මෑත කාලයේ බිහිවුණ අතිශය ජනප්‍රියත්වයට පත් ටෙලි නාට්‍යයක් තමයි “කූඹියෝ. එහි චරිත අතරින් “ප්‍රියන්ත මහඋල්පතගම” ප්‍රේක්ෂකයාට වඩාත් සමීප වුණා. ඒ චරිතයට පණ පොවපු කලණ ගුණසේකර සමග කළ කතාබහක් මේ.
කළණ කොහොමද රංගන ක්ෂේත්රයට පිවිසෙන්නේ?
මම උසස්පෙළට කළේ වාණිජ්‍ය විෂයය, ඒත් රිසාල්ට් නම් අන්තිම යි. ඊටපස්සෙ ප්‍රේමකුමාර කරුණාරත්න යටතේ නාට්‍ය හැදෑරුවා උසස්පෙළට බාහිර වශයෙන්. ඒකටත් ඉතින් මහලොකු රිසාල්ට් එකක් තිබුණේ නෑ. හැබැයි අපි සර් එක්ක එළියේ වැඩ ටිකක් කළා, සහ යෞවන සම්මාන උළෙලවලට නඳුන් තත්විම අල්විස්, උදය කුමාර නිපුනඅාරච්චි, ලක්ෂ්මන් කුමාරසිරි, නෙරංජන් චන්ද්රාජිත් වගේ අය එක්ක නාට්‍ය කළා. ඊට පස්සෙ ඉතින් ධර්මප්‍රිය ඩයස් එක්ක වේදිකා නාට්‍යවල වැඩ කළා වේදිකා පරිපාලකයෙක් විදියට මම සහ රුවන් මලිත් පීරිස්. ඊටපස්සෙ සරත් කොතලාවල එක්ක නාට්‍ය කළා. මමයි රුවනුයි කළ දාස මල්ලිගේ බංගලාව නාට්‍යයට රාජ්‍ය සම්මාන 7ක් හම්බුණා. එතනින් එහාට මම අධ්‍යක්ෂණය පැත්තෙන් තමා හුඟක් වැඩ කළේ. ඉතින් ඔහොම ගැන්සි බැහැලා ඉද්දි තමා හිතුනේ මේ අධ්‍යක්ෂණය කරන වැඩේට වඩා රඟපාන වැඩේ හොඳයි කියලා යම් කාලෙකට. ඉතින් රඟපාන්න ගත්තා. මහ වැඩ ගොන්නක නෙවෙයි හැබැයි. ඔය වේදිකාවෙයි, ටෙලි නාට්‍ය කිහිපයකයි, ඔය බයිස්කෝප් කිහිපයක වගේ රඟපෑවා.
නාට්‍ය හා රංග කලාව කියන විෂයය සම්බන්ධව ඔබේ අදහස?
මෙහෙමයි, ඕකට නාට්‍ය හා රංග කලාව හෝ මොකක් හරි වචනයක් පාවිච්චි කරන්න පුළුවන්. අපි රංග කලාව කියලා හිතමුකෝ. ඒක ගොඩක් වෙලාවට අමාරු විෂයයක් කියලයි මං විශ්වාස කරන්නෙ. ඒකට බලපාන ගොඩක් දේවල් තියෙනවා. පළවෙනි එක තමයි අත්දැකීම්. මොකද අත්දැකීම් මත තමයි ඕනම ආර්ට් එකක් හැදෙන්නෙ. යම්කිසි දැක්මක් නිර්මාණය වෙන්නෙ ඒ ඔස්සේ. අපිට දර්ශනවාදය ඉගෙන ගන්න පුළුවන්, හැබැයි ඒක අපේ ඇතුළට ආරෝපණය කරගන්න බලපාන්නෙ අපේ ජීවන අත්දැකීම්. අත්දැකීම් තමයි නැවතත් මනුස්සයෙක්ගෙ ඉව පද්ධතිය ගොඩනඟන්නෙ. එතකොට රංගනය කියන දේ මං විශ්වාස කරන්නෙ ඒ් ඉව මත තමයි පදනම් වෙන්නෙ. ඉව මත පදනම් වෙන කලාවක් කියන්නෙ සෑහෙන දරුණු අවකාශයක්. ඒ්ක වචනෙයන් කියන්න හෝ අධ්‍යාපනයෙන් ලබන්න පුළුවන් කාරණයක් නෙවෙයි, ඊට එහා ගිය ඒකක්. රංග කලාව කියන්නෙ එක්තරා විදියක විද්‍යාවක්. මොකද ඒකට නළුවාගේ අැක්ෂන් එක, ඉමෝෂන් එක සහ බිහේවියර් එක යන තුනම සම්බන්ධ වෙනවා. ඔහුගේ මානසිකත්වයෙන් පුළුවන් වෙනවා ඔහුගේ සංයුතිය සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න. ඉතින් සරලවම කිව්වොත් එම සියලු අත්දැකීම් ප්‍රතිනිර්මාණය කිරීම තමයි රංගනය කියන්නෙ.
