Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තුති පිදීමේ උළෙලට මංපෙත් විවර කළ, “වන අරණේ භෝජන සංග්‍රහය”

වර්තමානයේ දී ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත ජනගහනයෙන් 1%ක් සමන්විත වන්නේ ස්වදේශීය ඇමෙරිකානුවන් හෙවත් රතු ඉන්දියානුවන්ගෙන්. 15 වැනි සියවසේ අග භාගයේ දී ක්‍රිස්ටෝපර් කොළොම්බස් ප්‍රමුඛ යුරෝපීයයන් ඇමෙරිකා එක්සත් ජනපදයට පැමිණීමට පෙර එහි නිදහසේ වාසය කළ ඔවුන්, පසුකාලීන ව නූතන ඇමෙරිකානු සංස්කෘතියට මහත් බලපෑමක් සිදුකළ බව පැවසීමේ වරදක් නැහැ. සෑම වර්ෂයක ම නොවැම්බර් මාසයේ සිව්වැනි බ්‍රහස්පතින්දා දින සමරනු ලබන ‘තුති පිදීමේ උළෙල’ ඇරඹීම සඳහා මංපෙත් විවර කිරීමේ ගෞරවය හිමි වන්නේ ද ස්වදේශීය ඇමෙරිකානුවන්ට යි. අස්වනු මංගල්‍යයක් ලෙස ආරම්භ කරන ලද එය, 1789 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රථම ජනාධිපති ලෙස කටයුතු කළ ජෝර්ජ් වොෂිංටන් විසින් ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

(© Museum De Lakenhal) ජෙනී ඒ. බ්‍රවුන්ස්කම්බ් විසින් සිතුවම් කරන ලද ‘ප්ලමත් හි ප්‍රථම තුති පිදීමේ උළෙල’

වන අරණේ භෝජන සංග්‍රහය

කාලය සමග ක්‍රමයෙන් විකාශනය වූ තුති පිදීමේ උළෙල, එතරම් ප්‍රසිද්ධියක් නොලද අස්වනු මංගල්‍යයක් ලෙස ප්‍රථම වරට සමරා ඇත්තේ 1621 දී යි. ඇමෙරිකානු ඉන්දියානුවන් පිළිබඳ ව වන ස්මිත්සෝනියන් ජාතික කෞතුකාගාරයේ භාරකරුවන් ඇමෙරිකා එක්සත් ජනපදයේ පළමු තුති පිදීමේ උළෙල ‘වන අරණේ භෝජන සංග්‍රහය’ නමින් හඳුන්වනු ලබන අතර, එය ස්වදේශීය ඇමෙරිකානුවන් සහ වන්දනාකරුවන් අතර පවත්වා තිබෙනවා. ඇමෙරිකානු ඉතිහාසයේ ‘වන්දනාකරුවන්’ ලෙස හඳුන්වන්නේ 1620 දී ‘මේෆ්ලවර්’ නෞකාවෙන් උතුරු ඇමෙරිකා මහද්වීපයට ගොඩබට ඉංග්‍රීසි ජනපදවාසීනුයි.

(© The White House Historical Association) මිෂෙල් ෆෙලිස් කෝන් විසින් සිතුවම් කරන ලද ‘වන්දනාකරුවන්ගේ ගොඩබැසීම’

දීර්ඝ මුහුද ගමනෙන් පසු ව බොහෝමයක් ජනපදවාසීන් රෝගාබාධ හෝ නිරාහාර ව සිටීම හේතුවෙන් මියගොස් ඇති අතර, දිවි ගලවා ගත් අයට සිසිර ඍතුව ගෙවා දැමීම දැඩි අභියෝගයක් වූ බවට සැකයක් නැහැ. ස්වදේශීය ඇමෙරිකානුවන් විසින් වන්දනාකරුවන්ට ගොවිතැන් කටයුතු පුහුණු කරවා ඇති අතර, 1621 දී දෙපාර්ශවය ම එක් ව එම වර්ෂයේ දී ලද සාර්ථක අස්වැන්න සැමරීම සඳහා ප්ලිමත් ජනපදයේ දී තෙදිනක් පුරාවට භෝජන සංග්‍රහයක් පවත්වා තිබෙනවා. ස්වදේශීය ඇමෙරිකානුවන්ගේ සංග්‍රහශීලී බව සහ සහජීවනය පෙන්නුම් කරන ප්‍රථම තුති පිදීමේ උළෙල, ඇමෙරිකානු ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක්.

ඇමෙරිකානු ඉන්දියානුවන් පිළිබඳ ව වන ස්මිත්සෝනියන් ජාතික කෞතුකාගාරයේ සහායක භාරකරුවෙක් වන පෝල් චාට් ස්මිත්, සඳහන් කරන්නේ 1621 දී පවත්වන ලද භෝජන සංග්‍රහයෙන් පසු ව දිගු කාලයක් ගත වන තුරු නැවත තුති පිදීමේ උළෙලක් නොපවත්වන ලද බව යි. ‘වන අරණේ භෝජන සංග්‍රහය’ හුදෙක් ම අස්වනු මංගල්‍යයක් ලෙස සමරනු ලැබීම, බොහෝ විට එයට හේතු වන්නට ඇත. කෙසේ වුව ද දිගු කලක් තිස්සේ අමතක ව පැවති තුති පිදීමේ උළෙල, 19 වැනි සියවසේ දී නැවත කරළියට පැමිණ තිබෙනවා.

