ජලභීතිකාව මිනිසෙකුට වැළඳිය හැකි මාරාන්තිකම රෝග අතුරින් එකක් වෙනවා. මෙහි රෝග ලක්ෂණ පහළ වූ පසු එය සුවකිරීම උගහට වන අතර රෝගියා අපහසුතා රාශියකට ලක් වී අවසානයේ ඉතා වේදනාකාරී මරණයකට බඳුන් වෙනවා. මේ රෝගය පිළිබඳව වැඩිදුර තොරතුරු අපි පසුගිය ලිපියකින් ඔබ වෙත ගෙන ආවා.
ක්ෂීරපායී සතුන් අතර පැතිරෙන වෛරසයක් හේතුවෙන් හටගන්නා මේ රෝගය හේතුවෙන් අතීතයේ දී මියගිය ගණන ලක්ෂ ගණනක්. 19 වන සියවස අග භාගයේ දී ලුවී පාශ්චර් විසින් මෙය මැඬලීමට සාර්ථක එන්නතක් සොයාගත්තත් එය අනිවාර්යයෙන්ම රෝගකාරකය ආසාදනය වී රෝග ලක්ෂණ පහළ වීමට පෙර රෝගියාට ලබා දිය යුතු වෙනවා. රෝග ලක්ෂණ පහළ වීමෙන් පසු ඒ පිළිබඳව නිශ්චිතවම කළ හැකි ප්‍රතිකාරයක් අද වන තුරුත් සොයාගෙන තහවුරු කර නැහැ.
ජලභීතිකා රෝගය වැළඳී එම රෝග ලක්ෂණ ද පහළ වූ පසු හාස්කමකින් මෙන් සිය දිවි බේරාගත් කිහිපදෙනෙකු පිළිබඳව ඉතිහාසය පුරා වාර්තා වී තිබෙනවා. කෙසේ නමුත් පසුව පරීක්ෂා කර බැලීමේ දී එක්කෝ ඔවුන්ට වැළඳී ඇත්තේ ජලභීතිකාව නොවන බව හෝ එම රෝග ලක්ෂණ පහළ වීමට පෙර ජල භීතිකා ප්‍රතිදේහ ඔවුන්ගේ රුධිරය තුළ ඇති බැව් සොයා ගැණුනා. ඇමෙරිකානු ජාතික යුවතියක වන ජීනා ගායිස් මේ අතරින් සුවිශේෂී වන්නේ ඒ නිසා යි. නියමාකාරයෙන් ජලභීතිකාව වැළඳී දිවි බේරාගත් ලොව පළමුවැන්නා ලෙස ඇය ඉතිහාස ගතවෙනවා. මේ ඇගේ කතාව යි.
කෙළිලොල් දැරියක්
ඇමෙරිකා එක්සත් ජනපදයෙහි විස්කොන්සින්හි විසූ 15 හැවිරිදි ජීනා ගායිස් නම් දැරිය ඉතා කෙළිලොල්, දක්ෂ මෙන්ම කාගේත් සිත දිනාගත් දැරියක වුණා. ඇය සතුන්ට ද ඉතා ආදරය කළා. 2004 සැප්තැම්බර් මස දිනෙක ඇය විස්කොන්සිහි දෙව් මැදුරකට සිය දෙමාපියන් සමග යන්නේ ඉරිදා දේව මෙහෙයට සහභාගී වීම සඳහා යි. එහි දී ඇය එහි බිම වැටී සිටි වවුලෙකු දකිනවා. එම ස්ත්ත්වයා කෙරෙහි අනුකම්පාවක් උපදවාගත් ඇය එම සත්ත්වයා ආරක්ෂාකාරී ස්ථානයක තබන්නට උනන්දු වෙනවා. මෙහි දී කලබල වන එම වවුල් පැටවා ඇගේ අත සපා කනවා. ඉන් ඉඳිකටු සිදුරක් තරම් කුඩා තුවාලයක් ඇගේ ඇඟිල්ලක ඇති වන අතර එහි දී පිටතට ආ රුධිර බිඳුව පිස දා හැරීම පමණක් සිදුවෙනවා. ඉන්පසු සියලු දෙනාට ඒ සිද්ධිය අමතක වී යනවා.
අවාසනාව ජීනා පසුපස එයි
දෙව් මැදුරේ සිදු වූ වවුල් සපා කෑමෙන් ජීනාගේ ඇඟිල්ලේ ඇති වූ තුවාලය ඉක්මණින් සුව වන අතර ඇය සිය එදිනෙදා කටයුතුවල සාමාන්‍ය පරිදි නිරත වන්නට පටන් ගත්තා. කෙසේ නමුත් ඇගේ අවාසනාවට ඇයට තුවාල සිදු කළ වවුල් පැටවාට ජල භීතිකාව වැළඳී තිබුණු අතර ඇයට ද එය ආසාදනය වී තිබුණා. සපාකෑමෙන් සති තුනක් පමණ ගත වන තැන තමන් සම්පූර්ණ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු නොවන වග ඇයට ඒත්තු ගියා. ඇගේ වම් අතෙහි ඇඟිල්ලක යම් හිරිවැටීමක් ඇති බැව් ජීනාට වැටහුණු අතර එහි යම් වෙව්ලීමක් ද නිරීක්ෂණය කළා. මෙය සිදු වී පැය 24ක් ගත වන තැන මහත් විඩාවක් ඇයට දැනෙන්නට ගත් අතර යම් යම් දේ ද්විත්වයක් වී දර්ශනය වන්නට ද පටන් ගත්තා. ඇයට උණ වැළඳී ඇතැ යි අනුමාන කළ ජීනාගේ දෙමව්පියන් ඇයව රෝහල කරා ගෙන ගියා.
