ඇල්බේනියාව දීර්ඝ ඉතිහාසයකින් හා නොයෙකුත් වටිනාකම් යුක්ත යුරෝපයේ පිහිටි සුවිශේෂී රටකි. මෙම ලිපියේ අරමුණ වන්නේ ඇල්බේනියාවට ආවේණික වන්නා වූ එම වටිනාකම් ඇතුළු අනෙකුත් දෑ ගැන දැනුවත් කිරීමයි.
භූ ගෝලීය පිහිටීම
ඇල්බේනියාව යනුවෙන් හඳුන්වන්නේ දකුණු දිග යුරෝපයේ පිහිටා තිබෙන රටකි. එහි භූ ගෝලීය මායිම් ගැන දක්වන්නේ නම් වයඹ දෙසින් මොන්ටිනීග්‍රෝ ද, ඊශාන දිශාවෙන් කොසෝවෝ ද, නැගෙනහිරින් මැසඩෝනියාව ද, දකුණු හා ගිනිකොණ යන දිශා වලින් ග්‍රීසියෙන් ද, බටහිරින් හා නිරිත දෙසින් ඇඩ්‍රියටික් හා අයෝනියන් මුහුදු ද පිහිටා තිබෙනවා. ඇඩ්‍රියටික් මුහුද හරහා ඉතාලියට ඇත්තේ කිලෝමීටර් 80ක් පමණ වූ දුරකි. සාපේක්ෂව ඇල්බේනියාව සැතපුම් 210 ක් පමණ උපරිම දිගකින් යුක්ත වන අතරම, කිලෝමීටර් 150 ක පමණ පළලකින් යුක්ත වනවා.
යටත් විජිත සමය හා නිදහස ලබා ගැනීම
ඇල්බේනියාව දෙවෙනි සියවසයේදී පමණ රෝම අධිරාජ්‍යවාදීන් වීසින් යටත් කර ගනු ලැබුවා. අනතුරුව රෝම පාලන සමය අවසන් වීමත් සමඟම හතරවන සියවසයේ අග භාගයේදී පමණ බිසන්ටියානු අධිරාජ්‍යයේ පාලනයට නතු වීමට සිදු වනවා. එමෙන්ම වසර ගණනාවක් Visigoths, Huns, Bulgars හා Slavs ආදීන්ගේ ආක්‍රමණ වලින් පසුව අවසානයේ පහළොස්වන සියවසයේදී ඔටෝමන් තුර්කීන්ගේ පාලනයට නතු වනවා. ඔටෝමන් පාලනය සියවස් හතරකට අධික කාලයක් ඇල්බේනියාව බටහිර ශිෂ්ටාචාරයෙන් වෙන් කර තබනු ලැබුවා. කෙසේ නමුත් ඔටෝමන් අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබා ගැනීමට ඇල්බේනියාව සමත් වනවා. ඒ වර්ෂ 1912 නොවැම්බර් 28 දීය. නමුත් 1939 දී ඉතාලිය විසින් ඇල්බේනියාව අල්ලා ගනු ලබන අතර දෙවන ලෝක යුද්ධයේ බලපෑම් මෙරටට තදින්ම බලපානු ලබනවා. කොමියුනිස්ට්වාදීන් විසින් දියත් කරන නිදහස් අරගලයකින් පසු ඇල්බේනියාව 1944 දී කොමියුනිස්ට් පාලනයට නතු වනවා. මෙම පාලනය බිඳ වැටෙන්නේ 1990 දී.
ආගම්, ජාතීන්, භාෂා හා අධ්‍යාපනය
ඇල්බේනියාවේ ඉස්ලාම් ආගම 56.7% කුත්, රෝමානු කතෝලික 10%, ඔර්තොඩොක්ස් 6.8% කුත්, ආගම් අදහන්නේ නැති අය 2.5%, Bektashi 2.1%, අනෙකුත් 5.7%, විශේෂිකරණයට ලක් නොකළ ආගම් 16.2% වශයෙනුත් ආගමික වශයෙන් ජනතාව වර්ග කළ හැකියි.. එමෙන්ම වර්ෂ 1967 දී සියලුම මුස්ලිම් දේවස්ථාන හා පල්ලි වසා දැමීමකට ලක් කළ අතරම, වර්ෂ 1990 නොවැම්බර් මස සිට ආගම් සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙනු ලැබුවා.
