Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාවේ ඇප සම්බන්ධ නීතිය

යම් පුද්ගලයෙක් විසින් යම් සැකකරුවෙකු නියමිත දින අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට සැලැස්වීමට වග බලා ගැනීම ඇපයක් යනුවෙන් හඳුනාගත හැකියි. යම් පුද්ගලයෙක් නඩු විභාගයට පෙනී සිටීම සඳහා තාවකාලිකව අත්අඩංගුවෙන් නිදහස් කිරීම ද ඇපයක් ලෙසින් හඳුනා ගනී. ඒ කෙසේ වුවත් ශ්‍රී ලංකාවේ නීතිය ‘ඇප’ යන්න විවිධාකාරයෙන් අර්ථ නිරූපණය කරනු දැකගත හැකි වේ.

ශ්‍රී ලංකාවේ නීතිය අනුව අපරාධමය වරදකට අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙකු පැය 24 කට වඩා වැඩි කාලයක් අධිකරණය ඉදිරියට ඉදිරිපත් නොකර අත්අඩංගුවේ තබා ගත නොහැකිය. නමුත් පැය 24 කට වඩා වැඩි කාලයක් අත්අඩංගුවේ තබාගත හැකි අවස්ථා ද පවතී. උදාහරණ ලෙස 2005 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත මෙන්ම 1978 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත ද දැක්විය හැකියි. අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනතට අනුව සැකකරුවෙකු රඳවා තබා ගැනීමේ උපරිම කාල සීමාව පැය 48 ක් වන අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතට අනුව එම කාල සීමාව පැය 72 ක්.

ඇප බැඳුම්කරයකට අත්සන් කළ විටෙක දී චූදිතයා බන්ධනාගාරයෙන් මුදා හරිනු ලබයි. මෙවැනි අවස්ථාවක චූදිත පහත කොන්දේසි වලට යටත් කළ හැකිය.

 

  • විමර්ශනය කරන පොලීසියට වාර්තා කිරීම
  • විදේශ ගත වීමට නොහැකි වීම
  • තමා පදිංචි ප්‍රදේශයෙන් පිටතට යාමට නොහැකි වීම
  • සාක්ෂිකරුවන් සිටින ප්‍රදේශ වලට ඇතුළු විය නොහැකි වීම

 

ශ්‍රී ලංකාවේ ඇප සම්බන්ධයෙන් බලපැවැත්වෙන පනත්

pickensbailbond.com

ශ්‍රී ලංකාවේ ඇප නීතිය සම්බන්ධයෙන් බල පැවැත්වෙන පනත් අතර,

 

  • 1997 අංක 30 දරණ ඇප පනත, සහ
  • 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය

 

වැදගත් වේ.

1997 අංක 30 දරණ ඇප පනත

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 402 වන වගන්තිය ‘ඇප දිය හැකි වැරදි සම්බන්ධයෙන් ඇප දිය යුතුය’ යන්න දක්වයි. එමෙන්ම එහි 403 වන වගන්තිය මඟින් ඇප දිය නොහැකි වැරදි සම්බන්ධයෙන් ඇප ලබාගත හැකි අවස්ථා දක්වයි. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 404 වන වගන්තිය දක්වන ආකාරයට සැකකරුවෙකුට අධිකරණය මඟින් ලබා දෙන ඇපය අධික නොවිය යුතුයි. එම වගන්තිය මඟින් තවදුරටත් ඇප දීම සම්බන්ධයෙන් අධිකරණ සතු පහත බලතල ද සඳහන් කරයි.

 

  • ඇප මත මුදා හල අයෙකු නැවත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මහාධිකරණ විනිශ්චයකාරවරයෙකුට හෝ මහේස්ත්‍රාත්වරයෙකුට විධාන කිරීමට අභියාචනාධිකරණයට හැකි බව.
  • මහේස්ත්‍රාත් අධිකරණය විසින් දෙන ලද ඇපය නුසුදුසු යැයි හැඟෙන්නේ නම් එය වැඩි කිරීමට හෝ අඩු කිරීමට මහාධිකරණයට හැකි බව.

 

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 405 වන වගන්තිය මඟින් චූදිතගේ සහ ඇපකරුවන්ගේ ඇප කොන්දේසි පිළිබඳව දක්වන අතර 405(2) වගන්තිය අනුව ඇප ලැබූ තැනැත්තා නඩුවට අවශ්‍ය වන සෑම විටෙකම අධිකරණය ඉදිරියේ පෙනී සිටිය යුතු වේ.

