Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජනතා කර මතින් බලයට එන මැති ඇමැති සැප ගැන සැඟවුණු රහස්

පවත්නා පාලනය ගැන අන්තයට ම කලකිරී සිටින ජනතාව ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුවේ 225ම ගෙදර යා යුතු බව යි. තෙල් පෝලිම්වල, ගෑස් පෝලිම්වල, විදුලිය නැතිව ජනතාව පීඩා විඳින අතර වැඩි පිරිසකට එදා වේල සපයා ගැනීමත් ගැටලුවක් වෙලා.

ඒත් පාර්ලිමේන්තු මැති අමැතිවරුන්ට එවැනි කරදරයක් නැති බව කවුරුත් දන්නවා. රජ සැප විඳින මැති ඇමැතිවරුන්ගේ වරප්‍රසාද ගැන සොයා බැලීමට ගත් උත්සාහයක් තමයි මේ.

අගමැති ඩී. එස්. ප්‍රමුඛ මුල් ම ඇමැති මණ්ඩලය – wikipeadia.org

 

ඇමතිවරුන් 14 දෙනෙක් ඇතුළත් මුල් ම කැබිනට් මණ්ඩලය

ලංකාවේ මුල් ම පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසු පත් කළ ඇමති මණ්ඩලය 1947 සැප්තැම්බර් 26 වැනිදා දිවුරුම් දුන්නා. එහි අගමැති වුණේ ඩී. ඇස්. සේනානායක යි. අද ඇමැතිවරුන් හා සසඳන විට මේ ඇමැතිවරු කිසිදු චංවාවක් චෝදනාවක් නැති රටේ යහපතට කැපවුණු පිරිසක් බව අදටත් සැලකෙනවා.  අද මෙන් වරප්‍රසාද රාශියක් ඔවුන්ට ලැබුණෙත් නැහැ. ලංකාවේ ප්‍රථම කැබිනට් මණ්ඩලයට ඇතුළත් වුණේ ඇමතිවරුන් 14 දෙනෙක් පමණයි. ඒ හැම කෙනෙක්ම ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටු කළ පුද්ගලයන්.

ඔවුන් නම් වශයෙන් මෙසේ යි:

අගමැති ඩි. එස්. සේනානායක, ඩඞ්ලි සේනානායක, ජේ. ආර්. ජයවර්ධන, සර් ජෝන් කොතලාවල, ඒ. රත්නායක, එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක, සී. සුන්දරලිංගම්, ටී. බී. ජයා, සී. සිත්තම්පලම්, ජෝර්ජ් ඊ. ද සිල්වා, ඊ, ඒ. නුගවෙල සර් ඔලිවර් ගුණතිලක, සර් ලලිත රාජපක්ෂ, සර් සෙනරත් ගුණවර්ධන යි.

ඉන් හතර දෙනෙක් පසු කලෙක රටේ අගමැතිවරුන් වුණු අතර එදා මුදල් ඇමතිවරයා වු ජේ. ආර්. ජයවර්ධන 1978 දී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා වුණා. 1977ට පෙර මන්ත්‍රීවරුන්ට මාසික ව හිමි වූ වැටුප් ලැබුණේ නැහැ. හිමි වුණේ දීමනාවක් පමණ යි. වැඩිදෙනෙක් එම දීමනාවත් ප්‍රතික්ෂේප කළ බව පැවසෙනවා. පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම වෙනුවෙන් කිසිම ගාස්තුවක් ලැබුණෙත් නැහැ. තැපැල් ගාස්තු, දුරකථන වියදම්, කාර්ය මණ්ඩල වියදම්, සංග්‍රහ වියදම් වගේ දීමනා ස්වල්පයක් තමයි ඔවුන්ට හිමි වුණේ.

වත්මන් ජනපතිගේ මුල් ඇමැති මණ්ඩලය දිව්රුම් දුන් අවස්ථාව – Chinadailyhk. com

 මැති ඇමැති වැටුප්

වර්ෂ 2020 අගෝස්තු මාසයේ දී දිවුරුම් දුන්, ගෝඨාභය රාජපක්ෂ රජයේ ඇමැතිවරු 26ක් ද රාජ්‍ය ඇමැතිවරුන් 39ක් ද සිටියා. ඉන් පසුව ජන අරගලය නිසා ඇමැති මණ්ඩලය ඉල්ලා අස්වූ අතර, මේ වනවිටත් විවිධ ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් පත්කරමින් සිටින බව පේනවා.
අද වන විට මන්ත්‍රීවරයකුගේ මූලික වැටුප රු. 54,285/-ක් වන අතර නියෝජ්‍ය ඇමතිවරයකුගේ මසක වැටුප රු. 63,500/-ක්. රාජ්‍ය ඇමති හා කැබිනට් ඇමතිවරයකුගේ වැටුප රු. 65,000/-ක් වෙනවා. කථානායකට හිමි වැටුප රු. 68,500/-ක් වන අතර අග්‍රාමාත්‍යවරයාගේ වැටුප රු. 71,500/-ක් ලෙස සඳහන් වෙනවා.

