ලංකාව තුළ බස් රථ ධාවනය ආරම්භ වුණේ 20 වන සියවස ආරම්භයේ දී යි. ක්‍රමයෙන් ව්‍යාප්ත වුණු දේශීය බස් සේවාව අද වන විට රට පුරාවටම විහිදී තිබෙනවා. මෙරට බස් සේවාව කෙතරම් පැතිරී තිබුණත්, අපට බස් රථයක නැගි වෙනත් රටකට යන්නට නොහැකි වී තිබෙන්නේ ලංකාව කුඩා දූපතක් නිසා යි. නමුත්, ලෝකයේ බොහෝ රටවල්වල ජීවත්වන මිනිසුන්ට බස් රථයක නැගී රටින් රටට යාමේ අවස්ථාව හිමිව තිබෙනවා.
මේ වනවිට ලොව බොහෝ රටවල, රටවල් අතර බස් රථ සේවා ආරම්භ වී තිබෙනවා. ඒ අතරින්, කලකට පෙර එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ඉන්දියාවේ කල්කටා නුවර දක්වා ක්‍රියාත්මක වූ බස් සේවයට දිගු ඉතිහාසයක් තිබෙනවා.
ඉන්දියාමන් බස් සේවය
1957 වසරේ අප්‍රේල් 15 වන දින එංගලන්තය සහ ඉන්දියාව අතර මුලින්ම බස් සේවාවක් ආරම්භ වුණා. ලන්ඩන් නුවර පිහිටි ගැරෝ-ෆිෂර් ටුවර්ස් විසින් ක්‍රියාත්මක කරන ලද එම බස් සේවාව “ඉන්දියාමන්” යන නමින් හඳුන්වනු ලැබුවා. පළමු වරට ලන්ඩනයේ වික්ටෝරියා බස් නැවතුමේ සිට ගමන් ආරම්භ කළ, AEC සමාගම විසින් නිපදවූ බස් රථය කි.මී 32,000ක දුරක් ගෙවා කල්කටා නුවරට පැමිණි ගමන නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කළා.
එම ඓතිහාසික ගමනේ දී බසයේ රියදුරුවරයා වශයෙන් කටයුතු කළේ ඔස්වල්ඩ් ජෝශප් නම් පුද්ගලයා යි. එසේ ක්‍රියාත්මක වුණු සේවාව ප්‍රංශය, ඉතාලිය, යුගෝස්ලාවියාව, බල්ගේරියාව, තුර්කිය, ඉරානය, සහ පාකිස්ථානය යන රටවල් හරහා ගමන් කරනු ලැබුවා. එක් ගමන් වාරයක් සඳහා මගීන් 20 දෙනෙකු සහභාගී වූ අතර, ගමන සඳහා එක් මඟියෙකුගෙන් පවුම් 85ක පමණ මුදලක් අය කරනු ලැබුවා. එසේම ආපසු ගමන සඳහා එක් මඟියෙකුගෙන් පවුම් 65ක මුදලක් අය කළා.
අප්‍රේල් 15 වැනිදා ලන්ඩන් නුවරින් ගමන් ආරම්භ කළ බස් රථය, ජූනි 5 වැනිදා කල්කටා නුවර වෙත ළඟා වුණා. එම ගමන අතරතුර දී මඟීන්ට රාත්‍රී කාලය ගත කිරීම සඳහා හෝටල් වෙන්කර තිබුණා. ජුනි 5 දා කල්කටා නුවරට පැමිණි බස් රථය ආපසු ලන්ඩන් නුවරට ළඟා වුණේ අගෝස්තු 2 වැනිදා යි. ඒ දින 16ක පමණ දිගු ප්‍රමාදයකින් පසුව යි. බස් රථයේ ප්‍රමාදයට ප්‍රධානතම හේතුව වුණේ එවකට ආසියාව පුරා ආසියානු උණ වසංගතය පැතිරෙමින් පැවතීම යි.
කෙසේ නමුත්, ඉන්දියාමන් බස් සේවාව දිගු කාලයක් පැවතුණේ නැහැ. ඒ, බස් රථ සේවය ක්‍රියාත්මක කිරීමේ දී මතුවුණු දුෂ්කරතා නිසා යි. නමුත් 1968 වසරේ දී ලන්ඩන් සහ කල්කටා අතර යළි බස් රථ සේවයක් ආරම්භ වුණා. එය ඉන්දියාමන් බස් සේවයට වඩා සුඛෝපභෝගි එකක්.
