හිට්ලර්ගේ ප්‍රතිපත්තිවලින් බැට කා සිටි යුදෙව්වන්ට මර්සෙල් පෙටියෝ නම් ප්‍රංශ ජාතික වෛද්‍යවරයා හමු වූ විට ඔහු නිදහසේ දේවදූතයෙකු ලෙස හැඟී ගියාට සැක නැහැ. සිය රැකවරණය යටතේ නාසීන්ගෙන් මිදී යුරෝපයෙන් පිටතට පලා යන්නට උපකාර කරන බවට ඔහු ඔවුනට පොරොන්දු වුණා. කෙසේ නමුත් ඔවුනට අවසානයේ යාමට සිදුවූයේ තමන් බලාපොරොත්තු වූ නිදහස කරා නොවේ.
මර්සෙල් පෙටියෝගේ මුල් කාලය
අනෙකුත් බොහෝ දාම ඝාතකයින් මෙන්ම මර්සෙල් පෙටියෝගේ ළමා කාලය ගෙවුණේ හැලහැප්පීම් රාශියක් මැද යි. 1897 වසරේ ප්‍රංශයේ දී උපන් ඔහු මූලික අධ්‍යාපනය ලබන සමයේ දී පාසල් කිහිපයකින් ම නෙරපනු ලැබුණේ ඔහුගේ හැසිරීමේ තිබූ ගැටළුකාරී ස්වභාවයන් නිසා යි. කෙසේ නමුත් ඉගෙනීමට තිබූ උපන් දක්ෂතාවය නිසා මඳින් මඳ 18 වියැති වන තුරු ඔහු හොඳින් ඉගෙන ගන්නවා. 1915 වසරේ දී පාසල් අධ්‍යාපනය නිම කරන මර්සෙල්, එම වසරේ දී ම හමුදාවට බැඳෙනවා.
කුඩාකල සිට ම මර්සෙල් විවිධ ද්‍රව්‍ය ‘සොරකම්’ කිරීමේ ලැදියාවක් දැක්වූවා. හමුදාවට බැඳුණු පසු ද ඔහු විසින් විවිධ දේ සොරකම් කිරීමට පෙළඹීම නිසා නිතර ම පාහේ දඬුවම්වලට ලක් වුණා. කිහිප විටෙක ම අනිවාර්යය නිවාඩු යවන ලදු ව අවසානයේ කෙටි කලෙකට ඔහු සිරගත කිරීමට පවා හමුදා නිලධාරීන්ට සිදුවුණා. කෙසේ නමුත් එහි වෛද්‍යවරුන් අවසානයේ ඔහු පරීක්ෂා කර බලා මර්සෙල්ට යම් ආකාරයක මානසික ව්‍යාධියක් ඇති බව පවසමින්, මානසික ප්‍රතිකාර ගත යුතුයැ යි යන නිර්දේශය මත ඔහු ව නිදහස් කරන්නට යෙදුණා. මෙහි දී සැලකිල්ලට ගත් ප්‍රධානතම කාරණාවක් වූයේ ඔහු සිදුකළ සමහර සොරකම් කිසි ලෙසකින් පෞද්ගලික වාසි ගෙන දෙන ඒවා නොවීම යි. පර්යේෂණ සිදුවන අතරතුර මර්සෙල් සිය පාදයට වෙඩි තබා ගැනීම එම අදහස ස්ථීර කරන තවත් සාධකයක් වුණා.
වෛද්‍යවරයෙකු ලෙස
මර්සෙල් හමුදාවෙන් ඉවත් කරනු ලදු ව මානසික රෝහලක් වෙත යවනු ලැබුණා. කෙසේ නමුත් එහි දී ප්‍රතිකාර ගැනීම වෙනුවට වෛද්‍යවරයෙකු ලෙස සීමාවාසික පුහුණුවක් ලබා ගැනීමට ඔහු සමත් වුණා. ඒ කෙටි කලෙකින් තමන්ට ‘මානසික ආබාධයක් නැති බැව් වෛද්‍යවරුන්ට ඒත්තු ගැන්වීමෙන් සහ තමන්ගේ අධ්‍යාපනික සුදුසුකම් ගෙනහැර පෑමෙනුයි. පුහුණුව ලබමින් ම වෛද්‍ය විද්‍යාලයේ දේශනවලට ද සහභාගී වූ මර්සෙල් 1920 දශකය ආරම්භයේ දී ම වෛද්‍යවරයෙකු ලෙස සුදුසුකම් සියල්ල සම්පූර්ණ කර වෛද්‍ය උපාධිය ලබා ගන්නවා. 1921 වසරේ දී සිය ප්‍රථම පත්වීම ඔහුට ලැබෙන අතර, එහි දී ඔහු තවත් අලුත්ම කලාවන් දෙකක් ඉගෙන ගන්නවා. ඒ මත්ද්‍රව්‍ය භාවිතය හා මනුෂ්‍ය ඝාතන සිදුකිරීම යි.
