Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හයිටියේ දිළිඳු බවේ කදිම නිදසුන: මැටි විස්කෝතු

අතීතයේ මිනිසුන් මස් වර්ග, අල වර්ග සහ විවිධ ධාන්‍ය වර්ග පදනම් කරගත් ඉතාමත් සරල ආහාර රටාවකට හුරු වී සිටියද වර්තමානයේ නම් එම තත්ත්වය ඊට හාත්පසින් ම වෙනස් ය. මේ වන විට සියලුම ක්ෂේත්‍රයන්හි පාහේ ඇති වී තිබෙන දියුණුව හේතුවෙන් අපට අවශ්‍ය සියලුම දේ අද බෙහෙවින්ම වෙනස් ය. නිවාස, ඇඳුම් පැළඳුම් වැනි දේ පමණක් නොව ජීවත් වීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වූ ආහාර ද මේ වන විට වෙනස්කම් රැසකට භාජනය වී ඇත.

එහි ප්‍රතිපලයක් වශයෙන් විවිධාකාරයේ ආහාරපාන වර්ග දහස් ගණනක් මේ වන විට බිහි වී තිබෙයි. එපමණක් නොව ඒවා අලෙවි කිරීම සඳහා ම වෙන් වූ ආපනශාලා වැනි දේ ද වර්තමානයේ දී දැකිය හැකි ය. මෙම ආහාරවල ගුණාත්මක බව සහ ඒවායෙන් ශරීර සෞඛ්‍යයට ඇති විය හැකි අහිතකර බලපෑම් පිළිබඳව විවිධ තර්ක විතර්ක පැවතියත් ඒවා රසයෙන් නම් ඉතා උසස් බව විශේෂයෙන් කිව යුතු නොවේ.

එවැනි රසවත් ආහාරවලින් පිරි වර්තමාන ලෝකයේ මැටියෙන් සාදන ආහාර පරිභෝජනය කරන ජන කොටස් සිටින බව ඔබට විශ්වාස කිරීමටත් අපහසු වනු ඇත. කෙසේ නමුත් උතුරු ඇමෙරිකා මහද්වීපයේ කැරිබියන් මුහුදට ආසන්නයේ පිහිටි හයිටි රාජ්‍යයේ ජනතාව, විශේෂයෙන් ම කාන්තාවන් මැටියෙන් සාදන විස්කෝතු වර්ගයක් ආහාරයට ගනී.

මැටි විස්කෝතු ආහාරයට ගන්නා ළමයි – infnews

හයිටි රාජ්‍යය

හයිටි, එසේත් නැත්නම් හයිටි ජනරජය ලෙස හැඳින්වෙන මෙම රට උතුරු අමෙරිකා මහද්වීපයට අයත් රටකි. එහි අසල්වැසි රටවල් ලෙස කියුබාව, ජැමෙයිකාව සහ බහමාස් හැඳින්විය හැකි ය. වර්ග කිලෝමීටර් 27,750ක විශාලත්වයෙන් යුතු මෙම රට කැරිබියන් මුහුද ආශ්‍රිතව පිහිටි තෙවැනි විශාලත ම රට ලෙස ද හැඳින්වේ. මිලියන 11.4ක ජනගහනයක් සහිත එය එම කලාපයේ ජනගහනයෙන් වැඩි ම රට ද වේ.

2017 වසරේදී ගණන් බලා ඇති ආකාරයට අමෙරිකන් ඩොලර් බිලියන 19කට ආසන්න දල දේශීය නිෂ්ප්දනයකට හිමිකම් කියන හයිටි රාජ්‍යයේ ඒක පුද්ගල ආදායම අමෙරිකන් ඩොලර් 1,800ක් ලෙස ගණන් බලා ඇත. විශාල වශයෙන් ආදායම් උපයාගත හැකි ආකාරයේ සංචාරක ආකර්ශනයක් දිනා ගත් රටක් වන හයිටි රාජ්‍යය කෙසේ නමුත් සැලකෙන්නේ අමෙරිකානු මහද්වීපවල පිහිටි දිළිඳු බවින් වැඩිම රටක් වශයෙනි. දූෂණ සහ අක්‍රමිකතා, දේශපාලන අස්ථාවරභාවය, නොදියුණු යටිතල පහසුකම්, සංවර්ධනය නොවූ අධ්‍යාපන පද්ධතිය වැනි කරුණු හයිටි රාජ්‍යය එවැනි දිළිඳු තත්ත්වයකට ඇද දැමීමට බලපෑ ප්‍රධාන සාධක වේ.

හයිටි රාජ්‍යය – The New York Times

හයිටි මැටි විස්කෝතු

ආහාරයට ගත හැකි මැටි විශේෂයක් සහ එළවළු මේදය යොදා ගෙන සාදන මෙම විස්කෝතු සාම්ප්‍රදායයික වශයෙන් හයිටි ජනතාව, විශේෂයෙන් ම ගර්භනී කාන්තාවන් ආහාරයට ගනී. ඒවා ආහාරයට ගැනීමෙන් ගර්භනී කාන්තාවන්ට අවශ්‍ය කැල්සියම් සංඝටක ලැබෙන බව ඔවුන්ගේ විශ්වාසය යි.

