Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

යුරෝපයේ ජනප්‍රියම ඉලෙක්ට්‍රික් වාහන මාදිලි 9ක්

ඉලෙක්ට්‍රික් වාහන ගැන කතා කරන කොට බොහෝ දෙනෙකුට මතකයට නැගෙන්නේ ටෙස්ලා කාර් රථ පිළිබඳව යි. ඉලෙක්ට්‍රික් වාහන තාක්ෂණය විද්‍යාගාරවලින් එළියට අරගෙන එදිනෙදා ගමන් බිමන් සඳහා භාවිතා කළ හැකි තාක්ෂණයක් ලෙස වැඩිදියුණු කර, ඉතාමත්ම සිත්ගන්නා සුලු වාහන මාදිලි ලෙස ඉදිරිපත් කිරීමේ ගෞරවය, ඊලෝන් මස්ක්ගේ ටෙස්ලා සමාගමට හිමිවෙනවා. වසර කිහිපයක් තනි අශ්වයෙකුගේ තරගයක් ලෙස ඉලෙක්ට්‍රික් වාහන ලෝකය ජයගෙන සිටි ටෙස්ලා සමාගමට මේ වෙනකොට දැඩි තරගයක් මතු වී තිබෙනවා. ලෝකයේ විශාලම වාහන සන්නාම සියල්ලම පාහේ දැන් එක් ආරෝපණයකින් නැතිනම්, චාර්ජ් එකකින් බොහෝ දුරක් යන්නට හැකි, ආකර්ෂණීය වාහන වෙළඳපොලට ඉදිරිපත් කරලා. එවන් වාහන අතරින් 2019 වසරේ යුරෝපයේ ජනප්‍රියම ඉලෙක්ට්‍රික් වාහන මාදිලි කිහිපයක් ගැන යි මේ.

Volkswagen e-Golf

බ්‍රිතාන්‍ය වෙළඳපොලේ ස්ටර්ලිං පවුම් 29,230කට මිල කොට තිබෙන වොක්ස්වැගන් ඊ ගොල්ෆ් මෝටර් රථයකට, එක් ආරෝපණයකින් කි.මී. 299ක් ගමන් කළ හැකි බව යි නිෂ්පාදකයින් පවසන්නේ. එහෙත් සැබෑ ලෝකයේ ධාවන තත්ත්වයන් හි දී සිදුකරන ලද ස්වාධීන ධාවන පරීක්ෂණ (independant driving tests)වල ප්‍රතිඵල අනුව, ඊ ගොල්ෆ් රථයකට එක් ආරෝපණයක දී කි.මී. 188ක් පමණ ගමන් කළ හැකි බව යි තහවුරු වී ඇත්තේ. වාහනයේ එන්ජිම ලෙස යොදා ඇති කිලෝවොට් 100ක ඉලෙක්ට්‍රික් මෝටරයෙන්, අශ්වබල 134ක ජවයක් ලබාදෙනවා. එමෙන්ම, වාහනයේ තිරිංග තදකිරීමේ දී ක්ෂය වන ජවය යළි බැටරිය ආරෝපණය සඳහා යොදාගැනීමට ප්‍රතිජනනීය තිරිංග පද්ධතියක් (regenerative breaking system) ලබා දී ඇති නිසා බැටරියේ ධාවන කාලය ඉහළ අගයක් ගන්නවා. තවද, නවීන රථවල ඇති Blind Spot Monitor, Parking Steering Assistant, Lane Assist, Adaptive Cruise Control, Keyless Access වැනි පහසුකම් සියල්ලම වොක්ස්වැගන් ඊ ගොල්ෆ් රථයේ ද සාමාන්‍ය උපාංග ලෙස ලැබෙනවා.

2019 Nissan Leaf

ස්ටර්ලිං පවුම් 24,495කට මිල කරලා තියෙන, නිසාන් ලීෆ් 2019 මාදිලිය එක් ආරෝපණයකින් කි.මී. 270ක් ගමන් කළ හැකියි. එහෙත් Which Car? සඟරාව මඟින් ස්වාධීනව සිදුකරන ලද ධාවන ප්‍රතිපල අනුව, නිසාන් ලීෆ් රථයක් එක් ආරෝපණයක දී ගමන් කරන දුර කි.මී. 205ක් පමණ වන බව යි වාර්තා වෙන්නේ. කිලෝවොට් 140ක ඉලෙක්ට්‍රික් මෝටරයකින් බලගැන්වෙන නිසාන් ලීෆ් රථයට, අශ්වබල 214ක ජවයක් තිබෙනවා. තත්පර 8ක දී පැයට කි.මී. 100ක වේගයක් ළඟා කරගැනීමට ද මෙයට හැකියාව තිබෙනවා.