මර්සෙල්ගේ මුල්ම ගොදුරු
බොහෝ දෙනා විශ්වාස කරන්නේ මර්සෙල්ගේ මුල්ම ගොදුර වන්නේ ලුවී ඩිලාවෝ නම් ඔහුගේ රෝගියෙකුගේ දියණියක් බව යි. ඩිලාවෝ සමග මර්සෙල් පෙමින් වෙලී සිට ඇති අතර, 1926 වසරේ දී හදිසියේ ම ඇය අතුරුදන් වුණා.
ඩිලාවෝගේ අතුරුදන් වීමත් සමග පොලිසිය විසින් පර්යේෂණ ආරම්භ කළ අතර, මෙහි දී යමෙක් තමන් මර්සෙල් විශාල ට්‍රන්ක පෙට්ටියක් සිය කාරය තුළට දමනු දුටු බවත්, එහි ඇයගේ සිරුර ඇති බවට තමන් සිතන බවත් පොලිසියට පවසා සිටියා. ඒ අනුව පර්යේෂණ සිදුකෙරුණ ද සැක කටයුතු කිසිදු දෙයක් හමු නොවූ බැවින් මර්සෙල්, චෝදනාවලින් නිදහස් වෙනවා.
කෙටි කලෙකින් ම විවාහ වූ මර්සෙල් තමන් නැවතී සිටි නගරයේ නගරාධිපති වශයෙන් ඡන්දයෙන් පත්වීමට තරම් ජනප්‍රිය චරිතයක් වෙනවා. කෙසේ නමුත් බලයට පත් වී ටික කලෙකින් ම මුදල් සොරකම් කිරීම වැනි චෝදනාවලට ලක් වීම නිසා, තත්ත්වය තවත් දරුණු වන්නට මත්තෙන් දේශපාලන ජීවිතයට ආයුබෝවන් කියා සිය දරු පවුලත් සමග පැරීසියේ පදිංචියට යනවා.
පැරීසියේ ජීවිතය
පැරීසියට සංක්‍රමණය වන මර්සෙල් සිය නව වාසභවන ලෙස තෝරා ගන්නේ නො. 66, රූ කුමර්තින් නම් ස්ථානය යි. එහි දී ඔහු වෛද්‍ය සායනයක් ද අරඹන අතර, එය ඉක්මනින් ම ජනප්‍රිය වෙනවා.
පැරීසියේ සාර්ථක වෛද්‍යවරයෙකු බවට කෙටි කලෙකින් ම මර්සෙල් පත්වූ අතර ඔහුගේත්, පවුලේත් ඉදිරි ජීවිතය ඉතා දීප්තිමත් එකක් ලෙස පෙණුනා. කෙසේ නමුත් මේ සියල්ල අතරින් මර්සෙල්ගේ ‘සොරකම් කිරීමේ’ දුර්වලතාවත් යම් පමණකට හෝ ක්‍රියාත්මක වුණා. දෙවන ලෝක යුද්ධය ඇවිළී ප්‍රංශය නාසි රෙජීමයේ පාලනයට නතු වන්නේ මේ අතර යි.
නාසි රෙජීමයේ පාලනය අතරතුර මර්සෙල් ෆ්‍රෑන්ක් 2400ක දඩයකට යටත් වෙනවා. ඒ නීති විරෝධී මත්ද්‍රව්‍ය, රෝගීන් කිහිප දෙනෙකුට ම නිර්දේශ කිරීම නිසා යි. කෙසේ නමුත් මේ පිළිබඳ වැඩිදුර පර්යේෂණ ඇණහිටින්නේ ඔහුට මෙම චෝදනාව එල්ල කළ රෝගීන් දෙදෙනා ම ‘අභිරහස්’ ලෙස’ අතුරුදන් වීමත් සමග යි.
දාම ඝාතන රැල්ල
ප්‍රංශයේ නාසි පාලනයක් ඇති වීම මර්සෙල් හට මහත් සතුටක් ගෙන දුන්නා. ඒ ඔහුට වඩා පහසුවෙන් ඝාතන සිදුකිරීමට පසුබිම සකස් වීම නිසා යි. නාසි පාලනයෙන් යුදෙව්වන් ඇතුළු සමහරක් ජනයා ජීවිත තර්ජනවලට ලක් ව තිබූ අතර, මර්සෙල් ඉලක්ක කළේ ඔවුන් ව යි. ඔවුනට ‘උපකාර’ කිරීමට යුහුසුළු ව ඉදිරිපත් වූ ඔහු, සිය සායනයෙන් යුදෙව්වන්ට පහසු මිලට ප්‍රතිකාර ද කරන්නට පටන් ගත්තා. මේ නිසා ඉක්මනින් ම ඔවුන්ගේ සිත් දිනා ගැනීමට ඔහු සමත් වුණා.
