Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බෙරි පලතුරු ගැන දත්-නොදත් දේවල්

මුහුණ බෙරි කරගෙන ඉන්නා වෙලාවට බෙරි ටිකක් කෑවොත් හැමදේම අමතක වෙනවා. බත බෙරි වුණාම කන්න බැරි වුණාට මොකද, බත් කෑවාට පස්සේ බෙරි ටිකක් තිබෙනවා නම් අතුරුපසට තනිව හෝ අයිස්ක්‍රීම් මත තබා සරසා එක් කරගන්නට පුළුවන්. විවිධ වර්ණ වලින් තිබෙන, ඇන්තොසයනීන් සමග ප්‍රදාහයන් සහ සෛල හානිවීම්වලට ප්‍රතිකාරයක් සේ ක්‍රියා කරන බෙරි පලතුරු ගැන ඔබ මීට කලින් අහලා නොතිබුණු දේ රැසක් ගැන කතාවකුයි මේ ගෙන එන්නේ.

රසවත් බෙරි ගැන රස කතා

බෙරි හරිම රසයි වගේම, බෙරි ගැන රසවත් කරුණු බොහොමයක් තිබෙනවා.

නොඉදුණු බ්ලැක්බෙරි රතු පැහැතියි.

විවිධ අවස්ථාවන්හි ඇති බ්ලැක්බෙරි ගෙඩි (wikimedia.org)

බොහෝ පලතුරු අමු අවස්ථාවේදී කොළ පැහැයක් ගත්ත ද බ්ලැක්බෙරි ගෙඩි මුල් අවස්ථාවේ දී රතු පැහැයක් දරනවා. ක්‍රමයෙන් ඉදෙන විටයි ඒවා කළු පැහැයට හැරෙන්නේ. ජුනි මාසයේ සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ විවිධ රටවල බ්ලැක්බෙරි හටගන්නවා. ප්‍රසව වේදනාව විඳින කාන්තාවන්ට පේශි ලිහිල් වෙන්නට මේවා ලබා දෙනවා. ඇතැමුන් බ්ලැක්බෙරි වල කළු පැහැය ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරය ලෙසත් හඳුන්වනවා.

ස්ට්‍රෝබරි පලතුරක් නොවෙයි

තිත් වගේ තිබෙන කොටස් තමයි නියම පලතුර (si-cdn.com)

ස්ට්‍රෝබරි ගෙඩිය කියලා අපි කියන්නේ පලතුරටත් නෙවෙයි වගේම, ස්ට්‍රෝබෙරීස් බෙරි වර්ගයකුත් නෙවෙයි. නියමාකාර පලතුරක්, එහෙමත් නැත්නම් ඵලයක් ලෙස හඳුන්වන්නේ පුෂ්පයක ඩිම්බයක් සංසේචනය වෙලා එම ඩිම්බය විශාලනය වීමෙන් ඇතිවන දෙයට යි. නමුත් ස්ට්‍රෝබරිවල තත්ත්වය වෙනස්. ස්ට්‍රෝබරි පුෂ්පයේ ඩිම්බ සංසේචනය වුණාම ඒවා ඉදිමෙන්නේ නැහැ. ඒවා වියළි, කුඩා ඵල බවට පත්වෙනවා. ඩිම්බ වෙනුුවට පුෂ්ප අක්ෂය විශාලනය වෙනවා.

අන්න එය තමයි රතු පාටට අපි දකින්නේ සහ ස්ට්‍රෝබරි පලතුර ලෙස හඳුන්වන්නේ. වටේ තිබෙන කහ පාට තිත් (අප ස්ට්‍රෝබෙරි “බීජ” යනුවෙන් සිතන දෙය) තමයි නියම පලතුර. ඒවා තුළ බීජ තිබෙනවා. මෙවන් තිත් 200ක් පමණ ස්ට්‍රෝබරි මතුපිට දැකගන්නට පුළුවන් වෙනවා.

රාස්බරි කඩලා ඉදවන්න බැහැ

රතු පැහැ රාස්බරි (splendidtable.org)

රතු පාටින් පමණක් නොව කහ, දම්, කළු, සහ රත්‍රං පැහැයන්ගෙන් ද දකින්නට ලැබෙන රාස්බරි වෙනත් පලතුරු මෙන් කැඩුවාට පසු ඉදෙන්නේ නැහැ. අවුරුදු කාලෙට අමු කෙසෙල් කැන් ඉක්මණට ඉදවන්න පුළුවන් වුණාට රාස්බරිවලට එහෙම කරන්නට බැහැ. කඩන්නට පෙර ඉදෙනකම් බලාගෙන ඉන්නට සිදු වෙනවා. කැඩුවාට පස්සේ හැබැයි ගොඩක් කාලයක් නරක් නොවී තියාගන්නටත් පුළුවන්. රාස්බරිවලින් රසම, රත්‍රං පැහැ වර්ගයයි. රාස්බෙරිත් “බෙරි” වුණාට නියම බෙරි වර්ගයක් නම් නෙවෙයි.