නවීන මෝටර් රථවල එන passenger safety ආරක්ෂක පහසුකම්, රියදුරාට සහාය වන driver assist පහසුකම් හා ඉතා ඉක්මණින් බැටරිය යළි ආරෝපණය කරගත හැකි fast charging පහසුකම්වලින් යුතු 2019 නිසාන් ලීෆ් මාදිලිය යුරෝපයේ මෙන්ම ඇමරිකාවේ ද ඉහළ ඉල්ලුමක් ඇති රථයක් බවට පත්ව තිබෙනවා.

Renault Zoe

ප්‍රංශයේ සුප්‍රකට රෙනෝ (Renault) සමාගම මඟින් ඉදිරිපත් කරන Renault Zoe රථය, එම සමාගම මඟින් ඉදිරිපත් කරන ලද ඉතාමත් සාර්ථක ඉලෙක්ට්‍රික් කාර් රථය බව යි මෝටර් රථ කර්මාන්තය පිළිබඳ විචාරකයින් පවසන්නේ. ස්ටර්ලින් පවුම් 17,000ක මිලකට ඉදිරිපත් කොට ඇති මෙම රථය, ඉතා කාර්යක්ෂම මෙන්ම ප්‍රමාණයෙනුත් කුඩා රථයක්. නිෂ්පාදක දත්ත සටහන් අනුව එක් බැටරි ආරෝපණයකට කි.මී. 299ක් බව දක්වා තිබුණ ද, ධාවන පරීක්ෂණවල දී කි.මී. 235කට සීමා වන බව පෙනී යනවා. Renault Zoe රථය මිලදී ගන්නා අයෙකුට, එම රථයේ බැටරිය වෙනම ලීසිං පදනමක් යටතේ ලබාගත හැකි ආකාරයේ සැලැස්මක් ද ඉදිරිපත් කොට තිබෙනවා. මෙම සැලැස්මට අනුව රථයේ බැටරියේ ධාරිතාවය අඩුවීමක් හෝ වෙනත් ගැටලුවක් ඇති වුවහොත්, අලුත්ම බැටරියකට හුවමාරු කරගැනීමේ අවස්ථාව රථයේ හිමිකරුට ලැබෙනවා. අශ්වබල 108ක ජවයක් ලබාදෙන කිලෝවොට් 80ක මෝටරයකින් බලගැන්වෙන මේ රථය, නගරාශ්‍රිත කෙටි ධාවනයන් (city running) සඳහා වඩාත් සුදුසු බව යි ඉලෙක්ට්‍රික් වාහන තාක්ෂණවේදීන් පවසන්නේ. කෙසේ වෙතත්, අවශ්‍ය විටෙක දුර ගමන් සඳහා ද මේ රථය අපහසුවකින් තොරව යොදාගත හැකි යි. එමෙන්ම, යුරෝපීය මඟී කාර් රථ සඳහා නිර්දේශිත සියලුම ආරක්ෂක උපාංග හා පහසුකම් ද Renault Zoe රථයේ සාමාන්‍ය උපාංග ලෙස ලැබෙනවා.

