Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ දිශානතිය වෙනස් කළ නායකයා

2007 එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉතාමත් ප්‍රබල ඉන්දීය කණ්ඩායමක් සහභාගි වුණා. ඔවුන් සහභාගි වුණු මුල් තරගයේ දී ම දුර්වල බංග්ලාදේශ කණ්ඩායම හමුවේ අනපේක්ෂිත පරාජයක් ලැබුවත්, බර්මියුඩාව සමග පැවති තරගයෙන් ඉන්දීය කණ්ඩායමට ලකුණු 257ක වාර්තාගත ජයග්‍රහණයක් හිමි වුණා.

එදා බර්මියුඩාව හමුවේ එක්දින ලෝක කුසලාන වාර්තා කිහිපයක් අලුත් කළ ඉන්දීය කණ්ඩායම පළමු වටයේ අවසන් තරගයේ දී ශ්‍රී ලංකාව සමග තරග වැදුණා. එම තරගයේ දී ලකුණු 255ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය පිතිකරුවන්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂ පන්දු යැවීම හමුවේ සියලුදෙනාම දැවී ලබාගැනීමට හැකි වුණේ ලකුණු 169ක් පමණ යි. ලැබූ පරාජයත් සමගින් ඉන්දියානුවන්ට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා. 

ඉන්දීය ක්‍රීඩකයන් ශ්‍රී ලංකා තරගය පරාජය වීමෙන් පසුව (gettyimages)

ඉන්දීය කණ්ඩායම එලෙස ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයෙන් ඉවත් වීමත් සමග අභ්‍යන්තර අර්බුද රැසක් නිර්මාණය වුණා. එම අවස්ථාවේ දී දැඩි තීරණයක් ගත් ඉන්දීය ක්‍රිකට් බලධාරීන්, එක්දින සහ 20/20 කණ්ඩායම්වල නායකත්වය ලබාදුන්නේ මහේන්ද්‍ර සිං දෝනි නම් තරුණ ක්‍රීඩකයාට යි. නොසිතූ මොහොතක ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් ‘දෝනි’ එදා සිට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව නිවැරදි දිශානතියකට යොමු කළේ ජයග්‍රහණ රැසක් සිය රටට උරුමකර දෙමින්. 

ලෝක කුසලානයක් අතැතිව වැඩ අරඹයි 

මහේන්ද්‍ර සිං දෝනි මුල්ම වරට සිය කණ්ඩායමට නායකත්වය ලබාදුන්නේ 2007 වසරේ පැවති 20/20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී යි. එම තරගාවලිය සඳහා සහභාගි වුණු ඉන්දීය කණ්ඩායම නවකයන් රැසක් පිරිවරාගෙන සටන් බිමට පිවිසි නිසා අනිකුත් කණ්ඩායම් ඔවුන් ගැන විශේෂ අවධානයක් යොමු කළේ නැහැ. එදා පළමු වටයේ දී පාකිස්ථානය පරාජය කරමින් සුපිරි අටදෙනාගේ වටයට පිවිසි ඉන්දීය කණ්ඩායම එහි පළමු තරගයේ දී නවසීලන්තය හමුවේ පරාජය වුණා. ලද පරාජයත් සමගින් අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා ඉතිරි තරග 2ම ජයග්‍රහණය කිරීම ඉන්දියාවට අනිවාර්ය වුණා. එම තීරණාත්මක අවස්ථාවේ දී සිය කණ්ඩායමට නිවැරදි නායකත්වයක් ලබාදුන් දෝනි එංගලන්තය, සහ දකුණු අප්‍රිකාව හමුවේ පැවති තරගවල දී ඉන්දියානුවන්ට ජයග්‍රහණය උරුමකර දුන්නා. 

