කොළඹ නගරයේ පිහිටා තිබෙන ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරය යන ගොඩනැඟිලි පසුගිය කාලයේ දී රජයේ වැඩ කටයුතු සඳහා යොදා ගත්තා. එම ගොඩනැගිලි මීට වසර සිය ගණනකට පෙර යටත් විජිත යුගයේ දී නිර්මාණය වුණේ වෙනත් අරමුණු සඳහා යි. ඓතිහාසික වටිනාකමක් ඇති එම ස්ථාන පසුගිය ජූලි 9 වැනිදා අරගලකරුවන් අතට පත්වුණා.
ඒ සමඟ ම එම ගොඩනැඟිලිවල ඉතිහාසය පිළිබඳ දැනගන්නට බොහෝ දෙනෙක් උනන්දු වුණා. එනිසා වසර 200කට වඩා පැරණි කොළඹ ජනාධිපති මන්දිරයේ අතීත තොරතුරු ඔබ වෙත ගෙන එන්නට අප අදහස් කළා.
අරගලකරුවන් එම ස්ථානවල රැඳී සිටිමින් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ඔවුන්ගේ තනතුරුවලින් ඉල්ලා අස්වන මෙන් බලපෑම් කළා. ඒ අතරතුර අරගලකරුවන් එම ඓතිහාසික ස්ථාන ඇතුළත ඡායාරූප සමාජ මාධ්‍යජාල වෙත මුදා හැරියා. එහි දී බොහෝ දෙනකුගේ අවධානය දිනා ගත්තේ ජනාධිපති මන්දිරය ඇතුළත ඡායාරූප යි.
එම ඡායාරූප සමාජ මාධ්‍යජාලවළ සංසරණය වීමත් සමඟ ම ජනාධිපති මන්දිරයේ ඓතිහාසික වටිනාකම පිළිබඳ ව බොහෝ දෙනෙක් කතා කරන්නට පටන් ගත්තා. එපමණක් නොව එහි ඉතිහාසය පිළිබඳ ව තොරතුරු සොයා බලන්නටත් උනන්දු වුණා. මේ ජනාධිපති මන්දිරයේ ඉතිහාසය පිළිබඳ තොරතුරු යි.
මන්දිරය පිහිටි බිම අතීතයේ දී සොහොන් බිමක්
කොළඹ ජනාධිපති මන්දිරය පිහිටා තිබෙන භූමි ප්‍රදේශය පෘතුගීසි පාලන සමයේ දී මෙන්ම ලන්දේසීන් අප රට පාලනය කළ යුගයේ දී ද සුසාන භූමියක් වශයෙන් භාවිත කෙරුණා. පෘතුගීසි පාලන කාලයේ මෙම ස්ථානයේ ශාන්ත ෆ්රැන්සිස් මුනිඳුන්ට කැප කළ දේවස්ථානයක් තිබුණා. එම දේවස්ථානයට යාබදව පිහිටි බිම් කඩක දොන් ජුවන් ධර්මපාල රජතුමාගේ සොහොන පිහිටා තිබුණා.
එම සොහොන සමීපයේ තිබුණු සොහොන් ගලක කොටා තිබුණේ “1550 දී පෘතුගීසීන් වෙතින් කතෝලිකාගම වැලඳ ගත් කෝට්ටේ රජු 1607 දී මිය ගියේය යන්න යි. 1832 දී එම සොහොන් ගල එතනින් ඉවත් කර කොටුව ශාන්ත පීතර දේවස්ථානයේ තැන්පත් කළා.
පෘතුගීසීන්ගෙන් පසුව අප රට පාලනය කළ ලන්දේසීන් එම දේවස්ථානයට යාබද ව තිබුණු බිම් ප්‍රදේශය ලන්දේසි ප්‍රභූවරුන් මිහිදන් කිරීම සඳහා භාවිත කළා. එකල මෙම බිම් ප්‍රදේශයේ ලන්දේසි ආණ්ඩුකාරවරුන් 5 දෙනෙක් මිහිදන් කළ සොහොන් ස්මාරක පිහිටා තිබුණු බව මූලාශ්‍රවල ලියැ වී තිබෙනවා.
ලන්දේසි ප්‍රභූ පවුල්වල සාමාජිකයන් රැසකගේ සොහොන් ස්මාරක රැසක් ද මෙම භූමියේ ඊට අමතර ව පිහිටා තිබුණා. සියවස් 2කට ආසන්න කාලයක් සුසාන භූමියක් ලෙස භාවිත කළ මෙම භූමියට නිසි වටිනාකමක් ලැබුණේ එංගල් බීක් නම් ලංදේසි ආණ්ඩුකාරවරයාගේ සමයේ යි.
