Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොරෝනා හේතුවෙන් අනවශ්‍ය ගැබ්ගැනීම් මිලියන 7ක්!

නව කොරෝනාවෛරසය මේ වන විට ලෝකයේ රටවල් 200කට අධික ප්‍රමාණයක් වෙත දැඩි බලපෑම් එල්ල කර තිබෙනවා. ඒ හේතුවෙන් බොහෝ රටවල් ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් වසා දමා (Lockdown) තිබෙනවා. 

රටවල් වසා දැමීම හේතුවෙන් මේ වන විට එම රටවල ආර්ථික, සමාජීය, හා සෞඛ්‍ය ප්‍රශ්න බොහෝ ප්‍රමාණයක් උද්ගතව තිබෙනවා. COVID-19 වසංගතය තුළ අඛණ්ඩව සිදුවන සම්පූර්ණව රටවල් වශයෙන් හෝ  ප්‍රදේශ/නගර වශයෙන් වසා දැමීම හා සෞඛ්‍ය සේවාවලට තම සේවා නියමිත පරිදි පවත්වා ගැනීමට විශාල බාධා සිදුවීම හේතුවෙන් ඉදිරි මාස කිහිපය ඇතුළත අනපේක්ෂිත ගැබ් ගැනීම් මිලියන 7ක් පමණ සිදුවිය හැකි බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (United Nations Population Fund- UNFPA) ප්‍රකාශ කර තිබෙනවා.

අනපේක්ෂිත ගැබ් ගැනීම් සිදුවන්නේ කුමන රටවල ද? හේතු මොනවා ද?

තෙවන ලෝකයේ රටවල කාන්තාවන්ට උපත් පාලන සඳහා ප්‍රවේශ වීමේ හැකියාව වසංගතය හේතුවෙන් අහිමි වී තිබෙනවා (un.org)

මේ වන විට කොරෝනාවෛරසයේ බලපෑම හේතුවෙන් 114කට අධික අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල්වල මිලියන 450 කාන්තාවන් ප්‍රමාණයක් වසංගත තත්ත්වය හේතුවෙන් විවිධ අයහපත් බලපෑම්වලට ලක්වෙනවා. බොහෝ කාන්තාවන්ට උපත් පාලන ක්‍රම සඳහා ප්‍රවේශ වීමේ හැකියාව සම්පූර්ණයෙන්ම ඇහිරී ගොස් තිබෙනවා. ලෝකය පුරා රටවල් වසා දැමීම (Lockdown) ආසන්න වශයෙන් මාස හයක් පමණ පැවති අතර ඒ හේතුවෙන් උපත් පාලන සඳහා ප්‍රවේශ විය නොහැකි ලොව පුරා කාන්තාවන් ප්‍රමාණය මිලියන 47ක් පමණ වනු ඇති බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල අනුමාන කරන අතර ඒ මඟින් අනපේක්ෂිත ගැබ් ගැනීම් මිලියන 7ක් අපේක්ෂා කෙරෙන බව ද එම විශ්ලේෂණයෙන් පෙන්වා දෙනවා. අනවශ්‍ය ගැබ් ගැනීම්වලට ගැහැණු පිරිමි දෙපාර්ශයම වගකිව යුතු වුවත් ඉන් වඩාත්ම බලපෑම එල්ල වෙන්න කාන්තාවන්ට බව යි එම සංවිධානය ප්‍රකාශ කරන්නේ.

අනපේක්ෂිත ගැබ් ගැනීම් හේතුවෙන් ඇතිවන ප්‍රතිඵල මොනවා ද?

වසංගතය හේතුවෙන් කාන්තාවන් හා ගැහැණු ළමුන් වෙනුවෙන් එක්සත් ජාතීන් ක්‍රියාත්මක කළ බොහෝ වැඩසටහන් නවත්වා තිබෙනවා.(forbesimg)

මෙම අනපේක්ෂිත ගැබ් ගැනීම් සියල්ල පාහේ සිදුවන්නේ අඩු ආදායම්ලාභී අප්‍රිකා, ආසියා, හා ලතින් ඇමෙරිකා මහද්වීපික රටවල බව පර්යේෂණය විසින් පෙන්වා දෙනවා. අනපේක්ෂිත ගැබ් ගැනීම් හේතුවෙන් ඇතිවන ප්‍රධානම අයහපත් ප්‍රතිඵලය වන්නේ නීති විරෝධිව සිදුවන අනාරක්ෂිත ගබ්සාව යි. ඒ හේතුවෙන් කළලයට මෙන්ම කළලය දරන කාන්තාවන්ගේ/ගැහැණු ළමුන්ගේ ජීවිතවලට ද දැඩි තර්ජනයක් එල්ල වීමේ හැකියාව පවතිනවා. 

