Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ස්වීඩනයේ සමාගමකට මහ පාන්දර ආ හෙලිකොප්ටරය

2009 සැප්තැම්බර් 23 දා උදෑසන 5:15ට පමණ, ස්වීඩනයේ අගනුවර වූ ස්ටොක්හෝම්හි දකුණු භාගයේ ඇති වැස්ට්බර්ගා ප්‍රදේශයේ හෙලිකොප්ටරයක හඬක් ඇසුණා. වැඩි වේලාවක් නොගොසින්, G4S නමැති බහුජාතික ආරක්ෂක සමාගමේ මුදල් ගබඩා කර ඇති ගොඩනැගි‍ල්ලේ වහලය ඉහළින් මේ Bell 206 Jet Ranger වර්ග‍යේ හෙලිකොප්ටරය ස්ථානගත කෙරුනා. හෙලිකොප්ටරයේ සිට කඹයක් දිගේ පහතට රූටා පැමිණි, මුහුණු ආවරණ පැළඳගත් කිහිප දෙනෙක් විශාල මිටිවලින් ජනෙල් වීදුරු බිඳ දමා ගොඩනැගිල්ලට ඇතුළු වුණා. මේ අවස්ථාව වන විට ගොඩනැගිල්ල තුළ සේවක සේවිකාවන් විසි දෙනෙකු පමණ රැඳී සිටියා. ඔවුන් එවේලේ එහි රැඳී සිට ඇත්තේ මුදල් ගණන් කිරීමේ කටයුත්තක් සඳහා යි. 

ඔවුන් ජනෙල් බිඳ ඇතුළු වෙනවාත් සමගම ‍අවට පොලිස් ස්ථානවලට නිවේදනය ලැබුණු නමුත්, පොලීසියට තම හෙලිකොප්ටර් ඉහළට ඔසවන්නට ලැබුණේ නැහැ. ඊට හේතුව වූයේ ඔවුන්ගේ හෙලිකොප්ටර රඳවනයේ බෝම්බ පාර්සලයැ යි සැකකළ හැකි මළු ස්ථානගත කර තිබීම යි. ඒ පාර්සල්වල පිටත “බෝම්බය” කියා ලියා තිබුනා. අපරාධකරුවන් මුදල් ගබඩාව වෙත වැටී ඇති මාර්ගවල, ගබඩාවට ආසන්න ප්‍රදේශයේ කුඩා උල් සහිත දෑ විසිරුවා හැර තිබූ නිසා පොලිස් වාහන ගොඩනැගිල්ල වෙත ළඟාවීම තවත් ප්‍රමාද කෙරුනා. කෙසේ නමුත් උදෑසන 5:25 පමණ වන විට පොලිස් කාර් රථ එතැනට ළඟා වුව ද, හොරුන් සතුව මැෂින් තුවක්කු ඇතැ යි දැන ගන්නට ලැබුණු නිසා ප්‍රාණ ඇපකරුවන්ගේ ආරක්ෂාව පතා ඊට මැදිහත් නොවීමට පොලීසිය වග බලා ගත්තා.

ගොඩනැගිල්ල අභ්‍යන්තරයෙන් කිහිප වරක් පිපිරුම් හඬවල් ඇසුණා. එයින්, විනාඩි 15ක් පමණ ඇතුළත ඩොලර් බිලියන 5.3ක මුදල් පිරවූ මලු කඹ දිගේම හෙලිකොප්ටරයට පටවා ගැනුනා. මේ සියල්ල වන තෙක් හෙලිකොප්ටරය තිබුනේ පිටත් වීමට සැරසී අහසට නැගිලා යි. එය කිසි විටෙක ගොඩනැගිල්ලේ වහල මත ගොඩබෑවේ නැහැ. මුදල් පටවාගත් සැනෙකින් එය ඉවත්ව යනු දක්නට ලැබුණා. 