ලන්දේසි පාලන සමයේ ඉදිවුණු අලංකාර මන්දිරය
මූලාශ්‍රවලට අනුව මෙම අලංකාර මන්දිරය ඉදිකර තිබෙන්නේ 1785-1789 කාලය ඇතුළත යි. ලන්දේසි ඉංජිනේරු බළකායේ කපිතාන්වරයෙක් වුණු පෝයන්ඩර් 1785 දී ඇඳි සිතියමක වත්මන් ජනාධිපති මන්දිරය පිහිටි භූමිය හිස් බිමක් ලෙසින් දක්වා තිබුණා. ප්‍රවීන ලේඛක නීල් ද මොරායන් 1789 දී ඇඳි සිතියමේ මෙම ස්ථානය දක්වා තිබුණේ කොනිංස් හවුස් මන්දිරය ලෙස යි.
එයින් පැහැදිලිවන්නේ ජනාධිපති මන්දිරයේ මුල් නම කොනිංස් හවුස් බව යි. එහි අයිතිය එංගල් බීක් සතු වුණු බව ද එහි දක්වා තිබුණා. මෙම මන්දිරය ඉදි කළ එංගල් බීක් ලංකාවේ අවසන් ලංදේසි ආණ්ඩුකාරවරයා බවට පත් වුණා. ඔහු 1794-1796 කාලයේ එම තනතුර දැරුවා.
කොළඹ වරායට ආසන්නයේ සුන්දර භූමි භාගයක ඉදි වුණු මෙම මන්දිරය මහල් දෙකකින් යුක්ත යි. එකල මෙම මන්දිරය කුඩා කඳු ගැටයක් මත ඉදි ව තිබුණු බව මූලාශ්‍රවල සඳහන් වෙනවා. ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමවලට අනුව ඉදිවුණු මෙම මන්දිරය බ්‍රිතාන්‍ය යුගයේ දී විවිධ ප්‍රතිසංස්කරණවලට භාජනය වුණා. එම ප්‍රතිසංස්කරණවල දී මෙහි තිබුණු ඇතැම් කොටස්වල වෙනස්කම් සිදු වුණා.
එනිසා මෙම මන්දිරයේ පහත මාලය ඕලන්ද ගෘහ නිර්මාණ ලක්ෂණවලට අනුව ඉදිකර තිබුණත් ඉහළ මාලය තුළ දක්නට ලැබෙන්නේ බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ලක්ෂණ යි. ඉහළ මාලයේ පොළව ද දැවයෙන් නිම කර තිබීම විශේෂත්වයක්.
පෙම් පළහිලව්වක් නිසා මන්දිරය රජයට උරුම වුණු හැටි
ඉංග්‍රීසීන් කොළඹ කොටුව 1796 දී යටත් කරගන්නා අවස්ථාවේ දී පවා එංගල් බීක් ආණ්ඩුකාරවරයා මෙම සුවිසල් මන්දිරය අතහැරියේ නැහැ. එම යුගයේ දී බොහෝ ලන්දේසි ජාතිකයන් සිය නිජබිම වෙත ගියත් එංගල් බීක් සිය මිණිබිරිය වුණු ජැකොමිනා සමඟින් මෙම මන්දිරයේ වාසය කළා. 1799 දී එංගල් බීක් මිය යාමත් සමඟින් මෙම මන්දිරයේ අයිතිය හිමිවුණේ ඔහුගේ මිණිබිරිය වුණු ජැකොමිනාට යි.
එකල ෆෙඩ්‍රික් නෝර්ත් ආණ්ඩුකාරවරයා උසස් පැලැන්තියේ ප්‍රභූවරුන් සඳහා නිතර ම සාද පැවැත්වූවා. එම සාද සඳහා ජැකොමිනාට ද ඇරියුම් ලැබුණා. එම සාදවල දී ඇයට බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ උසස් නිලධාරින් පවා හමු වුණා. ඒ අතුරින් සුරූපී ජැකොමිනාගේ සිත් ගත්තේ ජෝර්ජ් මෙල්වින් ලෙස්ලි නම් සිවිල් නිලධාරියා යි. ඔවුන් දෙදෙනා අතර ඇති වුණු හිතවත්කම වැඩි කලක් යන්නට පෙර ප්‍රේමයකට පෙරළුණා.
එහි ප්‍රතිපලයක් 1803 දී ඔවුන් දෙපළ විවාහ දිවියට ඇතුළත් වුණා. එංගල් බීක්ගේ බාල සහෝදරයා වුණු ක්‍රිස්ටියන්ගේ කොල්ලුපිටියේ පිහිටා තිබුණු මන්දිරයේ දී එම විවාහ උත්සවය පැවැත්වුණා. ෆෙඩ්‍රික් නෝර්ත් ආණ්ඩුකාරවරයා එම විවාහ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා බවට පත්වුණා.
