Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අයින්ස්ටයින්ගේ මොළය හොරකම් කළ හැටි!

‘විසිවන සියවසේ බිහිවුණු බුද්ධිමත්ම මිනිසා’ ලෙස විරුදාවලි ලත් අයින්ස්ටයින් ලෝකයේ ගමන්මඟ වෙනස් කළ මූලධර්ම සහ න්‍යායන් ඉදිරිපත් කළ මහා විද්‍යඥයෙක්. ඔහුගේ විශේෂ බුද්ධිය නිසා, ඔහුගේ මොළය සාමාන්‍ය මිනිස් මොළයකට වඩා සුවිශේෂී විය යුතු බව එකල විශ්වාස කෙරුණා. 

1955 වසරේ දී අයින්ස්ටයින් මියයාමත් සමග, ඔහුගේ මොළයේ ස්වභාවය පිළිබඳව පර්යේෂණයක් කිරීමට එක්තරා වෛද්‍යවරයෙකුට අවශ්‍ය වුණා. කලබල සියල්ල ඇරඹුණේ එතැනින්! 

අයින්ස්ටයින්ගේ මරණය 

1955 දී ඇල්බට් අයින්ස්ටයින් ජීවත් වුණේ ඇමරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ ප්‍රින්ස්ටන් නගරයේ යි. එම වසරේ අප්‍රේල් 12 වැනිදා, කිසිවෙකුත් නොසිතූ ආකාරයට අයින්ස්ටයින් අසනීප වුණා. ඔහුගේ උදරයේ පහළ කොටසින් දරුණු වේදනාවක් හටගෙන තිබු නමුත්, අයින්ස්ටයින් ඔහුගේ ලේකම්වරිය වුණු හෙලන්ට වෛද්‍යවරයා කැඳවීමට අවසර ලබාදුන්නේ නැහැ. නමුත් හෙලන් රහසිගතවම අයිස්ටයින්ගේ තත්ත්වය පිළිබඳව ඩීන් නම් වෛද්‍යවරයෙකුට දන්වා සිටියා.

බර්ට්‍රන්ඩ් රසල් සහ අයින්ස්ටයින් (atomicheritage.org)

අප්‍රේල් 13 වැනිදා අයින්ස්ටයින්ගේ තත්ත්වය නරක අතට හැරුණා. එදින උදෑසන සිටම අපහසුවෙන් සිටි අයින්ස්ටයින් එක්වරම ක්ලාන්ත වී බිම ඇදගෙන වැටුණා. කලබලයට පත්වුණු හෙලන් වහාම වෛද්‍ය ඩීන් නිවසට කැඳවාගෙන ආවා. අයින්ස්ටයින් පරීක්ෂාකර බලා මූලික ප්‍රතිකාර කළ වෛද්‍යවරයා පවසා සිටියේ ඔහු එම තත්ත්වයෙන් රෝහල්ගත කිරීම අවදානම් බව යි. එනිසා අයින්ස්ටයින් පරීක්ෂා කිරීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුම පසුදින එහි පැමිණියා. නමුත් අයින්ස්ටයින් ඒ මොහොත වන විට තරමක් නොසන්සුන්ව සිටි නිසා වෛද්‍යවරුන් සමග කතා කිරීමටවත් උනන්දුවක් දැක්වූයේ නැහැ. තමන්ට ටිකක් තනියම ඉන්නට ඉඩදෙන්නැ යි ඔහු ඒ පිරිසෙන් විනීතව ඉල්ලා සිටි බව කියැවෙනවා. 

අප්‍රේල් 15 වැනිදා වන විට අයින්ස්ටයින්ගේ තත්ත්වය වඩාත් දරුණු අතට හැරුණා. ඔහු රෝහල්ගත කරනවා හැර වෙනත් විසඳුමක් ඒ අවස්ථාවේ තිබුණේ නැහැ. එනිසා අයින්ස්ටයින් ඉක්මනින්ම ප්‍රින්ස්ටන් රෝහලට ඇතුළත් කෙරුණා. එහි කාර්යයමණ්ඩලය සිය උපරිම අවධානය අයින්ස්ටයින් වෙත යොමු කළා. ඔහුගේ උදරයේ වේදනාවට හේතු වූ අභ්‍යන්තර රුධිර වහනයට ප්‍රතිකාර කිරීමට ඔවුන් පියවර ගත්තා. 

