
ඈත අතීතයේ පටන් ම ලෝකයේ සෑම රටක් සතු ව ම පාහේ මනා පුහුණුවක් ලද හමුදාවක් දක්නට ලැබුණා. මෙසේ පැරණි ලෝකයේ රාජ්‍යයන් සතු වූ හමුදාවන් අතරින් ප්‍රබලත ම හමුදාව ලෙස සැලකෙන පෝලන්ත-ලිතුවේනියානු සමූහාණ්ඩුවේ පියාපත් ලද හුසාර්වරු ගැන ඔබ දැන සිටියා ද?
අදටත් ඔවුන්ගේ කැපී පෙනෙන වීරත්වය, දක්ෂ යුද්ධෝපායන් සහ අති විශිෂ්ට යුද්ධ සන්නාහයන් වෙනුවෙන් ඇගයීමට ලක් වෙන පියාපත් ලද හුසාර්වරුන් ඔවුන්ගේ අද්විතීය යුද්ධ ඉතිහාසය තුළ දී පරාජයට පත් වී ඇති අවස්ථාවන් හමු වන්නේ අතලොස්සක් පමණ යි. එසේ ම වසර 125 කට අධික කාලයක් අපරාජිත වූ පියාපත් ලද හුසාර්වරු, පෝලන්ත තුරඟ සේනාව සතු විශිෂ්ටත ම සේනාංකය ලෙස ද නම් දරා තිබෙනවා.

commons.wikimedia.org
අසුන්ගේ සෑදලයන්ට හෝ යුද්ධ සන්නාහයන්ට සවි කරන ලද දිගු පිහාටු හේතුවෙන් පියාපත් ලද හුසාර්වරු යන නාමය ලද පැරණි පෝලන්ත තුරඟ සේනාවේ මෙතරම් සාර්ථක වුණේ ඇයි? සුළඟ පරදවන වේගයෙන් අසුන් මෙහෙයවමින් එකිනෙක ගැටෙන පියාපත් හි නාදයෙන් සතුරා ව බියෙන් මුසපත් කළ පියාපත් ලද හුසාර්වරුන්ගේ ඉතිහාසය කතාව යි මේ.
අද්විතීය යුද්ධ ඉතිහාසයක් සහ වීරත්වයක්
14 වැනි සියවසේ අග බාගයේ දී පිටුවහල් කරන ලද සර්බියානු රණශූරයන් අතර සිටි කුලී හේවායන් එක් වී නිර්මාණය වූ පියාපත් ලද හුසාර්වරුන්ගේ ඉතිහාස කතාව වසර 500 ක් දක්වා වූ අතීතය කරා දිව යනවා. ඔවුන් ගැන සඳහන් වන ඇති පැරණිත ම ලිඛිත සාක්ෂි හමු වී ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1500 දී පමණ ලියැ වී ඇති පැරණි පෝලන්ත ලේඛනයන් හි වුවත් පියාපත් ලද හුසාර්වරුන්ගේ සේවය ඊට බොහෝ කාලයකට පෙර ආරම්භ වූවක් ලෙස යි සැලකෙන්නේ. 15 වැනි සියවසේ දී පියාපත් ලද හුසාර්වරුන්ගේ සේවය එවකට හංගේරියාවේ සහ ක්‍රොඒෂියාවේ සිහසුන දැරූ මතායස් කෝවිනස් රජුට හිමි වූ අතර පසු කාලීන ව ඇතැම් යුරෝපියානු හමුදාවන් ඔවුන්ගේ තුරඟ සේනාවන් සඳහා හුසාර්වරුන් ව යොදාගෙන තිබෙනවා.