මෙම විවාහය සිදු වනවිට ජෝර්ජ් මෙල්වින් ලෙස්ලි බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ප්‍රධාන ආදායම් නිලධාරි තනතුර දැරුවා. එම අවධියේ දී ගිණුම් පියවීමේ දී ඔහු අතින් යම් කිසි අක්‍රමිකතාවක් සිදු වුණා. ඉන් පසුව ඔහුට පවුම් 10,000ක අඩුවක් පියවන්නට නියම වුණා. නමුත් එතරම් මුදලක් ඒ වන විට මෙල්වින් ළඟ තිබුණේ නැහැ. එම අවස්ථාවේ ඔහුගේ බිරිය වුණු ජැකොමිනා සිය සැමියා බේරා ගැනීම සඳහා පරම්පරාවෙන් උරුම වුණු මන්දිරය බ්‍රිතාන්‍ය රජයට විකිණීමට තීරණය කළා.
එහි දී බ්‍රිතාන්‍ය රජය මන්දිරයේ වටිනාකම පවුම් 35,000ක් ලෙස තක්සේරු කළා. 1804 ජනවාරි 17 වැනිදා මෙම මන්දිරය බ්‍රිතාන්‍ය රජයට පවරා ගත්තා. කොනිංස් හවුස් මන්දිරය අත්පත් කරගැනීමට තිබුණු ආසාව නිසා නෝර්ත් ආණ්ඩුකාරවරයා සිය සේවකයෙක් වුණු මෙල්වින් බොරු මුදල් නඩුවකට පැටලූ බව ඇතැම් මූලාශ්‍රවල සඳහන් වෙනවා.
බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන්ගේ නිල නිවස බවට පත්වීම
ෆෙඩ්‍රික් නෝර්ත් ආණ්ඩුකාරවරයා මෙම මන්දිරය සිය නිල නිවස බවට පත් කර ගත්තා. එතැන් සිට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන්ගේ නිල නිවස බවට පත්වුණේ මෙම කොනිංස් හවුස් මන්දිරය යි. 1805-1812 කාලයේ ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ලෙසින් කටයුතු කළ තෝමස් මෙට්ලන්ඩ් මෙම මන්දිරයට කිංග්ස් හවුස් (රජ ගෙදර) යන නම තැබුවා.
වික්ටෝරියා රැජන බ්‍රිතාන්‍ය පාලනය කළ යුගයේ දී මෙය ක්වීන්ස් හවුස් ලෙසින් හැඳින්වූවා. නැවතත් ජෝර්ජ් රජුගේ යුගයේ දී කිංග්ස් හවුස් (රජගෙදර) නමින් හැඳින්වූ මෙම මන්දිරය දෙවන එළිසබෙත් යුගයේ යළි ක්වීන්ස් හවුස් ලෙසින් හැඳින්වූවා.
ලංකාව එවක පාලනය කළ ඇතැම් බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන් මෙම මන්දිරය ප්‍රතිසංස්කරණය කළා. 1831-1837 කාලයේ මෙහි වාසය කළ රොබට් විල්මට් හෝර්ටන් ආණ්ඩුකාරවරයා පවුම් 700ක මුදලක වියදම් කරමින් මෙම මන්දිරය පිළිසකර කළා. 1852 දී ජෝර්ජ් ඇන්ඩර්සන් ආණ්ඩුකාරවරයා ද මෙය ප්‍රතිසංස්කරණය කළා.
එම ප්‍රතිසංස්කරණයෙන් පසුව අලුතින් එක් වුණු අංග මෙම මන්දිරයේ ඉහළ මාලයේ දී අදටත් දැකගන්නට පුළුවන්. කොළඹ රජ ගෙදරට අලංකාරයක් එකතු කළ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන් අතර ආතර් ගෝර්ඩන්ගේ නම ඉදිරියෙන් ම තිබෙනවා. ඒ ඔහුගේ පාලන කාලයේ දී මෙම මන්දිරයට යාබද ව නිර්මාණය වුණු ගෝර්ඩන් උද්‍යානය නිසා යි.
ගෝර්ඩන් උද්‍යානයේ ඉතිහාසගත තොරතුරු
කොළඹ ජනාධිපති මන්දිරයට අයත් ගෝර්ඩන් උද්‍යානය පිහිටි භූමිය පෘතුගීසි සහ ලන්දේසි යුගවල දී සුසාන භූමියක් ලෙසින් භාවිත කළා. ආතර් ගෝර්ඩන් මෙරට ආණ්ඩුකාර පදවිය 1883 දී භාර ගන්නා විට ගෝර්ඩන් උද්‍යානය පිහිටි භූමිය වන වදුලක් ලෙස පැවතුණා.