406 වගන්තිය දක්වන ආකාරයට ඇප බැඳුම්කරයට අත්සන් කිරීමෙන් පසුව චූදිතව මුදාහැරිය යුතු වන අතර අදාළ චූදිත බන්ධනාගාර රැඳවියෙකු නම් අදාළ චුදිතයා සම්බන්ධයෙන් අධිකරණය විසින් බන්ධනාගාර නිලධාරියා වෙත මුදා හැරීමේ ආඥාවක් නිකුත් කළ යුතු වේ. එය ලද වහාම අදාළ බන්ධනාගාර නිලධාරියා විසින් චූදිත නිදහස් කළ යුතු වේ.

ඇප බැඳුම්කරයට අත්සන් කරන අයගේ වගකීම

යම් සැකකරුවෙක් වෙනුවෙන් ඇප බැඳුම්කරයකට අත්සන් කරන පුද්ගලයෙකුට ද විශාල වගකීමක් පැවරේ. එවැනි අත්සන් කිරීම් වලදී ඔවුන් යම් යම් අපහසුතාවන් වලට පත් වන අවස්ථා ද නැතුවාම නොවේ.

ඇප බැඳුම්කරයකට අත්සන් කරන පුද්ගලයෙකුගේ ප්‍රධානම වගකීම වන්නේ අධිකරණය ඉල්ලා සිටින සෑම අවස්ථාවක දීම චූදිතව අධිකරණය ඉදිරියට පැමිණවීමයි. එසේ ඇප බැඳුම්කරයකට අත්සන් කළා වුව ද චුදිත කෙරෙහි තමාගේ විශ්වාසයක් නොමැති නම් අදාළ පුද්ගලයාට තමාව බැඳුම්කරයෙන් නිදහස් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටිය හැකියි.

ඇප වර්ග

newsfirst.lk

ශ්‍රී ලංකාවේ නීතිය අනුව ඇප වර්ග කිහිපයකි.

 

  • මුදල් ඇප
  • සහතික ඇප
  • පෞද්ගලික ඇප
  • ශරීර ඇප
  • පොලිස් ඇප
  • අපේක්ෂිත ඇප

 

ඒ අතර වැදගත් වේ.

මුදල් ඇප

බැඳුම්කරයක සඳහන් වන මුදල අධිකරණය ඉදිරියේ තැන්පත් කර චූදිත වෙනුවෙන් ඇප වීම මෙයයි.

සහතික ඇප

දේපළ ඔප්පුවක් ඇපයට තබා චූදිත වෙනුවෙන් ඇප වීම ‘සහතික ඇප’ නම් වේ.

පෞද්ගලික ඇප

newsfirst.lk

එනම් අදාළ සැකකරු විසින්ම ඇප බැඳුම්කරයට අත්සන් කිරීමයි. මෙහිදී ඉහතින් සඳහන් කළ මුදල් ඇපයක් හෝ සහතික ඇපයක් ඉදිරිපත් කිරීමක් සිදු වන්නේ නැත.

ශරීර ඇප

යම් සැකකරුවෙකු වෙනුවෙන් වෙනත් අයෙකු ඇප වීම මේ නමින් හැඳින්වේ. මෙය යම් වටිනාකමක් ගන්නා අතර මෙවැනි ඇප වීමකදී ඇප කොන්දේසි කඩ කරන්නේ නම් ඇප වූ මුදල අධිකරණයට ගෙවීමට ඇපකරුවෝ බැඳී සිටිති.

අපේක්ෂිත ඇප

1997 අංක 30 දරණ ඇප පනතේ 21 වන වගන්තියේ සඳහන් කරන ආකාරයට ඇප දිය නොහැකි වරදක් සිදුකර ඇති විට හෝ තමන් එවැනි වරදක් සිදු කර ඇති බවක් හැඟෙන්නේ නම් තමා අත්අඩංගුවට ගැනීමට පෙර අධිකරණයට භාර වී ඇප ලබා ගැනීම ‘අපේක්ෂිත ඇප’යක් නම් වේ.

කෙසේ වුවත් ඇප පනතේ 13 වන වගන්තිය දක්වන ආකාරයට මරණ දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇති අයෙකුව හෝ සැක කරන අයෙකුව මහාධිකරණ විනිශ්චයකාරයෙකු හැර වෙනත් අයෙකුට ඇප මත මුදා හැරිය නොහැකි වේ.

කවරයේ කතාව- fbi.gov

මූලාශ්‍ර

1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය

1997 අංක 30 දරණ ඇප පනත

https://www.academia.edu

https://www.lawnet.gov.lk

Related Articles