Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තුන්තිස් පරම්පරාවන්ට සෙවණ දුන්, එල්ට්ස් මන්දිරය

රයින් නදිය හා සබැඳි මෙසෙල් අතු ගංගාවට මුහුණලා ඇති කඳුවැටියක් මත වැජඹෙන ‘එල්ට්ස් මන්දිරය’ යන අරුතින් ජර්මානු බසින් ‘බර්ග් එල්ට්ස්’ හඳුන්වනු ලබන මධ්‍යකාලීන මාළිගාව පිහිටා ඇත්තේ ජර්මනියේ කොබ්ලෙන්ස් සහ ට්‍රියර් යන නගරයන්ට මැදි ව යි. 12 වැනි සියවසේ සිට ම එහි හිමිකාරීත්වය පවතින්නේ පුරාණ ජර්මානු රදල පවුලක් වූ එල්ට්ස් පෙළපතට අයත් සාමාජිකයන්ට වන අතර, වර්තමානයේ දී එල්ට්ස් නාමය දරණ 33 වැනි පරම්පරාව එහි වාසය කරන බව යි වාර්තා වන්නේ. රයින්ලන්ඩ්-පලාටනේට් ප්‍රාන්තයේ පිහිටා ඇති ‘එල්ට්ස් මන්දිරය’ සතු තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ එය ඉතිහාසයේ කිසිම දිනෙක විනාශයකට හෝ හානියකට ලක් වී නොතිබීම යි.

(© Ace Shooting) සරත් සමයේ දී ‘එල්ට්ස් මන්දිරය’

තුන් දෙසකින් ම ‘එල්ට්ස් මන්දිරය’ වට වී ඇත්තේ මෙසෙල් නදිය හා සබැඳි එල්ස්බාක් අතු ගංගාවෙන්. මීටර් 70 (අඩි 230)ක් පමණ උසින් යුතු නෙරු බැම්මක් මත පිහිටා ඇති ඒ හරහා පැරණි රෝම වෙළඳ මාර්ගයක් වැටී තිබෙනවා. හෙක්ටයාර 300 (අක්කර 741) කට අධික බිම් පෙදෙසක් ආවරණය කරමින් ‘එල්ට්ස් මන්දිරය’ වටා පිහිටා ඇති හරිත පැහැයෙන් දිදුලන ‘එල්ට්ස් වනාන්තරය’ 2000 වර්ෂයේ දී ස්වභාවික රක්ෂිතයක් ලෙස නම් කර ඇති අතර, දෙස් විදෙස් ශාක විශේෂ රැසකින් සපිරි වෘක්ෂ උයනක් ලෙස ද සැලකෙනවා.

එල්ට්ස්වරුන් එක් ව ගොඩනැඟූ සොඳුරු මන්දිරය

(© Alex Boehme) සොඳුරු වෘක්ෂ උයනක් මැද පිහිටි ‘එල්ට්ස් මන්දිරය’ සවස් යාමයේ දී

එකවර පවුල් කිහිපයකට හෝ එක් පවුලේ පරම්පරාවන් කිහිපයකට වාසය කළ හැකි මාළිගාවක් (ගානර්බෙන්බර්ග් මෝස්තරයේ මැදුරක්) ලෙස ‘එල්ට්ස් මන්දිරය’ හැඳින්වීමේ වරදක් නැහැ. එය සතු ව කොටස් කිහිපයක් පවතින අතර, පුරාණ සාම්ප්‍රදායයන් අනුව සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවක් ඇති වන්නේ එක් ප්‍රදේශයක වාසය කරන පවුල් කිහිපයක් එකට එක් ව ඔවුන්ගේ වාසය සඳහා තනි මන්දිරයක් ගොඩනැංවීම හේතුවෙනුයි. මධ්‍යකාලීන යුරෝපයේ වාසය කළ වංශවතුන් අතරින් තමන්ට අයත් භූමි ප්‍රදේශයේ තනි මාළිගාවක් නිර්මාණය කිරීම සඳහා අවැසි තරම් වත්කමක් පැවතුණේ කිහිපදෙනෙකුට පමණක් වූ අතර, එක් ගම්මානයක පාලනය පමණක් හිමි වූ ප්‍රාදේශීය රදලයන් අතර ගානර්බෙන්බර්ග් මෝස්තරයේ මන්දිර නිර්මාණය කිරීම ජනප්‍රිය ව පැවතී තිබෙනවා. ඒ අනුව එල්ට්ස් පෙළපතේ ශාඛාවන් ත්‍රිත්වයකට අයත් සාමාජිකයින් එක් ව ‘එල්ට්ස් මන්දිරය’ ගොඩනැංවීමට කටයුතු කර ඇති බව යි සඳහන් වන්නේ.