කන්න පුළුවන් රතු පැහැ බෙරි වර්ග බොහොමයි

බෆලෝබෙරි (wikimedia.org)

රෙඩ් බෙරි කිව්වාම අපිට මතක් වෙන්නේ ස්ට්‍රෝබරි සහ රාස්බරි විතර යි. ඒත් විවිධ රසවලින් යුතු බෙරි වර්ග තිබෙනවා.

බෆලෝබෙරි – පඳුරක් සේ හැදෙන රෙඩ්බෙරි විශේෂයක්. තැඹිලි පැහැයට හුරු ගෙඩි සිසිර ඍතුවේ දී හටගන්නා අතර ජෑම් සැකසීමට මේවා යොදාගන්නවා.

එල්ඩර්බෙරි – රතු, දම් හෝ කළු පැහැ විශේෂයන්ගෙන් යුතු මේවා සිරප් සහ වයින් සැකසීමට යොදා ගන්නවා. සිරප්වලින් උණ රෝගය සුව වන බව සොයාගෙන තිබෙනවා. එල්ඩර්බෙරි ශාකය උද්‍යාන අලංකරණයට පාවිච්චි කරනවා.

ගූස්බෙරි (savingdinner.com)

ගූස්බෙරි – ඉතා ඇඹුල් රසකින් යුතු කොළ පැහැ පලතුර ඉදෙන විට රතු පැහැයට පත් වෙනවා. ඇතැම් විශේෂ ඉදුණු විට ද කොළ පැහැයෙන්ම තිබෙන අතර තවත් රෝස පැහැයෙන් පවතිනවා. ආහාර සැකසීමට ද මේවා යොදා ගැනෙනවා.

රෝස් හිප් – වල් රෝස වැනි රෝස මල් විශේෂ පුෂ්ප පරව යාමත් සමග ඵල ඇති කරනවා. මේවා බීජයට වැඩි ඉඩක් වෙන් කරමින් පැණි රස අඩු, තිත්ත රසයට ආසන්න රසක් ගෙන එනවා. ජෑම්, සිරප්, වයින් ආදිය සැකසීමට ගන්නා මෙය විටමින් C වලින් අනූන යි.

“බෙරි” ලෙස නම තිබුණාටම බෙරි නොවන බව ඔබ දන්නවා ද?

බෙරි වලින් ආහාර සරසන්නට මෙන්ම ගුණ ලබන්නටත් පුළුවන් (thefrenchpaleo.com)

රාස්බෙරිවල වගේම බ්ලැක්බෙරිවලත් ඵලය වටා කෙඳිති ස්වභාවයක් තියෙනවා. මෙයට හේතුව වන්නේ මලෙන් ඵලය හැදෙද්දී කීලය ඉතිරිවීම යි. මෙමඟින් ඵලය හැදුණාට පස්සේ සතුන්ගෙන් සහ බාහිර ගැටීම්වලින් ආරක්ෂාව ලැබෙනවා. මේවායේ මතුපිට තිබෙන ගැටිති ස්වභාවයට හේතුව, මේවා තනි ඵලයක් නොව, ඵලයන් කිහිපයක එකතුවක් වීම යි. එනිසා එහි තිබෙන ගැටිත්තක් කියන්නේ එක් ගෙඩියක්.

ස්ට්‍රෝබරි, රාස්බරි, සහ බ්ලැක්බෙරි ජනවහරේ දී බෙරි වර්ග ලෙස සැලකුවත්, ශාක විද්‍යාවේ දී ඒවා බෙරි ගණයට අයත් වන්නේ නැහැ. මන්ද, මේවායේ මල්වලට ඩිම්බ කෝෂ රැසක් තිබෙනවා. ඉහත සඳහන් කළ ආකාරයට ගැටිති ලෙස ඵල රැසක එකතුවක් බවට පත්වන්නේත්, ස්ට්‍රෝබෙරි මතුපිට බීජ රැසක් (බීජ සහිත කහ පැහැති ඵල) දකින්නට ලැබෙන්නේ එනිසා යි. බ්ලූබෙරි යනු නිසැක බෙරි වර්ගයක්.

මේ වෙලාවෙ ස්ට්‍රෝබරි ස්මූදී එකක් බොන්න තිබ්බා නම්? (thecreativebite.com)

ඒ විතරක් නොවෙයි, ‘බෙරි’ කියන නම නොමැති තක්කාලි, කෙසෙල් මෙන්ම අලිගැටපේරත් බෙරි ගණයට යි අයත් වන්නේ.

ඉතින් මේ රසවත් බෙරි එදිනෙදා පානයක් ලෙස එකතු කරගන්නට පුළුවන් නම් වෙනස් රසයන්ගෙන් රස නහර පිනවාගන්න පුළුවන්. මහන්සි වෙලා ඉන්න වෙලාවට ඇඟට නව ප්‍රබෝධයක් ගෙන එන Sting පානයත් රෙඩ් බෙරි රසින් ඔබ වෙත එනවා.

කවරය: 1zoom.me

Related Articles