ඉන්දු-දකුණු අප්‍රිකා තරගයේ අවස්ථාවක් (gettyimages)

පිට පිටම ලබාගත් ජයග්‍රහණ ද්විත්වය සමගින් අවසන් පූර්ව වටයට පිවිසි ඉන්දීය කණ්ඩායමට එහි දී උරෙනුර ගැටීමට සිදුවුණේ ලෝක ශූර ඕස්ට්‍රේලියානුවන් සමග යි. එදා ලකුණු 189ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි ඕස්ට්‍රේලියානුවන් එක් අවස්ථාවක කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 134ක් ලබා ජයග්‍රාහී මාවතට පිවිස සිටියා. 

ලෙහෙසියෙන් පරාජය භාරගැනීමට අකමැති වුණු සටන්කාමී දෝනි නිවැරදි ලෙස පන්දු රකින්නන් ස්ථානගත කරමින්, පන්දු යවන්නන් මනා ලෙස හසුරවමින් සිය කණ්ඩායම අවසන් තරගය දක්වා රැගෙන ගියා.

අවසන් තරගයේ දී ඉන්දියාවට තරග වැදීමට සිදුවුණේ සිය සම්ප්‍රදායික සතුරා වුණු පාකිස්ථානය සමග යි. වරින් වර දෙපසට දෝලනය වෙමින් පැවති එම තරගය අවසානයේ දී ඉන්දියානුවන්ට වාසිදායක ලෙසින් නිමාවට පත්වුණා. එදා මිලියන ගණනක ඉන්දියානුවන්ගේ සිහින ඉටු කළ දෝනි, මුල්ම 20/20 ලෝක කුසලානය දිනාගත් ක්‍රිකට් කණ්ඩායම් නායකයා ලෙසින් ඉතිහාසයට එක් වුණා.

 20/20 ලෝක කුසලානය දිනාගත් ඉන්දීය කණ්ඩායම (gettyimages)

ඕස්ට්‍රේලියානු වාර්ෂික තුන්කොන් තරගාවලි ජයග්‍රහණය

1979 වසරේ දී ආරම්භ වුණු ඕස්ට්‍රේලියානු වාර්ෂික තුන්කොන් තරගාවලිය ඉතාමත් ජනප්‍රිය එක්දින ක්‍රිකට් තරගාවලියක්. 1980-2007 කාල සීමාව තුළ ඉන්දියානුවන් එම තරගාවලියට පස් වරක් සහභාගි වී තිබුණා. එම තරගාවලිවල දී ඔවුන් ලබාගත් ප්‍රතිඵලය සටහන් වුණේ පහත දැක්වෙන ආකාරයට යි.

  • 1980-81 තරගාවලිය- තෙවන ස්ථානය
  • 1985-86 තරගාවලිය- අනු ශූරතාවය
  • 1991-92 තරගාවලිය- අනු ශූරතාවය
  • 1999-00 තරගාවලිය- තෙවන ස්ථානය 
  • 2003-04 තරගාවලිය- අනු ශූරතාවය

2007-08 ඕස්ට්‍රේලියානු වාර්ෂික තුන්කොන් තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, සහ ශ්‍රී ලංකාව යන කණ්ඩායම් ත්‍රිත්වය සහභාගි වුණා. ඉන්දියාව තරගාවලියේ මූලික වටයේ තරග අටෙන් 3ක් ජයග්‍රහණය කර, අවසන් තරග වටය සඳහා සුදුසුකම් ලබාගත්තා. මූලික වටයේ තරගවල දී ඕස්ට්‍රේලියානුවන් හමුවේ තරග 3ක් පරාජය වුණු ඉන්දියාව අවසන් තරග වටය ද පරාජය වනු ඇති බව බොහෝ දෙනෙකුගේ මතය වුණා. එම අනාවැකි බොරු කළ දෝනි ප්‍රමුඛ ඉන්දියානුවන් අවසන් වටයේ තරග තුනෙන් මුල් තරග 2ක ජයග්‍රහණය කරමින් කුසලානය දිනාගත්තා. 