ඇල්බට් බස් සේවය ආරම්භ කිරීමට අදහස පහළ වුණු හැටි
ඇන්ඩි ස්ටුවර්ට් නම් බ්‍රිතාන්‍ය ජාතිකයා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර රැකියාවක් කළා. ඔහු රැකියාව කරමින් සිටි අවධියේ දී නිව් සවුත්වේල්ස් රජයේ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් 400කට ඩබල් ඩෙකර් බස් රථයක් මිල දී ගත්තා. ඉන් පසුව ඔහු එයට ඇඳන්, අමතර ඉන්ධන ටැංකි, පානීය ජල සැපයුම්, රේඩියෝ, කුඩා පුස්තකාලයක්, මුළුතැන්ගෙයක් වැනි අංගයන් එක් කරමින් සුඛෝපභෝගි සංචාරක බස් රථයක් බවට පරිවර්තනය කළා. දහහතර දෙනෙකුට ගමන් කළ හැකි අයුරින් සකස් කළ බස් රථයේ නැගී ස්ටුවර්ට් සහ ඔහුගේ මිතුරන් රට පුරා සංචාරය කළා.
ඕස්ට්‍රේලියාවේ විනෝදයෙන් ජීවත් වුණු ස්ටුවර්ට් රැකියාවෙන් විශ්‍රාම යාමෙන් පසුව ආපසු එංගලන්තයට යාමට තීරණය කළා. එය ඇසූ ඔහුගේ මිතුරන් කණ්ඩායම කණගාටුවට පත්වුණා. ඔහු සිය මිතුරන්ගේ දුක තුනී කිරීම සඳහා දිගු සංචාරයක් සූදානම් කළා. ඒ අනුව එදා ස්ටුවර්ට් ඇතුළු පිරිස සැලසුම් කළේ සිඩ්නි සිට ලන්ඩන් නුවර දක්වා සංචාරය කිරීමට යි.
ඔවුන් සැලසුම් කරගත් ආකාරයට සංචාරය ආරම්භ කිරීමට නියමිතව තිබුණේ 1967 වසරේ ඔක්තෝබර් 8 වැනිදා යි. එදින උදෑසන සිඩ්නි නගරයේ මාටින් පෙදෙසට එක් වුණු ඇන්ඩි සහ ඔහුගේ මිතුරන් 13 දෙනා ලන්ඩන් බලා පැමිණි ගමනට එක් වුණා. ඔවුන් දින 132ක කාලයක් ලෝකයේ විවිධ රටවල්වල සංචාරය කර විනෝදවීමෙන් පසුව ලන්ඩනය වෙත ළඟා වුණා. එම සංචාරයෙන් ලද ආශ්වාදජනක අත්දැකීමත් සමගම ඇන්ඩියේ සිතෙහි අළුත් අදහසක් පහළ වුණා. ඒ, යුරෝපය සහ ආසියාව අතර බස් රථ සේවයක් ආරම්භ කිරීම යි. එහි දී ඇන්ඩිගේ මතකයට නැගුණේ ඊට පෙර ලන්ඩන් සහ කල්කටා අතර ක්‍රියාත්මක වුණු බස් රථ සේවාව යි. එදා ඉන්දියාමන් බස් රථ සේවාව සංචාරකයන් අතර ජනප්‍රිය වුණු නිසා එය යළි සක්‍රීය කිරීමට ඔහු කල්පනා කළා.
ඇල්බට් සංචාරක සේවය ආරම්භ වෙයි
1968 වසරේ මැයි මාසයේ දවසක ඇල්බට් සංචාරක සේවයේ බස් රථය ලන්ඩන් සිට කල්කටා නුවර දක්වා යන ගමන ආරම්භ කළා. එක් ගමන් වාරයක් සඳහා සහභාගිවීමට අවස්ථාව හිමිවුණේ මඟීන් 14කට පමණ යි. එහි දී එක් ගමන් වාරයක් සඳහා මඟියෙකුගෙන් පවුම් 145ක මුදලක් අය කළා. ලන්ඩන් නුවරින් ගමන් ආරම්භ කළ බස් රථය බටහිර ජර්මනිය, බෙල්ජියම, ඔස්ට්‍රියාව, යුගෝස්ලාවියාව, බල්ගේරියාව, තුර්කිය, ඉරානය, ඇෆ්ගනිස්ථානය, බටහිර පාකිස්ථානය යන රටවල් හරහා කල්කටා නුවර වෙත ළඟා වුණා. පහත දැක්වෙන්නේ එම ගමනේ දී බස් රථයේ ගමනාන්තයන් වුණු නගර කිහිපය යි.
