ඉන්දියාවේ ටජ් මහල ඔබ අප අතර ඉතා ප්‍රසිද්ධ ස්ථානයක්. නමුත් අද මේ අපි කතා කරන්න යන ස්ථානය ටජ්මහලටත් වඩා වැඩි නරඹන්නන් ප්‍රමාණයක් පැමිණෙන ස්ථානයක් බව පැවසෙනවා. ඒ නවදිල්ලියේ පිහිටා ඇති බහායි දේවාලයයි.
ඉතිහාසය හා පිහිටීම
මෙයට නෙලුම් දේවාලය වගේ සිංහල වචනයක් යොදන්න හැකියාවක් තිබුණත් එය කොතරම් සාධාරණ එකක් ද කියන එක නම් විවාදාත්මකයි. ඉන්දියාවේ නව දිල්ලි නුවර පිහිටා තිබෙන මේ අපුරු ගොඩනැගිල්ල විශේෂ වෙන්නේ එහි තිබෙන ආගමික කාරණාවන්ට එහා ගිය ගොඩනැගිලි සැලසුම නිසයි. මේ ගොඩනැගිල්ල නිර්මාණය කරලා තියෙන්නේ 1986 දී. නව දිල්ලියේ කලකජි ප්‍රදේශයේ මෙම අපුරු නිර්මාණය නිර්මාණය කර තිබෙනවා. මෙය නිල වශයෙන් හඳුන්වනු ලබන්නේ බාහායි දේවාලය ලෙසයි. එමෙන්ම එය ඉන්දියාවේ වැඩිම ජනතාවක් පැමිණෙන ස්ථාන අතර ඉහළින්ම රැදී තිබෙනවා. ඇත්තටම මෙයට නෙලුම් දේවාලය යනුවෙන් හදුන්වන්නේ එහි ඇති හැඩය නිසාවෙනුයි. එම හැඩය යොදාගෙන ඇත්තේ නෙලුම් මල ආදරයේ හා පවිත්‍රතාව සංකේතවත් කරන නිසායි. එමෙන්ම එය මගින් සදාකාලිත යන පණිවිඩය ද දෙනු ලබනවා.
ෆරිබෝස් සහබා (Fariborz Sahba)
ඔහු 1948 ඉරානයේ උපත ලද කැනේඩියානු ජාතිකයෙක් වනවා. ඔහු තම ගෘහ නිර්මනවේදය හා සම්බන්ධ විශාරද උපාධිය සම්පුර්ණ කරන්නේ 1972 දී ටෙහෙරාන් නුවර විශ්ව විද්‍යාලයෙනුයි.
1976 දී සහබා, බහායි දේවාලය නිර්මාණය වෙනුවෙන් තෝරා ගනු ලබනවා. ඔහු මෙම නිර්මාණය හා මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වසර 10ක් ගෘහ නිර්මානශිල්පියා ලෙස මෙන්ම ව්‍යාපෘති කළමනාකරු ලෙස කටයුතු කළා.
සහබා විසින් අන්තර්ජාතික සම්මාන රැසක් දිනා ගෙන තිබෙනවා. ඒවා අතර 1987 දී ඔහු විසින් දිනා ගත් ඇමරිකානු ගෘහ නිර්මාණ ආයතනය විසින් පිරි නමන ලද “ගෘහ නිර්මාණ විශිෂ්ඨතා සම්මානය” ප්‍රධාන එකක් වෙනවා.
ආකෘතියේ තොරතුරු
මෙම නිර්මාණයේ උසම ස්ථානය උසින් මීටර් 40 ක් පමණ වෙනවා. ඒ මෙන්ම මාර්බල්වලින් නිර්මාණය කරන ලද විශාල නෙලුම් මල් පෙති 27ක් මෙහි අන්තර්ගතව පවතිනවා. එමෙන්ම මෙම නෙලුම් මල වටා පොකුණු 9ක් නිර්මිතව පවතින්නවා. මෙම දේවාලය ප්‍රධාන වන්දනා කරන ශාලාව, පුස්තකාලය, පරිපාලන ගොඩනැගිල්ල හා විවේකාගාරයකින් සමන්විත වෙනවා.
එමෙන්ම මෙම නෙලුම වටා ඇති ගමන් මාර්ගයන් ඉතා අලංකාර අත්වැල්, පාලම් හා පඩිපෙල් වලින් සමන්විත වන අතර මෙම නෙලුම වටා ඇති පොකුණු නමය එම නෙලුමේ පාවෙන පත්‍ර සංකේතවත් කරනවා.