තරගාවලිය ජයග්‍රහණය කළ ඉන්දියානුවන් (gettyimages)

ශ්‍රී ලංකා බිමේ දී වාර්තා කළ පළමු එක්දින තරගාවලි ජයග්‍රහණය

1985-2008 කාල සීමාව තුළ ශ්‍රී ලංකාවේ දී ඉන්දු-ශ්‍රී ලංකා එක්දින තරගාවලි 3ක් පැවැත්වුණා. පහත දක්වා ඇත්තේ එම තරගාවලිවල ප්‍රතිඵල සටහන් වුණු ආකාරය යි.

  • 1985 තරගාවලිය: 1-1 (ජය පැරදුමෙන් තොරයි)
  • 1993 තරගාවලිය: 2-1 (ශ්‍රී ලංකාවට ජය)
  • 1997 තරගාවලිය: 3-0 (ශ්‍රී ලංකාවට ජය)

2008 වසරේ දෝනිගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ පැවති එක්දින තරගාවලිය 3-2ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඉන්දියානු කණ්ඩායම සමත් වුණා. ඉන් නොනැවතුණු ඉන්දියානුවන් 2009 සහ 2012 වසරවල දී ශ්‍රී ලංකාවේ පැවති එක්දින තරගාවලි 4-1ක් ලෙසින් ජයග්‍රහණය කළා. දෝනිගේ නායකත්වය යටතේ ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකා එක්දින පිටිය තුළ අණසක පැතිරවීමට සමත් වුණු බව මෙහි දී සඳහන් කළ යුතු යි.

2008 ඉන්දු-ලංකා එක්දින තරගාවලියේ කුසලානය සමග (gettyimages)

වසර 41කට පසුව නවසීලන්තයේ දී ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් 

1968-2009 කාල සීමාව තුළ ඉන්දියානු කණ්ඩායම නවසීලන්ත බිමේ දී ටෙස්ට් තරගාවලි 7කට සහභාගි වුණා. එම තරගාවලිවල ප්‍රතිඵල සටහන් වුණේ පහත දැක්වෙන ආකාරයට යි.

  • 1968 තරගාවලිය: 3-1 (ඉන්දියාවට ජය)
  • 1976 තරගාවලිය: 1-1 (ජය පැරදුමෙන් තොරයි)
  • 1981 තරගාවලිය: 1-0 (නවසීලන්තයට ජය)
  • 1990 තරගාවලිය: 1-0 (නවසීලන්තයට ජය)
  • 1998-99 තරගාවලිය: 1-0 (නවසීලන්තයට ජය)
  • 2002 තරගාවලිය: 2-0 (නවසීලන්තයට ජය)

2009 වසරේ දී නවසීලන්ත බිමේ පැවති ටෙස්ට් තරගාවලිය 1-0 ලෙසින් ජයග්‍රහණය කිරීමට දෝනි ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායමට හැකි වුණා. එසේම ඔවුන් එක්දින තරගාවලිය ද 3-0 ලෙසින් ජයග්‍රහණය කරමින් ‘කිවි’ බිමේ දී පළමු වරට එක්දින තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කළා.

ටෙස්ට් තරගාවලියේ ශූරතාවය හිමිකරගත් අවස්ථාව (gettyimages)

වසර 15කට පසුව ආසියානු කුසලානය ඉන්දියාවට 

1995 වසරේ දී මොහොමඩ් අසාරුඩීන්ගේ නායකත්වය යටතේ තරග වැදුණු ඉන්දීය කණ්ඩායම ආසියානු කුසලානය ජයග්‍රහණය කළා. නමුත් ඉන් අනතුරුව පැවති ආසියානු කුසලාන තරගාවලි හතරක දී ඉන්දියාවට ශූරතාවය හිමිකර ගැනීමට හැකිවුණේ නැහැ. එලෙස වසර 15ක් පුරාවට පැවති ආසියානු කුසලාන ජයග්‍රහණ ඉඩෝරය නිමා කළ දෝනි 2010 ආසියානු කුසලානය ඉන්දියාවට දිනා දුන්නා. 

