Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මෙරට භාවිතා කළ 1000 නෝට්ටුවල ඉතිහාසය

ලංකා මහ බැංකුව පිහිටුවන ලද්දේ 1950 වසරේ අගෝස්තු මස 28 වැනිදා යි. එදා සිට අද දක්වා මහ බැංකුව විසින් මුදල් නෝට්ටු කාණ්ඩ 11ක් නිකුත් කර තිබෙනවා. එලෙස නිකුත් කරන ලද මුදල් නෝට්ටු කාණ්ඩවල විවිධ තේමාවන්ට අදාළ රූප මුද්‍රණය කර තිබුණා. 1950-1980 කාල සමය තුළ මෙරට භාවිතා කළ වටිනාකමෙන් වැඩිම මුදල් නෝට්ටුව බවට පත්ව තිබුණේ රුපියල් 100 මුදල් නෝට්ටුව යි. නමුත් 1981 වසරේ දී මුල්ම වරට රුපියල් 500, සහ 1000 මුදල් නෝට්ටු හඳුන්වාදීමත් සමග 1000 නෝට්ටුව වටිනාකමින් වැඩිම නෝට්ටුව බවට පත් වුණා. 2005 වසරේ දී 2000 මුදල් නෝට්ටුව නිකුත් කරන තුරුම රුපියල් 1000 නෝට්ටුව ලංකාව තුළ භාවිතා වුණු වටිනාකමින් වැඩිම මුදල් නෝට්ටුව වුණා. 

මහ බැංකුව එදා සිට අද දක්වා නිකුත් කළ මුදල් නෝට්ටු කාණ්ඩ 

1) තේමාව- හයවන ජෝර්ජ් රජුගේ රුව සහිත නෝට්ටු කාණ්ඩය

     වටිනාකම (රුපියල්)- 1 සහ 10

     වර්ෂය- 1951

2) තේමාව- දෙවන එළිසබෙත් රැජිනගේ රුව සහිත නෝට්ටු කාණ්ඩය

     වටිනාකම (රුපියල්)- 1, 2, 5, 10, 50, සහ 100

     වර්ෂය- 1952

3) තේමාව- ලංකාවේ රාජ්‍ය ලාංඡනය ඇතුළත් නෝට්ටු කාණ්ඩය

     වටිනාකම (රුපියල්)- 1, 2, 5, 10, 50, සහ 100

     වර්ෂය- 1956

4) තේමාව- එස් ඩබ් ආර් ඩී බණ්ඩාරනායක රුව ඇතුළත් නෝට්ටු කාණ්ඩය

     වටිනාකම (රුපියල්)- 2, 5, 10, 50, සහ 100

     වර්ෂය- 1962

5) තේමාව- පරාක්‍රමබාහු රජුගේ පිළිරුව සහිත නෝට්ටු කාණ්ඩය

     වටිනාකම (රුපියල්)- 2, 5, 10, 50, සහ 100

     වර්ෂය- 1965

6) තේමාව- ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය ඇතුළත් නෝට්ටු කාණ්ඩය

     වටිනාකම (රුපියල්)- 50, සහ 100

     වර්ෂය- 1975

7) තේමාව- සතුන් සහ වෘක්ෂලතා ඇතුළත් නෝට්ටු කාණ්ඩය

     වටිනාකම (රුපියල්)- 2, 5, 10, 20,  50, සහ 100

     වර්ෂය- 1979

8) තේමාව- ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක තේමා රැගත් නෝට්ටු කාණ්ඩය

     වටිනාකම (රුපියල්)- 5, 10, 20,  50, 100, 500, සහ 1000

     වර්ෂය- 1981

9) තේමාව- ඓතිහාසික සහ සංවර්ධනය විදහා දැක්වෙන නෝට්ටු කාණ්ඩය

     වටිනාකම (රුපියල්)- 500, සහ 1000

     වර්ෂය- 1987

10) තේමාව- ශ්‍රී ලංකාවේ උරුමයන් ඇතුළත් නෝට්ටු කාණ්ඩය

     වටිනාකම (රුපියල්)- 10, 20,  50, 100, 500, සහ 1000

     වර්ෂය- 1991

(මෙම නෝට්ටු කාණ්ඩයේ 2000 මුදල් නෝට්ටුව 2005 වසරේ දී මුද්‍රණය කළා)

