ලොව වටා වෙසෙන කාන්තාවන් දැවැන්ත ගැටළුවක් වෙනුවෙන් සටන් කරමින් සිටිනවා. ඒ අන් කිසිවක් නොව කාන්තාව වෙත එල්ලවන ප්‍රචණ්ඩත්වය යි. ශ්‍රී ලංකාවේ පවා කාන්තාවන් වෙත අප්‍රමාණ ලෙස ප්‍රචණ්ඩත්වයන් සහ අපයෝජනයන් සිදු වෙනවා. ඊට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීම අත්‍යාවශ්‍ය වන අතර ඒ සඳහා අවශ්‍ය මානසිකත්වයක් සහ එම ක්ෂේත්‍රය පිළිබඳ දැනුම වර්ධනය කරගෙන තිබීම වැදගත්.
එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් (UNHCR) කාර්යයාලය පෙන්වා දෙන පරිදි ලිංගික හා ලිංගිකත්වය මත පදනම් වූ හිංසනය යනු කෙනෙක්ගේ කැමැත්තට එරෙහිව ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වන අසමතුලිත බල සහිත සම්බන්ධතාවයකි. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ඇස්තමේන්තුගත කරන පරිදි ලොව වටා කාන්තාවන් තුන් දෙනෙකුගෙන් එක් අයෙකු ජීවිත කාලය තුළ තමන්ගේ සැමියාගෙන් හෝ වෙනත් පුද්ගලයෙකුගෙන් ශාරීරික හෝ ලිංගික ප්‍රචණ්ඩත්වයට ලක්ව තිබෙනවා. එසේම මෙම ප්‍රචණ්ඩ ක්‍රියා බොහෝ විට වාර්තා නොවී පවතින අතර ඊට හේතු රැසක් තිබෙනවා.
එක් හේතුවක් වන්නේ ප්‍රතිවිපාක පිළිබඳව ඇති බිය යි. සමාජ අපකීර්තියක් ඇතිවීම හෝ, පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් තත්ත්වය තවත් බරපතල වනු ඇතැ යි ඔවුන් වද වෙනවා. තමන්, එම කරදර කළ තැනැත්තා මත මූල්‍යමය වශයෙන් යැපෙන්නේ නම් බාහිර උපකාර වෙත යොමුවීම වැළැක්වීමට එය බලපෑ හැකියි.
එසේම නීති ක්‍රියාත්මක කරන බලධාරීන් සහ අපරාධ විනිශ්චය පද්ධතිය එවන් පැමිණිලි ගණන් නොගන්නා ස්වභාවයක් ද තිබෙනවා. අපරාධකරුවන් තමන්ගේ දේශපාලනික හැකියාවන් හෝ සම්බන්ධතා භාවිතයෙන් නීති ක්‍රියාත්මක කරන බලධාරීන් වෙත බලපෑම් කොට සාධාරණත්වය ඉටුවීම වළක්වනු ලබන අවස්ථාද ඇත.
අදාල නීතියේ ප්‍රතිපාදන පිළිබඳව නොදැනුවත් බව හා, අධිකරණ වල පෙනීසිටීම්වලට මුදල් නොමැතිකම ද මෙයට බලපෑ හැකියි. කාන්තාවක් තමන්ට ඇති විශේෂිත අයිතීන් සහ ඔවුන්ට නීතිමය උපකාර ලද හැක්කේ කෙසේදැ යි නොදන්නා විට අපයෝජකයන්ට ඉන් ප්‍රයෝජන ගැනීමට අවකාශ ලැබෙනවා.
අපයෝජනයට හා ප්‍රචණ්ඩත්වයටත් වඩා එම සිද්ධියට මුහුණ දුන් පුද්ගලයාට වරද පැටවීම නිරන්තරව සිදුවන සංසිද්ධියක්. අපයෝජනයට ලක් වූ විට ඊට මුහුණ දුන් කෙනාට එම සිද්ධිය නිසා සහ අවට සිටින්නන්ගේ කතා නිසා ඒ පිළිබඳව ලැජ්ජාවක්, දුබල බවක් දැනෙනවා. එවිට ඔවුන් තමාටම වරද පටවා ගන්නවා. මෙම ස්වයං නින්දාව නිසා ඔවුන් ඒ වෙනුවෙන් පිළිසරණ පැතීමෙන් වළකිනවා. මේ නිසායි තමාට එල්ලවූ ප්‍රචණ්ඩත්වයන් පැමිණිලි නොකර සිටින්නට ඇතැම් කාන්තාවන් පෙළඹෙන්නේ.