ජලභීතිකාව වැළඳුණු ජීනා
රෝහල් ගත කරන විට ජීනාගේ කල්පනා ශක්තිය ද මදින් මද වියැකෙමින් තිබූ අතර ඉතා දැඩි ලෙස වමනය කරන්නට ද වුණා. ඇගේ ශරීරයේ සමබරතාවය ද ගිලිහී ගොස් තිබුණා. ඇයගේ තත්ත්වය මඳින් මඳ බරපතල වනු දුටු වෛද්‍යවරුන් රෝග නිධානය සොයන්නට වෙහෙසුණා. පෙනෙන්නට තිබූ රෝග ලක්ෂණ ජලභීතිකාවට සමාන බැව් පෙනී ගියත් එය ඇමෙරිකාව වැනි රටක දුර්ලභ රෝගයක් වූ හෙයින් එකවරම එසේ නොසිතා ජීනාගේ දෙමව්පියන් සමග සාකච්ඡා කිරීමට ඔවුන් තීරණය කළා. වවුල් සපා කෑම කරළියට පැමිණෙන්නේ මේ අවස්ථාවේ දී යි. දෙබැම රැළි නංවාගත් වෛද්‍යවරුන් වහාම ඇයව ජලභීතිකාව වෙනුවෙන් පරීක්ෂා කළා. එහි දී ඇයට ජලභීතිකා රෝගය වැළඳී ඇති බැව් තහවුරු වුණා.
ජීවිතයත් මරණයත් අතර සටනක
ජලභීතිකාව වැළඳුණු බැව් තහවුරු වීමත් සමගම ජීනාගේ ජීවිතය අනතුරේ බැව් වෛද්‍යවරුන් වටහා ගත්තා. මේ වන විට ජලභීතිකාව වැළඳුණු කිසිවෙක් සිය ජීවිතය ගලවාගත් බවට තහවුරු වී නොතිබ්බත් ජීනා මෙම තත්ත්වයෙන් ගලවාගන්නට ඔවුන් හැකි සෑම උත්සාහයම දරන්නට තීරණය කළා. ඇයව මිල්වෝකි නුවර ආසාදනය වන රෝග සම්බන්ධයෙන් විශේෂඥයෙකු වන වෛද්‍ය රොඩ්නි විලබි වෙත යොමු කෙරෙන්නේ මේ අනුව යි.
මේ වන විට සම්පූර්ණයෙන් කල්පනාවකින් තොරව මුඛයෙන් ඛේටය වෑස්සෙමින් හුන් ජීනා දුටු වෛද්‍ය විලබි යම්කිසිවක් නොකළහොත් ඇගේ ජීවිතය ඉතා කෙටි කලෙකින් අවසන් වන බැව් තේරුම් ගත්තා. ඔහුට තිබූ විශාලතම අභියෝගය වූයේ මේ සඳහා කළ යුතු කිසිදු නිශ්චිත ප්‍රතිකර්මයක් කොහේ හෝ සඳහන්ව නොතිබීම යි. කෙසේ නමුත් නවීන වෛද්‍ය විද්‍යාව තුළ මේ සඳහා උත්සාහ කළ හැකි ‘හෝඩුවාවක්’ හෝ තිබිය යුතු බැව් හේ තරයේම විශ්වාස කළා.
කණාමැදිරි එළියක්
දැඩි වෙහෙසීමකින් පසු වෛද්‍ය විලබිට යම් සතුටුදායක ‘හෝඩුවාවක්’ ලැබුණා. එයට අනුව ඔහු තෙරුම් ගත්තේ ජලභීතිකා වෛරසය ස්නායු පද්ධතිය ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වන බැවින් එම නිසා මොළය විකාරරූපීව ක්‍රියාකරන්නට පටන්ගන්නා බවත්, මේ හේතුවෙන් ස්වභාවික ප්‍රතිශක්තීකරණ පද්ධතිය ක්‍රියාත්මක වීමට පෙර මොළය විසින් රෝගියා අකර්මණ්‍ය කරන බවත් යන කාරණා දෙක යි.
