Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

The Lord of The Rings චිත්‍රපට මාලාවේ තිරය පිටුපස කතා

1954-1955 අතර කාලය තුළ ජේ. ආර්. ආර්. ටෝල්කීන් අතින් ලියැවුණු අනර්ඝ නිර්මාණයක් තමයි The Lord of The Rings (ද ලෝර්ඩ් ඔෆ් ද රින්ග්ස්). ග්‍රන්ථ ත්‍රිත්වයකින් යුතු මෙම කතා මාලාව දශක ගණනාවක් තිස්සේ ලෝකය පුරා පාඨකයන්ගේ නොමඳ ප්‍රසාදයට ලක්වුණා. එහි අගය වැඩි කරමින් පසු කලෙක මෙම ග්‍රන්ථ මාලාව පදනම් කරගෙන චිත්‍රපට තුනකුත් ලෝකයට දායාද වුණා. පීටර් ජැක්සන්ගේ අධ්‍යක්ෂණයෙන් බිහිවූ The Lord of The Rings චිත්‍රපට මාලාව මහත් පරිශ්‍රමයකින් හා කැපවීමකින් නිර්මාණය කරන ලද්දක් බව කියවෙනවා. එසේම එයින් ඔවුන්ට ලැබුණ කීර්තිය සහ මූල්‍ය වටිනාකම සුළුපටු නැහැ. ලෝක සිනමාවේ නිර්මාණ කොතරම් බිහිවුණත්, කාලයේ බාධාවකින් තොරව අදටත් සාකච්ඡාවට බඳුන් වෙන සිනමා නිර්මාණ අතළොස්ස අතර The Lord of The Rings චිත්‍රපට මාලාවත් තිබෙනවා. අදටත් ඔය චිත්‍රපට මාලාව ආයේ ආයේ නරඹන පාඨකයෝ මේ ලිපිය කියවනවාත් ඇති. ඉතින් එනිසා, මෙම චිත්‍රපට මාලාවේ තිරය පිටුපස කතා කිහිපයක් දැන ගැනීමෙට ඔබත් කැමති වේවි. 

මේ ලිපියේ ස්පොයිලර්ස් අඩංගු යි!

තිර රචනයේ නැති ගැන්ඩල්ෆ්ගේ වැරැද්ද

චිත්‍රපට මාලාවේ The Fellowship of the Ring නම් මුල් චිත්‍රපටයේ මුල් හරියේ දර්ශනයක, ගැන්ඩල්ෆ් මායාකාරයා බිල්බෝ නම් හොබිට්වරයා හමුවීමට එන දර්ශනය ඔබට මතක ද? එහිදී ගැන්ඩල්ෆ්ගේ හිස බිල්බෝ වෙසෙන කුඩා නිවසේ සිවිලිම් ලීයක වදිනවා. එයින් බිල්බෝගේ නිවසේ උස කොතරම් කුඩා ද යන්නත්, ගැන්ඩල්ෆ් කොතරම් උස තැනැත්තෙක්ද යන වගත් අපට හාස්‍යජනක ලෙස පෙන්වනවා. නමුත් මේ කොටස තිර පිටපතේ තිබුණ දෙයක් නෙවෙයි. ගැන්ඩල්ෆ්ගේ චරිතයට පණ පොවන සර් ඉයන් මැකලන්ගේ හිස මෙතන දී ඇත්තටම එම ලීයේ ගැටෙනවා. නමුත් සර් ඉයන් මැකලන් වේදනාව ඉවසාගෙන දිගටම රංගනයේ යෙදෙනවා. එසේම අධ්‍යක්ෂකවරයාත් ඒ වැරැද්ද ඒ අයුරින්ම චිත්‍රපටියට ඇතුළත් කරනවා. සුළු අත්වැරදීමක් චිත්‍රපටයේ කතාවට අපූරු ලෙස ගැලපුණේ එහෙම යි.