 මන්ත්‍රීවරු පාර්ලිමේන්තු රැස්වීමකදී-  dailynews.lk

මන්ත්‍රී දීමනා

වත්මන් පාර්ලිමේන්තුවේ සිටින්නේ 2020 අගෝස්තු පාර්ලිමේන්තු මහ මැතිවරණයන් තේරීපත් වූ මන්ත්‍රීවරු යි. අගෝස්තු 05 වැනිදා පැවැත්වූ මැතිවරණයෙන් පක්ෂ 15කින් පත්වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 196 යි. ජාතික ලැයිස්තුවෙන් පත් කළ පිරිසත් සමඟ මුළු සංඛ්‍යාව 225ක් වෙනවා. එක් මන්ත්‍රීවරයකුට ලැබෙන මූලික මන්ත්‍රී වැටුප රුපියල් 54,285 ක් වන අතර මන්ත්‍රීවරුන් නඩත්තු කිරීමට වැටුප් සහ දීමනා වෙනුවෙන් වසරකට යන මුදල රුපියල් කෝටි 156ක් බව සඳහන්.

වැටුපට අමතරව ප්‍රවාහන දීමනාව වශයෙන් රුපියල් 10,000ක් මන්ත්‍රීවරයකුට ලැබෙන අතර දුරකථන දීමනාව රුපියල් 50,000ක්. සංග්‍රහ දීමනාව ලෙස රුපියල් 4500ක් ලැබෙනවා. පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීම වෙනුවෙන් හිමිවන දීමනාව දිනකට රුපියල් 2,500ක්. පාර්ලිමේන්තු රැස්වීම් මසකට දින 8 ක් පැවැත්වෙනවා. ඒ අනුව මාසික රැස්වීම් දීමනාව මසකට රුපියල් 20,000 ක්. රැස්වීම් නොපැවැත්වෙන දිනවල කාරක සභා රැස්වීම්වලට සහභාගිවීම වෙනුවෙන් ද දිනකට රුපියල් 2500 බැගින් ගෙවනවා. පාර්ලිමේන්තු නොපැවැත්වෙන දින පහක් කාරක සභා පැවැත්වුවහොත් එයට රුපියල් 12,500 ක් හිමි වනවා.

ඊට අමතර ව තමන් වෙනුවෙන් කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහා මසකට රුපියල් 1,00,000ක ගෙවීමක් ද හිමිවෙනවා.

මන්ත්‍රී රක්ෂණ ආවරණය රු. ලක්ෂ 20ක්. ඉන්ධන දීමනාව හිමි වන්නේ මන්ත්‍රීවරයා තේරීපත්වූ දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුවට ඇති දුර පදනම් කරගෙන යි. මේ නිසා දුර පළාත්වල මන්ත්‍රීවරුන්ට වැඩි ඉන්ධන ලීටර ගණනක් හිමි වෙනවා. මන්ත්‍රීවරුන් සියල්ල ම පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි නොවන බව අපි දන්නවා.   මන්ත්‍රීවරයකු හදිසියේ හෝ ත්‍රස්ත ප්‍රහාරයකින් මිය ගිය විට රජයෙන් ගෙවන වන්දි මුදල රු. ලක්ෂ 50ක් වෙනවා.

 තීරු බදු රහිතව සුපිරි වාහන – Autoblog.com

තීරු බදු රහිත සුපිරි වාහන

මන්ත්‍රීවරුන්ට සහ ඇමතිවරුන්ට අධි සුඛෝපභෝගී  වාහන මිල දී ගැනීම සඳහා තීරු බදු රහිත වාහන බලපත්‍ර හිමි වෙනවා. එම බලපත්‍රය මන්ත්‍රීවරුන්ට වසර පහකට වතාවක් හිමිවන තවත් වරප්‍රසාදයක්. බොහෝ මන්ත්‍රීවරුන් එය විකුණා කෝටි ගණනක ලාබයක් ලබා ගන්නවා. පසුගිය කාලයේ එම බලපත්‍රය රුපියල් කෝටි පහකට වැඩි මුදලකට විකිනුණු බවයි, පැවසෙන්නේ. තීරුබදු සහනය මන්ත්‍රීවරුන්ට ලැබීම ආරම්භ වුණේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන සිටි 1980 දශකයේ සිටයි

