“අපරාධ පරික්ෂණය” යන්න ඇසුණු සැනින් නිතැතින්ම අපගේ මතකයට නැගෙන්නක් වන්නේ ඇඟිලි සලකුණු යි. ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල එය හැඳින්වෙනුයේ කණ අත්සන ලෙසිනි. ඊට හේතු වන්නේ දෑස් පියාගෙන වුවද අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ඇඟිලි සලකුණු භාවිත කළ හැකි වීමයි. අකුරු ලියන්නට නොහැකි හා දෑස් නොපෙනෙන ජනතාව අත්සන වෙනුවට යොදනු ලබන්නේ ඇඟිලි සලකුණයි.
අපරාධ විෂයය ක්ෂේත්‍රයට ඇඟිලි සලකුණු විද්‍යාව සමීප නෑකමක් පෙන්වයි. ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද ප්‍රධාන පෙළේ අපරාධකරුවන් සොයාගනු ලැබ ඇත්තේ ඇඟිලි සලකුණු භාවිතා කරමිනි. වර්තමානයේ ලෝකයේ තාක්ෂණය කෙතරම් දියුණු වුවත් අපරාධකරුවන් සොයාගැනීමේ දී විශ්වාසනීයම ක්‍රමවේදය වශයෙන් තවමත් පිළිගනු ලබන්නේ ඇඟිලි සලකුණු ය.
මේ නිසා ඇඟිලි සලකුණු වලට මෙවැනි සුවිශේෂී කාර්යභාරයක් පැවරී ඇත්තේ ඇයි ද යන්න පිළිබඳව සහ ඇඟිලි සලකුණු වලට මෙතරම් වැදගත්කමක් ලැබීමට හේතු මොනවාද යන්න විමසා බැලීම වැදගත් වනු ඇත.
සෑම පුද්ගලයකුටම පිහිටන ඇඟිලි සළකුණු විශේෂිත වීමට හේතුව ඒවායේ එක්තරා සුවිශේෂී ගුණයක් පැවතීමයි. එනම් ලෝකයේ කිසිම පුද්ගලයෙක් පුද්ගලයන් දෙදෙනෙකුගේ ඇඟිලි සලකුණු එකිනෙක සමාන නොවෙයි. ඇඟිලි සලකුණු අතින් සමාන වන පුද්ගලයින් දෙදෙනෙක් මෙතෙක් ලොව හමු වී නොමැත.
ඇඟිලි සලකුණුවල පිහිටීම
දෑත්වල අත්ලේ සහ ඇඟිලිවල සලකුණු සියුම්ව නිරීක්ෂණය කිරීමේ දී ස්වාභාවිකව පිහිටා ඇති සියුම් රේඛා සලකුණු දැකගත හැකි වෙයි. අතේ රේඛා වලට වඩා වෙනස් ඉතාම සියුම් රේඛා සමූහයක් ඇඟිලි මත විහිදී ඇති අයුරු ඔබට පෙනෙනු ඇත. අල්ල සියුම් රේඛා සමූහයකින් යුක්ත වුවද ඇඟිලිවල අවසාන පුරුක් වෙත යාමේදී යම් නිශ්චිත ඕවලාකාර හැඩයකට සකස් වී ඇති බව පෙනී යයි. උත්තල කාචයකින් බැලීමෙන් හෝ තීන්ත ස්වල්පයක් තවරා ඇඟිල්ල කොළයක් මත තැබීමෙන් ඇඟිලි සලකුණු පැහැදිලිව දැක බලාගත හැක.
දෑත්වල සහ පාදවල පමණක් සලකුණු පිහිටන්නේ ඇයි?
අත්වල පමණක් නොව පාදවල යටි පතුලෙහි ද සියුම් රේඛා සලකුණු දක්නට ලැබෙයි. මිනිසාගේ සමේ කොටසක් වන අල්ල සහ පාදයන්හි පමණක් මෙම සලකුණු ඇති වීමටත් සමෙහි අනෙකුත් ප්‍රදේශවල එලෙස සලකුණු ඇති නොවීමටත් හේතුව කුමක්ද?