1) ඩෝවර්- එංගලන්තය
2) සීබෘගර්- බෙල්ජියම
3) ඇන්ට්වර්ප්- බෙල්ජියම
4) ෆ්රෑන්ක්ෆර්ට්- බටහිර ජර්මනිය
5) මියුනිච්- බටහිර ජර්මනිය
6) සල්ස්බර්ග්- ඔස්ට්‍රියාව
7) වියානා- ඔස්ට්‍රියාව
8) සැග්‍රෙබ්- යුගෝස්ලාවියාව
9) බෙල්ග්‍රේඩ්- යුගෝස්ලාවියාව
10) සොෆියා- බල්ගේරියාව
11) ඉස්තාන්බුල්- තුර්කිය
12) අන්කරා- තුර්කිය
13) ට්‍රැබ්සෝන්- තුර්කිය
14) ටෙහෙරාන්- ඉරානය
15) මෂාඩ්- ඉරානය
16) හෙරාට්- ඇෆ්ගනිස්ථානය
17) කන්දහාර්- ඇෆ්ගනිස්ථානය
18) කාබුල්- ඇෆ්ගනිස්ථානය
19) රාවල්පිණ්ඩි- බටහිර පාකිස්ථානය
20) ලාහෝර්- බටහිර පාකිස්ථානය
21) නවදිල්ලිය- ඉන්දියාව
22) අග්‍රා- ඉන්දියාව
23) අලහබාද්- ඉන්දියාව
සංචාරය අතරතුර මඟීන්ට ලැබුණු පහසුකම්
මෙම සංචාරය සඳහා යොදාගත් බස් රථය තුළ කුඩා පුස්තකාලයක්, නිදන කුටි, උණුසුම් වීම සඳහා හීටර්, විදුලි පංකා, සියළු පහසුකම් සහිත මුළුතැන්ගෙයක්, නැරඹුම් මැදිරියක් වැනි අංගයන් ඇතුළත්ව තිබුණා. එසේම සංචාරය අතරතුර රාත්‍රී සාද පැවැත්වීම සඳහා විදුලි සහ සංගීත පද්ධතියක් බස් රථ සමාගම මඟින් ලබාදුන්නා. ඊට අමතරව මෙම සවාරිය අතරමඟ හමුවන ප්‍රසිද්ධ සංචාරක ස්ථානවලට යාමේ අවස්ථාව ද මඟීන්ට හිමිවුණා. තව ද, බස් රථයේ ගමන් කළ අයට ටෙහෙරාන්, සල්ස්බර්ග්, කාබුල්, ඉස්තාන්බුල්, වියානා යන නගරවල සාප්පු සවාරියේ යෙදීමේ අවස්ථාව ද ලබා දී තිබුණා.
වසර 8ක සේවාව නිමාවට පත්වීම
1968-1976 කාල සමය තුළ ලන්ඩන් සහ කල්කටා අතර ක්‍රියාත්මක වුණු ඇල්බට් බස් සේවාව නිසා ලොව පුරා සිටි සංචාරකයන්ට හොඳින් විනෝදවීමට අවස්ථාවක් ලැබුණා. එම කාල සමය තුළ ඇල්බට් බස් සේවාව ලන්ඩන් සහ කල්කටා අතර ගමන් වාර 15ක් සම්පූර්ණ කර තිබුණා. සංචාරකයන් අතර ජනප්‍රිය වී තිබුණු මෙම බස් සේවාව අතරමඟ නතර වුණේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවුණු දේශසීමා අර්බුදය නිසා යි. එසේම 70 දශකය අග භාගයේ දී සෝවියට් රුසියානු හමුදා ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීම නිසා මෙම බස් සේවාව යළි ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් උදා වුණා. ඒ සමගින් ලන්ඩන්-කල්කටා බස් සේවාව පිළිබඳව මතකය අතීතයට එකතු වුණා.