11) තේමාව- සංවර්ධනය සෞභාග්‍යය සහ ශ්‍රී ලංකාවේ නැටුම් ශිල්පීන්

     වටිනාකම (රුපියල්)- 20,  50, 100, 500, 1000, 2000, සහ 5000

     වර්ෂය- 2011

මහා පරාක්‍රමබාහු රජුගේ රුව දැක්වෙන මුදල් නෝට්ටුවක් (Elakiri.com)

1981 වසරේ දී මුල්ම වරට රුපියල් 1000ක නෝට්ටුවක් නිකුත් කරයි 

1981 වසරේ ජනවාරි 1 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුල්ම වරට රුපියල් 1000ක වටිනාකමකින් යුත් මුදල් නෝට්ටුවක් නිකුත් කරනු ලැබුවා. එම මුදල් නෝට්ටුව නිකුත් කරනු ලැබුවේ මුදල් අමාත්‍ය රොනී ද මැල්, සහ මහ බැංකු අධිපති වර්ණසේන රාසපුත්‍රම් යන අයගේ අත්සන් සහිතව යි. එම නෝට්ටුව ඉන් පසුව 1982 සහ 1985 වසරවල ජනවාරි 1 වැනිදා යළි නිකුත් කරනු ලැබුවා. එසේ නිකුත් කරනු ලැබුවේ ද රොනී ද මැල් සහ වර්ණ්සේන රාසපුත්‍රම් යන අයගේ අත්සන් සහිතව යි.  එලෙස නිකුත් කළ මුදල් නෝට්ටුවේ ඉදිරිපස සහ පසුපස පහත සඳහන් දේවල් ඇතුළත් වුණා.

ඉදිරිපස කොටස  

මෙම මුදල් නෝට්ටුවේ ඉදිරිපස කොටසේ කොළ වර්ණය වැඩි වශයෙන් අඩංගු වනවා. ඊට අමතරව දුඹුරු, නිල්, දම්, සහ තැඹිලි යන වර්ණ ද දක්නට ලැබෙනවා. එසේම එහි ඉදිරිපස කොටසේ බෝවතැන්න ජලාශය මුද්‍රණය කර තිබෙනවා.

පසුපස කොටස 

මුදල් නෝට්ටුවේ පසුපස කොටසේ කොළ, දුඹුරු, සහ නිල් යන වර්ණයන් දක්නට ලැබෙනවා. එසේම එහි එක් පසක මොණර රූපයක් මුද්‍රණය කර තිබෙනවා. ඊට අමතරව අනිත් පසින් කන්තලේ වැවෙහි රූපයක් මුද්‍රණය කර ඇති ආකාරය දක්නට ලැබෙනවා.

නෝට්ටුවේ ඉදිරිපස සහ පසුපස (Elakiri.com)

1987 වසරේ දී නිකුත් කළ රුපියල් 1000 නෝට්ටුව 

1987 වසරේ ජනවාරි 1 වැනිදා මෙම මුදල් නෝට්ටුව නිකුත් කළේ රොනී ද මැල් සහ වර්ණසේන රාසපුත්‍රම් යන අයගේ අත්සන සහිතව යි. ඉන් පසුව මෙම නෝට්ටුව යළි නිකුත් කරනු ලැබුවේ 1989 වසරේ පෙබරවාරි මස 21 වැනිදා යි. ඒ මුදල් අමාත්‍ය ඩී.බී විජේතුංග සහ මහ බැංකුවේ අධිපති එච්.එන්.එස් කරුණාතිලක යන අයගේ අත්සන් සහිතව යි. එසේම 1990 වසරේ අප්‍රේල් වසරේ 5 වැනිදා යළි ඔවුන් දෙදෙනාගේ අත්සන් සහිතව මෙම මුදල් නෝට්ටුව නිකුත් කරනු ලැබුවා. පහත දක්වා තිබෙන්නේ මෙම රුපියල් 1000 මුදල් නෝට්ටුවේ ඉදිරිපස සහ පසුපස කොටස්වල අඩංගු වන දේවල් පිළිබඳව යි. 

ඉදිරිපස කොටස  

මෙම මුදල් නෝට්ටුවේ ඉදිරිපස කොටසේ කොළ වර්ණය වැඩි වශයෙන් අඩංගු වනවා. ඊට අමතරව දුඹුරු, නිල්, දම්, සහ තැඹිලි යන වර්ණ ද දක්නට ලැබෙනවා. එසේම එහි ඉදිරිපස කොටසේ වික්ටෝරියා ජලාශය මුද්‍රණය කර තිබෙනවා.