එසේම තමන්ගේ සැමියාගෙන් සිදුවන අපයෝජනයන් විශාල වශයෙන් දක්නට ලැබෙනවා. කාන්තාවන් මෙන්ම දරුවන් ද තමන්ගේ පවුලේ අය, ළඟම ඥාතීන්, මිතුරන්, කාර්යයාල පුද්ගලයන් යනාදීන්ගෙන් අපයෝජනයන්ට ලක් වෙනවා. එනිසායි තමන්ගේ අයිතීන් ගැන මෙන්ම නීති පද්ධතියට තමන්ට සාධාරණය ඉටුකරගැනීමට උපකාර විය හැකි ආකාරය ගැන හැම කෙනෙක්ම දැනුවත් විය යුත්තේ. ප්‍රචණ්ඩකාරී ක්‍රියා ඇතිවිය හැකි ආකාරයන් විශාල සංඛ්‍යාවක් තිබෙන අතර ඉන් කිහිපයක් ඒවාට නීතියෙන් ලැබෙන උපකාරයන් ද සමග පහතින් දක්වා තිබෙනවා.
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය
ශ්‍රී ලංකාව පවුල් ප්‍රශ්න ගැන හිතන්නේ ඒවා හංගාගෙන සිටිය යුතු අතිශය පෞද්ගලික කාරණාවන් ලෙසයි. මෙවන් මතයන් නිසා දැවැන්ත සමාජ ගැටළුවක් වන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැඩි වෙනවා.
බෙහෙවින් පැතිර ඇති මෙම ගැටළුව ප්‍රධාන වශයෙන් කාන්තාවන්ට හා දරුවන්ට බලපානවා. සමාජය කාන්තාවන්ගේ හා දරුවන්ගේ මුව වසා ඒවා හෙළිදරව් කිරීම වැළැක්වීම මඟින් පවුල තුළ නිරන්තරව, රටාවක් ආකාරයෙන් සිදුවන අපයෝජනයන් නිරාවරණය කිරීම වෙත ඍණාත්මකව බලපානවා. එය අපරාධයක් නමුත් පොදු ජනතාව එය එවැන්නකැ යි සලකන්නේ නැහැ. අප බොහෝ දෙනෙක් මෙය වරදකැ යි දුටුවත්, පුරුෂයෙකු තමන්ගේ භාර්යාවට පහර දීම සාධාරණීකරණය කළ හැකි බවට සිතන පිරිසක් ද සිටිනවා. මේ සමාජ ගැටළුව දෙදරා යන්නේ එතැන දී යි.
සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2016 සංගණන අනුව ශ්‍රී ලංකාවේ කාන්තාවන් 17%ක් තමන්ගේ සහකරුවා අතින් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක් වෙනවා. මෙම ප්‍රශ්නාවලිය පර්යේෂණය සඳහා පමණක් ලබා දෙන ලද නමුත් 7%ක්ම එයට සහභාගී වීමට මැළි වූයේ තමන්ගේ ආරක්ෂාවට ගැටළුවක් ඇතිවනු ඇතැ යි බිය වීමෙනුයි. එම සංගණනයම පෙන්වා දුන්නේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වූවන්ගෙන් 20%ක් නගරාශ්‍රිත බවත්, 16%ක් ගම්බද සහ 17%ක් වතු ආශ්‍රිත බව යි.