මෙරට භාවිතා වන නිල භාෂාව වන්නේ ඇල්බේනියානු භාෂාවයි. එය 98.8 % ලෙස වාර්තා වනවා. ග්‍රීක භාෂාව 0.5% ක්, මැසිඩෝනියානු, රෝමානු, ඉතාලි, තුර්කියානු ආදී අනෙකුත් භාෂා 0.6 % වශයෙනුත් භාවිතා කරනවා.
ජාතීන් ගැන සඳහන් කරන්නේ නම් ඇල්බේනියානුවන් 82.6% කුත් ග්‍රීක 0.9% කුත්, අනෙකුත් 1% (මොන්ටේග්‍රින්, ඊජිප්තු, මැසිඩෝනියානු, ව්ලාච්) ලෙසද විශේෂිකරණයට ලක් නොකළ 15.5% වශයෙනුත් දැක්විය හැකි වනවා.
ඇල්බේනියාවේ සාක්ෂරතාවය මුළු ජනගහනයෙන් 97.6% ලෙස දැක්වෙනවා. අවුරුදු 15 හා ඊට වැඩි පුද්ගලයන් හට කියවීමට හා ලිවීමට හැකියාව තිබෙනවා.
අගනගරය හා විශාලත්වයෙන් යුත් නගර
ඇල්බේනියාවේ අග නගරය වන්නේ ටිරානා යි. ජනගහනමය අතින් සලකා බැලු විට විශාලත්වයෙන් යුත් නගර වන්නේ Tirana, Durres, Elbasan, Vlore, Shkoder, Fier- Cifci, Korce ආදියයි.
ඇල්බේනියාවේ සංකේත
ඇල්බේනියාවේ ජාතික පක්ෂියා වනුයේ රන් පැහැති රාජාලියා යි. රතු හා කළු පැහැති පොපි මල ජාතික පුෂ්පය වන අතරම ඔලිව් ශාකය ජාතික වෘක්ෂයයි.
මෙරට ජාතික ධජය නිල වශයෙන් සාදා ගනු ලබන්නේ 1992 වර්ෂයේ අප්‍රේල් මස 07 වන දිනයි. මෙහි අන්තර්ගත සංකේත වනුයේ රතු පැහැති පසුබිමේ සිටින ඔළු දෙකේ කළු පැහැති රාජාලියා වේ. මෙය නිර්මාණය කරනු ලැබ තිබෙන්නේ 15 වන සියවසයේ තුර්කි ජෙනරාල්වරයෙකු හා අල්බියානු ක්‍රිස්තියානුවෙකු වූ ජෝර්ජ් කැස්ට්‍රියෝටා (ස්කැන්ඩර්බෙග්) විසිනි. මොහු මේ සඳහා ඔළු දෙකේ රාජාලියා භාවිතා කරනු ලැබුවා.
ඇල්බේනියාවේ ආර්ථිකය හා ස්වභාවික සම්පත්
වර්ෂ 1990 සිට ඇල්බේනියාවේ ක්‍රියාත්මක වන්නේ විවෘත ආර්ථික ක්‍රමයයි. ඇල්බේනියාවේ ආර්ථිකය මූලික වශයෙන් රඳා පවතිනු ලබන්නේ කෘෂිකර්මාන්තය, ආහාර සැකැස්ම, දැව, තෙල්, සිමෙන්ති, රසායන ද්‍රව්‍ය, ඛනිජ ද්‍රව්‍ය, ලෝහ, ජල විදුලිය, සංචාරක කර්මාන්තය, රෙදිපිළි කර්මාන්තය හා ඛනිජ තෙල් නිස්සාරණය ආදිය මතයි. ඇල්බේනියාවේ ජනගහනයෙන් 47.8% පමණ කෘෂිකාර්මික කටයුතු වල නිරත වී සිටිනවා. එරට භුමියෙන් 24.31% පමණ කෘෂිකර්මාන්තය සඳහා යොදා ගනු ලබන අතරම 18.9% රටේ දළ දේශීය නිෂ්පාදිතය සඳහා දායක වනු ලබනවා. අල, එළවළු, පළතුරු, මිදී, මස්, පැණි, ඔලිව්, තිරිඟු හා දුම්කොළ ප්‍රධාන කෘෂිකාර්මික නිෂ්පාදන වනවා. මෙරට සංචාරක කර්මාන්තයද ඉතාමත් විශිෂ්ට ආකාරයෙන් සිදු වනවා. බොහොමයක් බැංකු විදේශිකයන් සතු වන ඒවායි. 2008 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා අපනයන ක්ෂේත්‍රයේ සුවිශේෂී වර්ධනයක් සිදු වී තිබෙනවා.