නෝට්ටුවේ ඉදිරිපස කොටස (lakdiva.org)

පසුපස කොටස 

මුදල් නෝට්ටුවේ පසුපස කොටසේ කොළ, දුඹුරු, සහ නිල් යන වර්ණයන් ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙනවා. එසේම එහි මොණර රූපයක් සහ රුහුණු විශ්වවිද්‍යාලයේ රූපයක්  මුද්‍රණය කර තිබෙන ආකාරය දැකිය හැකියි.

නෝට්ටුවේ පසුපස කොටස (lakdiva.org)

1991 වසරේ දී නිකුත් කළ රුපියල් 1000 නෝට්ටුව 

1991 වසරේ ජනවාරි 1 වැනිදා මෙම මුදල් නෝට්ටුව නිකුත් කරනු ලැබුවේ ඩී.බී විජේතුංග සහ එච්.එන්.එස් කරුණාතිලක යන අයගේ අත්සන් සහිතව යි. එදා මෙදා තුර ලංකාවේ ජනප්‍රියම රුපියල් 1000 නෝට්ටුව බවට පත්වුණු මෙම නෝට්ටුව විවිධ සංශෝධන සහිතව අවස්ථාවන් කිහිපයක දී යළි නිකුත් කළේ මෙසේ යි.

1) දිනය- 1992/7/1

    මුදල් අමාත්‍යවරයා- ඩී.බී විජේතුංග

    මහ බැංකුවේ අධිපති- එච්.බී දිසානායක

2) දිනය- 1995/11/15

    මුදල් අමාත්‍යවරයා- චන්ද්‍රිකා කුමාරතුංග

    මහ බැංකුවේ අධිපති- ඒ.එස් ජයවර්ධන

3) දිනය- 2001/12/12

    මුදල් අමාත්‍යවරයා- කේ.එන් චොක්සි 

    මහ බැංකුවේ අධිපති- ඒ.එස් ජයවර්ධන

4) දිනය- 2004/4/10

    මුදල් අමාත්‍යවරයා- සරත් අමුණුගම  

    මහ බැංකුවේ අධිපති- ඒ.එස් ජයවර්ධන

5) දිනය- 2004/7/1

    මුදල් අමාත්‍යවරයා- සරත් අමුණුගම 

    මහ බැංකුවේ අධිපති- සුනිල් මෙන්ඩිස් 

6) දිනය- 2006/7/3

    මුදල් අමාත්‍යවරයා- මහින්ද රාජපක්ෂ 

    මහ බැංකුවේ අධිපති- අජිත් නිවාඩ් කබ්රාල් 

එලෙස නිකුත් කරන ලද රුපියල් 100ක වටිනාකමකින් යුත් මුදල් නෝට්ටුවේ ඉදිරිපස සහ පසුපස පහත සඳහන් දේවල් ඇතුළත් වුණා.

ඉදිරිපස කොටස  

මෙම මුදල් නෝට්ටුවේ ඉදිරිපස කොටසේ කොළ වර්ණය වැඩි වශයෙන් අඩංගු වනවා. ඊට අමතරව දුඹුරු, දම්, සහ කහ යන වර්ණ ද දක්නට ලැබෙනවා. එසේම එහි ඉදිරිපස කොටසේ දිගු කලක් දළදා කරඬුව රැගෙන ගිය රාජා හස්ථියාගේ රුව මුද්‍රණය කර තිබෙනවා. ඊට අමතරව උමාර් ලෙබ්බේ පනික්කාර් නම් පුද්ගලයාගේ රුවත් ඒ අසලින්ම මුද්‍රණය කර තිබෙනවා. රාජා හස්ථියාව 1925 වසරේ දී පමණ අල්ලාගනු ලැබුවේ එම පුද්ගලයා යි.

පසුපස කොටස 

මුදල් නෝට්ටුවේ පසුපස කොටසේ කොළ, දුඹුරු, රතු, සහ දම්  යන වර්ණයන් දක්නට ලැබෙනවා. එසේම එහි මොණර රූපයක් සහ මහනුවර දළදා මාලිගයේ රූපයක්  මුද්‍රණය කර තිබෙන ආකාරය දැකිය හැකියි.