කාන්තා සංවිධානවල වසර ගණනක මහන්සියක ප්‍රතිඵල වශයෙන් 2005 දී ගෘහස්ථ ප්‍රචණ්ඩක්‍රියා වැළැක්වීමේ පනත සම්මත කරමින් ගෘහස්ථව සිදුවන අපයෝජනයන් වළකමින් ආරක්ෂාව සලසන්නට නීතියට හැකි වූවා. එම පනතෙහි 23 වන කොටස යටතේ ‘ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය’ යනු ජීවිතයට බලපෑම් ඇති කරන, හිරිහැරයක් වන, අයුතු හික්මවීම සහ රඳවා තබා ගැනීමක්, සාපරාධී බලහත්කාරකමක්, අපහරණයක්, බලහත්කාරකමක් සහ වහල් මෙහෙයක්, ලිංගික අඩත්තේට්ටම කිරීමක්, ව්‍යාභිචාරයක් වන අතර කප්පම් ගැනීම, සාපරාධී බිය ගැන්වීම් සහ ඉහත වැරදි කිරීමට උත්සාහ කිරීම; හෝ නිවසේ හෝ පිටත පරිසරය තුළ අදාළ පුද්ගලයෙකු විසින් සිදු කරන ලද හෝ සිදු කරන ලද හෝ පීඩාවට පත් වූ පුද්ගලයා සහ අදාළ පුද්ගලයා අතර ඇති පෞද්ගලික සම්බන්ධතාවයෙන් පැන නගින ඕනෑම චිත්තවේගීය අපයෝජනයක් ලෙස අර්ථ දක්වා ඇත.
ලිංගික අපයෝජනය
2017 දී එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල පෙන්වා දුන්නේ කාන්තාවන්ගෙන් 90%ක් පොදු ප්‍රවාහන මාධ්‍යයන්හි දී කිසියම් හෝ ආකාරයක ලිංගික අපයෝජනයකට ලක්ව ඇති බව යි. අවාසනාවකට මෙය කිසියම් ස්ථානයකට හෝ වේලාවකට සීමාකාරී වී නැහැ. ලිංගික අපයෝජනයක් රැකියා ස්ථානය ආශ්‍රිතව හෝ පොදු වැසිකිළිවල ආදියේ මෙන්ම රෝහලක් වැනි ඕනෑම තැනක දී සිදුවිය හැකියි. එවැන්නක් විය හැකි බවට කිසිදු විශේෂ සංකේතාත්මක පිළිබිඹුවක් නොමැති අතර ඕනෑම කෙනෙක් ඊට සැක කළ හැකි නිසාම එය සුළු කොට තැකිය නොහැකියි.
දණ්ඩ නීති සංග්‍රහයේ 345 වන වගන්තිය පෙන්වා දෙන්නේ අඩන්තේට්ටම් කිරීමෙන් හෝ සාපරාධී බලහත්කාරය පෑමෙන් යම් තැනැත්තකුට ලිංගික අතවර කරන හෝ වචනයෙන් හෝ ක්‍රියාවෙන් යම් තැනැත්තකුට ලිංගික හිරිහැරයක් හෝ අතවරයක් සිදු කරන කවර හෝ තැනැත්තකු ලිංගික අතවර කිරීමේ වරද සිදු කරන බව යි. මෙයට අසභ්‍ය අභිනයන්, අනවශ්‍ය බලපෑම්, නුසුදුසු පණිවිඩ මෙන්ම සිහි විකලව සිටිය දී හෝ මධ්‍යසාර මඟින් මත්කර සිදුකරන අකටයුතුකම් ද ඇතුළත් වේ.
1980 අල්ලස් පනත යටතේ, රැකියා ස්ථානයේ ලිංගික අල්ලස් දීම ද දඬුවම් ලැබිය හැකි වරදකි. එවන් කිසියම් හිරිහැරයක් සිදුවේ නම් පොලිස් කාන්තා සහ ළමා කාර්යාංශය, කාන්තා පිහිට (WIN), සහ ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය (NCPA) (ලක්වන්නා අවු.18ට අඩු නම්) වෙතින් උපකාර ලබාගත හැකියි.
මෙම සිදුවීම පොදු ප්‍රවාහනයේදි සිදුවුවහොත් පොදු ප්‍රවාහන කොමිෂන් සභාව, පොලීසිය, කාන්තා පිහිට (WIN), හෝ NCPA වෙත පැමිණිලි කළ හැකියි.
