක්තිය පිළිබඳ මතුවූ විරෝධය යටතේ මර්කල්ට වැඩි කරදරයකින් තොරව සිය ස්ථාවරයන් වෙනස් කිරීමට හැකි වූ එක් හේතුවක් වූයේ ද එයයි.
සමරිසි විවාහ
සමරිසි විවාහ පිළිබඳ ඇන්ගෙලා මර්කල් සිය ස්ථාවරය වෙනස් නොකළ නමුත් ඒ සඳහා තිබූ බාධක ඉවත් කරමින් ඉතා දක්ෂ දේශපාලන කපටිකමක් භාවිතා කළා. එමගින් ඇය විසින් අසරණ කෙරුණේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයි.
2017 මුලදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ක්‍රිස්තියානි ප්‍රජාතාන්ත්‍රික එකමුතුව අතර ජනප්‍රසාදය කරට කර වන බව සමීක්ෂණවලින් හෙළිව තිබුණා. නමුත් ඉන්පසු ගතවූ මාස කිහිපයේදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනප්‍රියත්වය පහළ වැටුණා. ඒ සමඟම ඔවුන් වෙනස් සටන් පාඨයක් අතට ගැනීමට තීරණය කළා.
මේ වනවිට රටේ ඡන්දදායකයන් අතුරින් සියයට 73 ක් පමණ මෙන්ම ක්‍රිස්තියානි ප්‍රජාතාන්ත්‍රික පක්ෂයට සහය පළ කරන ඡන්දදායකයන්ගෙන් ද සියයට 64 ක් සමරිසි විවාහ නීතිගත කිරීමට පක්ෂ බව සමීක්ෂණයකින් හෙළි වුණා. ඇන්ගෙලා මර්කල් එයට විරුද්ධ වූ අතර ඇගේ ක්‍රිස්තියානි ප්‍රජාතාන්ත්‍රික එකමුතුවේ සහය නැතිව එම නීතිය ජර්මන් පාර්ලිමේන්තුවේ සම්මත කළ නොහැකි වුණා.
මේ අවස්ථාවේ මර්කල් කළේ සිය පක්ෂයේ මන්ත්‍රීන්ට කැමැති නම් පක්ෂ මතයට පිටින් යමින් සිය සිතැඟි පරිදි සමරිසි විවාහයන්ට පක්ෂව ඡන්දය දීමට අවසර දීමයි. ඇය ඊට එරෙහිව ඡන්දය දුන් නමුත් ඇගේ පක්ෂයේ කොටසක් ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ හෙයින් එම නීතිය සම්මත වුණා. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ප්‍රබල සටන් පාඨයක් අහිමි වුණා.
සරණාගත ප්‍රශ්නය
පසුගිය වසර දෙකක පමණ කාලය තුළ මර්කල් මුහුණ දුන් ප්‍රධානම අභියෝගයක් වූයේ සරණාගතයින් විශාල වශයෙන් ජර්මනියට පැමිණීමයි. ඇෆ්ඝනිස්ථානය, ඉරාකය, සිරියාව ආදී රටවල්වලින් මෙසේ විශාල පිරිස් ජර්මනිය වෙත ළඟා වුණා. මර්කල් දේශසීමා විවෘතව තැබුවේ සිය පක්ෂයේ බැවේරියානු සගයා වන ක්‍රිස්තියානි සමාජ එකමුතුවේ (Christian Social Union – CSU) පවා විවේචනයට ලක් වෙමින්. කෙසේ වෙතත් මර්කල් සිය ස්ථාවරය වෙනස් කළේ නැහැ. ඒ වෙනුවට ඇය කළේ තුර්කිය සහ තවත් රටවල් සමඟ එකඟතාවයන්ට එළඹෙමින් ජර්මනිය දක්වා සරණාගතයන් පැමිණීම අඩු කිරීමට කටයුතු කිරීමයි. එමෙන්ම ඇෆ්ඝනිස්ථානයෙන් පැමිණෙන සරණාගතයන් පිටුවහල් කිරීමට ඇය පියවර ගත්තා.
කෙසේ නමුත් ඇය ගත් ස්ථාවරය හේතුවෙන් මධ්‍ය වාමංශික පක්ෂවලට සහය දෙන පිරිස්වල ප්‍රසාදය ඇය වෙත හිමි වුණා.
දේශගුණ විපර්යාස
හරිත පක්ෂයේ තවත් එක් ප්‍රධාන සටන් පාඨයක් වන දේශගුණික විපර්යාසයට එරෙහිවීම කෙරෙහි මර්කල් විශේෂ අවධානයක් යොමු කරනවා. රට ඇතුලත කෙසේ වෙතත් අන්තර්ජාතික සමුළු වලදී ඇය ඒ කෙරෙහි දක්වන ආකල්පය හේතුවෙන් පරිසරවේදීන් අතර ඇය කෙරෙහි සාමාන්‍යයෙන් මතුව ඇත්තේ ධනාත්මක ආකල්පයක්. විශේෂයෙන් 2007 G-8 සමුලුවේදී එවක ඇමරිකානු ජනාධිපති වූ ජෝර්ජ් ඩබ්. බුෂ්ව සෙල්සියස් අංශක දෙකක ගෝලීය උණුසුම් සීමාවකට එකඟ කරගැනීම පිළිබඳ ඇයට ගෞරවය හිමි වුණා. එමෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපති ලෙස පත් වීමෙන් පසු පැරිස් එකඟතාවයෙන් ඉවත්වීමට තීරණය කළ අවස්ථාවේ ඔහුව අන්තර්ජාතික වශයෙන් තනිකිරීමේ නායකත්වය ගත්තේද ඇන්ගෙලා මර්කල් විසින්.
කෙසේ නමුත් රට අභ්‍යන්තරයේ පාරිසරික ඉලක්කයන් කරා යාමේදී මර්කල් මන්දගාමී බව පරිසරවේදීන් පවසනවා. ඊට හේතු වී ඇත්තේ ඇගේ පක්ෂය සහ ජර්මනියේ මෝටර් රථ කර්මාන්තය අතර ඇති සමීප සබඳතාව බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.
තවත් සභාගයක්
මෙවර මැතිවරණ ප්‍රතිඵලය අනුව ද ජර්මනියට තවත් සභාග රජයක් බිහිවනු ඇතැයි බලාපොරොත්තු පළ වී තිබෙනවා. මැතිවරණයට සතියකට පෙර පැවති තත්ත්වය අනුව CDU/CSU සන්ධානය සියයට 36 ක්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් සියයට 22 ක්, AfD පක්ෂය සියයට 11 ක්, වාම පක්ෂය සියයට 10 ක්, ස්වාධීන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සියයට 9 ක් සහ හරිත පක්ෂය සියයට 8 ක් ඡන්ද ලබාගනු ඇතැයි අනුමාන කෙරුණා. මේ අනුව නව රජයක් පිහිටුවීම සඳහා වැඩිම ඉඩක් ඇත්තේ මර්කල්ට වුවද ඇයට තනිව රජයක් පිහිටුවන්නට ඉඩක් නැහැ.
පසුගිය 12 වසරම ඇය සභාග රජයන් මෙහෙයවූ හෙයින් මෙය ඇයට අමුත්තක් නොවනු ඇති.
Cover Image: ඇන්ගෙලා මර්කල් (Getty)