මිනිසාගේ සිරුරේ විශාලතම ඉන්ද්‍රිය වන සම, රළු සම හා සිනිඳු සම ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදෙයි. ඇඟිලි, අත්ල සහ පාදයේ යටි පතුල්වල පමණක් රළු සම පිහිටයි. රේඛා පිහිටනුයේ රළු සමෙහි පමණි. සිනිඳු සමෙහි රේඛා නොපිහිටයි.
ඇඟිලි සලකුණු පිළිබඳ සොයාගැනීම්
ඇඟිලි සටහන් එකකට එකක් නොගැලපෙන බව මුලින්ම සෛද්ධාන්තිකව සොයා ඉදිරිපත් කරනු ලැබුවේ ස්කොට්ලන්ත ජාතික වෛද්‍ය හෙන්රි පොලිස් විසින් 1880 වසරේ ඔක්තෝබර් 28 වැනිදා ය. ඔහු එහිදී සමාන ඇඟිලි සටහන් නොමැති බවත්, ඒවා වෙනස් කළ නොහැකි බවත් අනාවරණය කළේ ය. එම නිසා ඕනෑම අවස්ථාවක දී පුද්ගල අනන්‍යතාව නිර්ණය කිරීම සඳහා ඇඟිලි සලකුණු යොදාගත හැකි බවත් ඔහු පැහැදිලි කරන ලදී.
මුලින්ම ඇඟිලි සටහන් දෛනික ජීවන රටාවට සම්බන්ධ කරගත්තේ මීට වසර දහස් ගණනකට පෙර ජීවත් වූ ප්‍රාග් යුගයේ චීන මිනිසා බවට පිළිගත හැකි සාක්ෂි පවතී. ඔවුන් තමාගේ දෛනික කටයුතු වල දී අනන්‍යතාව කියා පෑමට ඇඟිලි සටහන් උපයෝගී කරගෙන ඇති බවට ඓතිහාසික තොරතුරු හා මූලාශ්‍ර ඔස්සේ අනාවරණය වී ඇත. මෙය කාලයාගේ ඇවෑමෙන් ඉන්දියාවට ද පැතිරී ගිය බව පැවසේ.
ඉතිහාසඥයෙකු හා ගත් කතුවරයෙකු වන කියා කුන් සන් ක්‍රිස්තු වර්ෂ 650 දී රචිත ග්‍රන්ථයක ලිපි ලේඛන සකස් කිරීමේ දී ඇඟිලි සලකුණ ප්‍රයෝජනයට ගත් බව සඳහන් කර ඇත. එසේම දොළොස් වන සියවසේ විසූ චීන ජාතික ගත් කතුවරයකු වන ෂී තායින්ගෙන් විසින් රචිත නවකතා පෙළක අපරාධකරුවන් අල්ලා ගැනීමට මෙම විශේෂ සලකුණු වර්ග යොදා ගත් බව සඳහන් කර ඇත. එහි කතාවේ පරිදි ස්වකීය සොහොයුරා මරා දැමූ කාන්තාවන් දෙදෙනාගේ ඇඟිලි සටහන් මිනීමරුවන් සොයා ගැනීමේ දී යොදා ගන්නා ලද බව පැවසෙයි. ඈත අතීතයේ සිට දැන සිටි නමුත් ඇඟිලි සළකුණු පුද්ගලයින් හඳුනාගැනීමට යොදාගැනීම විද්‍යාවක් ලෙස නිශ්චිත ක්‍රමයකට දියුණු වීම මෙන්ම ඇඟිලි සලකුණු වර්ගීකරණය ආරම්භ වූයේ ද මෑත කාලයේ දී ය.