අධ්‍යාපන ආයතනයක එවැන්නක් සිදු වේ නම් විදුහල්පතිට හෝ පීඨාධිපතිට පැමිණිලි කළ යුතුයි. ඊට ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් ළඟම ඇති පොලීසියට දැන්විය යුතු යි.
ස්ත්‍රී දූෂණය හා ව්‍යවස්ථාපිත දූෂණය
ස්ත්‍රියගේ කැමැත්ත නොමැතිව ලිංගික සංසර්ගයේ යෙදීම ස්ත්‍රී දූෂණය වේ. දණ්ඩ නීති සංග්‍රහයේ 363 වගන්තිය මගින් ස්ත්‍රියකගේ කැමැත්ත පිළිබඳ පැහැදිලි කරුණු දක්වා ඇත. 2015 ශ්‍රී ලංකා පොලීසියේ දත්ත වලට අනුව 80% කට වැඩි ප්‍රමාණයක් දූෂණ සිදුවී ඇත්තේ වයස අවු. 16ට අඩු දැරියන්ටය. දණ්ඩ නීති සංග්‍රහයේ 363 (ඉ) වගන්තියට අනුව වයස අවු. 16ට අඩු ගැහැණු ළමුන් සමග ඇයගේ කැමැත්ත ඇතිව කරනු ලබන ලිංගික සංසර්ගයන්ද දූෂණයක් වේ. ඒවා ව්‍යවස්ථාපිත දූෂණ නමින් හඳුන්වයි.
දූෂණ හා ආශ්‍රිත සංස්කෘතියෙහි අවාසනාවන්ත ප්‍රතිවිපාක මඟින් මුහුණ දෙන්නාට වරද පැටවීම සිදුවන අතර සාධාරණත්වයක් ඉටු වීම ඉතාම අල්ප යි. කැමැත්ත ඇති අඩු වයස්කාරියන්, බීමත් බව සහ තවත් දේ මෙහි ලා ගැනෙනවා. එවන් විටක දී කළ යුතු නිර්දේශීත ක්‍රමවේදය වන්නේ වින්දිතයන්ව නිලලත් වෛද්‍යවරයකු යටතේ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීම යි. අනතුරුව ළඟම ඇති පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් දැමිය හැකි අතර ඒ සඳහා කාන්තා පොලිස් නිලධාරිණියක ඉල්වා සිටීම හෝ එහි ඇති කාන්තා හා ළමා අංශය වෙත යොමුවීම සිදු කළ හැකියි.
අන්තර්ජාල ප්‍රචණ්ඩත්වය
තාක්ෂණයේ භාවිතය වැඩි වත්ම, අප ද ඒ සමග මුසු වෙනවා. මෙමඟින් වාසි මෙන්ම අවාසි ද සැලසෙනවා. එක් අවාසියක් වන්නේ ද්වේශසහගත පුද්ගලයන් අතින් අන්තර්ජාලය හරහා අපයෝජනයට ලක් වීම යි. බොහෝ විට එය එම පුද්ගලයා සමග ඍජු සබඳතාවක් නොමැතිව සිදුවන අතර, විෂාදය, සියදිවි නසා ගැනීමේ අදහස් ඇතිවීම හෝ සියදිවි නසාගැනීම සිදුවිය හැකියි. CERT|CC මඟින් 2017 දී කළ පර්යේෂණයකින් පෙන්වා දෙන ලද්දේ එවන් කටයුතුවලින් 14%ක් ව්‍යාජ (ෆේක්) ගිණුම් හරහාත්, 11% ගිණුම් වෙත බලහත්කාරයෙන් ඇතුළුවීමෙන් (හැක් කිරීමෙන්) ද 9%ක් ඡායාරූප අවභාවිතයෙන් ද 12%ක් අන්තර්ජාල හිරිහැරකිරීම් (cyberbullying) ද 3%ක් අන්තර්ජාල වංචාවන් වශයෙන් ද සිදුකර ඇති බව යි. මේවා අන්තර්ජාලය හරහා සිදුවන නිසා බොහෝ දෙනෙක් එය සුළු කොට තැකුව ද අන්තර්ජාල අපයෝජනයන්ගෙන් විය හැකි හානි ඉතා බරපතල යි.