අප්‍රේල් 17 වැනිදා රාත්‍රියේ රෝහල් සයනය මත සුවබර නින්දකට වැටුණු අයින්ස්ටයින් පසුදින පාන්දර 1.15ට පමණ සයනය මත දීම අවසන් හුස්ම හෙළා තිබුණා. ඔහු අවසන් හුස්ම හෙළූ අවස්ථාවේ ඔහු අසල සිටියේ ඇල්බර්ටා නම් හෙදිය යි. එකල ඇය පුවත්පත්වලට පවසා තිබුණේ ‘අයින්ස්ටයින් දෙවතාවක් එකවර හුස්ම ගෙන මියගියා’ යන්න යි.

අයින්ස්ටයින් මියගිය පුවත එකල පුවත්පත්වල වාර්තා වුණු අයුරු (pinterest)

අයින්ස්ටයින්ගේ මරණ පරීක්ෂණය ආරම්භ වෙයි 

අයින්ස්ටයින්ගේ දේහයේ මරණ පරීක්ෂණය සිදුකිරීමේ වගකීම පැවරුණේ තෝමස් හාවි නම් වෛද්‍යවරයාට යි. මරණයෙන් පැය හතකට පමණ පසුව වෛද්‍ය හාවි මරණ පරීක්ෂණා ආරම්භ කළා. මෙහිදී මළ සිරුරේ හිස් කබල ඉවත් කළ වෛද්‍යවරයා මොළය ඉවතට ගත්තා. 20 වැනි සියවසේ හොඳම මොළය සියතට ගැනීම වෛද්‍ය හාවිට විශාල සතුටක් ඇතිකළ බව කියැවෙනවා. මෙහිදී වෛද්‍ය හාවිගේ සිතට නැගුණු විශාලම ගැටලුව වුණේ අයින්ස්ටයින් මෙතරම් දක්ෂ පුද්ගලයෙකු බවට පත්වුණේ කෙසේ ද යන්න යි. අයින්ස්ටයින්ගේ මොළය කිරා බැලීමට දොස්තර හාවි තීරණය කළා. 

කිරා බැලීමේ දී මොළයේ බර සටහන් වුණේ ග්‍රෑම් 1230ක් වශයෙන්. සාමාන්‍යයෙන් මිනිස් මොළයක් ග්‍රෑම් 1300-1400ක අතර අගයක් ගනු ලැබුවත්, අයින්ස්ටයින්ගේ මොළය ඊට වඩා බරින් අඩුවුණා. ඇත්ත වශයෙන්ම, ඒ මොහොතේ දොස්තර හාවි බලාපොරොත්තුවෙන් සිටියේ සාමාන්‍ය මොළයකට වඩා බරින් තරමක් වැඩි මොළයක් අයින්ස්ටයින්ට තිබෙනු දැකීමට යි. ඔහු පසුකලෙක එසේ පවසා තිබුණා. 

වෛද්‍ය තෝමස් හාවි (gettyimages) 

වෛද්‍යවරයා සිරුරේ කොටස් සොරකම් කරයි 

අයින්ස්ටයින්ගේ මොළයේ බර අඩුවීම ගැන විමතියට පත්ව සිටි වෛද්‍යවරයාට එම හොඳින් මොළය පරීක්ෂා කිරීමට අවශ්‍ය වුණා. එනිසා මළ සිරුරේ මොළය ඉවත්කර ගත් ඔහු, ඉන් නොනැවතී ඇස් දෙක ද ඉවත්කර, සිය මිතුරු අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙකු වුණු හෙන්රි ආබ්‍රාම්ස්ට භාරදුන්නා. මොළය පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලය‍ය වෙත රැගෙන ගිය ඔහු එය එහි විද්‍යාගාරයක රහසිගතව තැන්පත් කළා. 

ඒ අතරතුර අයින්ස්ටයින්ගේ දේහය පිළිබඳ  අවසන් කටයුතු ඉහළින්ම සිදුවුණා. වෛද්‍ය හාවි සූක්ෂම අයුරින් වෙනත් ඇස් දෙකක් මළ සිරුරට බද්ධකර තිබුණා. එනිසා අයින්ස්ටයින්ගේ සිරුරෙන් මොළය සහ ඇස් දෙක සොරකම් කිරීම පිළිබඳව අනාවරණය වුණේ නැහැ.