(© Dana Childs) 20 වැනි සියවසේ තුති පිදීමේ උළෙලක්

ජාතික නිවාඩු දිනයක් බවට පත් වූ තුති පිදීමේ උළෙල

මහා බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගැනීම උදෙසා 1775 – 1783 අතර කාලයේ දී පැවති ඇමෙරිකානු නිදහස් සටන ජය ගැනීමෙන් පසු ව තුති පිදීම සහ යාඥා කිරීම සඳහා ජාතික නිවාඩු දිනයක් නම් කිරීමේ අවශ්‍යතාව ඇමෙරිකානුවන්ට තදින් ම දැනුණු බවට සැකයක් නැහැ. 1777 දී මහද්වීපික කොන්ග්‍රසය මඟින් පෙන්සිල්වේනියා ජනපදයේ යෝක් නුවර සිට ප්‍රථම ජාතික තුති පිදීමේ ප්‍රකාශනය කියවා ඇති අතර, ඒ අනුව යමින් එම වර්ෂයේ ම දෙසැම්බර් මාසයේ දී ජෝර්ජ් වොෂිංටන් විසින් සරටෝගා සටනේ දී බ්‍රිතාන්‍යයන් පරාජයට පත් කිරීම සැමරීම සඳහා තුති පිදීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

(© The Weeping Eagle) ප්‍රථම ජාතික තුති පිදීමේ ප්‍රකාශනය

1774 – 1789 අතර කාලයේ දී ඇමෙරිකා එක්සත් ජනපද ව්‍යවස්ථාදායක වූ මහද්වීපික-සහසන්ධීය කොන්ග්‍රසය මඟින් යාඥා කිරීම සහ තුති පිදීම සඳහා ජාතික දින කිහිපයක් ම නම් කර ඇති අතර, නිල වශයෙන් ජාතික තුති පිදීමේ ප්‍රකාශනය එළි දක්වා ඇත්තේ ජෝර්ජ් වොෂිංටන් විසින්. ඒ මඟින් 1789 නොවැම්බර් 26 වැනි බ්‍රහස්පතින්දා, ජාතික තුති පිදීමේ සහ යාඥා කිරීමේ දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. එතැන් පටන් අද දක්වා ම ඇමෙරිකානුවන් තුති පිදීමේ උළෙල සමරනු ලබන්නේ නොවැම්බර් මාසයේ සිව්වැනි හෝ අවසන් බ්‍රහස්පතින්දා දින යි.

තුති පිදීමේ උළෙල ඇමෙරිකානුවන්ට වැදගත් ඇයි?

(© The Daily Beast) තුති පිදීමේ උළෙල වෙනුවෙන් පවත්වන පෙළපාළියක්

ඇමෙරිකානු ඉන්දියානුවන් පිළිබඳ ව වන ස්මිත්සෝනියන් ජාතික කෞතුකාගාරයේ සහායක භාරකරු පෝල් චාට් ස්මිත්, සඳහන් කරන්නේ ‘වන අරණේ භෝජන සංග්‍රහය’ ඔවුන්ගේ මිත්‍රශීලී බව විදහා දැක්වීම පිණිස ස්වදේශීය ඇමෙරිකානුවන් විසින් පවත්වන ලද්දක් බව යි. එසේ ම ඇමෙරිකානු රජය විසින් වසර ගණනාවක් මුළුල්ලේ ස්වදේශීය ඇමෙරිකානුවන් ව ඔවුන්ගේ වාසස්ථානයන්ගෙන් නෙරපා දමමින්, ඔවුන්ට එරෙහිව යුද ප්‍රකාශ කරමින් සහ ස්වදේශීය ඇමෙරිකානු ජනගහනය සැලකිය යුතු අඩු කරමින් සිදුකරන ලද අපරාධයන් ඇමෙරිකානු ඉතිහාසයෙන් අමතක කර දැමීමේ මාර්ගයක් ලෙස ද තුතී පිදීමේ උළෙල භාවිතා වන බව යි ඇතැම් විද්වතුන්ගේ මතය වන්නේ.

(© Escritorio Imagenes) සාම්ප්‍රදායික තුති පිදීමේ රාත්‍රී භෝජනයක්

තුති පිදීමේ උළෙලේ වැදගත් අංගයක් වන්නේ රාත්‍රී භෝජන සංග්‍රහය යි. පවුලේ සියලු දෙනා ම එක් රැස් වන තුති පිදීමේ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා පුළුස්සන ලද කළුකුමෙක් වරදින්නේ නැහැ. එයට අමතර ව වට්ටක්කා පස්තෑල, ක්‍රෑන්බෙරි සෝස් සහ පොඩි කරන ලද අර්තාපල්, සහ ටර්නිප් වැනි සාම්ප්‍රදායික ඇමෙරිකානු ආහාර ද තුති පිදීමේ උත්සවයේ දී පිළිගන්වනු ලබනවා. එසේ ම තුති පිදීමේ දිනයේ දී දුප්පතුන් සඳහා ආහාර බෙදා දීමට ද ඇමෙරිකානුවන් පසුබට වන්නේ නැහැ. තුති පිදීමේ දිනයෙන් පසු ව එළැඹෙන අඟහරුවාදා දිනය වෙන් කර ඇත්තේ ඒ සඳහා යි.

කවරයේ පින්තූරය: (© Wikimedia Commons) ජීන් ලියොන් ජෙරොම් ෆෙරිස් විසින් සිතුවමට නඟන ලද ‘වන අරණේ භෝජන සංග්‍රහය’

Related Articles