වඩාත් මෑතක දී ශ්‍රී ලංකාවේ සිදුවූ එවන් අවස්ථාවක් වන්නේ 2017 දී වොන්ඩර් වුමන් ආකාරයට නිරූපණය කළ ලාංකික යුවතියන් දෙදෙනෙක්ගේ පෙනුමට සිනහ වෙමින් සමාජ ජාල පුරා සමග ද්වේශසහගත අදහස් පැතිර යාමත් සමග යි. මෙය එම චරිතය නිරූපණය කරන නිළිය වන ගෑල් ගැඩොට් සහ අධ්‍යක්ෂක පැටී ජෙන්කින්ස් ද දැක තිබූ අතර ඔවුන් එම යුවතියන්ට සහාය දක්වා තිබුණා.
නමුත් එවන් ප්‍රසිද්ධියට පත් නොවන, වින්දිතයන් හුදකලාවූ අවස්ථාවන් රැසක් තිබෙන අතර ඉන් වින්දිතයන්ගේ මානසික සෞඛ්‍යයට ද බලපෑම් එල්ල වෙනවා. පෞද්ගලික ඡායාරූප අන්තර්ජාලය පුරා සැරිසරන අවස්ථාවන් බොහොමයක් තිබෙනවා. ඒවා ඉක්මවා යන අවස්ථාවන්හි දී පුද්ගලයකුගේ කීර්ති නාමයට හානිදායක වන නිසා ඒවා ඉතා භයානක යි. කැමැත්ත නොමැතිව කෙනෙක්ව වීඩියෝගත කිරීම, තර්ජනය කිරීම, තැතිගැන්වීම හෝ අවමාන තර්ජනය (බ්ලැක්මේල් කිරීම) මෙයට අයත් වෙනවා.
කෙනෙකුට අන්තර්ජාල ප්‍රචණ්ඩත්වයට හසුවූවිට පොලිසියේ කාන්තා හා ළමා අංශය, කාන්තා පිහිට (WIN), හෝ CERT මඟින් සහාය පැතිය හැකියි.
ලිංගිකත්වය මත පදනම් වූ හිංසනයට ලක්වූවන් මුහුණදෙන ගැටළු
ශ්‍රී ලංකා නීති පද්ධතිය මඟින් ලිංගිකත්වය මත පදනම් වූ හිංසනයට ලක් වූවන්ට උපකාර කිරීමට පෙරදැරිව සිටිය ද එහි තවත් වර්ධනය කර ගත යුතු දේවල් එනම්, වින්දිතයකු හා කටයුතු කළයුතු ආකාරය, එවැන්නකුට සැලකිය යුත්තේ කෙසේද යනාදිය තිබෙනවා. කාන්තා පිහිට (WIN) නීතීඥයන් හා උපදේශකයන් සමග, රෝහල් සහ කාන්තා හා ළමා කාර්යාංශ උපදේශකයන් සමග කළ සම්මුඛ සාකච්ඡාවලදී හෙළිව ඇත්තේ නීති බලධාරීන් වින්දිතයන්ට වෙනස් කොට සහ පහත් කොට සලකන බවයි.
සමාජයේ සම්ප්‍රදායික බව නිසා ලිංගිකත්වය මත පදනම් වූ හිංසනයට ලක්වූවන්ව ඇතැම් පොලිස් නිලධාරීන් දකින්නේ “ගෙවල්වල ප්‍රශ්න” ලෙස සුළු කොට තකා වන අතර ඒවාට මැදිහත් වීමට ද මැළි වෙනවා. ලිංගිකත්වය මත පදනම් වූ හිංසනයට ලක්වූවන් සමාජයෙන් කොන් කරමින් සමාජ කැළලක් ඇති කරවන අතර ඉන් වින්දිතයන් බාහිර උපකාරයන් පැතීමට ද පසුබට වෙනවා.
