Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කියුබාවේ පිහිටි ඇමෙරිකානු සිර කඳවුර – ගුවන්තනාමෝ

ගුවන්තනාමෝ සිර කඳවුර පිළිබඳව යම් යම් කරුණු ඔබ අසා ඇති. කියුබාවේ ගුවන්තනාමෝ බොක්ක අසල පිහිටි මෙම හමුදා සිර කඳවුරේ අයිතිය ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයට යි. මෙම සිර කඳවුර භාරව කටයුතු කරන්නේ ගුවන්තනාමෝ හි පිහිටි එක්සත් ජනපද නාවික හමුදා මූලස්ථානය යි.

එම සිර කඳවුරේ ලොව නන් දෙසින් අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදීන් රදවා ඇති බවට ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක අංශ පවසනවා. නමුත් ලොව පුරා මානව හිමිකම් සංවිධාන හා එහි ක්‍රියාකාරින් පවසන්නේ මෙලෙස රදවා සිටින පුද්ගලයන් දරුණු වධ බන්ධනයට ලක් කෙරෙන අතරම ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කරන බව යි.

ජෝර්ජ් බුෂ් පාලන සමයේ “ත්‍රස්තවාදයට එරෙහිව ගෝලීය යුද්ධය” යන සංකල්පය ඔස්සේ ඇමෙරිකානු හමුදා අරාබි කලාපයේ රටවල් බොහෝ ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරනවා. එම සටන්වල දී අත්අඩංගුවට ගත් බොහෝ යුධ සිරකරුවන් ප්‍රමාණයක් වසර ගණනාවක් තිස්සේ මෙම කඳවුරේ රදවා තබා තිබෙනවා.

සිරකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගෙන ඔවුන්ව මෙලෙස රදවා තබාගෙන අමානුෂික වධ බන්ධන වලට ලක් කර මරා දැමීම හෝ සියදිවි නසා ගැනීමට පෙළඹවීම මෙම කඳවුරේ මූලික අරමුණ බව මානව හිමිකම් සංවිධානවල මතය යි.

ගුවන්තනාමෝ සිර කඳවුර ආරම්භ කිරීම

ගුවන්තනාමෝ සිර කඳවුර (The Straits Times)

2001 වසරේ සැප්තැම්බර මාසයේ 11 වන දින ඇමෙරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට හා පෙන්ටගනයට බිහිසුණු ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වෙනවා. ඇමෙරිකානු බුද්ධි අංශවලට හිතා ගැනීමටවත්  ඉඩක් නොතබා එල්ල කළ මෙම ප්‍රහාරයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයම බියෙන් තැති ගැනීමට ලක් වූවා යැයි සඳහන් කිරීම නිවැරදි යි.

මෙම ප්‍රහාරයත් සමඟම එවකට ජනාධිපතිවරයා වූ ජෝර්ජ් බුෂ් ත්‍රස්තවාදයට එරෙහිව ගෝලීය යුද්ධය නමින් මැදපෙරදිග ත්‍රස්ත සංවිධාන ඉලක්ක කරමින් මෙහෙයුමක් ආරම්භ කිරීමට තීරණය කරනවා. සැප්තැම්බර් 11 ප්‍රහාරයත් සමග ආරම්භ වූ මෙම මෙහෙයුම වර්තමානය දක්වා වසර 16කට අධික කාලයක් තිස්සේ ක්‍රියාත්මක වෙනවා.

මේ යටතේ එක්සත් ජනපද ආරක්ෂක අංශ ඇෆ්ගනිස්ථානය, ඉරාකය හා සිරියාවේ මෙහෙයුම් දියත් කරනවා. අල් කයිඩා, තලේබාන් හා ඉස්ලාමික් රාජ්‍යය සංවිධානවල ත්‍රස්තයන් විනාශ කිරීමටත් එම සංවිධානවලට ආධාර ලබා දෙන මැදපෙරදිග ආණ්ඩු පෙරළා දැමීමටත් ඔවුන් කටයුතු කරනවා.

මෙම යුද්ධයේ දී අත්අඩංගුවට පත්වෙන ත්‍රස්ත සංවිධානවල ක්‍රියාකාරිකයින් හා ඒවාට ආධාර අනුබල දෙන්නන් රඳවා තබා ගැනීමට ගුවන්තනාමෝ බොක්ක අසල ගුවන්තනාමෝ සිර කඳවුර ආරම්භ කරනවා. නමුත් මෙම කඳවුර 2002 වර්ෂයට ප්‍රථමව ද අල්කයිඩා ත්‍රස්තයන් රදවා තැබීමට භාවිතා කර තිබෙන බවට ද සාක්ෂ්‍ය ලැබී තිබෙනවා.

අමානුෂික වධ බන්ධන

ඇතුළත දර්ශනයක් (The Times)

ගුවන්තනාමෝ සිර කඳවුර කුඩා සිර කඳවුරු කිහිපයකින් සමන්විත වෙනවා. අමානුෂික පහරදීම්, උගුරෙන් පහලට රෙදිකෑලි ඔබා හුස්ම හිර කරවීම, මුඛය හා නාසය වසා ටේප් පටි ඇලවීම, සිවිලිමේ එල්ලා පහර දීම, වීදුරු කටු ආහාරයට ලබා දීම, හුස්ම හිර වනතුරු හිස ජලයේ ඔබා තැබීම, හා කටු කම්බි ගුද මාර්ගය ඔස්සේ ඇතුළු කිරීම මෙහි ක්‍රියාත්මක වන වධ බන්ධන අතරින් කිහිපයක්.