මුද්දර දීමනා

සෑම මන්ත්‍රීවරයකුට ම වාර්ෂික ව රු. 350,000 ක් වටිනා මුද්දර දීමනාවක් හිමිවෙනවා. එක් කාර්තුවකට රු. 87,500 ක් බැගින් එය ලබා දෙනවා. බොහෝ මන්ත්‍රීවරුන් එය භාවිත කරන්නේ ඡන්දදායකයන්ට සහ ආධාරකරුවන්ට තම ප්‍රතිරූපය නංවන ලිපි, පත්‍රිකා තැපැල් කිරීමට මිස රටේ ජනතාව වෙනුවෙන් නම් නොවෙයි.

මාදිවෙල මන්ත්‍රී නිවාස – lankacgossip. com

 නිල නිවාස

කොළඹින් පිට ප්‍රදේශවලින් පැමිණ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට නවාතැන් සඳහා සඳහා සුඛෝපභෝගී නිල නිවාස ලබා දීම සිදුවෙනවා. ඔවුන්ගෙන් අයකරන්නේ ඉතා අඩු සංකේතාත්මක මිලක්. මාදිවෙල මන්ත්‍රී නිවාස යෝජනා ක්‍රමයේ නිවසක කුලිය මසකට රුපියල් 1000ක්.

කැබිනට් ඇමැතිවරුන් සඳහා විශාල නිල නිවාස රාශියක් කොළඹ හතේ පිහිටා තිබෙනවා. විජේරාම මාවත, හෙක්ටර් කොබ්බෑකඩුව මාවත, බෞද්ධාලෝක මාවත, පැජට් පාර යන මාර්ග දෙපස එම නිල නිවාස දැකගත හැකි යි. ඇමති නිල නිවාසවලටත් අයකරන්නේ ඉතා සුළු මුදලක්.

සුදු අලියෙක් වුණු පාර්ලිමේන්තුව – Wikipedia.org 

 

මන්ත්‍රී විශ්‍රාම වැටුප 

මන්ත්‍රීවරුන්ට ඇති වැදගත් ම  වරප්‍රසාදය ලෙස සැලකෙන්නේ විශ්‍රාම වැටුපයි. සාමාන්‍යයෙන් රජයේ සේවකයකුට විශ්‍රාම වැටුපක් හිමිවීමට හෝ පෞද්ගලික අංශයේ අයට සේවක අර්ථ සාධක අරමුදල් හිමිකම ලබා ගැනීමට අවම වශයෙන් අවුරුදු 55 දක්වා සේවය කළ යුතු වෙනවා. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට වසර පහක පාර්ලිමේන්තු කාලයක් සම්පූර්ණ කළ විට විශ්‍රාම වැටුපට හිමිකම ලැබෙනවා. ඔවුන්ට හිමි මූලික වැටුපෙන් 1/3 ක් විශ්‍රාම වැටුප වශයෙන් ලැබෙනවා.

වසර 5කට වැඩි වසර 15කට නොඅඩු කාලයක් පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරයකුට හිමි වන විශ්‍රාම වැටුප මූලික වැටුපෙන් 2/3ක්. මේ විශ්‍රාම වැටුපට අමතර ව ජීවන වියදම් දීමනාව සහ රු. 3,500/-, රු. 10,000/- සහ රු. 15,000/- යන අන්තර් දීමනා 3ක්ද විශ්‍රාම වැටුපට එකතු වනවා. 2022 අයවැයෙන් විශ්‍රාම ගතයුතු වසර 5ක කාලසීමාව වසර 10 දක්වා වැඩි කිරීමට යෝජනාවක් ගෙන ආවත් එම තීරණය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ව මෙතෙක් චක්‍රලේඛයක් නිකුත් කර නැහැ. වසර 5 ක අවම සේවා කාලයක් හිමිවන මන්ත්‍රීවරයකුට රුපියල් 18,091 ක මුදලක් විශ්‍රාම වැටුප් ලෙස හිමි වෙනවා.   ඇමැතිවරයකු හෝ විපක්ෂ නායකවරයා ලෙස වසර 5ක අවම සේවා කාලයක් තිබේ නම් හිමිවන විශ්‍රාම වැටුප රුපියල් 21,166ක්.