ඇඟිලි සලකුණු විද්‍යාවේ ප්‍රගතිය සඳහා දායක වූ විද්‍යාඥයෝ කිහිප දෙනෙක් වෙති. මසලේ මැල් පීජී යනු සමේ පිහිටීම හා ඇඟිලි සලකුණු ගැන පරීක්ෂණ පැවැත්වූ ප්‍රකට ඉතාලි ජාතික විද්‍යාඥයා ය. 1686 වසරේ දී ඔහු විසින් සිදුකරන ලද පරීක්ෂණවල ප්‍රතිඵල එළි දැක්වුණු අතර ඔහුට කරනු ලබන උපහාරයක් ලෙස සමේ අපිචර්මීය ස්ථරයක් මැල්පිගීය ස්ථරය ලෙස නම් කරන ලදී. ක්‍රිස්තු වර්ෂ 1787 – 1869 දක්වා කාල වකවානුවේ ජීවත් වූ ජර්මානු ජාතික විද්‍යාඥයන් ජොහැන්නස් ඊ පර්කින්ස් ඇඟිලි සටහන් ගැන හා එහි මෝස්තර පිළිබඳව දීර්ඝ ලෙස පරීක්ෂණ පවත්වන ලද අයෙකි. කෙසේ වෙතත් ඔහු වැඩිපුරම උනන්දු වී ඇත්තේ වඳුරන්ගේ පාද පිළිබඳව මිස මිනිසුන් ගේ ඇඟිලි සළකුණු පිළිබඳ ව නොවේ.
පුද්ගලයකුගේ ඇඟිලි සලකුණ ජීවිත කාලය මුළුල්ලේම නොවෙනස්ව පවතින බව සොයා ගැනීමට සමත් වූයේ ඉංගිරිසි ජාතික විද්‍යාඥයෙකු වන ශ්‍රීමත් විලියම් හැරල්ඩ් විසිනි. ඇඟිලි සලකුණු සම්බන්ධ වූ ඉදිරිපත් කළ මත අදටත් බොහෝ දෙනෙකුගේ සම්භාවනාවට පාත්‍ර වී තිබේ. හෙන්රි ෆොස්ඩිස් ක්‍රිස්තු වර්ෂ 1943 සහ 1930 අතර කාලයේ දී ජීවත්වූ ස්කොට්ලන්ත ජාතික වෛද්‍යවරයෙකි. මිනිසුන් හා වඳුරන්ගේ ඇඟිලි සලකුණු ගැන පරීක්ෂණ පැවැත්වූ ඔහු එමඟින් නව සිද්ධාන්තයක් එළිදක්වන ලදී. ඒ ඇඟිලි සටහන් කිසිදු විටෙක එකකට එකක් නොගැලපෙන බවත් එසේම ඒවා වෙනස් කළ නොහැකි බවත්ය. අපරාධකරුවන් ප්‍රායෝගිකව අල්ලාගැනීම නමින් ග්‍රන්ථයක්ද රචනා කළ ඔහු අපරාධ ස්ථානයේ ඇති ඇඟිලි සළකුණු අපරාධකරුවන් අල්ලා ගැනීමට යොදාගත හැකි බවට යෝජනා ඉදිරිපත් කරන ලදී.
ලෝකයේ ප්‍රථම ඇගිලි සටහන් කාර්යාංශය පිහිටුවමින් ළදරුවකු උපන් විගස ඇඟිලි සළකුණු ගැනීම සිවිල් සේවකයන් වෛද්‍යවරුන් තැපැල් සේවකයන් ආදීන්ගේ ඇඟිලි සටහන් වාර්තාගත කිරීම අරඹන ලද්දේ ආර්ජන්ටිනා ජාතික අධිකරණ වෛද්‍යවරයෙකි. ඔහු නමින් වෛද්‍ය ගුවන් මුස්ලිම් විය.