මෙවැනි අමානුෂික වධ බන්ධනයන්ට සිරකරුවන් ලක් කිරීම මෙම කඳවුරේ සාමාන්‍ය දෙයක් බව කඳවුර පිළිබඳව අදහස් දක්වන මානව හිමිකම් ක්‍රියාකාරීන් හා මාධ්‍යවේදීන් පවසා සිටිනවා.

දිගු කාල සීමාවක් අධික උෂ්ණත්වයකට ලක් කිරීම මඟින් නිදාගැනීම වැලැක්වීම, දීර්ඝ කාලයක් තිස්සේ අඳුරේ තැබීම, ලිංගික අතවරයන්ට ලක් කිරීම හා ඔවුන්ගේ ආගම නිතර අපහාසයට ලක් කිරීම වැනි ක්‍රියාකාරකම් ද නිරතුරුව සිදු කරන බැවින් සිරකරුවන් මානසික රෝගීන් බවට පත්වීම හා සියදිවි නසා ගැනීම සිදු කරන බවට වාර්තා වෙනවා.

අමානුෂික වධ බන්ධන හේතුවෙන් බොහෝ සිරකරුවන් ප්‍රමාණයක් ඝාතනය වී ඇති අතර තවත් සිරකරුවන් ප්‍රමාණයක් සියදිවි හානිකරගෙන තිබෙනවා. මේ පිළිබඳව සත්‍ය තොරතුරු ඇමෙරිකානු ආරක්ෂක අංශ විසින් වාර්තා නොකරන බවට ඔවුන්ට චෝදනා එල්ල වෙනවා.

වසා දැමීමට නොහැකි වූ ගුවන්තනාමෝ සිර කඳවුර

ඇතුළත දර්ශනයක් (The Independent)

නාවික කඳවුර කුමන හෝ ඇමරිකානු නීතියකට හසු නොවන පිටස්තර ප්‍රදේශයක පිහිටා තිබෙනවා. ඒ හේතුවෙන් එහි සිරකරුවන්ට හෝ ඔවුන්ගේ ඥාතීන්ට සිරගතකොට තැබීම පිළිබඳව ඇමෙරිකානු අධිකරණයක නීතිමය රැකවරණයක් පැතීමට සාධාරණ හැකියාවක් ලැබෙන්නේ නෑ.

ඇමෙරිකානු නීතින් හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳව ජිනීවා ප්‍රතිපත්තිය උල්ලංඝණය කරමින් ප්‍රථම සිරකරුවන් 20 දෙනා මෙහි රදවන්නේ 2002 වසරේ ජනවාරි මාසයේ යි. ටික කාලයකින් එම සිරකරුවන් ප්‍රමාණය 779ක් දක්වා ඉහළ යනවා.

බුෂ් ජනාධිපතිවරයාගෙන් පසුව එරට පාලකයා බවට පත් වූ බරැක් ඔබාමා ජනාධිපතිවරයා රටේ නීතිය උල්ලංඝණය කරමින් පවත්වාගෙන යන මෙම සිර කඳවුර වසා දමන බවට පොරොන්දු වෙනවා. නමුත් කොංග්‍රසයෙන් එල්ල වූ බලපෑම් හමුවේ ඔහුට එය ඉටුකිරීමට හැකියාව ලැබෙන්නේ නෑ. ඔහුගේ පාලන සමයේ දී 245 සිට 41 දක්වා සිරකරුවන් ප්‍රමාණය අඩු කරනවා. ඔවුන් නිදහස් කිරීම හෝ තවත් රටවල කඳවුරුවලට යැවීම මෙහිදී සිදු වෙනවා.

සිර කඳවුර වසා දමන ලෙස එක්සත් ජනපදයේදී කෙරෙන විරෝධතා (www.xinhuanet.com)

පසුව ජනාධිපතිවරයා බවට පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමයේදීත් මෙම කඳවුර වසා දැමීමට නොහැකි වූ අතර වර්තමානය වන විට එහි සිරකරුවන් 40ක් රදවා ඇති බව ඇමෙරිකානු ආරක්ෂක වාර්තාවල සඳහන් වෙනවා.

මෙහි රදවා සිටින සැකකරුවන්  අතර හමුදාව විසින් එල්ල කරන චෝදනා ඔප්පු කර පෙන්විය නොහැකි නිවැරදිකරුවන් ද සිටින බවට වාර්තා වෙනවා. එලෙස චෝදනා ඔප්පු කිරීමට නොහැකි වූ නිවැරදිකරුවන් කිහිපදෙනෙක් ද මේ වන විට නිදහස් වී තිබෙනවා.

වර්තමානය වන විට ඇමෙරිකානු ෆෙඩරල් අධිකරණය තුළ ගුවන්තනාමෝ සිර කඳවුර පිළිබඳව නඩු කිහිපයක් ද විභාග වෙමින් පවතිනවා.

කවරයේ පින්තූරය - Time Magazine

මූලාශ්‍රයයන්:

hrw.org

bbc.com

britannica.com

Related Articles