BMW i3

2014 වසරේ සිට ම වෙළඳපොලේ තිබෙන BMW i3 රථයේ අලුත්ම මාදිලිය, වඩාත් ඉහල ධාරිතාවයෙන් යුතු බැටරියකින්, බලසම්පන්න මෝටර හා සුඛෝපභෝගී රථවල ඇති සුවිශේෂී පහසුකම් විශාල ප්‍රමාණයකින් ද යුතු ව වෙළඳපොලට නිකුත් වී තිබෙනවා. මෙය ස්ටර්ලින් පවුම් 31,600කට මිල කොට තිබෙනවා. එමෙන්ම, වෙළඳපොලේ තිබෙන ඉලෙක්ට්‍රික් වාහන අතරින් ඉතාමත් ආකර්ෂණීය futuristic design මාදිලියේ නිමාවක් i3 රථයට තිබෙනවා. නිල වශයෙන් බැටරි ආරෝපණයකට කි.මී. 310ක් ධාවනය කළ හැකි මෙම රථය, සාමාන්‍ය ධාවන පරීක්ෂණවල දී කි.මී. 165ක පමණ දුරක් පහසුවෙන් ධාවනය කළ හැකි බව තහවුරු වී තිබෙනවා. BMW සමාගම සතු Carbon Fiber Reinforced Plastic තාක්ෂණය උපයෝගී කරගෙන i3 රථයේ බඳ නිෂ්පාදනය කොට ඇති අතර, ඉතාමත් ශක්තිමත් මෙන්ම ඉතා සැහැල්ලු අයුරින් රථය නිම වී තිබෙනවා. ඒ නිසා බැටරිවලින් ලැබෙන ජවයෙන් විශාල දුරක් ගමන් කළ හැකි බව යි සමාගම පවසන්නේ.

Audi e-tron

වොක්ස්වැගන් සමාගම සතු Audi එළිදක්වන ඊ ට්‍රෝන්, එම සමාගමේ Sports Utility Vehicle (SUV) මාදිලිය වන Q මාදිලියෙන් ඉදිරිපත් වෙනවා. සුඛෝපභෝගී SUV මාදිලිවල ඇති සුවිශේෂී පහසුකම් සියල්ලෙන්ම සපිරි ඊ-ට්‍රෝන් මාදිලියේ මිල, ස්ටර්ලිං පවුම් 68,000ක් වනවා. නිල දත්ත අනුව කි.මී. 400ක් ගමන් කළ හැකි ඊ-ට්‍රෝන් රථයට සාමාන්‍ය ධාවන තත්ත්වයන් හි දී එක් ආරෝපණයකට කි.මී. 315ක් පමණ ගමන් කළ හැකි බව තහවුරු වී තිබෙනවා. අශ්වබල 355ක ජවයක් ලබාදෙන මෝටර් දෙකකින් බලගැන්වෙන ඊ-ට්‍රෝන් රථය කිලෝවොට් 95ක බලයක් දෙන බැටරි පද්ධතියකින් සමන්විත වෙනවා.

ටච් ස්ක්‍රීන් වීඩියෝ තිර, ඇඩැප්ටිව් කෲස් කන්ට්‍රෝල්, ඇන්ටි ලොක්, ඇන්ටි ස්ලිප්, ලේන් ඇසිස්ට්, පාකින් ඇසිස්ට් ආදී Audi මෝටර් රථයක තිබෙන සියලුම සුඛෝපබෝගී පහසුකම් හා ආරක්ෂක උපක්‍රමවලින් පරිපූර්ණ මෙම රථය, ඉතාමත් ආරක්ෂාකාරී මෙන්ම තෘප්තිමත් ධාවනයක් සඳහා නිර්මාණය කොට තිබෙනවා.

Tesla Model S (75D)

Standard Range, Long Range හා Performance ලෙස මාදිලි තුනකින් ඉදිරිපත් වන ටෙස්ලා මොඩල් S, ලෝකයේ ජනප්‍රියම ඉලෙක්ට්‍රික් වාහන මාදිලිය බව අවිවාදිත යි. අලුත්ම උපාංග හා පහසුකම් මෙන්ම වැඩි ධාරිතාවයක බැටරිවලින් ද සමන්විත අලුත්ම ටෙස්ලා මොඩල් S මාදිලිය, මේ වන විට යුරෝපීය වෙළඳපොලටත් ළඟා වෙලා. බ්‍රිතාන්‍ය වෙළඳපොලේ පවුම් 68,900කට මිලදී ගත හැකි ටෙස්ලා මොඩල් S 75D රථය ඉදිරිපස හා පසුපස ඇක්සලවලට බද්ධ කළ බලසම්පන්න ඉලෙක්ට්‍රික් මෝටර් දෙකකින් ජවය ලබාගන්නවා. අශ්වබල 415ක ජවයක් ලබාදෙන මෙම මෝටර් මඟින් මොඩල් S රථය තත්පර 4.2ක දී පැයට කි.මී. 100ක වේගයක් වෙත ගෙන යනවා. එමෙන්ම උපරිම වේගය පැයට කි.මී. 225ක් බව යි වාර්තා වන්නේ.