දෝනි 2010 ආසියානු කුසලානය සමගින් (gettyimages)

2011 එක්දින ලෝක කුසලාන ජයග්‍රහණය

2011 එක්දින ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාව ප්‍රමුඛ දකුණු ආසියානු කලාපය තුළ පවත්වනු ලැබුවේ 1996 වසරෙන් පසුව යි. එම නිසා ඉන්දියාවට තරගාවලිය ජයග්‍රහණය කිරීම සඳහා හොඳ අවස්ථාවක් තිබුණා. මූලික වටයේ තරගවල දී දකුණු අප්‍රිකාවට පමණක් පරාජය වුණු ඉන්දියානුවන්, අපහසුවකින් තොරව අර්ධ අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබාගත්තා. අර්ධ අවසන් පූර්ව තරගයේ දී පිට පිටම තෙවරක් එක්දින ලෝක ශූරතාවය හිමිකරගෙන සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කිරීමට ඉන්දියාව සමත් වුණා. ඉන් පසුව පාකිස්ථානු කණ්ඩායමට එරෙහිව පැවති අවසන් පූර්ව තරගයත් අභියෝගයකින් තොරව ජයග්‍රහණය කළ දෝනි ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායම අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවා.

එදා මුම්බායි නුවර වන්කඩේ පිටියේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවති අවසන් තරගයේ දී ලකුණු 275ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමේ මුල් කඩුලු 3 ලකුණු 114ක් තුළ දැවී ගියා. ඉන් අනතුරුව පිතිකරු ලැයිස්තුවේ උසස්වීමක් ලබමින් පිටියට පිවිසි දෝනි පන්දු 79කින් නොදැවී ලකුණු 91ක් ලබාගෙන වසර 28කට පසුව සිය රටට එක්දින ලෝක කුසලානය උරුමකර දුන්නා. එදා තරගයේ වීරයා සම්මානය හිමිකරගත් දෝනි තරගය නිමා කිරීමට එල්ල කළ දැවැන්ත හයේ පහර පිළිබඳව අදටත් ඉන්දීය ක්‍රිකට් ලෝලීන් ගෞරවයෙන් සිහිපත් කරනවා.

තරගාවලිය ජයග්‍රහණය කළ ඉන්දියානුවන් (gettyimages)

ඉන්දියාවෙන් බිහි වුණු විශිෂ්ටතම නායකයා ඔහු යි

ඉහත ජයග්‍රහණවලට අමතරව 2013 ශූරයන්ගේ කුසලාන ජයග්‍රහණය, 2013 වසරේ දී කැංගරුවන්ට එරෙහිව 4-0 ලෙසින් ලබාගත් ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය දෝනි යුගයේ දී ඉන්දියාව ලබාගත් අනිකුත් සුවිශේෂී ජයග්‍රහණයන් ද්විත්වය යි. වසර 11ක් පුරාවට ඉන්දීය කණ්ඩායම නායකත්වය ලබාදුන් මහේන්ද්‍ර සිං දෝනිගේ ජයග්‍රහණ වාර්තාව පහත ආකාරයට දැක්විය හැකියි.

ටෙස්ට් තරග දිවිය තුළ 

තරග- 60

ජයග්‍රහණ- 27

පරාජ- 18

ජය පැරදුමෙන් තොර- 15

එක්දින තරග දිවිය තුළ 

තරග- 200

ජයග්‍රහණ- 110

පරාජ- 74

ලකුණු සමවීම්- 5

ප්‍රතිඵලයක් රහිත- 11

20/20 තරග දිවිය තුළ 

තරග- 72

ජයග්‍රහණ- 42

පරාජ- 28

ප්‍රතිඵලයක් රහිත- 2

කවරයේ ඡායාරූපය- දෝනි 2007 T20 ලෝක කුසලාන අවසන් තරගයේ දී (gettyimages)

Related Articles