ඒ අනුව මොළයේ ක්‍රියාකාරීත්වය තාවකාලිකව අඩපණ කළහොත් ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතියට ක්‍රියාත්මක වීමට වැඩි කාලයක් ලැබෙන බවත් මේ අනුව රෝගය මැඩපැවැත්වීමට තරම් වන ප්‍රතිදේහ නිෂ්පාදනය වීම සිදුවිය හැකි බවත් ඔහු අනුමාන කළා. කෙසේ නමුත් මෙලෙස මොළය අකර්මණ්‍ය කිරීමෙන් රෝගියාට කුමනාකාරයේ අතුරු ආබාධයක් උද්ගත වේදැ යි යන්න පිළිබඳව ඔහුට අදහසක් තිබුණේ නැහැ.
ප්‍රතිකාර සාර්ථක වෙයි
ජීනාගේ ජීවිතය සාමාන්‍ය ප්‍රතිකාරවලින් කිසිසේත්ම බේරාගැනීමට නොහැකි බැව් ඇගේ දෙමව්පියන්ට වටහා දීමෙන් පසු නව ප්‍රතිකාරය අත්හදා බැලීමට ඔවුන් කැමති වුණා. ජීනාගේ මොළය ඉතා ගැඹුරු නින්දකට පත් කිරීමෙන් අනතුරුව ඇයගේ ශරීරයට ප්‍රතිවෛරස ප්‍රතිකාර ලබාදුන්නා. සියල්ල පුදුමයට පත්කරමින් දින කිහිපයකට පසු ඇගේ සුසුම්නා තරලයේ ජලභීතිකාවට එරෙහි ප්‍රතිදේහ වර්ධනය වෙනු දැකගන්නට ලැබුණු අතර රෝගකාරක වෛරසය කෙමෙන් කෙමෙන් අඩපණ වන සෙයක් පෙණුනා.
දින කිහිපයකට පසුව ජලභීතිකා වෛරසය ජීනාගේ ශරීරයෙන් සම්පූර්ණයෙන් ඉවත් වූ බැව් තහවුරු කරගත් වෛද්‍ය විලබි ඇගේ මොළය ගැඹුරු නිද්‍රාවෙන් මුදාහැරියා. ජීනා දෑස් හැරියේ ජලභීතිකා රෝගය වැළඳුණු පසුවත් සිය දිවි බේරාගත් බවට තහවුරු වූ සාක්ෂ්‍ය සහිත ලොව පළමු පුද්ගලයා බවට පත්වෙමින්.
ජීනාගේ ජීවිතය බේරුණේ අහඹුවකින් ද?
මේ සිදුවීමත් සමග වෛද්‍ය විලබි ඉතා සන්තෝෂයට පත්වූයේ එක් අතකින් ජීනාගේ ජීව්තය බේරාගැනීමට හැකිවීමත්, තවත් අතෙකින් නව ප්‍රතිකාර ක්‍රමයක් ලොවට හඳුන්වාදීමට හැකිවීමත් යන කාරණා නිසා යි. ඔහු එය ‘මිල්වෝකි කෙටුම්පත’ ලෙස ප්‍රසිද්ධ කළා. කෙසේ නමුත් ලොව පුරා සමහර විද්වතුන් මෙහි විශ්වාසනීයභාවය හා සාර්ථකත්වය පිළිබඳව ප්‍රශ්න කළා. එමෙන්ම මෙය පිලිපීන ජාතිකයෙකු යොදාගෙන නැවත උත්සාහ කළත් ජීනාගේ මෙන් ඔහුගේ රුධිරයෙහි ප්‍රතිදේහ වැඩුණේ නැහැ. ඔහු මියගියා. මේ අනුව මේ ප්‍රතිකාර ක්‍රමය ‘අසාර්ථක’ එකක් ලෙස මෑතක දී ප්‍රකාශ කෙරුණා.
පසු විපරම
ජීනා සුවය ලැබුව ද ජලභීතිකා රෝගය ඇගේ සනායු පද්ධතියට හානි කර තිබුණා. ඇයට කතා කිරීම මෙන්ම ඇවිදීමත් අපහසුව තිබුණා. කෙසේ නමුත් කාලයාගේ ඇවෑමෙන් දැඩි උත්සාහයකින් ඇය සුව අතට පත්වුණා. මෑතක දී ඇය විවාහපත් වූ අතර මේ වසරේ නිවුන් දරුවන් ලැබීමට තරම් වාසනාවන්ත වූවා.
මිල්වෝකි කෙටුම්පත අසාර්ථක එකක් ලෙස සඳහන් වූවත්, කිරීමට වෙන කිසිවක් නැති අවස්ථා කිහිපයක දී එය නැවත අත්හදා බැලුණා. බොහෝ අවස්ථාවල දී එය අසාර්ථක වූවත් එය සාර්ථක වූ අවස්ථා එකක් දෙකක් මේ වන විට නිළනොලත් ලෙස වාර්තා වෙනවා. ඇත්තෙන්ම ජීනාගේ ජීවිතය බේරුණේ වෛද්‍ය විද්‍යාවේ මහිමයෙන් ද, නැතිනම් හුදු අහම්බයකින් ද යන්න පිලිබඳව වෛද්‍යවරු අදටත් පර්යේෂණ පවත්වනවා.
කවරයේ පින්තූරය- aol.com