පුද්ගල අනන්‍යතාව තීරණය කිරීම
මෙම සොයාගැනීම් හේතුවෙන් පුද්ගලයකු හඳුනාගැනීම සඳහා පහසු හා නිවැරදි ක්‍රමයක් ලෙස ඇඟිලි සළකුණු වලට ඉහළ පිළිගැනීමක් ඇති විය. පුද්ගලික අනන්‍යතාව තීරණය කිරීමේ දී විවිධ ක්‍රම භාවිතා කරනු ලැබේ. අත්සන මෙන්ම DNA පරීක්ෂණ ද පුද්ගලික අනන්‍යතාව හඳුනාගැනීම සඳහා වැදගත් මූලාශ්‍ර වෙයි. එහෙත් අත්සන ව්‍යාජ ලෙස සකස් කළ හැකි බැවින් එහි වටිනාකම මේ වන විට අඩුවෙමින් පවතී නමුත් DNA පරීක්ෂණ යනු පුද්ගලයකු වෙන්කර හඳුනාගැනීමේ සාර්ථකම ක්‍රමෝපාය යි. නමුත් DNA පරීක්ෂණයක් සිදුකිරීම ප්‍රායෝගිකව අපහසු ය. එයට හේතුව එම පරීක්ෂණය විද්‍යාගාරයක දී සිදුකළ යුතු වීමයි
ඇඟිලි සළකුණු මගින් අනන්‍යතාව නිර්ණය කිරීම එතරම් අපහසු ක්‍රමයක් නොවෙයි. ඇඟිලි සළකුණු ලබාගැනීම මෙන්ම පරික්ෂා කිරීම ද වැඩි අපහසුතාවකින් තොරව සිදු කළ හැකි කටයුත්තක් වෙයි. නිවුන් දරුවන් දෙදෙනකුගේ වුව ද ඇඟිලි සළකුණු එකිනෙකට සමාන නොවීම විශේෂ ලක්ෂණයකි. මේ හේතු නිසාවෙන්ම නවීන තාක්ෂණය යොදා ගනිමින් පුද්ගලයන් හඳුනා ගැනීමේ උපායක් ලෙස ඇඟිලි සළකුණු භාවිතාව ඉතා ඉහළ සාර්ථකත්වයක් ගනිමින් පවතී.
ආරක්‍ෂිත උපක්‍රම
වර්තමානයේදී අයිතිකරුට පමණක් ක්‍රියාකරවිය හැකි ලෙසින් ඇඟිලි සලකුණ හඳුනා ගැනීමට හැකි ජංගම දුරකථන, කාර් යනාදිය ද නිපදවා ඇත. එමෙන්ම නිවාස, කර්මාන්තශාලා, සහ පරීක්ෂාකාරීව ආරක්ෂිතව අවශ්‍ය පුද්ගලයින් පමණක් ඇතුළු වීම තහවුරු කළ යුතු ස්ථානවල ආරක්ෂිත උපක්‍රමයක් ලෙස ඇඟිලි සලකුණුවලින් විවෘත වන දොරවල් යොදා ගනී.
නොයෙකුත් පුද්ගලයන් ගේ ඇඟිලි සටහන් සම්බන්ධ වාර්තා බොහෝ රටවල එක්රැස් කරනු ලබන අතර ඒවා පරිගණක යන්ත්‍ර වල ආරක්ෂිතව තැබීම ද වර්තමානයේ දක්නට ලැබේ. ඇඟිලි සලකුණ යොදා ගන්නා වඩාත් සුලබම ක්ෂේත්‍රය අපරාධ විද්‍යාව යි. අපරාධ හා ඇඟිලි සළකුණු යනු බොහෝ අවස්ථාවල දී එකට කියවෙන වචන බවට පත්වී තිබේ. වර්තමානයේ දී බොහෝ රටවල අපරාධ විමර්ශනයේ දී ඇඟිලි සලකුණු යොදා ගැනීම ඉතාම සුලභ කරුණක් බවට පත් වී හමාරය.
ඇඟිලි සලකුණු පහසුවෙන් සලකුණු වේ
අප ශරීරයේ සෑම ස්ථානයකම පාහේ දහඩිය ග්‍රන්ථි පිහිටා ඇති බව අපි දනිමු. එම ග්‍රන්ථි අත්ලේත් එලෙසින්ම පිහිටයි. අතක ඇඟිලි සලකුණු ඇති ස්ථාන වලද දහදිය දැමීම සිදු වන අතර දහදියේ 98.05% – 99.5% ජලය ඇති අතර 0.5 1.5% දක්වා ලවණ අන්තර්ගත වෙයි. දහදිය දැමූ ඇඟිලි වලින් පෘෂ්ටයක් ස්පර්ශ කළ විට අපගේ ඇඟිලි සළකුණු එහි සටහන් වේ. එහෙත් දහදිය සලකුණක් ලෙස ඇති නිසා එය පියවි ඇසට නොපෙනෙන අතර අපරාධයක් සිදු කරන පුද්ගලයා තමා නොදැනුවත්වම මේ ආකාරයට අපරාධ සිදුකරන ස්ථානය ඇඟිලි සළකුණු තබා යයි.