 අගමැති නිල නිවස අරලියගහ මන්දිරය – Thenationalnews.com

ඇමැති කාර්ය මණ්ඩලය

ඇමැතිවරයකුට සිය කාර්ය මණ්ඩලය ලෙස 15ක පිරිසක් බඳවා ගත හැකි යි. මේ කාර්ය මණ්ඩලයටත් වරප්‍රසාද රාශියක් හිමි වෙනවා. ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාට අතිකාල පැය 100ක් ද, සංයුක්ත දීමනා දින 6ක් ද වාහනය සඳහා පෙට්‍රල් ලීටර් 218ක් ද හිමි වෙනවා. ඩීසල් වාහනයක් සඳහා නම් ඩීමල් ලීටර් 264කට දීමනාවක් ලබා දෙනවා.    

ඇමැතිවරයාට පෞද්ගලික ලේකම්වරයෙක්, සම්බන්ධීකරණ ලේකම්වරුන් දෙදෙනෙක්, මාධ්‍ය ලේකම් හා මහජන සම්බන්ධීකරණ නිලධාරි වශයෙන් නිලධාරින් පස් දෙනෙක් පත් කරගත හැකි යි. බොහෝවිට මේ තනතුරු සඳහා පත්කරගන්නේ සුදුසුකම් සහිත නිලධාරින් නොව තම පවුලේ සමීප හිතවතුන් හෝ ඥාතීන් පිරිසක්. ඇතැම් අයගේ මෙම තනතුරු හොබවන්නේ එකම වාසගම දරණ පවුලේ ම සාමාජිකයන්. 

බොහෝ ඇමැතිවරුන්ගේ පෞද්ගලික ලේකම් වන්නේ සිය බිරිය වන අතර මේ තනතුරටත් නිල වාහනයක් හිමි වෙනවා. දුරකථන දීමනාව ලෙසත් රු. 7,500ක් හිමිවෙනවා.

 එක් මන්ත්‍රීවරයකුට ආරක්ෂක නිලධාරින් දෙදෙනයි- mawrata.lk

 

මන්ත්‍රී ආරක්ෂාව

මන්ත්‍රීවරුනට ආරක්ෂක නිලධාරින් දෙදෙනා බැගින් හිමි වෙනවා. ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරුන් තිදෙනාට හැර වත්මන් මන්ත්‍රීවරු සියලු දෙනාට ම පාහේ ආරක්ෂාවට පොලිස් නිලධාරින් දෙදෙනා බැගින් ලබා දී තිබෙනවා. ඇමැතිවරුන්ට ආරක්ෂක නිලධාරින් 5 සිට 15 දක්වා සංඛ්‍යාවක් ලබාගත හැකි යි.

සුපිරි කෑම අඩුම මිලකට- Dbsjeyaraj.com

පාර්ලිමේන්තු කැන්ටිම

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉතා අඩු මිලකටයි කැන්ටිමෙන් ආහාර ලබා දෙන්නේ. 2017 දී එම මිල ගණන් සුළු මුදලකින් වැඩි කළ අතර ඉන් පසු උදේ අහාර සඳහා රු. 100ක් ද දවල් ආහාර වේල රු. 200කට ද සපයනවා. තේ සහ කෙටි කෑම සඳහා අයකරන මුදල රු.50ක්. බැදපු මාළු ග්‍රෑම් 200ක් රු. 100කට ද බැදපු කුකුළු මස් සඳහා රු. 100ක් ද අයකරනවා.

මෙම ආහාර ලබාදෙන්නේ වැයවන මුදලට වඩා ඉතා අඩු මිලකට යි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භෝජනාගාර 12ක් තිබෙනවා. ඒවා අතර අනන්‍ය වූ අවන්හල් පහක් සහ ප්‍රභූ කෑම කාමර ද පිහිටා තිබෙනවා. පාර්ලිමේන්තු මූල්‍ය නිලධාරීන් 2019 වසරේ දී ගණන් බලා තිබෙන අයුරින් ආහාර හා පාන සඳහා පාර්ලිමේන්තුවට වාර්ෂිකව රුපියල් මිලියන 120 ක් වැය වෙනවා. දැන් මේ ගණන ඊට වඩා ලොකු අගයක් ගන්නා බවට නිසැක යි.

කවරයේ ඡායාරූපය - රට වනසන ජනතා නියෝජිතයෝ- කාටුනය- අවන්ත ආටිගල - dailymirror.lk

මූලාශ්‍ර:
Dailymirror.lk
Manthri.lk
parliament.lk
bbc.com
silumina.lk
lankadeepa.lk

Related Articles