නෝට්ටුවේ ඉදිරිපස සහ පසුපස (Elakiri.com)

2011 වසරේ දී නිකුත් කළ රුපියල් 1000 නෝට්ටුව 

දැනට බහුලවම භාවිතා වන මෙම මුදල් නෝට්ටුව නිකුත් කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ සහ අජිත් නිවාඩ්  කබ්රාල් යන අයගේ අත්සන් සහිතව යි. මෙය 2011 වසරේ පෙබරවාරි 4 නිකුත් වුණත් එහි දිනය සටහන් ව තිබුණේ 2010 ජනවාරි 1 ලෙස යි. ඉන් අනතුරුව මෙම නෝට්ටුව අවස්ථාවන් කිහිපයක දී යළි නිකුත් කළේ මෙසේ යි.

1) දිනය- 2015/2/4

    මුදල් අමාත්‍යවරයා- රවී කරුණානායක  

    මහ බැංකුවේ අධිපති- අර්ජුන් මහේන්ද්‍රන් 

2) දිනය- 2016/7/4

    මුදල් අමාත්‍යවරයා- රවී කරුණානායක  

    මහ බැංකුවේ අධිපති- ඉන්ද්‍රජිත් කුමාරස්වාමි 

3) දිනය- 2019/1/28

    මුදල් අමාත්‍යවරයා- මංගල සමරවීර  

    මහ බැංකුවේ අධිපති- ඉන්ද්‍රජිත් කුමාරස්වාමි 

4) දිනය- 2019/12/24

    මුදල් අමාත්‍යවරයා- මහින්ද රාජපක්ෂ 

    මහ බැංකුවේ අධිපති- ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් 

එලෙස නිකුත් කරන ලද රුපියල් 100ක වටිනාකමකින් යුත් මුදල් නෝට්ටුවේ ඉදිරිපස සහ පසුපස පහත සඳහන් දේවල් ඇතුළත් වුණා.

ඉදිරිපස කොටස  

ගම්පොළ – නුවරඑළිය මාර්ගයේ අලුතින් ඉදි වුණු රම්බොඩ උමග සහ එම ස්ථානයේ තිබෙන පැරණි රම්බොඩ දුර්ගය මෙහි දැක්වෙනවා. එසේම නෝට්ටුවේ දකුණු පසට වන්නට ශ්‍රී ලංකා ගිරා මලිත්තා නම් පක්ෂියා සහ නෝට්ටුවේ වම් පස පහළට වන්නට සිතිරි සිව්වා නමැති සමනලයා මුද්‍රණය කර තිබෙනවා..

නෝට්ටුවේ ඉදිරිපස කොටස (lakdiva.org)

පසුපස කොටස 

නෝට්ටුව සිරස්ව අල්ලා බැලූ විට සබරගමුව නැටුම් සම්ප්‍රදායට අයත් මල්පදය නැටුමේ යෙදෙන ශිල්පියෙකු සහ දවුල් බෙර වාදන ශිල්පියෙකු ද ඉහළ දකුණු කෙළවරෙහි බහිරව රූප සහ දිසා පාලක රූප සහිත මුරගලක් සහ දකුණුපස දිගට ද්විත්ව ලියවැලක් ද දක්වා තිබෙනවා.

නෝට්ටුවේ පසුපස කොටස (lakdiva.org)

ඉහත දක්වා තිබෙන රුපියල් 1000ක වටිනාකමකින් යුත් මුදල් නෝට්ටු 4ට අමතරව සමරු රුපියල් 1000 මුදල් නෝට්ටු දෙකක් අවස්ථාවන් 2ක දී නිකුත් කරනු ලැබුවා. එම සමරු මුදල් නෝට්ටුවල තොරතුරු පහත දක්වා තිබෙනවා.

සාමය සහ සෞභාග්‍යය සංකේතවත් කෙරෙන රුපියල් 1000 සමරු නෝට්ටුව 

වසර 30 කට වඩා වැඩි කාලයක් පැවති යුද්ධය ජයග්‍රහණය කර ශ්‍රී ලංකාවට සාමය උදාකරගැනීම සමරනු වස් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රු.1000 වටිනාකමින් යුත් සමරු මුදල් නෝට්ටුවක් 2009 නොවැම්බර් 17 දින නිකුත් කරනු ලැබුවා. මහින්ද රාජපක්ෂ සහ අජිත් නිවාඩ් කබ්රාල් යන අයගේ අත්සන් සහිතව නිකුත් වුණු එම නෝට්ටුවේ සටහන්ව තිබුණු දිනය වුණේ 2009/5/20 වැනිදා යි. පහත දක්වා තිබෙන්නේ එම නෝට්ටුවේ ඉදිරිපස සහ පසුපස දක්නට ලැබෙන දේවල් පිළිබඳව යි. 