පිටතින් බලන අයෙකුට මෙම නෙලුමේ පත්‍ර කොටස් තුනකින් දැකිය හැකි වෙනවා. ඒවා නිර්මාණය කර ඇත්තේ සිහින් කොන්ක්‍රීට් තට්ටුවකිනුයි. ඉන් පළමු පෙති නවය පිහිටා තිබෙන්නේ එම ස්ථානයට ඇතුළු වීමට වන අතර එම සෑම තැනකින්ම මෙහී ප්‍රධාන ශාලාවට ඇතුලත් විය හැකි වනවා. දෙවැනි පෙති නවය මගින් මෙහි බාහිර කොටස ආවරණය කරනවා. තුන්වන පෙති නවය ඉහලට එසවෙන ලෙස නිර්මාණය කර ඇති අතර එය ගොඩනැගිල්ල යම්තාක් දුරකට වැසෙන ලෙස නිමවා තිබෙනවා. මෙම පෙති සියල්ල ඉහලින් බැලූ විට අපුරු නෙලුම් මලක හැඩයක් නිර්මාණය කරනවා. එමෙන්ම මෙම ශාලාවට ඇතුලත් වීමට විශාල ආරක්කු 9ක් නිමවා තිබෙනවා. මෙම ශාලාව තුල එකවර පුද්ගලයන් 2,500 කට රැඳී සිටීමේ හැකියාවක් පවතිනවා. ඒ මෙන්ම මෙම මුළු නිර්මාණයම අක්කර 26 පුරා වූ භූමියක පැතිර පවතිනවා.
බහායි දේවාලය ගැන අපූරු තොරතුරු ටිකක්
සෑම ගොඩනැගිල්ලකට මෙන්ම මෙම ගොඩනැගිල්ල ගෙනත් අපූරු කතා කිහිපයක් සොයා ගන්න හැකියාවක් තිබෙනවා.
- මෙම ගෘහනිර්මාණය කලින් ඔබට පැවසූ පරිදිම කැනේඩියානු ගෘහ නිර්මානශිල්පියෙකු වූ ෆරිබෝස් සහබා විසින් නෙලුම් මලේ හැඩයට නිර්මාණය කර ඇති නිසා එය බුදු දහමට මෙන්ම හින්දු ආගමටත් මෙන්ම තවත් බොහෝ ආගම් වලට පොදු වූ ලෙස සැලකෙනවා. ඔහු මෙම නිර්මාණයට ඔහු ජාත්‍යන්තර සම්මාන රැසක් ද ලබා ගත්තා. ඒවා අතර GlobArt ඇකඩමි සම්මානය ද අන්තර්ගත වෙනවා. එමෙන්ම.එමෙන්ම මෙය පදනම් කර ගනිමින් මුද්දර, පොත් පමණක් නොව සංගීත නිර්මාණ පවා බිහිවී තිබෙනවා.
- මෙම නිර්මාණය සම්පුර්ණ කරන ලද්දේ 1986 දී වන අතර මේ වන විට ලොව වැඩිම සංචාරක ආකර්ෂණයට ලක්වෙන තැන් අතර ඉහලින්ම පවතිනවා. මෙහි ප්‍රධාන ශාලාව තුල මෙන්ම නෙලුම් මලේ පෙති පවා නිර්මාණය කිරීමට මාබල් යොදාගෙන තිබෙන අතර ඒවා ලබා ගෙන ඇත්තේ ග්‍රීසියේ පෙන්ටෙලි කන්දෙනුයි.
- මෙම දේවාලයට වසරකට මිලියන 4.8 පමණ දෙනා පැමිණෙනවා. බහායි දහමට අනුව දේවාලය තුල කිසිම පින්තුරයක්, පිළිමයක් හෝ දෘශ්‍යමාන දෙයක් (වන්දනාවට) තැබීමට හැකියාවක් ඇත්තේ නෑ. බොහොමයක් බහායි දේවාල මෙවැනි නෙලුම් මලක හැඩය ගනු ලබනවා. වන්දනාමාණය වෙනුවෙන් ඇති බහායි දේවාල ගණන 7 ක් වනවා. දිල්ලියේ හැරුණු විට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි , පැනමා රටේ පැනමා නගරය, බටහිර සැමෝවාවේ අපියා, උගන්ඩාවේ කම්පාලා, ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් හා එක්සත් රාජධානියේ විල්මෙට් නගර වල අනෙක් දේවාල පිහිටා තිබෙනවා.
- මෙම දේවාලයේ නිර්මාණ අතීතය ගැන තොරතුරු කිහිපයක් තිබෙනවා. එනම් මෙම දේවාලය නිර්මාණය කල භුමිය මිලදී ගෙන ඇත්තේ හයිද්‍රාබාද් නුවර විසූ අඩිශියර් රස්ටම්පුර් නම් අයෙක් විසින්. ඒ 1953 වසරේදීයි. නමුත් සහබා විසින් මෙය නිර්මාණය වෙනුවෙන් යොමු වන්නේ 1976 වසරේදීයි. එමෙන්ම සූර්ය බලයෙන් ශක්තිය ලබා ගත් දිල්ලියේ පළමු දේවාල අතරින් එකක් ලෙස මෙය සැලකෙනවා. කිලෝවොට් 500 තරම් වන විදුලි අවශ්‍යතාවයෙන් කිලෝවොට් 120ක් පමණ මොවුන් සූර්ය බලයෙන් සම්පුර්ණ කරගනු ලබනවා.
තවත් ලොව ඇති මෙවැනි අපූරු ගොඩනැගිලි ගැන ඔබ දන්නා තොරතුරු අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා.
කවරය – mouthshut.com