ගැන්ඩල්ෆ්ගේ හිස සිවිලිමක වදින දර්ශනය අත්වැරදීමකින් සිදුවූවක්/screenrant.com/

මකුළුවන්ට බය පීටර් ජැක්සන්

චිත්‍රපට මාලාවේ රසිකයන්ට, තෙවන චිත්‍රපටයේ දී ෂෙලොබ් නම් යෝධ මකුළුවා හමුවේ ෆ්‍රෝඩෝ අසරණ වෙන දර්ශනය අමතක නැතුව ඇති. මේ දර්ශනය පිටුපසත් රසවත් කතාවක් තිබෙනවා. අධ්‍යක්ෂක පීටර් ජැක්සන් කියන්නේ සැබෑ ජීවිතයේ දීත් මකුළුවන්ට විශාල බියක් දක්වන්නෙක්. මකුළුවන් කෙරෙහි ඔහුගේ අකමැත්ත හැකිතාක් ප්‍රයෝජනයට ගෙන මෙම දර්ශනය නිර්මාණය කිරීමට ඔහු උත්සහ කළා. 

ෂෙලොබ්ගේ දර්ශනය පරිගණක තාක්ෂණය අවමව භාවිතා කරමින් රූගත කළ දර්ශනයක්. ෂෙලොබ්ගේ යෝධ මකුළු දැල් නම්‍යශීලි, රබර් කිරි වැනි ද්‍රව්‍යයක් භාවිතයෙන් නිර්මාණයකර තිබෙනවා. ෂෙලොබ් ෆ්‍රෝඩෝට දෂ්ඨ කරන විට විෂ හේතුවෙන් ෆ්‍රෝඩෝගේ මුවින් පෙණ වැගිරෙන දර්ශනය ලබාගෙන ඇත්තේ, ඇල්කා-සෙල්ට්සර්ස් නම්, දියවන විට පෙණ හටගන්නා පෙති දෙකක් භාවිතා කරමින්.

ෂෙලොබ් සමග ෆ්‍රෝඩෝ පොරබඳන දර්ශනයේ දී සජීවීකරණ තාක්ෂණය අවමව භාවිත කළා/whatculture.com/

කැපවීමෙන් වැඩ කළ විගෝ

The Lord of the Rings චිත්‍රපට මාලාව පුරා ප්‍රේක්ෂකයාගේ නෙත්සිත් ඇඳබැඳ තබා ගැනීමට ඇරගොන් නම් චරිතය සමත් වුණා. ඔහු මනා පෞරුෂයකින් හෙබි, මානව හිතවාදී ගතිගුණවලින් පිරුණු තැනැත්තෙක්. මේ අපූරු චරිතයට පණ පොවන ලද්දේ විගෝ මෝටෙන්සන් නමැති සම්මානනීය රංගන ශිල්පියා යි. එහෙත් මෙම චරිතයට මුලින්ම තෝරාගෙන තිබුණේ ස්ටුවර්ට් ටවුන්සෙන්ඩ්. කෙසේ වෙතත්, දින හතරක රූගත කිරීමකින් පසුව ස්ටුවර්ට් ටවුන්සෙන්ඩ් ඇරගොන් චරිතය සඳහා තරුණ වැඩි බව පීටර් ජැක්සන් අවබෝධකර ගන්නවා. එම නිසා වයසින් වඩාත් මුහුකුරා ගිය විගෝ මෝටෙන්සන් වෙත අධ්‍යක්ෂකවරයාගේ අවධානය යොමු වුණා. නමුත් විගෝට මේ චරිතය ගැන වැඩි විශ්වාසයක් තිබුණේ නැහැ. ටෝල්කීන්ගේ පොත් කියවා නොමැති වීම, සහ පීටර් ජැක්සන් මීට පෙර මුණගැසී නොමැති වීම එයට හේතු වුණා. නමුත් විගෝගේ එකොළොස් හැවිරිදි පුතා ටෝල්කීන්ගේ රසිකයෙක් නිසා, චිත්‍රපටයට සම්බන්ධ වීම ගැන ඔහු නැවත සිතා බැලුවා.