මර්සෙල් ඔහුගේ නිවහන, නිදහස වෙනුවෙන් සටන් කරන්නන්ට, නාසි පාලනයෙන් බැට කා පැන යන යුදෙව්වන්ට ඇතුළු රජයේ උදහසට ලක් ව සිටින අයට නවාතැන් දී ම සඳහා සකස් කළා. මේ නිසා බොහෝ දෙනා ඔහු දුටුවේ ගලවා ගැනීමේ දේවදූතයෙකු ලෙස යි.
යුදෙව්වන්ට ප්‍රංශයෙන් පිට වී ආරක්ෂාකාරී රටවලට යාමට උදව් කිරීමට තමන් සූදානම් බැව් ප්‍රචාරයක් මර්සෙල් විසින් පැතිර හැරියේ මේ අතර යි. ෆ්‍රෑන්ක් 25,000ක මුදලකට තමන්ට එය අනිවාර්යයෙන් කළ හැකි බැව් ප්‍රචාරය කිරීමත් සමග බොහෝ පීඩිතයින් ඔහු කරා පැමිණියා.
තමන් වෙතට නිදහස බලාපොරොත්තුවෙන් පැමිණෙන අයට කරුණාවෙන් සංග්‍රහ කොට, රටින් පිටත් වීමේ මාර්ග සූදානම් බව පෙන්වන මර්සෙල් රටින් පිටවීමට පෙර ‘ආරක්ෂාව’ සඳහා එන්නතක් ලබා දිය යුතුයැ යි පැවසුවා. ඔවුන් එය ඉත සිතින් පිළිගත්තා. එලෙස ලබා දෙන්නේ මාරාන්තික සයනයිඩ් බැව් ඔවුන් දැන සිටියේ නැහැ. ඔවුන් මිය යාමෙන් අනතුරුව වටිනා කියන දේ සියල්ල ම තාන් සන්තක කරගත් ඔහු එම සිරුරු සියල්ල ම සේන් නදියට විසිකර දැමුවා.
ඝාතන හෙළි වෙයි
ප්‍රංශය තුළ නාසි රහස් පොලිසිය වන ගෙස්ටැපෝ හි නිලධාරීන් අධික ප්‍රමාණයක් අනියුක්ත කිරීමත් සමග ම සිය කටයුතුවලට බාධා ඇති වෙන බැව් මර්සෙල් වටහා ගත්තා. එම නිලධාරීන්ට මර්සෙල් පිළිබඳ ඉව වැටෙන්නට පටන්ගත් වන ම, එය තේරුම් ගත් ඔහු ටික කලෙකට ප්‍රදේශයෙන් ඉවතට යනවා. 1944 මාර්තු මස වූ එම සිදුවීම ඔහු කළ ඝාතන රැසක් හෙළි වීමට උරදුන්නා.
මර්සෙල්ගේ නිවස දෙසින් ඉතා දැඩි දුර්ගන්ධයක් හමන බැව් අසල්වාසීන් පැවසීමත් සමග එහි ගිය පොලිසිය දොරගුළු කඩා එය පරීක්ෂා කළා. ඔවුන් දුටුවේ නෙත් අදහාගත නොහැකි දසුනක්. නිවස පුරා මිනිස් ශරීර කොටස් තිබූ අතර, ඒවා සමහරක් කුණු වී දුගඳ හමමින් තිබුණා. පසු ව හෙළි වූයේ අවට වාතාවරණය නිසා ඔහුට පෙර සේ එම සිරුරු සේන් නදියට අත්හැරීම සිදුකළ නොහැකි ව තිබූ බව යි. සිය නිවසේ තිබූ සිරුරු හමු වූ බැව් ආරංචි වීමත් සමග මර්සෙල් සැඟවුණා. එබැවින් පොලිසිය වහා ම මර්සෙල්ගේ බිරිඳ හා සොයුරා අත්අඩංගුවට ගත්තා.
මර්සෙල් පෙටියෝට එරෙහි නඩු විභාගය
වසර දෙකක් පොලිසියෙන් වසන් වී සිටි මර්සෙල් 1946 වසරේ දී අත්අඩංගුවට ගැනුණා. ඔහුට එරෙහිව මිනිමැරුම් 135ක් වෙනුවෙන් චෝදනා නැඟුණා. කෙසේ නමුත් ඔහු දිගින් දිගට ම කියා සිටියේ තමන් ඝාතනය කළේ ප්‍රංශයට එරෙහි ද්‍රෝහීන් පමණක් බව යි.
සියලු කාරණා සලකා බැලීමෙන් අනතුරුව මර්සෙල් හිස ගසා ඝාතනය කළ යුතු බව අධිකරණය තීරණය කළා. 1946 වසරේ මැයි මස 25 වන දා ගිලටීනය මඟින් ඔහු ව ඝාතනය කෙරුණා.