en.wikipedia.org
පෝලන්ත පාර්ලිමේන්තුව මගින් ප්‍රථම වතාවට හුසාර්වරුන්ගේ සේනාංකයක් පිහිටුවා ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1503 දී යි. මුල් කාලයේ දී ඔවුන් හංගේරියානු කුලී හේවා බලකායන් කුලියට ගෙන ඇති අතර කෙටි කලකට පසු ව පෝලන්ත වැසියන් ව බඳවා ගැනීම අරඹා තිබෙනවා. පුනරුද සමයේ බොහෝමයක් රාජ්‍යයන් සතු වූ සන්නද්ධ හමුදාවන්ට වඩා නඩත්තු කිරීම ඉතා පහසු වුවත් 16 වැනි සියවසේ මුල් කාලයේ දී පෝලන්ත කිරුළ යටතේ සටන් වැදීම සඳහා පියාපත් ලද හුසාර්වරුන්ට ලැබුණේ අවස්ථා කිහිපයක් පමණ යි. නමුත් දශක පහක් ඇවෑමෙන් පෝලන්තයේ දකුණු දේශ සීමාව ආරක්ෂා කළ ස්ථිර තුරඟ සේනාවේ සිටි සන්නද්ධ හමුදාවන් වෙනුවට ශීඝ්‍ර ලෙස හුසාර්වරුන් පත් කිරීම ආරම්භ වුණා.

dariocaballeros.blogspot.com
නමුත් සත්‍ය වශයෙන් ම පියාපත් ලද හුසාර්වරුන් පෝලන්ත තුරඟ සේනාව එක් කරගෙන ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1570 දී පමණ පෝලන්ත-ලිතුවේනියානු සමූහාණ්ඩුවේ රජු වූ ස්ටීවන් බතෝරි විසින්. ඉන් පසු ව ක්‍රිස්තු වර්ෂ 1776 දී පෝලන්ත පාර්ලිමේන්තුව මගින් ලබා දුන් තීන්දු ප්‍රකාශයක් මගින් ඔවුන්ගේ රාජකාරිය, ලුලන්වරුන්ට පවරන තුරු ම සියවස් දෙකක කාලයක් තිස්සේ පෝලන්ත හමුදාවේ තුරඟ සේනාවට මෙහෙය වීම සඳහා නායකත්වය ලබා දුන් පියාපත් ලද හුසාර්වරු යි.
පියාපත් ලද හුසාර්වරුන්ගේ යුද්ධ ඉතිහාසයේ ස්වර්ණමය යුගය ඇරඹුණේ ක්‍රිස්තු වර්ෂ 1577 දී ලූබිස්සෝ හි සටන ජයග්‍රහණය කිරීමෙන් අනතුරු ව යි. ඉන් පසු ව ක්‍රිස්තු වර්ෂ 1683 වියානා සටන ජය ගන්නා තුරු ම, පියාපත් ලද හුසාර්වරුන් විවිධ සතුරන්ට එරෙහි ව පෝලන්ත-ලිතුවේනියානු සමූහාණ්ඩුව වෙනුවෙන් සටන් වැදුණා. ඒ බොහෝමයක් සටන් හි දී ඔවුන් යළි යළිත් ඔප්පු කළේ පෝලන්තයේ ජනගහනය සඳහා බලපාන තීරණාත්මක සාධකය ඔවුන් බව යි. පෝලන්ත-මස්කොවයිට් යුද්ධය අතරතුර දී මුහුණ දීමට සිදු වූ ක්ලාෂෙන් හි සටනේ දී රුසියානු භටයින් පස් දෙනෙකුට එක් හුසාර්වරයෙක් සිටිය දී පවා පියාපත් ලද හුසාර්වරු එම සටන ජය ගැනීමෙන් අනතුරු ව එය වඩාත් තහවුරු වුණා.

commons.wikimedia.org
සටන් ජය ගන්නන් ලෙස යුරෝපයේ ප්‍රකට වන අතර ම අලංකාර පිහාටු පළඳින්නන් ලෙස ද හුසාර්වරුන් ජනප්‍රිය වීම ඇරඹුණේ මේ කාලයේ දී ම යි. හුසාර්වරුන් සෑම දෙනෙක් ම පාහේ ඔවුන්ගේ අසුන් සහ යුද්ධ ඇඳුම් රාජාලි, හංස සහ පැස්බර පිහාටු යොදා ගනිමින් සරසන්නට පටන් ගත් අතර 16 වැනි සියවසේ දී ඔවුන් සටන් සඳහා ගෙන යන පලිහ, ඔවුන්ට ම ආවේණික පියාපත් මෝස්තර යොදා ගනිමින් පින්තාරු කිරීම ආරම්භ වුණා. මේ නිසා ම තමන්ගේ හමුදාව විශාල බව පෙන්වීම සඳහා හුසාර්වරුන් පිහාටු පළඳින බව සහ එයින් සතුරු හමුදා සතු අසුන් බියට පත් වීම නිසා ඔවුන් පරාජයට පත් වන බව, පොදු මතයක් ලෙස කලඑළි බැස්සා.
දක්ෂ යුද්ධෝපායන් සහ අති විශිෂ්ට යුද්ධ සන්නාහයන්

