Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අද්භූත කතා පටබැඳුණු ලොව පවතින සුන්දර ස්ථාන – 1

ලොව බොහෝ සුන්දර ස්ථාන තිබෙනවා. මේ සමහර ස්ථාන සම්බන්ධයෙන් ලෝකයේ අවධානය යොමු වී ඇත්තේ ඒවායේ සුන්දර බව නිසාම යි. එම සමහරක් ස්ථානවල පිහිටීමේ අසාමාන්‍යතා සහ සිදුවන සංසිද්ධීන් හරියාකාර ව පැහැදිලි කරගන්නට තවමත් මානව ප්‍රජාව සමත් වී නැහැ. මේ හේතුවෙන් එම ස්ථාන පාදක කොටගෙන අද්භූත සහ අබිරහස් කතා හා මතවාද නිර්මාණය වී තිබෙනවා. මේ එවැනි ස්ථාන කිහිපයක් ගැන තොරතුරු ගෙන එන ලිපි ද්විත්වයක පළමුවැන්න යි.

ඩනකිල් අවපාතනය – ඉතියෝපියාව – say Yes to Travel 

 

ඩනකිල් අවපාතනය – ඉතියෝපියාව

උතුරුදිග අප්‍රිකාවේ එරිත්‍රියාව සහ ඉතියෝපියාව වෙන් කරන දේශසීමාවට යාබද ව පිහිටා ඇති මෙම ස්ථානය ඉතාමත් අභිරහස් ස්ථානයක් බව ඉතියෝපියානු සහ එරිත්‍රියා වැසියන්ගේ මතය යි. කිසිවෙක් මෙම ස්ථානයට ගියවන ම ඔහු හෝ ඇයට වැටහී යන්නේ තමන් අමුතු ම ලොවකට ඇතුළු වී ඇති බවයි. මෙය ලොව වියළි ම, උණුසුම් ම මෙන් ම, මුහුදු මට්ටමෙන් පහළින් ම පිහිටි ස්ථානයක් වන අතර, වසර පුරාවට ම මෙහි සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 ක් තරම් ඉතා ඉහළ අගයක් ගන්නවා. මෙය හැඳින්වෙන්නේ ඩනකිල් අවපාතනය ලෙස යි.

අතීත වැසියන් විශ්වාස කළේ නිතර ම මෙම ස්ථානයෙන් ගින්දර පිටවන බව යි. එපමණක් නොව ඔවුන් විශ්වාස කළේ එහි ‘ගිනි වැසි’ පවා ඇතිවන බව යි. කිසිදු ආරක්ෂාවක් හෝ ආවරණයක් නොමැති ව මෙහි වටපිටාවට නිරාවරණය වී යම් කිසිවෙක් කෙටි වේලාවක් සිටිය ද එම පුද්ගලයා මිය යාමේ වැඩි සම්භාවිතාවක් තිබෙනවා. විද්‍යාඥයන් අනුමාන කරන පරිදි, මෙම ස්ථානයේ භූමිය යට ඉතා උණුසුම් ද්‍රව ලාවා ස්ථරයක් පවතිනවා. විටින් විට එය භූමිය බිඳ ඉවතට විදීමත් සිදුවෙනවා. අදින් වසර දහස් ගණනකට පසුව මෙම අවපාතනය තවත් ගිලාබැස, එයට සාගර ජලය පිරී, එය අභ්‍යන්තර කරදිය මුහුදක් වනු ඇති බැව් ඔවුන්ගේ මතය යි.