(© Burg Eltz) ‘එල්ට්ස් මන්දිරය’ සතු පුරාණ නිදන මැදිරියක්

‘එල්ට්ස් මන්දිරය’ සතු ප්‍රධාන කොටස සමන්විත වන්නේ පවුලේ සාමාජිකයන්ට අයත් පුද්ගලික මැදිරි සහ නිදන කාමරයන්ගෙන්. මීටර් 30 – 40 (අඩි 98 – 131) අතර උසකින් යුතු කුලුනු 8 කින් සමන්විත වන ‘එල්ට්ස් මන්දිරය’ වටා ශක්තිමත් ප්‍රාකාරයක් දැක ගත හැකි යි. එය ඇතුළත නිදන කාමර 100කට අධික ප්‍රමාණයක් පවතින අතර, අතීතයේ දී මැදුරේ සේවකයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් වාසය කළ කුඩා ගම්මානයක් ද ‘එල්ට්ස් මන්දිරය’ වටා පැවතී තිබෙනවා.

සියවස් ගණනාවක ඉතිහාසයක් හිමි මධ්‍යකාලීන මාළිගාව

‘එල්ට්ස් මන්දිරය’ සතු පැරණි ම කොටස ලෙස සැලකෙන රොමනෙස්ක් ගෘහ නිර්මාණ ශිල්පයට අයත් බලකොටුව ගොඩනැංවීම ආරම්භ කර ඇත්තේ 9 වැනි සියවසේ දී යි. මුල් කාලයේ දී දඬුවැටකින් වට වූ ගම්බද වලව්වක් වූ එය, 1157 වර්ෂය වන විට ෆ්‍රෙඩරික් බාබරෝසාගේ අධිරාජ්‍යයේ වැදගත් බලකොටුවක් බවට පත් වී ඇත්තේ මොසෙල් නිම්නය සහ අයිෆල් ප්‍රදේශය ඔස්සේ වැටී ඇති වෙළඳ මාර්ගයේ පිහිටි බැවින්. 1268 දී ගානර්බෙන්බර්ග් මෝස්තරයේ මැදුරක් බවට පත් වූ ‘එල්ට්ස් මන්දිරය’ අත්පත් කර ගැනීමට තැත් කිරීම හේතුවෙන් එල්ට්ස්වරුන් ඇතුළු ට්‍රියර් හි වංශවතුන්, 1331 – 1336 අතර කාලයේ දී ට්‍රියර් හි අග්‍ර රාජගුරු ප්‍රසාදීතුමාට එරෙහි ව යුද ප්‍රකාශ කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස දෙවසරක කාලයක් පුරාවට ‘එල්ට්ස් මන්දිරය’ වැටලීමකට පවා ලක් වී තිබෙනවා.

(© Burg Eltz) ‘එල්ට්ස් මන්දිරය’ සතු අවි ගබඩාව

ගොතික් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ගොඩනඟා අලංකාර ලෙස සරසන ලද ‘රූබනැක් නිවෙස’ එහි කොටසක් බවට පත් වී ඇත්තේ 1472 දී යි. 1490 – 1540 අතර කාලයේ දී එහි කොටසක් බවට පත් වූ ගොතික් ගෘහ නිර්මාණ ශිල්පය අනුව නිම වන ලද ‘රෝඩෙන්ඩෝෆ් නිවෙස’ සතු ව සුරක්ෂිතාගාරයක් සහිත පතාක මැදිරියක් පවතිනවා. එසේ ම ‘එල්ට්ස් මන්දිරය’ සතු සෑම කාමරයක් ම අතීතයේ සිට ම මනා ලෙස උණුසුම් කිරීමට හැකි වීම එය සතු තවත් සුවිශේෂී ලක්ෂණයක්.