ඉතා ඉක්මනින් ජනගහන වර්ධන වේගය ඉහල යාම ඉන් ඇතිවන අනෙකුත් භයානක ප්‍රතිඵලය යි. ජනගහනනයේ ඇතිවන ක්ෂණික වර්ධනය හේතුවෙන් රට අසීමාන්තික පාරිභෝජනයක් කරා ගමන් කරනවා. ඒ හේතුවෙන් රටේ ස්භාවික සම්පත් සීග්‍රයෙන් අඩු වෙන අතර  අඩු ආදායම්ලාභී රටකට වැඩිවන ජනගහනය දරා ගත නොහැකි මට්ටමකට පත් වීම අවසානයේ සිදු වෙනවා. ජන සමාජය දරිද්‍රතාවයෙන් දරිද්‍රතාවයට ගමන් කිරීමට අධික ජනගහන වර්ධනය සමත් වෙන බව ද ඔවුන් විසින් පෙන්වා දෙනවා. ඒ හේතුවෙන්  අනවශ්‍ය ගැබ් ගැනීමක් වැළැක්විය යුතු සියළු අවස්ථාවන්වලදී උපත් පාලන ක්‍රමය කොතරම් වැදගත් ද යන්න වැඩිදුරටත් තහවුරු වෙනවා

වසංගතය හේතුවෙන් ලොව පුරා  අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල්වල කාන්තාවන්ට එල්ල වන අනෙකුත් බලපෑම් 

උපත් පාලන ක්‍රමවලට ප්‍රවේශ වීමේ ඉඩ ඇහිරීම හේතුවෙන් සිදුවන අනපේක්ෂිත ගැබ් ගැනීම්වලට අමතරව තවත් බලපෑම් රැසක් තෙවන ලෝකයේ රටවල කාන්තාන්ට එල්ල වී තිබෙනවා (thehindu)

උපත් පාලන ක්‍රමවලට ප්‍රවේශ වීමේ ඉඩ ඇහිරීම හේතුවෙන් සිදුවන අනපේක්ෂිත ගැබ් ගැනීම්වලට අමතරව තවත් බලපෑම් රැසක් මෙම රටවල කාන්තාන්ට එල්ල වෙන බව එම සංවිධානය විසින් ප්‍රකාශ කරනවා. ළමා විවාහ, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය, ලිංගික ප්‍රචණ්ඩත්වය හේතුවෙන් ගැහැණු ලිංගික අවයව විකෘති කිරීම් නිසා ඇතිවන විවිධ රෝග හා සහ වෙනත් හානිකර ක්‍රියාවන් එම බලපෑම්වලින් සමහරක් ලෙස හදුන්වා දිය හැකි යි. 

විශ්ලේෂණයේ සඳහන් වන ගණන් බැලීම් 

කාන්තා සුභසාධනය සඳහා විශාල වැඩසටහන් ප්‍රමාණයක් එක්සත් ජාතින් විසින් අප්‍රිකානු මහද්වීපය තුළ සිදු කෙරෙනවා.(undispatch)

UNFPA සඳහන් කරන්නේ පරිදි වසංගතය හේතුවෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වත්මන් තත්ත්වයට වඩා තවත් මිලියන 31ක් වැඩිවිය හැකි බව යි. වසංගතය හේතුවෙන් ඇති වී තිබෙන ගෝලීය ආර්ථික දුෂ්කරතාවය නිසා ළමා විවාහ වැලැක්වීම උදෙසා වන වැඩසටහන් ප්‍රමාද වීම හේතුවෙන් වසර 10ක් තුළ තවත් ළමා විවාහ මිලියන 13ක් සිදුවනු ඇතැ යි විශ්ලේෂණයේ සඳහන් වෙනවා. වසංගතය, කාන්තා හිංසන මැඩපැවැත්වීම හා ලිංගික විකෘතිතා වැළක්වීම සඳහා වැඩසටහන්වල සැලකිය යුතු ප්‍රමාදයක් ඇති කරනු ඇතැ යි අපේක්ෂා කරන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරි දශකය තුළ ගැහැණු ලිංගික අවයව විකෘති කිරීම් නිසා ඇතිවන රෝගීන් මිලියන 2ක් පමණ වනු ඇතැ යි ද ගණන් බලා තිබෙනවා.

මෙම පර්යේෂණය සඳහා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සමග ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය සහ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා විශ්වවිද්‍යාලය එක්ව තිබෙනවා. මෙම සංඛ්‍යා දළ ඇස්තමේන්තුව ඉදිරිපත් කිරීමට ද එම විශ්වවිද්‍යාලයයන් සිය දායකත්වය ලබා දී තිබෙනවා. 

වසංගතය හා ඒ හේතුවෙන් ලෝකයට ඇතිවන බලපෑම, එයට දක්වන ප්‍රතිචාර, හා එම ප්‍රතිචාර හමුවේ ඇතිවන ප්‍රතිඵල ලොව පුරා දිග හැරෙන්නේ කෙසේ ද යන්න පිළිබඳව තවමත් බොහෝ දේ අප දන්නේ නෑ. එහෙත් සංවර්ධිත රටවල්, ස්වේච්ජා සංවිධාන, මානව හිමිකම් හා කාන්තා හිමිකම් ආයතන එකට එකතු වීම මඟින් කාන්තාවන්ගේ හා ගැහැණු ළමයින්ගේ සුභසාධනය සුරක්ෂිත කිරීමට සහ ඔවුන්ගේ අයිතිවාසිකම් සහතික කිරීමට ක්ෂනිකව කටයුතු කළ යුතු වෙනවා. එම කටයුතු සඳහා කිසිවෙක් උත්සාහයක් නොගන්නේ නම් තුන්වන ලෝකයේ රටවල කාන්තාවන් හා ගැහැණු දරුවන්ගේ  අනාගතය පිළිබඳ භයානක තත්ත්වයක් ඇතිවන බවත්, එය දැනටමත් පෙන්නුම් කරන බවත් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සදහන් කරනවා.

කවරයේ පින්තූරය -globalcitizen

මූලාශ්‍රයයන් 

News.un.org

Unfpa.org

Related Articles