Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

මායාවරුන්ගේ පාතාලයට ගමනක්

කැරිබියානු මුහුදට මුහුණලා යුකටාන් අර්ධද්වීපයේ පිහිටා ඇති බෙලීස් රාජ්‍යයේ ඝන වනාන්තරයන්ගෙන් වැසුණු කඳුකරය මැද මධ්‍යම ඇමෙරිකාව සතු වඩාත් විස්තීර්ණ ගුහා සංකීර්ණය දක්නට ලැබෙනවා. මේ වංකගිරිය තුළ බටහිර අර්ධගෝලයේ පිහිටි විශාලත ම උමං මාර්ග සහ කුටි කිහිපයක් අඩංගු වන බව පැවසීම අතිශයෝක්තියක් නෙමෙයි.

2008 වර්ෂයේ දී සොයා ගන්නා ලද මෙම ගුහා සංකීර්ණය නිමවා ඇත්තේ චිකීබුල් ගංගාව ආසන්නයේ ඇති හිරිගල් කැපීම මගින්. දිය යට ඝන අඳුරේ සැඟ වී ඇති මේ වංකගිරිය තුළ නොයෙකුත් විශේෂයන්ට අයත් ගුහා සත්ත්වයින් දැක ගැනීමට ලැබෙනවා. ජනශ්‍රැතියේ සඳහන් වන අන්දමට චිකීබුල් හි පිහිටා ඇති මේ ගුහා සංකීර්ණය, ‘සීබල්බා’ ලෙස හඳුන්වන මායාවරුන්ගේ පාතාලයේ ඇතුළු වීමේ ද්වාරය යි.

© Colibri Boutique Hotels

භීතිය රජයන ස්ථානය

පුරාණ මායා බසින් ‘සීබල්බා’ යන වදනේ අරුත වන්නේ ‘භීතිය රජයන ස්ථානය’ යන්න යි. මායා ජන සාහිත්‍යයේ සඳහන් වන අතිශය භයංකර මායා දෙවිවරුන්ගේ වාසභවන ලෙස සැලකෙන මෙහි දී මරණයේ අධිපති සහ ඔහුගේ දුෂ්ට සහයකයින් වන රෝගයන්, සාගතය, වේදනාව, ලේ වැගිරීම, විනාශය සහ ඇට සැකලි වෙනස් කිරීම භාර ව සිටින වේතාලයින් හමු වීමට හැකියාව ලැබෙනවා.

මායා මිථ්‍යාවන්ට අනුව හිතුවක්කාර ආත්මයන් මරණයෙන් පසු ව ඊළඟ උපත කරා ගමන් කිරීමට පෙර සුනඛයෙකුගේ මග පෙන්වීම යටතේ භයංකර සහ ජලාශ්‍රිත මගක් ඔස්සේ ගමන් කර ගණනය කළ නොහැකි තරම් අභියෝගයන්ට මුහුණ දිය යුතු වෙනවා. විසකුරු ගෝනුස්සන් පිරි ගංගාවක් තරණය කිරීම, මරණීය ජගුවරයන් වසන නිවෙසක කල් ගත කිරීම සහ භ්‍රමණය වන මුවහත් තලයන්ගෙන් සැදි බෝල සමග ක්‍රීඩා කිරීම එවැනි අභියෝගයන් කිහිපයක්. මෙහි දී පරීක්ෂාවට ලක් කරන්නේ ධෛර්යය සහ තීක්ෂණභාවය යි.

(© Alex Bridge)
වීර නිවුන් සොයුරන්

බොහෝ කාලයක් මෙසේ රාක්ෂයින් මනුෂ්‍ය ආත්මයන් යටත් කරගෙන සිටීමෙන් අනතුරු ව මායා මිථ්‍යා සාහිත්‍යයේ සඳහන් ප්‍රයෝගකාරයින් දෙදෙනෙකු වන ක්ෂ්බැලන්කේ සහ හනාපු යන වීර නිවුන් සොයුරන් තමන්ගේ පියාගේ මරණය සඳහා පළි ගැනීමක් ලෙස ‘සීබල්බා’ හි දෙවිවරුන් හපන්කමින් රැවටීමට සමත් වී තිබෙන අතර මෙයින් දෙවිවරුන් සම්පූර්ණ පරාජයක් නොලැබුව ද ‘සීබල්බා’ හි බලය ක්‍රමයෙන් අඩු වී ගොස් තිබෙනවා. ගියා. නමුත් මායාවරුන් දිගින් දිගට ම දෙවිවරුන් සතුටු කිරීම සඳහා ‘සීබල්බා’ පාතාලයට ආත්ම බිලි දීම කරගෙන ගොස් ඇති බව සඳහන්.

ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක බිඳ වැටීම

පුරාවිද්‍යාත්මක සාක්ෂි පෙන්වා දෙන ආකාරයට මායා ශිෂ්ටාචාරයේ සම්භාව්‍ය යුගයේ අග භාගයේ දී (එනම් ක්‍රිස්තු වර්ෂ 900 දී පමණ) ගුහා තුළ සිදු වී බිලි දීම් ප්‍රමාණයෙන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. එසේ ම ඒ කාලයේ දී දරුණු නියඟයක් පැවති බවට භූ විද්‍යාත්මක සාක්ෂි පවතිනවා. ඒ අනුව පූර්ව නිගමනය කළ හැක්කේ ඇති වූ දරුණු නියං තත්ත්වය හේතුවෙන් මායාවරුන්ගේ කෘෂිකර්මය මත පදනම් වූ ආර්ථිකය ක්‍රමයෙන් විනාශ වීම මත සමාජය සහ දේශපාලන ක්‍රමය බිඳ වැටීම තුළින් කලින් සාඩම්බරයෙන් වැජඹුණු නගර සහමුලින් ම විනාශ වන්නට ඇති බව යි.

(© Louis le Grand)
ටිකල් නගරයේ අනුරුවක්

එසේ ම මායා ශිෂ්ටාචාරයේ පාලනය බලය සියතට ගත් පූජකවරුන්, නියඟය හේතුවෙන් ශිෂ්ටාචාරය බිඳ වැටීම වැළැක්වීම සඳහා වැඩි වැඩියෙන් ‘සීබල්බා’ හි දෙවිවරුන්ට මනුෂ්‍ය ආත්මයන් බිලි දෙන්නට ඇති බව සැලකෙනවා. නමුත් අවසානයේ දී බිලි පූජා අබිබවා නියඟය ජය ගත් අතර මායා ශිෂ්ටාචාරයේ බිඳ වැටීමත් සමග සහස්‍රයකට අධික කාලයක් බෙලීස් හි ගුහා සංකීර්ණය ලොවෙන් සැඟ වී පැවතුණා.

ඓතිහාසික පාතාලය සොයා ගිය නූතන ගවේෂකයෝ

© Bernard Dupont

මෙසේ ලොවෙන් වසන් ව පැවති බෙලීස් හි ගුහා සංකීර්ණය පුරාවිද්‍යාඥයින් විසින් 20 වැනි සියවසේ දී යළි සොයා ගන්නා ලද්දේ මනා ව සංරක්ෂණය වී පැවති මායා සංස්කෘතියේ අවශිෂ්ට ද සමග යි. අද වන විට බටහිර බෙලීස් හි පිහිටා ඇති චාරිත්‍රමය ගෙපළක් ලෙස භාවිතා කරන ලද ගුහාවලින් කිහිපයක් සංචාරකයන් සඳහා විවෘත වී පවතිනවා.

බෙලීස් හි වංකගිරියේ පිහිටා ගුහා 14 ක් තුළ මායා ශිෂ්ටාචාරයට අයත් පන්සල් සහ පිරමීඩ රැසක් පවතින අතර ඒවා එකිනෙකට වෙනස් අවමංගල චාරිත්‍ර ඉටු කිරීම සඳහා යොදා ගන්නට ඇති බව පුරාවිද්‍යාඥයින් විශ්වාසය පළ කරනවා. මේ බොහෝමයක් ගුහා ජලයෙන් පිරී ගිය ඒවා යි.

© Marc Devens

වඩාත් ම අභියෝගාත්මක ගවේෂණ චාරිකාව ලෙස සැලකෙන ඇක්ටුන් ටියුනිචිල් මුනාල් හි දී අලංකාර හිරි ලඹ සහ හිරි ටැඹ නිර්මාණයන් සහ ගණනය කළ නොහැකි තරම් පිඟන් මැටි කැබලි සහ කැඩී ගිය මුට්ටි (මායා විශ්වාසයන්ට අනුව ආත්මය නිදහස් කිරීම සඳහා බිල්ලක් ලෙස බඳුනක් විනාශ කිරීම අවශ්‍ය වෙනවා) දැක ගැනීමට ලැබෙනවා. එසේ ම පූජකවරුන් හුරීරද උත්සවයන් (bloodletting ceremonies) හි දී දිව හෝ ශිෂ්ණයේ පෙර සම කැපීම සඳහා භාවිතා කළ පූජාසන ද ගුහා තුළ දී දැක ගැනීමට හැකි යි. එසේ ම මෙහි දී දැක ගැනීමට ලැබෙන තවත් සුවිශේෂි අංගයක් වන්නේ ‘පළිඟු කන්‍යාව’ ලෙස හැඳින්වෙන තරුණ ගැහැනු බිල්ලක හුණු ගලක් බවට පත් වූ (calcified) ඇට සැකිල්ල යි.

කවරයේ පින්තූරය : © Antti T. Nissinen

ඇක්ටුන් ටියුනිචිල් මුනාල් හි දී හමු වූ හිස් කබලක්

Related Articles