ලංකාවේ ඇඟිලි සලකුණු සම්බන්ධව ක්‍රියා කරන ආයතන
අපරාධ පරීක්ෂණයේ යෙදෙන නිලධාරීන් එම ඇඟිලි සලකුණු වර්ධනය කරන රසායනික ද්‍රව්‍යයක් යොදා ගනිමින් මෙලෙස නොපෙනී ඇති සාක්ෂි වර්ධනය කරගනු ලබයි. එමගින් සොයා ගන්නා ඇඟිලි සටහන් අපරාධයකට සම්බන්ධ පුද්ගලයාගෙ ඇඟිලි සළකුණු සමග සම්බන්ධ කිරීමෙන් අපරාධකරු නිගමනය කළ හැකි වේ. ලෝකයේ හැම රටකම පාහේ අපරාධ විමර්ශනය සඳහා පොලිසිය හා සම්බන්ධ වී ඇඟිලි සළකුණු පරීක්ෂා කිරීමට ආයතනයක් පිහිටුවා ඇත. අපරාධ පරීක්ෂණ කොට්ඨාශය ලංකාවේ ඇඟිලි සලකුණු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට පිහිටුවා ඇති ආයතනය වේ. එමගින් ඇඟිලි සලකුණු රැස්කිරීම, ඇඟිලි සළකුණු වර්ගීකරණය, අපරාධ කරුවන්ගේ ඇඟිලි සලකුණු ලබා ගැනීම, අපරාධ සිදු වූ ස්ථාන වල සටහන් ලබා ගැනීම ආදිය සිදු කරනු ලබයි. අධිකරණය මගින් වරදකරුවන් වන සියලු අපරාධකරුවන්ගේ ඇඟිලි සළකුණු වාර්තා පොලිසිය සතු වන බැවින් අපරාධ ස්ථානයක දී සොයාගන්නා ඇඟිලි සලකුණු ලබාගැනීම, අපරාධ සිදු වූ ස්ථාන වල සටහන් ලබා ගැනීම ආදිය සාමාන්‍යයෙන් සිදුකරන්නකි. අපරාධ ස්ථානයකදී සොයාගන්නා ඇඟිලි සළකුණු සමග අපරාධකරුවන්ගේ සලකුණු පරීක්ෂා කිරීම හා සංසන්දනය කිරීම මෙනිසා පහසු වී ඇත.
සුප්‍රකට සතාසිවම් නඩු විභාගය මෙන්ම මෑත කාලීනව විභාග වූ බොහෝ මිනීමැරුම් නඩු වල දී ද තීරණාත්මක සාධකය බවට පත්වූයේ මිනිසාගේ අත්ලේ මෙන්ම පත්ලේද පිහිටා ඇති මෙම විශේෂ සලකුණු වර්ගයයි. අපරාධ නිර්ණය කිරීමේ මෙන්ම අනන්‍යතාව නිගමනය කිරීමේ ක්‍රියාවලියට ද විශාල වැදගත්කමක් ගෙනදෙන ඇඟිලි සළකුණු මිනිසාගේ ශරීරයේ පිහිටි වැදගත්ම හැඳුනුම්පතයි. අද වන විට සැත්කම් මගින් ඇඟිලි සලකුණු වෙනස් කළ හැකි ක්‍රමයන් හඳුන්වා දී ඇති නමුත්, ඇඟිලි සලකුණු විද්‍යාව අනාගතයේ දී ද මිනිසා වෙනුවෙන් විශාල සේවයක් සපයනු ඇත.