ඉදිරිපස කොටස  

මෙම මුදල් නෝට්ටුවේ දකුණු පැත්තට වන ලෙස එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රුව මුද්‍රණය කර තිබෙන ආකාරය දැකිය හැකියි. එසේම පසුබිමෙහි නැග එන හිරු සමඟින් ලංකා සිතියමක් ද, වී කරල් සහිත පුන්කලසක් ද මඟින් ජාතික සමගිය සහ සාමයෙහි ප්‍රතිඵල වන භෞමික අඛණ්ඩතාවය සහ සෞභාග්‍ය පිළිවෙළින් චිත්‍රනය කර තිබෙනවා.

පසුපස කොටස 

මෙම නෝට්ටුවේ පිටුපස, ආරක්ෂක හමුදා, සහ පොලීසි නිලධාරින් විසින් යුධ ජයග්‍රහණයට ලබාදුන් වික්‍රමාන්විත දායකත්වය නිරූපණය වනවා. එසේම එහි මැද ආරක්ෂක හමුදා සාමාජිකයින් ජාතික ධජය ඔසවන ආකාරය චිත්‍රනය කර තිබෙනව. ඊට අමතරව ත්‍රස්තවාදයට එරෙහි කෙරුණු සංග්‍රාමයේ මං සළකුණු වුණු  මාවිල් ආරු සොරොව්ව සහ තොප්පිගල පර්වතය ද ත්‍රිවිද හමුදාවල මානුෂීය ක්‍රියාන්විතය ද පසුබිමින් දක්වා තිබෙනවා.

නෝට්ටුවේ ඉදිරිපස සහ පසුපස (Elakiri.com)

70 වැනි නිදහස සංකේතවත් කරන රුපියල් 1000 සමරු නෝට්ටුව 

70 වැනි නිදහස් සංවත්සරය සංකේත්වත් කිරීම සඳහා මෙම මුදල් නෝට්ටුව නිකුත් කරනු ලැබුවේ 2018 වසරේ පෙබරවාරි 4 වැනිදා යි. දැනට භාවිතා කරන රුපියල් 1000 මුදල් නෝට්ටුවට තරමක් සමාන මෙම නෝට්ටුවේ ඉදිරිපස සහ පසුපස කොටස්වල පහත සඳහන් දේවල් දක්නට ලැබෙනවා.

ඉදිරිපස කොටස  

සමරු මුදල් නෝට්ටුවේ විශාලත්වය, ප්‍රමුඛ වර්ණය හා ආරක්‍ෂණ සළකුණු දැනට සංසරණයේ පවතින 11 වැනි කාණ්ඩයට අයත් රුපියල් 1000 වටිනාකමින් යුත් ව්‍යවහාර මුදල් නෝට්ටුවට සමාන වනවා. නමුත් එහි  අතර පහත සඳහන් වෙනස්කම් දක්නට ලැබෙනවා.

1) දැනට සංසරණයේ පවතින 11 වැනි කාණ්ඩයට අයත් රුපියල් 1000 වටිනාකමින් යුත් මුදල් නෝට්ටුවේ වම්පස පහළ කෙළවරේ සමනල රූපය වෙනුවට විවිධත්වය සැමරීමේ ලාංඡනය දක්නට ලැබෙනවා.

2) එසේම එම නෝට්ටුව මැද තිබුණු රම්බොඩ උමගේ රූපය වෙනුවට පන්සල, මුස්ලිම් පල්ලිය, දමිළ කෝවිල හා ක්‍රිස්තියානි පල්ලිය මෙහි දක්වා තිබෙනවා.

නෝට්ටුවේ ඉදිරිපස කොටස (sinhala.news.lk)

පසුපස කොටස 

මෙම නෝට්ටුවේ පිටුපස කොටස දැනට සංසරණයේ පවතින රුපියල් 1000ක වටිනාකමින් යුත් නෝට්ටුවේ පිටුපස කොටසට සමාන වනවා.

Related Articles