මිෂන් ඉම්පොසිබල් චිත්‍රපට මාලාවේ බොහෝ ක්‍රියාදාම ජවනිකා සිදු කළේ එහි ප්‍රධාන නළුවා වන ටොම් කෲස් විසින්ම යි. මේ චිත්‍රපටවලත්, ඇරගොන් මුහුණ දෙන හැම අසීරු අවස්ථාවක්ම ආදේශක නළුවන් භාවිතා නොකර විගෝ මෝර්ටෙන්සන් විසින්ම සිදු කරනවා. ඒ නිසා ඔහුට මුහුණ දෙන්න සිද්ධවුණ ඇබැද්දිත් එමට යි. චිත්‍රපට මාලාවේ එක් තැනක ඇරගොන් කෝපයට පත්ව වේගයෙන් හිස් ආවරණයකට පා පහරක් එල්ල කරන දර්ශනයක් තිබෙනවා. එම හිස් ආවරණය ඇත්තටම ඉතා බරකින් යුතු එකක් නිසා විගෝගේ පා ඇඟිලි දෙකක් කැඩී යනවා.

ඇරගොන්ගේ චරිතය වෙනුවෙන් විගෝ මෝටෙන්සන් බොහෝ සේ කැපවුණා/screencrush.com/

රූගතකිරීම් අතරතුර විගෝ කිහිප වතාවක්ම තුවාල ලබා තිබෙනවා. සටන් ජවනිකාවක දී දතක කොටසක් කැඩී ගිය විට පවා වේදනාව දරාගෙන ඔහු රංගනයේ නිරත වෙන අතර, කැඩුණු දත තාවකාලිකව අලවා ගෙන දිගටම වැඩ කටයුතු කරගෙන යෑමට මෝර්ටෙන්සන් උත්සහකර තිබෙනවා. නමුත් පීටර් ජැක්සන් වහාම ඔහුව දන්ත වෛද්‍යවරයෙක් වෙත යැවීමට කටයුතු කළා.

යුධ දර්ශනවල අනෙකුත් රංගන ශිල්පීන් සැහැල්ලු ඇලුමීනියම් කඩු හෝ රබර් කඩු භාවිතා කළත්, විගෝ මෝර්ටෙන්සන් වානේවලින් සාදන ලද සැබෑ කඩුවක් භාවිතා කළ බව සඳහන්. කඩු සටන් පුහුණුව රංගන ශිල්පීන්ට ලබා දුන් බොබ් ඇන්ඩර්සන් වරෙක පවසා ඇත්තේ තමා පුහුණු කළ හොඳම කඩු සටන් ශිල්පියා විගෝ මෝර්ටෙන්සන් බව යි.

පයින්ම කඳු නැග්ග ෂෝන් බීන්

The Lord Of The Rings චිත්‍රපට මාලාව පුරා අපිට ඉතා දර්ශනීය පරිස‍රයක් දකින්න ලැබෙනවා. බොහෝ රූගතකිරීම් නවසීලන්තයේ සිදු කිරීමත් මේ දර්ශනීය බවට හේතු වී තිබෙනවා. කෙසේ නමුත්, මේ භූ දර්ශනවලට ළඟාවීම පහසු කටයුත්තක් වුණේ නැහැ. නිෂ්පාදන කාල සටහනට අනුව ඊළඟ දර්ශනය උදෙසා අවශ්‍ය පුද්ගලයන් සහ උපකරණ හෙලිකොප්ටර් මඟින් ප්‍රවාහනය කිරීමට පවා සිදුවුණා.