1887 දී පැවති වික්ටෝරියා රැජනගේ ස්වර්ණ ජයන්ති උත්සවය වෙනුවෙන් එම භූමිය එළිපෙහෙළි කර අලුතින් උද්‍යානයක් නිර්මාණය කොට එය වික්ටෝරියා රැජනගේ නමට කැප කිරීමට ගෝර්ඩන් ආණ්ඩුකාරවරයා තීරණය කළා.
ඉන් පසුව අක්කර 4ක භූමි භාගයක් එළිපෙහෙළි කර එහි අලංකාර මල් වර්ග සිටුවා, ජල මල් වැනි දේ එකතු කර අලංකාර උද්‍යානයක් ස්ථාපිත කළා. එය වික්ටෝරියා රැජනගේ ස්වර්ණ ජයන්ති මංගල්‍යය අතරතුර විවෘත කළා.
මෙම උද්‍යානය නිර්මාණය කිරීමට ගෝර්ඩන් ආණ්ඩුකාරවරයා සිය පෞද්ගලික ධනය වැය කිරීම විශේෂත්වයක් වුණා. මෙය පසු කලෙක ගෝර්ඩන් උද්‍යානය ලෙස හැඳින්වීමට හේතුව එය යි.
මෙරට බ්‍රිතාන්‍ය පාලනය පැවති කාලයේ දී කොළඹ කොටුවට පැමිණි ඉංග්‍රීසින් එකිනෙකා හමුවන ස්ථානයක් බවට මෙම උද්‍යානය පත් ව තිබුණා. 1948 දී අප රටට නිදහස ලැබීමෙන් පසුව මෙම උද්‍යානය පොදු ජනතාව වෙනුවෙන් විවෘත වුණා.
එකල කොළඹ රජ ගෙදර උද්‍යානය වශයෙන් පැවති මෙය 1970 දශකය වන තුරු ම ජනතාව විවේක ගන්නා තැනක් බවට පත් ව තිබුණා. පසු යුගයේ ආරක්ෂක හේතුන් මත මෙම ස්ථානය පොදු ජනතාවට තහනම් කලාපයක් බවට පත් වුණා.
රජ ගෙදර ජනාධිපති මන්දිරය බවට පත් වීම
1972 මැයි 22 වැනිදා අප රටට පූර්ණ නිදහස ලැබුණා. එදා සිට රජ ගෙදර හැඳින්වූයේ ජනාධිපති මන්දිරය ලෙස යි. කොළඹ ජනාධිපති මන්දිරයේ පදිංචි වුණු මුල් ම ශ්‍රී ලාංකීය ජනාධිපතිවරයා බවට පත් වුණේ විලියම් ගොපල්ලව යි. ඔහු 1972-1978 කාලයේ ජනාධිපති මන්දිරයේ වාසය කළා.
1978 වසරෙන් පසුව බලයට පත්වුණු විධායක ජනාධිපතිවරු අතුරින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ මෙම මන්දිරය සහ අරලියගහ මන්දිරය සිය වාසස්ථානය ලෙස භාවිත කළා.
ඉතිරි විධායක ජනාධිපතිවරුන් මෙය යොදා ගත්තේ විදේශ රාජ්‍ය නායකයන් හමුවීම, තානාපතිවරුන් පිළි ගැනීම වැනි නිල කටයුතු සඳහා පමණ යි. පොදු ජනතාවට තහනම් ස්ථානයක් වුණු මෙය 2016 ජූනි මාසයේ සතියක් පුරා ජනතා ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීම විශේෂ සිදුවීමක් වුණා.
පෞරාණික වටිනාකමක් තිබෙන ස්ථානයක්
ඕලන්ද සහ බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමවලට අනුව ඉදිකර තිබෙන මෙම ගොඩනැඟිල්ලට විශාල පෞරාණික වටිනාකමක් තිබෙනවා. බ්‍රිතාන්‍ය යුගයේ දී මෙරටට ආනයනය කළ පැරණි විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ අදටත් මෙහි දක්නට ලැබෙනවා.
එපමණක් නොව ඓතිහාසික වටිනාකමකින් යුත් සිතුවම් රැසක් ද ජනාධිපති මන්දිරය තුළ තැන්පත් කර තිබෙනවා. එනිසා මෙම මන්දිරය පුරාවිද්‍යාත්මක වැදගත්කමකින් යුත් ස්ථානයක් ලෙසින් සැලකෙනවා.
පෞරාණික මෙන් ම ඓතිහාසික වැදගත්කමක් ඇති මෙම මන්දිරය රටේ ජාතික වස්තුවක් ද වනවා. මෙය රැකගැනීම අප සියලු දෙනා ම සතු වගකීමක් වන්නේ ඒ නිසා යි.