ජීවිතය නාට්‍යරූපී අවස්ථාවක් කියලා හිතුණ කාලයක් තිබුණා ද?
නෑ. නාට්‍යරූපී අවස්ථාවන් කියන්නෙ අපි අපි මනෝමූලිකව හදාගන්න සංකල්පයක්. ඒක ඕනම තැනක තියෙන්න පුළුවන්. සමහරවිට අපේ මේ හමුවීම් පවා නාට්‍යරූපීව තව කෙනෙක්ට දකින්න පුළුවන්. ජීවිතය මෙහෙම පවතිනවා. අපි ඒකට දෙන හැඩ සමහර විට නාට්‍යරූපී අවස්ථාවන් වෙන්න පුළුවන්.
රංගනයෙන් ඔබ්බට ඔබ මොනවගේ දේවල්වල ද නිරතවෙලා ඉන්නෙ?
මම පිටපත් රචකයෙක් විදියට චිත්‍රපට 5ක් 6ක් විතර ලියලා තියෙනවා ප්‍රදීප් ධර්මදාසට එහෙම. මොකද රංගනය කියන කාරණාව හදාරන කොට මම විශ්වාස කරනවා පිටපත් එක්ක ගෙවන කාලය වැදගත් කියලා. හැබැයි මේ එකක්වත් මං මාර දැනුමක් තියාගෙන කරන වැඩ නෙවෙයි. ඒවා මම කරන පුහුණුවීම්.
නූතන ටෙලිනාට්‍ය කලාව හා සිනමාව පිළිබඳ ඔබේ අදහස?
දෙකක්. ඒ දෙකම තියෙන්නෙ වාණිජමය වපසරියක තමයි. ලංකාවේ අාර්ථිකය හෝ මිනිස්සුන්ගෙ යම්කිසි දේවල් ටිකක් දේශපාලනිකව යම් තත්ත්වයක තියෙනවා නම් ඊට සමානව තමයි ටෙලිනාට්‍ය හා සිනමාව තියෙන්නෙ. වැඩි වෙනසක් නෑ. ඒවා බලලා රට තේරුම්ගන්න පුළුවන්, රට බලලා ඒවා තේරුම්ගන්න පුළුවන්.
කලණ ගුණසේකරව බොහෝ අය වැළඳ ගන්නෙ කූඹියෝ නාට්‍යයේ එන ප්‍රියන්ත මහඋල්පතගම චරිතයෙන්. ජෙහාන්ට වඩා ප්‍රියන්තගේ චරිතයට බොහෝ අාසක්ත වුණා. සමහරු කතා වුණා නාට්‍ය අවසාන කොටස්වල දී ප්‍රියන්ත මහඋල්පතගමව හලලා ජෙහාන් ව ඉස්මතු කළා කියලා. අැත්තටම මොකද්ද වුණේ?