G4S ආයතනයේ වහල මත/The Guardian

සොරුන් විසින් කොතරම් මුදලක් ගෙනගොස් ඇත්දැ යි මුල දී මූල්‍ය ආයතනය මාධ්‍යයට ප්‍රකාශ කළේ නැහැ. නමුත් ස්වීඩනයේ බැංකු සහ ATM යන්ත්‍ර බොහොමයකට ගෙන යා යුතු මුදල් ගබඩා කළේ එම ආයතනය නිසා, එහි මිලියන ගණනක මුදල් තිබෙන්නට ඇති බවට අනුමාන කෙරුනා. 

ඉතා සැලසුම් සහගතව විනාඩි විස්සකින් පමණ සිදුකළ මෙම සොරකමට සහභාගී වී තිබුණේ සර්බියානු ජාතිකයින් පිරිසක් බව පසුව හෙළිදරව් වුණා. ඔවුන්ගෙන් ගොඩනැගිල්ල තුළට ආ අය සතුව ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය තිබූ නමුත් කිසිදු ජීවිත හානියක් සිදු නොවීම විශේෂත්වයක්. මෙවැනි මංකොල්ලයක් සිදුවිය හැකි බවට මීට මසකට පෙර ස්වීඩන එම්බසිය වෙත සර්බියානු පොලීසිය අනතුරු අඟවා තිබුණත්, ඔවුන් එය පිළිගත් බවක් නම් පෙනෙන්නට තිබුණේ නැහැ.

මොවුන් ආ හෙලිකොප්ටරය සොරකම් කළ එකක් වූ අතර, පසුව එය ස්ටොක්හෝම් නගරයට උතුරින් කි.මී. 24ක පමණ දුර කැළෑබද ස්ථානයක අත්හැර දමා තිබිය දී හමුවූවා. හෙලිකොප්ටරය අතහැර දැමූ ප්‍රදේශයේ වාසය කළ අයෙක්, තමා ‍රූපවාහිනියේ උදෑසන පුවත් හරහා සොරකම නරඹමින් සිටිය දී හෙලිකොප්ටර් හඬ ඇසුණු බවත්, එය ප්‍රවෘත්ති විකාශයේ විස්තර කළ අන්දමේම රතු සහ සුදු හෙලිකොප්ටරයක් වුවත්, එය සොරකමට සම්බන්ධ එකයැ යි තමා නොසිතූ බවත් ප්‍රකාශ කර සිටියා. මේ හෙලිකොප්ටරය රෙස්ලැජන්ස් හෙලිකොප්ටර් අංගනයේ තිබී සොරකම් කෙරූවක් බවට යි පසුව තහවුරු වුණේ. මෙම අපරාධයේ සුලමුල සෙවීමට දුරකථන ඇමතුම්වලට සවන්දීම, DNA විශ්ලේෂණය මෙන්ම, තොරතුරු තාක්ෂණික ක්‍රමෝපායයන් ද යොදා ගැනුනා

අතහැර දමා ගොස් තිබිය දී හමුවූ හෙලිකොප්ටරය (static-cdn.sr.se)

පොලිස් පරීක්ෂණ හරහා සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සය දෙනෙකු සොයා ගැනුනා. ඊට සොරාගත් හෙලිකොප්ටරය පැදවූ නියමුවා මෙන්ම සොරකමට සහභාගී වූ ඉරාක ජාතිකයෙකු ද ඇතුළත්ව සිටියා. එම ඉරාක ජාතිකයා ඩොමිනිකන් රාජ්‍යයට පැන ගොස් සිටි නිසා විශේෂ ගුවන්යානයක් යවා ඔහු නැවත ස්වීඩනයට ගෙන්වා ගන්නටත් පොලීසියට සිදු වුණා. අවසානයේ ඔවුන් දෙදෙනාත්, සොරකම මෙහෙයවූ ගොර්න් බැල්කොවිච් නමැත්තාත් ඇතුළු පස් දෙනෙකු ‍වසර 5 සිට 8 දක්වා සිර දඬුවමකටත්, අසත්‍ය සාක්ෂ්‍ය දුන් දෙදෙනෙකු වසර 1 සිට 2 දක්වා වූ සිර දඬුවමකටත් යටත් කෙරුණා. මෙය ස්වීඩන පොලිස් ඉතිහාසයේ සිදුවූ දැවැන්ත පොලිස් පරීක්ෂණයක් ලෙස ඉතිහාසගත වූවා.

Related Articles