සහස්‍රයකට පෙර ලෝක ඉතිහාසයේ සිදු වූ ඇතැම් සිදුවීම් පිළිබඳ ව නිසියාකාරයෙන් තොරතුරු අනාවරණය කර ගත නොහැකි පුරාවිද්‍යාඥයින්ට අදින් වසර මිලියන ගණනාවකට පෙර ලෝකය පැවතුණේ කෙසේ ද යන්න නිගමනය කිරීම ඇත්තෙන් ම අභියෝගයක්. ඒ තරම් ඈත කාලයේ දී මිහිමත පැවති ශාක සහ සත්ත්ව විශේෂ පිළිබඳ ව විද්‍යාඥයින්ට තොරතුරු ගෙන එන්නේ ෆොසිල යි.
මෑත කාලීන ව හමු වූ එවැනි ෆොසිල සාක්ෂියක් මගින් විද්‍යාඥයින් සෞරපොඩා නම් ඩයිනෝසරයින් (දිගු ගෙලක් සහ වලිගයක් හිමි දැවැන්ත ඩයිනෝසරයින් විශේෂයක්) මිහිමත නිදහසේ සැරසරන ලද කාල සීමාව තුළ දී වාසය කළ කාල සීමාවේ විසූ ප්‍රමාණ ප්‍රමාණයෙන් තණකොළපෙත්තෙක් තරම් වන කුඩා පක්ෂියෙකු පිළිබඳ ව තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. ෆොසිල සාක්ෂි පෙන්වා දෙන ආකාරයට එම කුඩා පක්ෂියා වාසය කර ඇත්තේ අදින් වසර මිලියන 127 ක පෙර පැවති මෙසොසොයික අවධියේ ක්‍රිටේසීය යුගයේ දී යි.
මෙසේ සොයා ගන්නා ලද කුඩා පක්ෂියා ප්‍රමාණයෙන් අඟල් 2 කට (සෙන්ටිමීටර් 5 ක් පමණ) නොවැඩි වන අතර බර අවුන්ස 0.3 (ග්‍රෑම් 8.5 ක් පමණ) ඉක්මවන්නේ නැහැ. එය ගොල්ෆ් බෝලයක බරින් පහෙන් එකක් පමණ ප්‍රමාණයක්. පර්යේෂකයින් සඳහන් කරන්නේ මේ තොරතුරුවලට අනුව දැවැන්ත ඩයිනෝසරයින් සමග වාසය කළ මේ පුංචි කුරුල්ලා, දැනට වාර්තා වී ඇති ඩයිනෝසරයින් වාසය කළ යුගයේ විසු කුඩා ම පක්ෂියා බව යි.
එනැන්ටියෝනිතිස් කුලයේ අලුත් අමුත්තා
සොයා ගන්නා ලද ෆොසිල සාක්ෂිය, පක්ෂියාගේ සමස්ත ඇට සැකිල්ල ම නිසි ලෙස සංරක්ෂණය කරන ලද්දක්. ඒ නිසා එය, පක්ෂියා අයත් වන සත්ත්ව විශේෂය පිළිබඳ ව අධ්‍යයනය කිරීම සඳහා උපකාරී වන පාෂාණීය ධාතු විද්‍යාත්මක අතින් ඉහළ වටිනාකමක් ඇති සාක්ෂියක් ලෙස සැලකීමේ වරදක් නැහැ. දැනට හඳුනාගෙන ඇති අන්දමට මෙම පක්ෂියා අයත් වන්නේ එනැන්ටියෝනිතිස් නම් මේ වන විට මිහිමතින් වඳ වී ගොස් පක්ෂි කුලයකට යි. මෙසොසොයික අවධියේ දී බහුල වූ එනැන්ටියෝනිතිස් කුලයට අයත් පක්ෂීන් සතු ව දත් සහ පියාපත් නිය (clawed fingers on wings) පැවති බව සඳහන්.
නමුත් පර්යේෂකයින් ප්‍රකාශ කරන්නේ සොයා ගන්නා ලද පක්ෂියා, අලුත් ම පක්ෂි විශේෂයක් ද නොඑසේ නම් දැනටමත් සොයාගෙන ඇති Concornis lacustris හෝ Iberomesornis romerali වැනි විශේෂයකට අයත් පක්ෂියෙක් ද යන්න නිශ්චිත ව ම සඳහන් කළ නොහැකි බව යි. මේ හේතුවෙන් තවමත් අලුතෙන් සොයා ගන්නා ලද පක්ෂියා වෙනුවෙන් විද්‍යාත්මක නාමයෙක් වෙන් කර නැහැ.