සැන් ලුයිස් නිම්නය – කොලරාඩෝ, අමෙරිකා එක්සත් ජනපදය – headwaterseconomics.org

 

සැන් ලුයිස් නිම්නය – කොලරාඩෝ, අමෙරිකා එක්සත් ජනපදය 

සැන් ලුයිස් නිම්නය අමෙරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ ප්‍රාන්තයේ පිහිටා තිබෙන අතර, එහි සමහර කොටස් නිව් මෙක්සිකෝ ප්‍රාන්තය දක්වා විහිදී තිබෙනවා. වර්ග සැතපුම් 8000 ක පමණ භූමි වපසරියක විහිදී ඇති මෙම නිම්නය උපරිම වශයෙන් කිලෝ මීටර 196 ක දිගකින් යුක්ත වන අතර, කිලෝ මීටර  119 ක පළලින් යුක්ත යි. මෙහි සංචාරය කළ සමහරක් දෙනාට අද්භූත සංසිද්ධිවලට මුහුණ පාන්නට සිදු වී තිබෙනවා.

මෙම නිම්නය පිළිබඳ ගෙතී ඇති ප්‍රධානත ම කතාවක් වන්නේ මෙහි පිටසක්වළ ජීවීන් සැරිසරන බව යි. මෙහිදී නිවෙස් වල ඇතිදැඩි කරන ලද සුරතල් සතුන් අතුරුදහන්වීම් වාර්තා වී ඇති අතර, ඒ සමහරක් සිරුරු නැවත හමු වන විට දැඩි ලෙස තුවාලවලට ලක් වී තිබුණා. සමහරක් සිරුරුවල කොටස් ද තිබී නැහැ. කෙසේ නමුත් එම සිරුරු කිසිවක රුධිරය බිඳක්වත් වෑස්සී තිබී නැහැ. එනයින් බොහෝ දෙනා විශ්වාස කරන්නේ මෙය පිටසක්වල ජීවීන්ගේ ක්‍රියාවක් බව යි.

එහි ජීවත් වන ජූඩි මෙසොලින් නම් කාන්තාවක් තමන් 2000 වසරේ පටන් පිටසක්වළ යානා 50 ක් පමණ සැන් ලුයිස් නිම්නයට ගොඩබස්වනු දුටු බවට විද්‍යාඥයන්ට පවසා තිබෙනවා. කෙසේ නමුත් වැඩිදුර පරීක්ෂණ කෙරුණ ද එය තහවුරු වන කිසිදු හෝඩුවාවක් හමු වූයේ නැහැ. මේ සතුන් ඝාතනය වූයේ කෙසේ ද යන්න පිළිබඳත් සාධනීය තොරතුරු කිසිවක් හමු වී නැහැ. මේ හේතුවෙන් තවමත් බොහෝ දෙනා විශ්වාස කරන්නේ මෙම නිම්නය අද්භූත එකක් බව යි.

බර්මියුඩා ත්‍රිකෝණය – අත්ලාන්තික් සාගරය – google maps 

 

බර්මියුඩා ත්‍රිකෝණය – අත්ලාන්තික් සාගරය 

යක්ෂයාගේ ත්‍රිකෝණය හෙවත් බර්මියුඩා ත්‍රිකෝණය සැලකෙන්නේ ලොව වඩාත් ම අද්භූත සහ අභිරහස් ස්ථානයක් ලෙස යි. අමෙරිකා එක්සත් ජනපදයේ ගිනිකොණදිග වෙරළ තීරයට ආසන්නයේ, බර්මියුඩාවට, ෆ්ලොරීඩාවට හා පුවර්ටෝ රිකෝවට මායිම් වන ලෙස පිහිටා ඇති මෙම කලාපයේ කිසි ලෙසකින් විසඳා ගත නොහැකි වූ අද්භූත සිදුවීම් රාශියක් සිදු ව තිබෙනවා. ගුවන් යානා සහ නාවික යාත්‍රාවල හදිසි අතුරුදහන් වීම් රාශියක් ම මේ අතර  තිබෙනවා. බොහෝ දෙනෙක් විශ්වාස කරන ආකාරයට එහි චුම්භක ක්ෂේත්‍රවල වෙනසක් ඇති අතර, ඉන් මාලිමාවල දිශා දැක්වීමට බාධා ඇති වෙනවා. එම නිසා මේ යානා සහ යාත්‍රා වැරදි මාර්ගවල ගොස් අනතුරට ලක් වෙනවා. එහි ක්ෂණික ව ඇතිවන සුලි කුණාටු තත්ත්ව නිසා යාත්‍රා සහ යානා අනතුරට පත්වන බව සමහරුන් විශ්වාස කරනවා. තවත් සමහරෙක් පවසන්නේ ඒවා හුදු අහම්බ විනා, අන් අය පවසන ආකාරයේ කිසිදු අද්භූත හෝ භයානක බවක් එහි නැති බව යි.