මොළය පිළිබඳව පර්යේෂණ අරඹයි 

අයින්ස්ටයින්ගේ මරණයේ වැඩ කටයුතු අවසන් වීමෙන් ටික දිනකට පසු රහසේම විද්‍යාගාරය වෙත ගිය දොස්තර හාවි මොළය පිටතට ගෙන තියුණු සැත්කම් පිහියක් භාවිතයෙන් කොටස් දෙකකට වෙන් කළා. එයින් එක් කොටසක් ගෙන එයට ෆෝමලීන් ද්‍රාවණයක් එන්නත්කර, දෙවනුව එය ෆෝමලීන් ද්‍රාවණය අඩංගු බෝතලය තුළ තැන්පත් කළා. මෙසේ වෙන්කර සංරක්ෂණය කරගත් මොළ කැබැල්ල තමා සන්තකයේ තබාගත් වෛද්‍යවරයා, මොළයේ ඉතිරි කොටස කුඩා කොටස් 240කට කපා එයිනුත් කොටස් කිහිපයක් ෆෝමලීන් ද්‍රාවණය අඩංගු බෝතලයක දමා තමා ළඟ තබාගත්තා. කුඩා කොටස්වලට කැපූ ඉතිරි මොළ කැබලි ඔහු දන්නා ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ට සහ ව්‍යාධිවේදීන්ට පරීක්ෂා කිරීම සඳහා යවනු ලැබුවා. නමුත් ඒ කිසිවෙකු ඒවා කාගේ මොළ කැබලිදැ යි දැන සිටියේ නැහැ.

අයින්ස්ටයින්ගේ මොළයේ කුඩා කැබලි (gettyimages)

වෛද්‍ය හාවි අප්‍රසිද්ධ ජීවිතයක් ගත කරයි 

අයින්ස්ටයින්ගේ මරණය සිදුවී වසරක් පමණ ගතවන විට, වංචාවකට හසුවුණු වෛද්‍ය හාවිට ඔහුගේ රැකියාව අහිමි වුණා. ඉන්පසු හාවි දවසෙන් වැඩි කාලයක් ගතකළේ ඔහුගේ නිවසේ විද්‍යාගාරය තුළ යි. එහි සිට හොර රහසේම අයින්ස්ටයින්ගේ මොළයේ කොටස් ගැන පරීක්ෂාවේ යෙදුණු හාවිට සිය බිරිඳට අවධානය යොමු කිරීමට හෝ වෙලාවක් තිබුණේ නැහැ. මෙනිසා දෙදෙනා අතර නිතටම අඩදබර ඇතිවුණාත්, දොස්තර හාවිගේ දෛනික චර්යාවේ කිසිදු වෙනසක් සිදුවුණේ නැහැ. 

දිනක් දහවල් වරුවක වෛද්‍ය හාවිගේ බිරිඳ බලෙන්ම විද්‍යාගාරයට ඇතුළු වුණා. ඒ වන විටත් වෛද්‍යවරයා අයින්ස්ටයින්ගේ මොළයේ කොටස් පරීක්ෂා කරමින් සිටියා. වෛද්‍ය හාවිගේ දින චර්යාව වෙනස් වී ඇත්තේ මේ මොළ කැබලි නිසා බව බිරිඳට ඒත්තු ගියා. ඇය, මොළ කැබලි සහිත බෝතල් දෙක පොළවේ ගසා කුඩු කරනවා යි ඔහුට තර්ජනය කළා. බිරිඳගේ තර්ජනයෙන් බියට පත්ව මොළ කැබලි බෝතල් දෙක ද රැගෙන කැන්සස් ප්‍රාන්තයට රහසේම පලාගිය වෛද්‍ය හාවි, ගම්බද පෙදෙසක අප්‍රසිද්ධියේ ජීවත් වුණා. 

පසු කලෙක වෛද්‍ය හාවි, අයින්ස්ටයින්ගේ මොළය දමා තිබුණු බෝතලය අතින් ගෙන (gettyimages) 

හාවිගේ සොරකම හෙළිදරවු වුණු හැටි 

කැන්සාස් ප්‍රාන්තයේ ගම්බද කුඩා නිවසක  අප්‍රකට ජීවිතයක් ගතකරමින් සිටි හාවිට අල්ලපු නිවසේ ජීවත් වුණු විලියම් බරෝස් නම් විනෝදකාමී පුද්ගලයා හඳුනාගන්නට ලැබුණා. බරෝස්ගේ ගති පැවතුම්වලට ප්‍රිය කළ හාවි වැඩි දවසක් යන්නට පෙර ඔහු සිය හොඳම මිතුරෙකු බවට පත්කරගත්තා. සෑම දිනකම පාහේ හැන්දෑ යාමයේ එකට එකතු වී මත්පැන් පානය කරන්නට ඔවුන් හුරුවුණා. දිනක්, මත්පැන් පානය කරමින් සිටි අතරේ, තමා සතුව තිබුණු අයින්ස්ටයින්ගේ මොළයේ කොටස් ගැන හාවි සිය මිතුරාට හෙළිදරවු කළා. එම හෙළිදරව්වෙන් ටික දිනකට පසු වෙනත් මිතුරන් කිහිපදෙනෙකු සමග මත්පැන් පානය කරමින් සිටි බරෝස්, හාවි පැවසූ මොළයේ කතාව ඔවුන්ට හෙළිදරවු කළා. 