ඇල්බේනියාව ස්වාභාවික සම්පත් වලින් පොහොසත් රටක් ද වනවා. මෙරට සතු ස්වභාවික සම්පත් අතර රටේ නිරිත දිග ප්‍රදේශ වල අවසාදිත පාෂාණ වල පිහිටා තිබෙන ස්වභාවික ගෑස්, ඛනිජ තෙල්, ගල් අඟුරු, ගල් අඟුරු තාර ආදිය තිබෙනවා. සැලකිය යුතු ආකාරයෙන් පිහිටා තිබීම හේතුවෙන් ගෘහස්ථ පාරිභෝජනය සඳහා මෙන්ම අපනයනය කිරීම සඳහාද නිපදවනු ලබනවා. මීට අමතරව උතුරු ප්‍රදේශයේ පිහිටා තිබෙන කඳු වල chromite, ferronickel, copper, හා cobalt පිහිටා තිබෙනවා. රත්තරන්, රීදී, ඩොලමයිට්, ජිප්සම්, ඇස්බැස්ටස් ආදියද මෙරට භූ තලයේ තැන්පත් වී තිබෙනවා. ස්වභාවික සම්පත් වලින් අනූන රටක් වන මෙය කොපර්, යකඩ, නිකල් ආදියද නිපදනවා.
ඇල්බේනියානු මිනිසුන් හා සංස්කෘතිය
මෙරට වාසය කර මිනිසුන් ඉතාමත් ත්‍යාගශීලී මෙන්ම ආගන්තුක සත්කාරයට ලැදි අය බව සඳහන්.. ඇල්බේනියානු පවුල් බොහෝ විට අමුත්තන්ගේ ආහාර වේලක් සඳහා මාසික වැටුපක් වුවද වැය කරනු ලබනවා. මංගල උත්සව හා අනෙකුත් උත්සව අවස්ථා වලදී මස්, ඇල්බේනියානු රාකි හා මත්පැන් පානය සිදු කරමින් උත්සව පවත්වනු ලබනවා.
ළමයින් අතර ඉතාමත් ජනප්‍රිය ක්‍රීඩාව වන්නේ නීති ඉතාමත් සරල වන සැඟවීම හා සෙවීම යි. අතීතයේ මෙරට කාන්තා හා පිරිමි දෙපාර්ශවයම ඔපින්ගා නමැති සපත්තු වර්ගය භාවිතා කළා. මේවා වෙනස් වර්ණයන්ගෙන් හා හැඩ වලින් යුක්තව සාදනු ලැබුවා. වර්තමානය වන විට තරුණ පිරිස් මෙන්ම වැඩිහිටියන්ද බටහිර ලෝකයේ මිනිසුන් මෙන් මිනි සායවල් ආදිය අඳිනු ලබනවා. නමුත් තවමත් ඇල්බේනියානු මිනිසුන් ඔවුන්ගේ සම්ප්‍රදායික ඇඳුම් ද ඇදීම සිදු කරනවා.
ඇල්බේනියාවේ දේශපාලනය
ඇල්බේනියාවේ ආණ්ඩුව අල්බේනියානු ජනරජය ලෙස දැක්වෙනවා. රාජ්‍යයේ ප්‍රධානියා වනුයේ ජනාධිපතිතුමයි. වර්තමාන ජනාධිපතිවරයා llir Meta වේ. ආණ්ඩුවේ නායකයා අගමැතිවරයා වන අතර වර්තමානයේ Edi Rama වේ. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1998 වසරේදී ඇති කරන ලද අතර එහි සඳහන් ආකාරයට ඇල්බේනියාව පාර්ලිමේන්තු ජනරජයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කොටස් 18කට බෙදා තිබෙනවා.
ආණ්ඩුව ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ යන කොටස් වල බෙදා තිබෙන අතරම ඇල්බේනියාව අන්තර්ජාතික සංවිධාන වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ, යුනෙස්කෝ, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ, නේටෝ ආදියෙහි සාමාජිකයින් වනවා. වායු දුෂණය, ජෛව විවිධත්ව, දේශගුණ විපර්යාස, මුහුදේ නීතිය ආදී පාරිසරික ගිවිසුම් බොහොමයකට එළඹ තිබෙනවා.
කවරයේ පින්තූරය: invest-in-albania.org