‘බර්මියුඩා ත්‍රිකෝණය’ නාමය මුලින් ම කරළියට ගෙනාවේ 1964 වසරේ දී වින්සන්ට් ගැඩිස් යන අය යි. සියවස් ගණනාවක් තිස්සේ මෙම ප්‍රදේශයේ දී කිසිදු හෝඩුවාවක් ඉතිරි නොකර අතුරුදහන් වූ යානා සිය ගණනක් පිළිබඳ ව වාර්තා තිබෙන බැව් ලෝකයක් දැන ගත්තේ ඉන් පසුව යි. මේ නිසා වර්ග කිලෝමීටර මිලියනයක පමණ ප්‍රමාණයක පැතිරී තිබෙන මෙම ප්‍රදේශයට ‘යකාගේ ත්‍රිකෝණය’ යනුවෙන් ද නමක් පටබැඳුණා. මේ හේතුවෙන් අදටත් බොහෝ ගුවන් යානා සහ නාවික යාත්‍රා මෙම ප්‍රදේශය මඟ හැර ගමන් කරනවා.

භන්ගාර් බළකොටුව – ඉන්දියාව – thehindu.com

 

භන්ගාර් බළකොටුව – ඉන්දියාව 

භන්ගාර් බළකොටුව පිහිටා ඇත්තේ ඉන්දියාවේ රාජස්ථානයේ යි. මෙය 16 වන සියවසේ දී තනා ඇත්තේ භග්වන්ත් දාස්  සිය කනිටු පුතු මදෝ සිං වෙනුවෙනු යි. මෙම ස්ථාන ඉන්දියාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැඩි ලෙස ආරක්ෂා කරනවා. මෙය ශාපලත් කුමරියකගේ සහ සිරකරුවෙක් බවට පත් වූ ඉන්ද්‍රජාලිකයකුගේ තදබල ශාපයකට ලක් ව ඇති බවට බොහෝ දෙනා විශ්වාස කරනවා. මේ දෙදෙනා ආලයෙන් බැඳී සිටීම නිසා ඔවුනට දඬුවම් හිමි වූ බව ද, මේ නිසා ඔවුන් දෙදෙනා ම බළකොටුවට ශාප කර ඇති බව ද ජනප්‍රවාදවල දක්වා තිබෙනවා.

පුරාණ ජනප්‍රවාදවලට අනුව තන්ත්‍රික් නම් උක්ත ඉන්ද්‍රජාලිකයාගේ මරණයෙන් පසුව ඇති වූ යුද්ධයකදී රත්නාවලී නම් ඔහු පෙම් කළ කුමරිය මිය ගොස් තිබෙනවා. ඉන් අනතුරු ව ඔවුන් දෙදෙනා එක්කාසු වී අද වන තුරු එම බළකොටුවේ භූතාත්ම ලෙස සැරිසරන බැව් සමහරක් බලධාරීන් පවා විශ්වාස කරනවා. මේ නිසා හිරු බැස ගිය පසු, නැවත හිරු නඟින තුරු කිසිවකුට එහි ඇතුළු වීම තහනම් කරන්නට ඔවුන් පියවර ගෙන තිබෙනවා.

කවරයේ ඡායාරූපය - ඩනකිල් අවපාතනය - onestep4ward.com 

මූලාශ්‍ර:

Thecrazytourist.com

Indianholiday.com

seeker.io

Related Articles