නමක් නොමැති වුව ද පක්ෂියා පිළිබඳ ව වැඩිදුර තොරතුරු අනාවරණය කර ගැනීමේ අරමුණෙන් සිදු කරන අධ්‍යයනයන් නතර වී නැහැ. මෙතෙක් හමු වී ඇති දත්ත මත විශ්වාසය තබමින් සින්කොට්‍රෝන විකිරණ (synchrotron radiation) යොදාගෙන කුඩා පක්ෂියාගේ සේයා රුවක් නිර්මාණය කිරීමට පර්යේෂකයින් සමත් වී තිබෙනවා. පර්යේෂණ කණ්ඩායම මෙහෙය වන මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ ඓතිහාසික ජීවය පිළිබඳ අන්තර්ක්ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථානයට සහ ARAID-Dinopolis නම් පාෂාණීය ධාතු විද්‍යාව පිළිබඳ ස්පාඤ්ඤ කෞතුකාගාරයට අනුබද්ධ ව සේවය කරන ෆේබියන් ක්නොල් නම් පාෂාණීය ධාතු විද්‍යාඥයා පවසන්නේ නව තාක්ෂණය, කුතුහලය අවුස්සන සුලු ෆොසිල අධ්‍යයනය කිරීම සඳහා පෙර නොවූ විරූ හැකියාවක් විද්‍යාඥයින්ට ලබාදෙන බව යි.
නූතන කුරුල්ලන්ගේ පුරෝගාමියෙක් ද?
සිදු කරන ලද විශ්ලේෂණයන්ගෙන් දැනට අනාවරණය වී ඇති අන්දමට කුඩා පක්ෂියා, මෙලොව එළිය දැක කෙටි කලකින් ම මිය ගොස් තිබෙනවා. එසේ ම කුරුලු පැටවාගේ උරෝස්ථිය (පපුවේ මැද ඇටය) ඝන අස්ථියක් බවට පත් වී නොමැති තවමත් වැඩියෙන් කාටිලේජ තත්ත්වයේ පවතින්නක් බව පර්යේෂකයින් පෙන්වා දෙනවා. ඒ අනුව මිය යන විට කුරුලු පැටවාට පියාසර කිරීමේ හැකියාවක් පැවතී නැහැ.
පියාසර කිරීමට නොහැකි වුව ද අලුතෙන් සොයා ගත් කුරුලු පැටවා, ආහාර සහ රැකවරණය සඳහා ඔහුගේ දෙමව්පියන් මත යැපෙන්නට නොමැති බවයි පර්යේෂකයින් සඳහන් කරන්නේ. වර්තමානයේ දී මිහිමත වාසය කරන කුරුල්ලන් බොහෝමයක් කුඩා අවධියේ දී දෙමව්පිය රැකවරණය මත යැපුන ද බොහෝමයක් අතීත කුරුල්ලන් උපන් මොහොතේ සිට ම ස්වාධීන ව කටයුතු කළ අය යි.
එසේ ම අදින් වසර මිලියන 120 කට පෙර මිහිමත වාසය කළ එක ම පිහාටු සහිත සත්ත්වයා, මෙම කුඩා පක්ෂියා බව යි සඳහන් වන්නේ. ඔහුගේ ෆොසිලය සතු ව පැවති යෂ්ටි සහ කේතු සෛල (ආලෝක දීප්තිය සහ වර්ණ හඳුනා ගැනීම සඳහා උපකාර කරන ඇසේ පිහිටි සෛල විශේෂ ද්විත්වයක්) හඳුනා ගැනීමට ද පර්යේෂකයින් සමත් වී තිබෙනවා. ඔවුන් සඳහන් කරන්නේ පෞරාණික කුරුල්ලන් කිහිප දෙනෙකුට වර්ණ හඳුනා ගැනීමේ හැකියාව පවතින්නට ඇති බව යි. අදින් වසර මිලියන ගණනාවකට පෙර මෙතරම් දියුණු වූ ලක්ෂණ සහිත ජීවීන් වාසය කළ බව අනාවරණය කර ගැනීමට ලැබීම විශ්මයජනක කරුණක් බව යි ඔවුන් තව දුරටත් සඳහන් කරන්නේ.
කවරයේ පින්තූරය : © Aban Tech