පැරණි මොඩල් S රථයේ බැටරියට වඩා සැහැල්ලු, එමෙන්ම කිලෝවොට් 75ක බලයක් ලබාදිය හැකි බැටරියක් අලුත් මොඩල් S 75D රථයට ලබා දී තිබෙනවා. ටෙස්ලා ඉලෙක්ට්‍රික් රථ වෙත වඩාත් ආකර්ෂණීය වන තවත් වැදගත් කරුණක් වන්නේ, ටෙස්ලා සමාගම මඟින් යුරෝපයේ ජනාකීර්ණ නගර සියල්ල ආවරණය වන ලෙස ඉදිකර ඇති ටෙස්ලා බැටරි ආරෝපණ මධ්‍යස්ථාන ජාලය යි. මේ නිසා ටෙස්ලා රථයක් ධාවනය කරන රියැදුරෙකුට සිය රථයේ බැටරි ආරෝපණය ගැන එතරම් කරදර විය යුතු නෑ. ටෙස්ලා රථවලටම ආවේණික වූ සුවිශේෂී උපාංග හා පහසුකම් රාශියක්, සාමාන්‍ය උපාංග ලෙස ලැබෙන අතර අමතර ගෙවීම් සිදුකොට තවත් අමතර උපාංග හා පහසුකම් රාශියක් ලබාගත හැකි යි. එමෙන්ම රැහැන් රහිතව රථයේ මෘදුකාංග යාවත්කාලීන කරන over-the-air software update පහසුකම නිසා නිවසේ දී ම රථයේ මෘදුකාංග යාවත්කාලීන කිරීම සිදුකරගත හැකියි.

Tesla Model X 100D

ටෙස්ලා සමාගම ඉදිරිපත් කරන SUV මාදිලියේ මොඩල් X 100 D (2019), තවත් ඉතාමත් ජනප්‍රිය ටෙස්ලා රථයක්. මොඩල් S ආකාරයටම Standard Range, Long Range හා Performance ලෙස මාදිලි තුනකින් ඉදිරිපත් වන ටෙස්ලා මොඩල් X රථය බ්‍රිතාන්‍යයේ අලෙවි වන්නේ පවුම් 73,900ක මිලකට. එක් ආරෝපණයකින් කි.මී. 375ක් (නිෂ්පාදකයාගේ දත්ත- කිලෝමීටර් 564 යි) ධාවනය කළ හැකි මෙම රථය, කි.මී. 300ක සීමාව පසුකොට ධාවනය කළ හැකි 7 Seater SUV මාදිලියේ ඉලෙට්‍රික් වාහන කිහිපයෙන් එකක් වනවා. මඟීන් සත් දෙනෙකුට ඉතා සුව පහසුව ගමන් කළ හැකි ටෙස්ලා මොඩල් X රථය, Falcon Wing ලෙස හැඳින්වෙන ඉහළට එසවෙන දොරවල් පසුපස දොරවල් දෙකකින් සමන්විත වෙනවා. විශාල රථයක් වුවද, තත්පර 3.5ක් පැයට කි.මී. 100ක වේගයක් ලඟා කරගන්නා X රථය Ludicrous Mode ලෙස හඳුන්වන අධිවේගී ධාවන මාදිලියකින් ද සමන්විත වන අතර, Ludicrous Mode ක්‍රියාත්මක කළ විට රථය පැයට කි.මී. 100ක වේගයක් ළඟා කර ගැනීමට ගන්නා කාලය තත්පර 2.8ක්. මොඩල් X රථයේ ද සුවිශේෂී උපාංග හා පහසුකම් රාශියක් සාමාන්‍ය උපාංග ලෙස ලැබෙන අතර, අමතර ගෙවීම් සිදුකොට තවත් අමතර උපාංග හා පහසුකම් රාශියක් ලබාගත හැකි වෙනවා. එමෙන්ම over-the-air software update පහසුකම නිසා නිවසේ දී ම රථයේ මෘදුකාංග යාවත්කාලීන කිරීම සිදුකරගත හැකියි.

