Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කර්නල් ගඩාෆිගේ රූමත් ශරීර ආරක්ෂිකාවෝ

ලිබියාවේ නායකයා ලෙස වසර ගණනාවක් ක්‍රියාකළ මුවමර් ගඩාෆි පිළිබඳව ඔබ හොඳින් අසා තිබෙනවා ඇති. 1969 දී බලයට පත් වූ ඔහු දීර්ඝ කාලයක් එරට නායකයා ලෙස කටයුතු කරන අතර 2011 ඔක්තෝබරයේ දී විරුද්ධවාදීන් විසින් ඔහුව අල්ලාගෙන ඝාතනය   කරනවා.

අනෙක් රාජ්‍ය නායකයන්ට වඩා විදේශීය සමුළුවල දී කැපී පෙනුණු නායකයෙක් ලෙස කර්නල් මුවමර් ගඩාෆිව හඳුන්වා දිය හැකි යි. ඒ එම සමුළුවල දී ඔහු කරන උද්වේගවත් කතා හා ඔහුගේ ආරක්ෂාව පිළිබඳව සොයා බැලීමට ඔහු විසින් නිර්මාණය කළ කාන්තා බලකාය නිසා යි. ලෝකයේ කුමන ස්ථානයක ඔහු සංචාරය කළත් ඔහු වටා පෞද්ගලික කාන්තා ආරක්ෂක කණ්ඩායම සිටිනවා ඔබ දැක තිබෙන්න පුළුවන්.

කර්නල් මුවමර් ගඩාෆි

කර්නල් මුවමර් ගඩාෆි (BBC)

කනිෂ්ඨ හමුදා නිලධාරියෙක් වූ මුවමර් ගඩාෆි 1969 වසරේ දී බලයට පත්වෙන්නේ කනිෂ්ඨ හමුදා නිලධාරීන් විසින් ඇති කළ කැරැල්ලක ප්‍රතිඵලයක් ලෙස යි. එහිදී ලිබියාව පාලනය කළ ඉද්‍රිස් නම් රජු බලයෙන් නෙරපන මෙම හමුදා කණ්ඩායම ලිබියාව තුළ සිය බලය තහවුරු කර ගන්නවා. මෙම කණ්ඩායමේ නායකයා වූ මුවමර් ගඩාෆි රටේ නායකයා ලෙස පත්වෙනවා.

වසර 42 එරට පාලනය කළ ඔහු ගත් විශේෂම පියවර වන්නේ ලිබියානු තෙල් සම්පතෙන් ආදායම ගැනීම ලිබියානුවන් වෙත සලසා දීම යි. මෙතෙක් කල් එයින් ප්‍රයෝජනය ගන්නේ බටහිර ජාතින් පමණ යි.

රට තුළ විවිධ සුභසාධන ක්‍රියාවලි විශාල ප්‍රමාණයක් මෙහෙය වූ ගඩාෆිට බටහිර රටවලින් චෝදනා එල්ල වෙන්නේ ත්‍රස්තවාදයට අරමුදල් සපයන බව පවසමින්. මේ අතරතුර රට තුළ අභ්‍යන්තර කැරැල්ලක් ඇතිවෙන අතර නේටෝ සංවිධානයෙන් ද රජයේ හමුදා වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරනවා. මේ හේතුවෙන් ගඩාෆි හමුදාව පරාජයට පත්වෙන අතර කැරලිකරුවන් විසින් ඔහුව අල්ලාගෙන මරා දමනු ලබනවා.

වැඩි දුරටත් කියවන්න – “හතලිස් දෙවසරක් ලිබියාව පාලනය කළ මුවම්මර් ගඩාෆි”

කාන්තාවන්ගෙන් සැදුම් ලත් පුද්ගලික ආරක්ෂක බල ඇණිය

ශරීර ආරක්ෂිකාවන් (International Business Times)

 

මෙම කාන්තා බලකාය නිර්මාණය කිරීමේ  ප්‍රධානතම අරමුණ වූයේ මුවමර් ගඩාෆි ලෝකයේ කොතැනක සිටියත් ඔහුගේ ආරක්ෂාව පිළිබඳව සම්පූර්ණයෙන්ම සොයා බැලීමට යි. ඔහුගේ කාන්තා බලකාය පිළිබඳව විවිධ මත තිබුණත් ඒ සියල්ලම තහවුරු කරගැනීමට හැකියාව ලැබී නෑ. මෙම කාන්තා බලකාය ස්ථාපනය කරන්නේ 1980 දශකයේ මුල්භාගයේ දී ගඩාෆිගේ පුර්ණ උපදෙස් මත යි. මහජනතාවට නිරාවරණය වන සෑම අවස්ථාවකම ඔහුගේ වටා අඩුම තරමේ කාන්තා සෙබලියන් 15 දෙනෙකුවත් දැක ගැනීමට හැකියාව ලබෙනවා.

බටහිර මාධ්‍ය පවසන පරිදි ඔහු තම පෞද්ගලික ආරක්ෂාව වෙනුවෙන් කාන්තාවන් තෝරාගෙන තිබෙන්නේ විශේෂ කරුණක් සලකා බැලීමෙන් අනතුරුව යි. ඒ, ආරාබියේ ක්‍රියාත්මක වෙන විවිධ ත්‍රස්ත සංවිධානවල තුවක්කුකරුවන් කාන්තාවන් හා වෙඩි තබාගැනීම්වලට යාමට බියක් දැක්වීම යි. සන්නද්ධ කණ්ඩායම් බොහොමයක් කාන්තාවක් අතින් මරණයට පත් වීම සවර්ගස්ථ නොවීමට එක් හේතුවක් ලෙස සලකනවා.