කෙසේ වෙතත් වර්තමානය වන විට ගර්භනී කාන්තාවන් පමණක් නොව සියලු ම හයිටි ජනකොටස් මෙම විස්කෝතු ආහාරයට ගැනීම සඳහා යොමු වී තිබෙයි. ඊට ප්‍රධානත ම හේතුවක් ලෙස සැලකෙන්නේ හයිටි රාජ්‍යයේ දිනෙන් දින ඉහළ යන භාණ්ඩ මිල ගණන් සහ පහළ බසින ජනතාවගේ ආදායම යි.

මධ්‍යම ප්ලේටෝ නිම්නය –  landofmountains.wordpress.com

ප්‍රධාන ම අමුද්‍රව්‍යය වන මැටි සපයා ගැනීම

වර්තමානය වන විට හයිටි රාජ්‍යයේ සියලු ම ප්‍රදේශවල පාහේ දැකිය හැකි ආහාරයක් බවට පත්ව ඇති මෙම විස්කෝතු සාදා ගැනීම සඳහා අවශ්‍ය වන ප්‍රධානත ම අමුද්‍රව්‍යය වන්නේ මැටි යි. හයිටි රාජ්‍යයේ මධ්‍යම ප්ලේටෝ යනුවෙන් හැඳින්වෙන නිම්න ප්‍රදේශයකින් මෙම විස්කෝතු සාදා ගැනීම සඳහා අවශ්‍ය මැටි ලබා ගනී.

එම ප්‍රදේශය ආශ්‍රිත ව ජීවත් වන ජනතාවට ඉතා පහසුවෙන් මෙම මැටි විශේෂය ලබා ගැනීමට හැකියාවක් තිබුණත් දුර බැහැර ප්‍රදේශවල ජීවත් වන ජනතාවට ඒවා සපයා ගැනීම දුෂ්කර කාර්යයක් වේ. ඊට පිළියමක්  ලෙස විවිධ පුද්ගලයන් වාහන යොදාගෙන මෙම මැටි විශේෂය අනිකුත් ප්‍රදේශවලට ප්‍රවාහනය කර වෙළෙඳසල්වලට බෙදා හරියි. එලෙස වෙළෙඳසල්වලට බෙදාහරින මැටි විශේෂය මැටි විස්කෝතු සාදන පුද්ගලයන් මිලදී ගනියි.

 මැටි විස්කෝතු හදන්නට මැටි ගෙන යමින් – Getty images

සාදා ගන්නා ආකාරය

එවැනි වෙළෙඳසල්වලින් මෙම මැටි විශේෂය මිලදී ගන්නා අය ඉතාම සරල ක්‍රමයක් භාවිත කර මෙම විස්කෝතු වර්ගය නිෂ්පාදනය කරයි.  පළමුවෙන්ම ඔවුන් මෙම මැටිවල ඇති ගල් සහ බොරළු වැනි දේ ඉවත් කරයි. ඉන් අනතුරු ව අවශ්‍ය පමණට ලුණු සහ එළවලු මේදය මැටි සමඟ මිශ්‍ර කරයි.

එසේ මිශ්‍ර කිරීමෙන් අනතුරු ව එය පැතලි වන සේ සකස් කර ගෙන කුඩා කොටස්වලට වෙන් කර ගැනීම සිදු කරයි. එසේ වෙන් කරගත් කොටස්, එනම් මෙම විස්කෝතු, හිරු එළියෙන් වේලා ගැනීම පසුව සිදු කෙරේ. එලෙස සාදාගන්නා විස්කෝතුවලින් කොටසක් ඔවුන්ගේම පරිභෝජනය සඳහා තබා ගන්නා අතර ඉතිරි කොටස භාජනවල බහා අලෙවි කරයි.

මැටි විස්කෝතු සාදන කාන්තාවක් – theemergingindia

අමිහිරි රසයක්?

මෙම විස්කෝතු වර්ගය පිළිබඳ ව දේශීය සහ විදේශීය මාධ්‍ය ආයතන ගණනාවක් විවිධ පර්යේෂණ සිදු කර තිබෙන අතර ඔවුන් ඒවා නිෂ්පාදනය කරන ආකාරය ද අදියරෙන් අදියර අධ්‍යයනය කර තිබෙයි. එවැනි පර්යේෂණයක් සිදු කළ අයකු මෙම විස්කෝතු ආහාරයට ගෙන එහි රසය කෙබඳුදැයි පරික්ෂා කර තිබේ.

හයිටි රාජ්‍යයේ වෙසෙන ජනතාව නම් බහුල ව මෙම විස්කෝතු ආහාරයට ගත්තත් ඉහත කී පුද්ගලයා සඳහන් කර ඇත්තේ මෙම විස්කොතුවෙන් කුඩා කොටසක් දිවේ ස්පර්ශ වූ වහා ම මුව වියළී ගිය බව යි. විස්කෝතු ආහාරයට ගෙන පැය ගණනාවක් ගත වන තුරුත් ඉතාමත් අමිහිරි රසයක් දැනුණ බවත් ඔහු සඳහන් කර ඇත.