Kia e-Niro

Kia ඊ-නීරෝ රථය, කොරියාවේ Kia සමාගම ඉදිරිපත් කරන ඉලෙක්ට්‍රික් රථ අතරින් ඉහළම ඉල්ලුමක් ඇති රථය බව යුරෝපයෙන් වාර්තා වෙනවා. සාමාන්‍ය ධාවන තත්ත්වයන් යටතේ කි.මී. 400ක දුරක් එක් ආරෝපණයකින් ගමන් කරන මෙම රථය මොඩල් X රථයට වඩා කුඩා වුවත්, ඉතා සුවපහසු ගමනක් සපයනවා. බ්‍රිතාන්‍යයේ පවුම් 32,995කට අලෙවි වන මේ රථය, ගෙවන මිලට ඉහළ වටිනාකමක් ලබාදෙන බව මෝටර් රථ කර්මාන්තය නිරීක්ෂණය කරන විශේෂඥයින් පවසනවා. Crossover SUV මාදිලියට අයත් ඊ-නීරෝ රථය, කිලෝවොට් 64ක ධාරිතාවයක් සහිත බැටරියකින් සමන්විත වනවා මෙන්ම රැපිඩ් චාර්ජ් ක්‍රමයෙන් පැයක් ඇතුළත බැටරිය නැවත් ආරෝපණය කරගත හැකි ලෙස නිපදවා තිබෙනවා. Touchscreen, Sat-nav, Reversing camera, Smart cruise control, Xenon headlights ආදී අමතර උපාංග රාශියක් ඊ-ට්‍රෝන් රථය සමග ලබාගත හැකි සේ ම, ආකර්ෂණීය පෙනුම නිසා තරුණ පරපුර අතර බොහෝ සෙයින් ජනප්‍රිය බව වාර්තා වෙනවා.

Hyundai Kona Electric

හයුන්ඩායි සමාගමේ Kona ඉලෙක්ට්‍රික් රථය Crossover SUV මාදිලියට අයත්වන අතර, කොරියානු ඉලෙක්ට්‍රික් මෝටර් රථ අතරින් යුරෝපය පුරාම ඉහළම ඉල්ලුමක් ඇති රථය බවට පත්වී තිබෙනවා. මෙය Kia ඊ-නීරෝ රථයටත් වඩා ජනප්‍රිය බව යි වාර්තා වන්නේ. පවුම් 27,250කට අලෙවි වන මෙම රථය Kia ඊ-නීරෝ රථයට බොහෝ සෙයින් සමාන වුවත්, මිලෙන් අඩු වීම එහි ජනප්‍රියත්වය වැඩි වීමට හේතුවක්. එමෙන්ම හුන්ඩායි සමාගමේ මෝටර් රථවල තත්ත්වය ජපන් හා ජර්මන් රථවල තත්ත්වයට සමාන බව තහවුරුවීමත්, ඉල්ලුම ඉහළ යාමට තවත් හේතුවක්. ආරෝපණයකින් කි.මී. 416ක දුරක් ගමන් කළ හැකි බව ධාවන පරීක්ෂණවල දී තහවුරුවී ඇති අතර, 2019 වසරේ හොඳම වාහන අතරින් එකක් බවට තෝරාගෙන තිබෙනවා. කිලෝවොට් 64ක ධාරිතාවය ඇති බැටරියකින් අශ්වබල 216ක ජවයක් ලබාදෙන අතර, රීජෙනරේටිව් බ්‍රේකින් තාක්ෂණය නිසා බැටරිය වාහනයේ තිරිංග තද කිරීමේ දී නැවත ආරෝපණය වනවා. Touchscreen, Sat-nav with live traffic updates, Wireless phone charging, Android Auto Apple CarPlay ආදී ඉතා සුවපහසු ධාවනයකට අවශ්‍ය සියලුම අංගෝපාංගයන් හා පහසුකම්වලින් සමන්විත Kona ඉලෙක්ට්‍රික් රථය Anti-lock බ්‍රේකින්, ස්මාර් එයාර් බෑග් ආදී ආරක්ෂක උපාංගවලින් ද සමන්විත යි.

කවරයේ පින්තූරය: chimbotealdia.com

Related Articles