ලිංගිකත්වය මත පදනම් වූ හිංසනයට ලක්වූවන්ට නරක විදියට සලකන නීති බලධාරීන් එවැන්නකුගේ කතාව පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම, අපයෝජනයට ලක්වීම පිළිබඳව වින්දිතයාට වරද පැටවීම, වින්දිතයා කල් ගතවී ඒ ගැන පැමිණිලි කළ බව ආදී දේ සිදු කරනවා.
ඇතැම් නීතීඥයන් සහ පොලිස් නිලධාරීන් එම කතාව පිළිගැනීමට නම් තමන් හා ලිංගිකව එක්විය යුතුයැයි කියමින් ඔවුන්ව නැවතත් වින්දිතයකු බවට පත් කළ අවස්ථාවන් ද තිබෙනවා.
මෙවන් අනුකම්පා විරහිත හැසිරීම් නිසා වින්දිතයන් අපයෝජන පිළිබඳව පැමිණිලි කිරීමෙන් වැළකෙන අතර ඔවුන්ව තවදුරටත් අපයෝජනයන් සිදුවිය හැකි පරිසරවල තනිකරමින් ඇතැම්විට ජීවිතයෙන් වන්දි ගෙවන්නට ද සිදුවන තත්ත්වයන්ට පත් කළ හැකියි.
එසේ වුවද ඇතැම් අවස්ථාවලදී අධිකරණ අංශය මඟින් වින්දිතයන්ට සහනයක් වූ අවස්ථාවන් රැසක් තිබෙනවා. කාන්තා පිහිට මගින් මෑතකදී කරන ලද පර්යේෂණයකට අනුව ද අධිකරණ අංශ මගින් වින්දිතයාට සහනයක් වූ අවස්ථා රැසක් සොයාගන්නා තිබෙනවා. උදාහරණයක් ලෙස වින්දිතයෙක් ප්‍රකාශ කළේ ඔවුන් අධිකරණයේ සිටියදී ඔවුන්ට සුවපහසු සහ ආරක්ෂාවක් දැනෙන ආකාරයට කටයුතු සිදුවූ බවයි. විනිශ්චකරුවන් දයාබරව සහ ඉවසීමෙන් තම දුක විස්තර කරන්නට ඉඩ ලබාදෙනවා.
පුද්ගලයන්ට තමා අපයෝජනයට ලක්වූ විටකදී විශේෂයෙන් ශ්‍රී ලාංකික නීති පද්ධතියෙන් පිළිසරණක් ඇත්දැයි දැනගන්නට ඇති ඉඩකඩ බොහොම අඩුයි. මේ නිසායි අයිතිවාසිකම්, හිමිකම් ගැන සහ අපයෝජන වින්දිතයෙකුට නීතියෙන් ඇති දායකත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සංවිධාන බිහිව තිබෙන්නේ.
රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන ලිංගිකත්වය මත පදනම් වූ හිංසනයට ලක්වූවන්ට සහායවීම සඳහා ම ගොඩනැගී තිබෙනවා. උදාහරණයක් ලෙස ලිංගිකත්වය මත පදනම් වූ පැමිණිලි සඳහා ම වෙන්වූ කාන්තා හා ළමා කටයුතු අමත්‍යාංශය ගෘහස්ථ හිංසන පැමිණිලි භාර ගන්නවා.
කාන්තාවන් වෙනුවෙන් ‘1938’ යන දුරකතන අංකය ලිංගිකත්වය මත පදනම් වූ හිංසනයන්ට ලක් වූවන් සහන සැපයීමේ අදාල සංවිධාන සමග සබඳාලීමට කටයුතු කරනවා. අනතුරුව කාන්තාවන් පිළිබඳ ජාතික කමිටුව ඔවුන්ට අවශ්‍ය නෛතික සහාය ලබා දෙනවා. කිසියම් පැමිණිල්ලක් අදාල සංවිධානයකට යොමුවූවිට එහි උපකාර සේවාව එම ගැටළුව නිරාකරණය වන තෙක්ම ඒ පිළිබඳව සෙවිල්ලෙන් සිටිනවා.