මෙසේ පැතිරුණු කතාව ස්ටීවන් ලෙවී නම් පුවත්පත් වාර්තාකරුට දැනගන්නට ලැබුණා. ඔහු විශාල පරිශ්‍රමයක් දරා සොරකම පිළිබඳව විස්තර හාවිගෙන් දැනගත්තා. එනිසා 1978 වසරේ දී දොස්තර හාවි විසින් සිදුකෙරුණු මොළ හොරකම පිළිබඳව තොරතුරු අනාවරණය වුණා. නමුත් හාවි සන්තකයේ වූ එක්තරා ලේඛනයකින්, ඇල්බට් අයින්ස්ටයින්ගේ පුත්‍රයා වුණු හාන්ස් අයින්ස්ටයින්ගේ අත්සනින් යුක්තව, අයිස්ටයින්ගේ සිරුරේ කොටස් ලබාගැනීමට හාවිට අවසර ලබා දී තිබුණා. බොහෝ දෙනෙකු විශ්වාස කළේ එය හාවි විසින් සකසන ලද කූට ලේඛනයක් බව යි.  

කෙසේ නමුත්, අයින්ස්ටයින්ගේ මොළයේ කොටස් තවමත් ඉතිරිව තිබෙන බව අනාවරණය වීමත් සමග ඒ ගැන එළිපිටම පරීක්ෂණ සිදුවුණා. ඒවායින් පසු කලෙක අපූරු තොරතුරු රැසක් අනාවරණය වුණා.

අයින්ස්ටයින්ගේ මොළය සම්බන්ධයෙන් අනාවරණය වුණු කරුණු 

වසර ගණනාවක් පුරාවට අයින්ස්ටයින්ගේ මොළය පරීක්ෂා කෙරුණා. මුල දී අනාවරණය වුණේ අයින්ස්ටයින්ගේ මොළයේ සෑම නියුරෝනයක්ම සඳහා වන ග්ලියල් සෛල ගණනින් වැඩි බව යි. මේ සෛල මඟින් නියුරෝන නිවැරදි තැන “අලවාගෙන” සිටිනවා පමණක් නොව ඒවාට ඔක්සිජන් සහ ආහාර ද සපයනවා. 

අයින්ස්ටයින්ගේ මොළය (National Museum of Health and Medicine)

එසේම ගණිතමය හැකියාවට සම්බන්ධ මොළ කොටස සාමාන්‍යයෙන් පවතිනවාට වඩා පළල් බව ඔවුන් නිරීක්ෂණය කළා. මොළයේ අර්ධගෝල අතර අසමානතා තිබූ අතර, වෙනත් මොළවල එතෙක් නිරීක්ෂණය නොකෙරුණු ඇතැම් අමතර ලක්ෂණ අයින්ස්ටයින්ගේ මොළයේ ඇති බව විද්‍යාඥයින් ප්‍රකාශ කළා. අයින්ස්ටයින් මේ වෙනස්කම් සහිතව උපත ලැබුවා ද, නැතිනම් ඔහුගේ ජීවිත කාලය තුළ මේ වෙනස්කම් සිදුවූවාදැ යි තවමත් පැහැදිලි නැහැ.

කෙසේ නමුත්, ඇතැම් විද්‍යාඥයින් මේ සොයාගැනීම් විශේෂ බව විශ්වාස කරන්නේ නැහැ. ඔවුන් පවසන්නේ අයින්ස්ටයින්ගේ මොළයේ මෙවැනි වෙනස්කම් නිරීක්ෂණය වන්නේ ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොදමින් පරීක්ෂණ සිදුකෙරෙන නිසා බව යි. බොහෝ පුද්ගලයින්ගේ මොළයන්හි මෙවැනි වෙනස්කම් තිබිය හැකි බවත්, අයින්ස්ටයින්ගේ මොළය වෙත යොදන විශේෂ අවධානය නිසා, ඔහුගේ මොළයේ සුළු වෙනස්කම් විශාලකොට පෙනෙන බවත් ඔවුන් යෝජනා කරනවා.  

කවරයේ ඡායාරූපය- ඇල්බට් අයින්ස්ටයින් (meteorologiaenred.com)

මූලාශ්‍රයයන්- BBC

                       National Geographic

                       History of Yesterday  

                       ශතවර්ෂයේ මිනිසා- ඇල්බට් අයින්ස්ටයින්

Related Articles