නාට්‍යය තුළ දී ජෙහාන්ට වඩා රසිකයින් මාව වැළඳගත්තා වෙන්න පුළුවන්. හැබැයි ප්‍රියන්තට වඩා ජෙහාන්ව අවසානයේ දී ඉස්මතු කළා කියන්න බෑ. පිටපතේ මුල ඉඳන්ම තිබුණේ එහෙම තමයි. මොකද ඒකෙ යම් අවශ්‍යතාවයන් ටිකක් තිබුණා ප්‍රියන්ත ලවා කරගන්න. ඒකෙ ප්‍රධානම අවස්ථාව වුණේ අර ජනාධිපතිවරණය දක්වා යන වැඩේ. ඉතින් ඒ් වෙනුවෙන් ජෙහාන් පාවිච්චි කරපු අතිරේක චරිතයක් විදියට තමයි ප්‍රියන්ත එන්නෙ. පාර්ලිමේන්තුවට ගියාට පස්සෙ එ් චරිතයේ වැඩ කොටස ඉවරයි. ප්‍රධාන කතාව ඒන්නෙ අවසාන හරියේ දී. එතකොට මල්දෙණිය සහ ජෙහාන් තමයි එතන දී අනිවාර්යයෙන්ම ඉස්මතු වෙන්නෙ. ඒ නිසා අනෙක් චරිත සියල්ල පස්සට අදින්න වෙනවා. ඒක පිටපතකින් සිද්ධවෙච්ච දැනෙන වැඩක්.
මේ මොහොතේ ලංකාවේ සිද්ධවෙන නිර්මාණකරණ කටයුත්ත ගැන කතා කළොත්?
යුද්ධයෙන් පස්සෙ ලංකාව වෙන පැත්තකට ගමන් කරනවා. ආර්ථිකමය වශයෙන් කවුරු මොනා කිව්වත්, කවුරු ජනාධිපති වුණත්, කවුරු බිම හිටියත්, අඩුවෙන් වැඩ වුණත්, වැඩියෙන් වැඩ වුණත්, රට යන දිශාවක් තියෙනවා. ඒක නවත්වන්නත් බෑ කාටවත්. ඒක සීඝ්‍රගාමී ද නැද්ද කියන එක විතරයි තීරණය කරන්න පුළුවන්. එතකොට ඊට සාපේක්ෂව අලුත් පරම්පරාවල් අලුත් ඇහැකින් අලුත් දේවල් දිහා බලන්න පුරුදුවෙලා තියෙනවා. විශේෂයෙන් ම යුද්ධය කියන කාරණාව අතහැරලා දැන්. නැත්නම් මේක හරි කරුමයක් වෙලා තිබුණනේ කාලයක්. ඉතින් දැන් අලුත් දේවල් අලුත් ආරෙකින් තරුණ පරම්පරාව කොහොමද දකින්නෙ කියලා නිර්මාණයට නැඟෙන කාලය මේ. ටෙලිනාට්‍ය හෝ සිනමාවේ දී ඒ නිර්මාණ ප්‍රේක්ෂකයාට ගෙන යන මනා වූ ක්‍රමවේදයක් නැතිකමයි ගැටලුව. ඒ ක්‍රමවේදය හදන්නැද්ද, හැදුවොත් පාඩු නිසා හදන්නැද්ද, හදන්න තරම් දැනුමක් නැද්ද කියන දේ ගැන පැහැදිලි අදහසක් නෑ. ඒක නිර්මාණකරුවාගේ අවුලක් නෙවෙයි රජයේ හෝ පවතින වෙළඳපොළේ අවුලක්. නමුත් නිර්මාණ සිද්ධ වෙනවා.
මෑතක දී ඔබට සම්මානයක් ලැබෙනවා “ඉක්කා” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්?