1688 – 1689 කාලයේ දී පැවති පලාටනේට් අනුප්‍රාප්තික සංග්‍රාමය හේතුවෙන් ප්‍රංශ හමුදාවන් විසින් රයින් ගං ඉවුරේ පිහිටි බොහෝමයක් මාළිගා විනාශ කළ ද හාන්ස් ඇන්ටන් සූ එල්ට්ස්-අටිගන් එවකට ප්‍රංශ හමුදාවේ ඉහළ නිලධාරියෙකු වූ බැවින් ‘එල්ට්ස් මන්දිරය’ විනාශ කළ යුතු ගොඩනැඟිලි ලැයිස්තුවෙන් උපක්‍රමශීලී ව ඉවත් කර ගැනීමට ඔහුට හැකි වී තිබෙනවා. නමුත් 1794 – 1815 දක්වා පැවති ප්‍රංශ පාලන සමයේ දී ‘එල්ට්ස් මන්දිරය’ හැර යාමට එල්ට්ස්වරුන්ට සිදු වූ අතර ප්‍රංශ හමුදාවන් විසින් එය බලකොටුවක් ලෙස භාවිතා කර ඇති බව යි සඳහන් වන්නේ. කෙසේ වුව ද, 1815 දී හියුගෝ ෆිලිප් සූ එල්ට් සිටුවරයා විසින් ‘එල්ට්ස් මන්දිරය’ නැවත මිල දී ගැනීමට සමත් ව තිබෙනවා.

(© Traveler’s Child) හේමන්තයේ දී ‘එල්ට්ස් මන්දිරය’

‘එල්ට්ස් මන්දිරය’ අද

වර්තමානයේ දී එහි ප්‍රධාන කොටස් ත්‍රිත්වයෙන් කොටස් ද්විත්වයක් ම මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත යි. එසේ ම, රන් සහ රීදි යොදාගෙන නිර්මාණය කර ඇති බඩුබාහිරාදිය, පිඟන් භාණ්ඩ, ආභරණ, වීදුරු සහ ඇත් දළ භාණ්ඩ, කාසි, පුරාණ අවි ආයුධ තැන්පත් කර ඇති අවි ගබඩාව, සහ භාණ්ඩාගාරය යුරෝපය සතු විශිෂ්ටතම භාණ්ඩ එකතුවක් ලෙස සැලකෙනවා. ‘එල්ට්ස් මන්දිරය’ සතු නයිට්වරුන්ගේ මැදිරියේ දී පුරාණ යුද සන්නාහ මෙන් ම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය විදහා දක්වන කවටයින්ගේ වෙස් මුහුණු ද දැක ගත හැකි යි.

(© Wikimedia Commons) ඩොයිච් මාක් 500 වටිනාකමින් යුතු ජර්මානු මුදල් නෝට්ටුවේ නිරූපිත ‘එල්ට්ස් මන්දිරය’

1965 – 1992 දක්වා කාලයේ දී නිකුත් කරන ලද ඩොයිච් මාක් 500 වටිනාකමින් යුතු ජර්මානු මුදල් නෝට්ටුවේ ‘එල්ට්ස් මන්දිරය’ නිරූපණය කර තිබෙනවා. එසේ ම 1977 – 1982 අතර කාලයේ දී ජර්මානු තැපැල් සේවය විසින් එල්ට්ස් මන්දිරය’ විදහා දැක්වෙන මුද්දර පෙළක් නිකුත් කර ඇති බව ද සඳහන් වෙනවා.

කවරයේ පින්තූරය : © Pinterest

Related Articles