මේ පිළිබඳව හොඳ අවබෝධයක් තිබුණු ගඩාෆි තම පෞද්ගික ආරක්ෂාව සඳහා කාන්තාවන්ගෙන් සැදුම්ලත් බල ඇණියක් ස්ථාපිත කරන්නට ඇතැයි පැවසෙනවා.

ඒ පිළිබඳව අදහස් දක්වන ඇතැම් විචාරකයන් පෙන්වා දෙන්නේ මෙය හුදෙක් තම ඒකාධිපතිත්වය නිරූපණය කිරීමට යොදාගත් එක්තරා ක්‍රියාමාර්ගයක් ලෙස යි. සුරූපි කාන්තා සෙබලියන් පිරිවරාගෙන යාම තුළින් තම මහේශාක්‍ය ලීලාව ලෝකයාට පෙන්වීම ගඩාෆි බලාපොරොත්තු වී යැයි ඇතැම් අය පෙන්වා දෙනවා.

කාන්තා බල ඇණිය වෙත තෝරා ගැනීම හා පුහුණුව

කාන්තා බලඇණිය සඳහා සෙබලියන් හා නිලධාරිනියන්ව තෝරා ගන්නේ ගඩාෆිගේ පෞද්ගලික මැදිහත්වීම මත යි. තෝරාගත් කාන්තා හමුදා සාමාජිකාවන්ට මූලික අවි පුහුණුව හා උසස් ප්‍රභූ ආරක්ෂක පුහුණු පාඨමාලා ලබා දෙනවා. ඉන්පසුව ඔවුන්ට ලිබියාවේ පිහිටි ආත්මාරක්ෂක සටන් කලා පාසල්වලින් ආත්මාරක්ෂක සටන් කලාව පිළිබඳව විශේෂ පුහුණුවක් ලබා දෙනවා.

පුහුණුව අවසන් වූ පසු දිවිහිමියෙන් කර්නල් මුවමර් ගඩාෆිට පක්ෂපාති වන බවත්, ඒ වෙනුවෙන් දිවි කැපකර ක්‍රියා කරන බවත් දිවුරුම් දීමෙන් අනතුරුව ඔවුන්ව කාන්තා ආරක්ෂක බලකායේ නිත්‍ය සාමාජිකාවන් බවට පත්වෙනවා.

විශේෂ සිදුවීම්

කාන්තා බලකාය (Zuma World)

1998 වසරේ දී ලිබියාවේ දී ගඩාෆි ගමන්ගත් රථ පෙළපාලියට ඉස්ලාම් බෙදුම්වාදීන් විසින් එල්ල කළ ප්‍රහාරයෙන් එක් කාන්තා සෙබලියක් මරණයට පත්වෙන අතර තවත් හත්දෙනෙක් තුවාල ලබනවා. මරණයට පත් වූ කාන්තා හමුදා සාමාජිකාව ගඩාෆිට ඉතාමත් පක්ෂපාතිව ක්‍රියා කළ අතර ගඩාෆිට වෙඩි වැදීමට යන මොහාතේ ඇය ඒ අතරට පැන එය වැළැක්වූ බව සඳහන් වෙනවා.

2006 වසරේ නයිජීරියා සංචාරයක් සඳහා ගඩාෆි හා කාන්තා සෙබලියන් එරට ගුවන් තොටුපොළට ගොඩ බසිනවා. එහිදී නයිජිරියානු හමුදා විසින් ගඩාෆිගේ කාන්තා බලකාය නිරායුධ කිරීමට තැත් කරනවා. මේ පිළිබඳව දැඩි විරෝධය දක්වන ගඩාෆි එය කිරීමට ඉඩ නොදෙන අතර ඔවුන්ගේ වාහන ප්‍රතික්ෂේප කර තමන්ගේ සෙබලියන් සමග කි.මී 40ක් පමණ ඈතින් වූ අගනුවර බලා පයින්ම ගමන් කිරීම ආරම්භ කරනවා. නමුත් එය නයිජීරියානු ජනාධිපතිවරයාගේ මැදිහත් වීම මත වැළකී යනවා.

අවසන් කාලය

විශ්වාසවන්ත වරක්ෂිකාවන් දෙදෙනෙක් සමඟ (The Times)

කැරලිකරුවන් හා රජයේ හමුදා අතර ගැටුම් උග්‍ර වන විට ගඩාෆිගේ කාන්තා සෙබලියන් බොහෝ ප්‍රමාණයක් රජයේ හමුදාව අතින්ම ලිංගික හිරිහැරවලට ලක් වූ බව සඳහන්. රජයේ හමුදා විසින් විසින් එම සෙබලියන්ව ලිංගික අඩත්තේට්ටම්වලට ලක් කළ බව අවස්ථා කිහිපයක සඳහන් වන අතර කැරලිකරුවන්ට හසුවෙන ලෙස හෝ සිය දිවි නසා ගන්නා ලෙස ඔවුන්ට බල කෙරුණු බව ද සඳහන් වෙනවා.

ගඩාෆිගේ මරණයෙන් පසු ආරාබි කලාපයේ හෝ ලොව අනෙක් රටක නායකයෙකු මේ ආකාරයෙන් සුරූපී සෙබලියන් තම ආරක්ෂාව වෙනුවෙන් තබාගෙන සිටිනවා දකින්න ලැබෙන්නේ නෑ.

කවරයේ පින්තූරය - YouTube

මූලාශ්‍රයයන් - digitaljournal.com

timesofmalta.com

alarabiya.net

Related Articles