commons.wikimedia.org
පියාපත් ලද හුසාර්වරුන්ගේ මූලික ම යුද්ධෝපාය වූයේ ආක්‍රමණය යි. ඔවුන් සතුරා ව ආක්‍රමණය කිරීම ඇරඹීම සඳහා මන්දගාමී ලෙස අඩි තබා යන නිදහසක් විලාසයක් අනුගමනය කර තිබෙනවා. සතුරා වෙත ළඟා වන විට ඔවුන්ගේ වේගය ක්‍රමයෙන් වැඩි වී ඇති අතර ආක්‍රමණයට මොහොතකට පෙර ඔවුන් අවධානය යොමු කර ඇත්තේ ඇවිදීමේ වේගය උපරිම කිරීම සහ ඔවුනොවුන් අතර පැවති නිදහස් විලාසය අවසන් කරමින් සමීප සැදුමක් කරා යාම කෙරෙහි යි. සතුරු හමුදාව සී සී කඩ විසිරී යන තෙක් ම කිහිප වරක් ආක්‍රමණය කිරීම හුසාර්වරුන් සිදු කර ඇති අතර සියවස් දෙකක් පුරා යුද්ධ ජයග්‍රහණ බොහෝමයක් අත්පත් කර ගැනීම සඳහා එය ඔවුන්ට සහය වී තිබෙනවා.

commons.wikimedia.org
එසේ ම ඔවුන්ගේ සටන් සඳහා සෑම හුසාර්වරයෙක්ට ම දිගු හෙල්ලක්, කඩුවක්, වකුටු කඩුවක්, දෙකේ සිට හය දක්වා වූ පිස්තෝල කට්ටලයක්, කෙටි අත් තුවක්කුවක් සහ බරින් අඩු පොරවක් ලබා දී ඇති අතර ඒ සෑම එකක් ම පාහේ තැන්පත් කර තිබුණේ ඔටෝමන් ශෛලියට අනුව නිර්මාණය කරන ලද සෑදලයේ යි. එසේ ම පෝලන්ත අශ්ව පරපුර, පෙරදිග අසුන් සමග මුසු කරමින් හැදූ හුසාර්වරුන්ගේ අශ්වයින්ට බර ඔසවාගෙන වේගයෙන් දිව යාමට සහ ඉක්මණින් සුව වීමට හැකියාවක් පැවතුණු අතර එය සතුරන් ව ආක්‍රමණය කිරීම සඳහා මනා පිටිවහලක් වුණා.

en.wikipedia.org
අපරාජිත සටන්කරුවන් ලෙස ලෝක ඉතිහාසයේ නම රැඳ වූ පියාපත් ලද හුසාර්වරුන්ට, යුරෝපයේ පුනරුදය සමඟ අත් වූ අවාසනාවන්ත ඉරණමක්. වැඩි දියුණු වූ පිස්තෝල සහ කාලතුවක්කු හේතුවෙන් යුද්ධ පිටියේ දී අශ්වාරෝහක හමුදාවන්ට පැවති ඉල්ලුම ක්‍රමයෙන් අඩු වී අතර ක්‍රිස්තු වර්ෂ 1776 වසරේ දී පෝලන්ත පාර්ලිමේන්තුව තීන්දු ප්‍රකාශයක් ලබා දෙමින් හුසාර්වරුන් සතු ව පැවති රාජකාරී කටයුතු සියල්ල ම පාහේ ලූලන්වරුන්ට පවරා දුන්නේ පියාපත් ලද හුසාර්වරුන් ව විසුරුවා හරිමින්.
කවරයේ පින්තූරය : wallpapercraft.net Picture 8
මූලාශ්‍ර :
- en.wikipedia.org
- husaria.wordpress.com
- messagetoeagle.com
- badassoftheweek.com