බොරෝමිර්ගේ චරිතය රඟ දැක්වූ ෂෝන් බීන් ගුවන් ගමන්වලට බියක් දැක්වූ බව සඳහන්/wallpapercave.com/

කොහොම නමුත්, මේ පිරිස අතරේ ගුවනින් ගමන් කිරීමට අකමැති පුද්ගලයෙක් සිට තිබෙනවා. ඒ තමයි බොරෝමීර්ගේ චරිතය රඟ දක්වන ෂෝන් බීන්. ගුවනින් ගමන් කිරීමට ඇති බිය නිසා ෂෝන් බීන් මේ දුෂ්කර ස්ථානවලට ළඟා වුණේ පා ගමනින්. ඇතැම් විට පැය ගණනාවක් පා ගමනින්ම ඔහු කඳු තරණය කළ අතර, චරිතය උදෙසා පැළඳිය යුතු බරැති ඇඳුමෙන්ම සැරසී මේ ගමන් යෑමට ඔහුට සිදුව තිබෙනවා. විශේෂයෙන්ම දිනකට දෙවරක් දුෂ්කර කඳු තරණයේ යෙදෙමින්, ඒ අතර රංගනයෙනුත් වෙහෙස වීමට තරම් ඔහු කැප කිරීම් කළා.

ජේම්ස් බොන්ඩ්, ගැන්ඩල්ෆ් වීම ප්‍රතික්ෂේප කරයි!

The Lord Of The Rings චිත්‍රපට මාලාවේ චරිත උදෙසා බොහෝ නළු නිළියන් ගැන සලකා බලා පසුව අතහැර තිබෙනවා. එයින් ප්‍රසිද්ධම උදාහරණයක් වන්නේ, බල මුදුවේ භාරකරු ලෙස ක්‍රියාකළ ෆ්‍රෝඩෝ බැගින්ස්ගේ චරිතය උදෙසා වරෙක ජේක් ගිලෙන්හෝල් සලකා බැලීම යි. නමුත් අවසානයේ දී එම චරිතය එලීජා වුඩ්හට ලැබෙනවා. එලෙසින්ම ගැන්ඩල්ෆ්ගේ චරිතය සඳහා සුප්‍රසිද්ධ ජේම්ස් බොන්ඩ් චරිතයට දිගු කලක් පණ පෙවූ ෂෝන් කොනරි සලකා බලා තිබෙනවා. චිත්‍රපටයේ කාර්ය මණ්ඩලය ඔහු මෙයට නම්මා ගන්නට යම් පරිශ්‍රමයක් දරා තිබූ අතර, එක් චිත්‍රපටයක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 10ක් සහ චිත්‍රපට මාලාවේ බොක්ස් ඔෆිස් ආදායමෙන් 15%ක් ගෙවීමට එකඟ වෙන්න තරම් ඔවුන්ට ෂෝන් කොනරි වැදගත් වී තිබෙනවා. ඔහු ගැන්ඩල්ෆ් චරිතයට සම්බන්ධ වුණා නම් චිත්‍රපට මාලාව ඉපැයූ ඩොලර් බිලියන 2.9ක මුදලින් සැලකිය යුතු කොටසක් ෂෝන් කොනරිට අයත්වීමට ඉඩ තිබුණා. නමුත් තිර පිටපත වටහා ගැනීමට දුෂ්කර වූ බව පවසමින් ෂෝන් කොනරි අවස්ථාව මඟ හැරියා.

සුවිශාල මුදලක් ගෙවීමට එකඟ වුණත්, ෂෝන් කොනරි ගැන්ඩල්ෆ්ගේ චරිතය භාර ගත්තේ නැහැ/bangkokpost.com/

කිහිප වතාවක් ප්‍රතිනිර්මාණය වූ ගොලම්

බල මුදුවට ඇති කරගත් තණ්හාව නිසා විනාශයට පත් වෙමින් සිටි චරිතයක් ලෙස ගොලම් හැඳින්විය හැකි යි. චිත්‍රපටයෙන් අපි දැකපු ගොලම් චරිතයට වඩා, ‍මුල් සැලසුම්වල යෝජනා වූ ගොලම්ගේ ස්වරූපය වෙනස්. ආරම්භයේ දී, ගොලම් ඇටසැකිල්ලක තිබෙන ආකාරයේ නාස් කුහර පමණක් පිහිටා ඇති ජීවියෙක් වුණා. නමුත්, එමඟින් ගොලම්ට සොම්බි ආකාරයේ අමනුෂ්‍ය පෙනුමක් ලැබුණු නිසා එම ස්වරූපය අවලංගු වුණා.