කාන්තා පිහිට (WIN) යනු කාන්තාවන්ට ඔවුන්ගේ අයිතීන් පිළිබඳව දැනුවත් කරන, නොමිලේ නීති උපදෙස් ලබාදෙමින් විවිධාකාරයෙන් උපකාර කරන සංවිධානයක්. ලිංගිකත්වය මත පදනම් වූ හිංසනයන්ට ලක් වූවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සහ ඔවුන්ට සැකකරුවාට විරුද්ධව කුමක් කළ යුතුද යන්න තීරණය කරන්නට අවස්ථාව දීමද මෙයට ඇතුලත් වෙනවා. ඔවුන් ලිංගිකත්වය මත පදනම් වූ හිංසනයන්ට ලක් වූවන්ට නොමිලේ උපදේශන ලබාදෙන අතර, දැනට ක්‍රියාත්මක නීති පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට ද කටයුතු යොදා තිබෙනවා.
කාසල් රෝහල සතු ‘මිතුරු පියස’ මධ්‍යස්ථානය මඟින් වින්දිතයන්ට අවශ්‍ය උපදේශනයන් හා වෙනත් සේවාවන් නොමිලේ ලබා දෙනවා. රාජ්‍ය නොවන ආයතන මඟින් නීති පියවර ගැනීමට අවශ්‍ය මූල්‍යාධාර ලබා දෙනවා. යුරෝපා සංගමය (EU) සහ ආසියා පදනම ලිංගිකත්වය මත පදනම් වූ හිංසනයන්ට බලපාන නීති පිළිබඳව ජනතාව දැනුවත් කරමින් සිටිනවා.
ආසියානු පදනම; කාන්තා පිහිට (WIN) සමග අත්වැල් බැඳගෙන 2six4 නමැති ඇප් (app) එක එළිදක්වා තිබෙනවා. එහි අරමුණ ලිංගිකත්වය මත පදනම් වූ හිංසනයන්ට ලක්වූවන්ට හෝ සාක්ෂිකරුවන්ට හදිසි අවස්ථාවකදී දැනුම් දීම් සඳහා උපකාර වීමයි. මෙම App එක තනි බොත්තමක් එබීමෙන් පරිශීලකයාව ආසන්නතම පොලීසියට හෝ රෝහලට සබඳන්නට සමත් වෙනවා. පරිශීලකයාට ලිංගිකත්වය මත පදනම් වූ හිංසනයන් පිළිබඳ නීති පිළිබඳව දැනුවත් වීමට ද එහි අවස්ථාව සලසා තිබෙනවා.
මෙහි අරමුණ වන්නේ අපයෝජකයන්ට අපරාධවලින් පැනයාමට ඉඩ නොතබා ජනතාවට ආරක්ෂිත පරිසරයක් ගොඩනගාලීමයි. එසේම කාන්තාවන් තම අයිතීන් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන්ද ලබා ගන්නට පුළුවන්.
අපයෝජන වලට ලක්වූ වින්දිතයන්ට සහාය වීමට නව සේවාවන් බිහිවන තරමට කාන්තාවන්ට තමන්ගේ ගැටළු පිළිබඳව හඬක් නැගීමට හැකි වෙනවා. එවිට අපයෝජකයන්ට පැමිණිලි පාර්ශවය බවට පත්වීමට ඇති ඉඩකඩ ක්‍රමයෙන් අවම වෙනවා. ජනතාව වඩාත් සක්‍රීයව, දැනුවත් බවින් යුතුව කටයුතු කරද්දී කාලානුරූපව වින්දිතයන් ප්‍රමාණය අවම කර වෙමින් ශ්‍රී ලංකාව වඩාත් සුරක්ෂිත, ජීවත්වීමට ප්‍රිය ස්ථානයක් බවට පත්වන බව නොඅනුමානයි.
වියාචනය: මෙම ලිපිය යුරෝපා සංගමයේ ප්‍රතිපාදන මත ගොඩනගන ලදමුත් එහි ඇති කරුණුවල පූර්ණ වගකීම රචකයා සතුවන අතර යුරෝපා සංගමයේ අරමුණු එලෙසින්ම ප්‍රතිම්බනය නොකරනු ඇත.