ඉක්කා කියන්නෙ ඇත්තටම හොඳ නිර්මාණයක්. මුලින්ම මම ඒකෙ රඟපාන්නත් නෙවෙයි හිටියේ. මාධව පිටපත ගැන කතා කරන්න අාවා. ඒක ලස්සන කතාවක්. ලස්සනට පෙළගස්වලා තිබුණා. ඉතින් අපි ඩයලොග් එහෙ මෙහෙ කර ගත්තා. පස්සෙ එක්තරා වෙලාවක දී කිව්වා “උඹට මේක දැන් හොඳට ම තේරිලා තියෙන හින්දා උඹම මේක කරනවා ද?” කියලා. මම කරයි කියලා ඔහු විශ්වාස කරපු නිසා අපි දෙන්නා අතර ගොඩනැගී තිබූ යම්කිසි දේවල් නිසා මමත් වැඩේ බාරගත්තා. අන්න ඒකත් තව කදිම නිදසුනක් තරුණයන්ගේ වැඩ ගැන සහ මම අලුත් අය එක්ක වැඩ කරන්න කැමතියි. ඒක ලේසියි.
සමහරු අපි දකිනවා අපිට දේශපාලනයක් නෑ කියලා පොඩි ශේප් න්‍යායක් අනුගමනය කරනවා. කලාව, සමාජය හා දේශපාලනය අතර ඇති සහසම්බන්ධතාව ගැන කලණ දකින්නෙ කොහොමද?
දේශපාලනය තමයි හැමතැනම තියෙන්නෙ. කලාවටත් ඒක පොදුයි. ඒක එහෙම නෑ කියනවා නම් ඇත්තටම ශේප් න්‍යායක් තමයි ඒ. ලංකාවේ සියල්ල තීරණය කරන්නෙත් දේශපාලනය. උදාහරණයකට ලංකාවේ සිනමාව සම්බන්ධයෙන් පාසලේ සා/පෙළ කරලා එන ළමයෙකුට අත්දැකීමක් නෑ. ඒකට වග කියන්න ඕනි ඒ ළමයාවත්, සිනමාකරුවන්වත් නෙවෙයි. ඒවා ඔවුන් දැකලා නෑ. එහෙම ක්‍රමවේදයක් නෑ පාසල් අධ්‍යාපනයේ. ලෝකෙ අනෙක් රටවල මොහොතින් මොහොත විෂයය නිර්දේශයන් වෙනස් වෙනවා. අධ්‍යාපනය ඔස්සේ ඔවුන්ට නිර්මාණ රසවින්දනය නොදී සාම්ප්‍රදායික දේවල් ටිකක් පමණක් දෙන්නෙ ඔය රාජ්‍ය තන්ත්රය විසින්. මේ මොහොතේ කලාව එකතරා විදියකට දේශපාලනික යි වගේම රාජ්‍ය තාන්ත්‍රික යි. මෙහෙ දේශපාලනය කියලා හිතන් ඉන්නෙ පක්ෂ ගැන. ඒක ඊට එහා ගිය ගැඹුරු දෙයක්. ලෝකෙ අනෙක් බොහෝ රටවල දේශපාලකයෝ ඉන්නෙ නිර්මාණකරුවන්ට ගොඩක් පහළ තැනක. ඉන්දියාවේ පවා. දමිළ බයිස්කෝප් කලාව ඉන්දියාවේ ආර්ථිකය නඩත්තු කරන ප්රමුඛ සාධකයක්.
මොනවද කලණගේ අලුත් වැඩ එහෙම?
අලුත් වැඩ කියන්නෙ, රඟපෑමට අමතරව කරන පොඩි වැඩක් එළිදැක්වෙනවා මේ මාසේ 10 වෙනි දා හවස 6.00ට නුගේගොඩ විජේරාමේ තියෙන රෝයල් තැප්‍රෝබේනියන් එකේ දී. මේක මං දැනට අවුරුදු 5කට 6කට ඉහත දී ලියපු කවි එකතුවක්. “මූසිලය” නමින් සංහිඳ ප්රකාශනයක් විදියට එළිදැක්වෙන මේ පොතේ කවි 281 ඇතුළත් වෙනවා. ඇත්තටම මේකෙ තියෙන්නෙ මගේ තත්කාලීන දේශපාලනික කියවීම කිව්වොත් නිවැරදි යි. අවසාන වශයෙන් මට අාදරණීය සහෘදයින්ට කියන්න තියෙන්නෙ පොත කියවලා විඳගමු කියලා තමයි.