මුල දී 100%ක් පරිගණක තාක්ෂණය භාවිතයෙන් ගොලම් නිර්මාණය කිරීමට පීටර් ජැක්සන් අදහස් කරගෙන සිටියා. එහෙත් ඇන්ඩි සර්කිස් විසින් ගොලම්ගේ චලනයන් අධ්‍යක්ෂකවරයා හමුවේි ඉදිරිපත් කිරීමෙන් පසු පීටර් ජැක්සන් තම අදහස වෙනස්කර ගන්නවා. ඒ අනුව ඇන්ඩි සර්කිස්ගේ චලනයන් වෙනම ලබාගෙන, නිර්මාණය කළ ගොලම් චරිතයට ආදේශ කිරීමේ ක්‍රමවේදයකට පීටර් ජැක්සන් යොමු වෙනවා. මේ නිසා ගොලම් නිර්මාණය කළ තාක්ෂණික කණ්ඩායමට වසර තුනක් ඒ සඳහා වෙහෙසෙන්න සිදු වුණා.  

බීට්ල්ස් කණ්ඩායමේ සැබෑ නොවූ සිහිනය

ජාත්‍යන්තර මට්ටමින් තම ස්ථානය රැකගත් සංගීත ශිල්පීන් අතර, “ද බීට්ල්ස්” සංගීත කණ්ඩායම ඉහළ තැනක සිටිනවා. තමාට සැබෑ කරගත නොහැකි සිහිනයක් නොමැති තරමටම ඔවුන් සාර්ථක වුණා. නමුත් එක සිහිනයක් ඔවුන්ට සැබෑ කරගැනීමට නොහැකි වෙනවා. පීටර් ජැක්සන්ට පෙර The Lord Of The Rings ග්‍රන්ථ මාලාව චිත්‍රපටයක් බවට පත් කිරීමේ සිහිනය සැබෑ කරගැනීමට බීට්ල්ස් කණ්ඩායම වෙර දැරුවා. ඔවුන් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ලෙස ස්ටැන්ලි කුබ්‍රික් සම්බන්ධකර ගැනීමට අපේක්ෂා කළත්, ස්ටැන්ලි කුබ්‍රික් එම යෝජනාව ප්‍රතික්ෂේප කළා. ඔවුන්ගේ සැලසුම ගැන ටෝල්කීන් පවා එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. මේ හේතූන් නිසා බීට්ල්ස් කණ්ඩායමට තම අභිලාෂය අතහරින්න සිදු වෙනවා.

ෆ්‍රෝඩෝගේ චරිතයට ජේක් ගිලෙන්හෝල්වත් සලකා බලා තිබෙනවා. පසුව එලීජා වුඩ්ට අවස්ථාව හිමි වුණා/koimoi.com/

චිත්‍රපට මාලාව දැවැන්ත නිෂ්පාදන කටයුත්තක් බව එහි ගුණාත්මකභාවයෙන් ඔබට වටහාගත හැකි යි. රූගත කිරීම් සඳහා භාවිත කළ නවසීලන්තයේ සංවේදී පරිසරය සම්බන්ධයෙන් පවා ඔවුන් බොහෝ වගකීමෙන් කටයුතු කළා. චිත්‍රපට මාලාව වෙනුවෙන් රංගන ශිල්පීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සෑම දෙනාම එකසේ වෙහෙස වූ නිසා ආතතිය මඟ හරවා ගැනීමට ඔවුන් බොහෝ සැහැල්ලුවෙන්, එකිනෙකාට විහිළු තහළු කරමින් කාලය ගත කළ බව සඳහන්. ඒ මහන්සියේ ප්‍රතිඵලය ලොව පුරා සුවහසක් ප්‍රේක්ෂකයන් අදටත් බුක්ති විඳිනවා.

Cover photo: themarysue.com/

මූලාශ්‍රයයන්: therichest.com/

screenrant.com/

imdb.com/

Related Articles