මිල ගණන් සහ ඉල්ලුම

සම්ප්‍රදායයික වශයෙන් ගර්භනී කාන්තාවන්ප රිභෝජනය කළ මෙම විස්කෝතු විශේෂය මේ වන විට සියලු දෙනා අතර ජනප්‍රිය ආහාරයක් බවට පත්ව ඇති නිසා ඒ සඳහා ඇති ඉල්ලුම දිනෙන් දින වැඩි වෙමින් පවතී. වර්තමානයේ දී විස්කෝතු සියයකින් පමණ යුතු ඇසුරුමක් අමෙරිකන් ඩොලර් පහක් වැනි මුදලක් වෙයි. කෙසේ වෙතත් අවාසනාවන්ත කරුණ නම් දෛනිකව ඩොලර් දෙකක් වැනි ඉතා සුළු ආදායමක් උපයන බොහෝ පවුල් ජිවත් වන හයිටි රාජ්‍යයේ මෙම මැටි විස්කෝතු ඇසුරුමක් මිල දී ගැනීමට හෝ බොහෝ දෙනකුට හැකියාවක් නොමැති වීම යි.

විස්කෝතු වියළන අයුරු – NBC News

ආහාර හිඟයට විසඳුමක්

මැටියෙන් සෑදු විස්කෝතු ආහාරයට ගැනීමට සිදුවීම හරහා පිළිබිඹු වන්නේ දිළිඳු බවේ අන්තයට ම හයිටි රාජ්‍යයේ ජනතාව පත්ව ඇති බව බොහෝ දෙනෙක්ගේ මතය වේ. ඊට තරමක් වෙනස් මතයක් දරන යම් යම් කණ්ඩායම් පෙන්වා දී ඇත්තේ මෙම මැටි විස්කෝතු වර්ගය ම හයිටි රාජ්‍යයට ආදායම් මාර්ගයක් බවට හරවා ගත හැකි බව යි. විශේෂයෙන් ම උග්‍ර ආහාර අර්බුදවලින් පෙළෙන රටවල් ගණනාවක් තිබෙන බැවින් එවැනි රටවල ආහාර හිඟය සඳහා විසඳුමක් ලෙස මෙම විස්කෝතු වර්ගය භාවිත කළ හැකි බව ඔවුන් පෙන්වා දී තිබෙයි.

සෞඛ්‍යමය මත

මෙම විස්කෝතු වර්ගය පිළිබඳ ව මේ වන විට හයිටි රාජ්‍යය තුළ පමණක් නොව තවත් රටවල් කිහිපයක ම සෞඛ්‍ය අංශ විවිධ අදහස් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව ඒවා ශරීර සෞඛ්‍යයට හිතකර මෙන් ම යම් අවස්ථාවල දී අහිතකර වීමට ද ඉඩකඩ ඇති බව ඔවුන් පෙන්වා දී තිබෙයි. විශේෂයෙන් ම සමහර වෛද්‍යවරුන් සහ විශේෂඥයන් සඳහන් කර ඇත්තේ මෙම විස්කෝතු සඳහා යොදා ගන්නා මැටිවල මාරාන්තික පරපෝෂිතයන් සහ විෂ සහිත සංඝටක අන්තර්ගත විය හැකි බව යි. එබැවින් ඒවා ආහාරයට ගැනීම හරහා භයානක සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි බව ඔවුන් පෙන්වා දී තිබේ.

වියළුණු මැටි විස්කෝතු එකතු කරමින් – Getty images

ඊට හාත්පසින් ම වෙනස් මතයක් දරන තවත් පාර්ශව සඳහන් කර ඇත්තේ ගර්භනී කාන්තාවන්ට මෙම විස්කෝතු ආහාරයට ගැනීමෙන් යම් යම් සෞඛ්‍යමය වාසි ළඟා කරගත හැකි බව යි. කොලරාඩෝ විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණය පිලිබඳ මහාචාර්ය ජෙරල්ඩ් එන්. කලහන් වරක් සඳහන් කර ඇත්තේ “මෙම විස්කෝතු මගින් ගර්භාෂය තුළ ඇති කලලරූපයේ ඇතැම් රෝග සඳහා අවශ්‍ය ප්‍රතිශක්තිය වර්ධනය වීමට ද හැකියාවක් තිබේ,” යනුවෙනි.

ඊට වෙනස් මතයක් දරන හයිටි රාජ්‍යයේ වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ ආහාරයක් ලෙස මෙම විස්කෝතු නිරන්තරයෙන් පරිභෝජනය කිරීම මන්දපෝෂණ තත්ත්වයට පත් වීමට පවා හේතු විය හැකි බව යි.මෙම විස්කෝතු ආහාරයට ගැනීම හැකි තරම් අවම කිරීම සඳහා පියවර ගත යුතු බවත් ඔවුන් පෙන්වා දී තිබේ.

කවරයේ පින්තූරය- මැටි විස්කෝතු සහ ළමයි -  Elite Readers

මූලාශ්‍ර:

www.thesized.com
www.nbcnews.com
www.thepremierdaily.com

Related Articles