Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව වටිනාම සිතුවම් 5ක්

ලොව සමහර සිතුවම් අලෙවි වන්නේ කිසිසේත්ම අදහා ගත නොහැකි මිල ගණන්වලට යි. මේවායේ අර්ථය, වර්ණ සංයෝජනය, ඓතිහාසික වටිනාකම මෙන්ම අඳින ලද සිත්තරා අනුවත් මිල ගණන් තීරණය වෙනවා. තවත් සමහර චිත්‍ර ඉතා අධික මිලකට අලෙවි වී ඇත්තේ ඉතා අසාමාන්‍ය කාරණාවලට යි. ලොව එදා මෙදා තුර වැඩිම මිලකට වෙන්දේසි වූ මෙන්ම තක්සේරු වටිනාකම වැඩිම චිත්‍ර 5ක් පහත පරිදි වෙනවා.

නොම්මර 17 ඒ – ඇමෙරිකානු ඩොලර් 200,000,000

Pinterest

මෙය ඇමෙරිකානු ජාතික ජැක්සන් පොලොක් විසින් දෙවන ලෝක යුධ සමයට පසු, එනම් 1948 වසරේ දී අඳින ලද්දක්. සාමාන්‍යයෙන් පොලොක් විසින් තම චිත්‍රයන්ට නමක් නොයොදන ලද අතර, එය ලයිෆ් නම් සඟරාවේ ‘නොම්මර 17 ඒ’ නාමය යටතේ පලවීමත් සමග එයට එහි වර්තමාන නාමය ලැබුණා. සංකීර්ණ චිත්‍රයක් වන මෙහි වර්ණ රටා ඉතා දැකුම්කළු වෙනවා. එම විශේෂිත රටා නිසා මෙය ලෝකයේ ප්‍රසිද්ධ වෙනවා.

2016 වසරේ දී මේ චිත්‍රය ඇමෙරිකානු ඩොලර් මිලියන 200කට කෙනත් ග්‍රිෆින් නම් බිලියනපති සිතුවම් එකතුකරන්නෙකු විසින් මිල දී ගැනුනා.

වෙන් විල් යූ මැරී – ඇමෙරිකානු ඩොලර් 210,000,000

albrechtdurerblog.com

1892 වසරේදී ප්‍රංශ ජාතික සිත්තරෙකු වන පෝල් ගුගියාන් විසින් අඳින ලද මේ සිතුවමට පාදක වී තිබෙන්නේ ටහිටි ජාතික ගැහැණු දරුවන් දෙදෙනෙකුයි. මෙහිදී එක් අයෙකු සාම්ප්‍රදායික ඇඳුමෙන් සැරසී සිටින අතර අනෙක් දැරිය යුරෝපීය ඇඳුම් ආයිත්තම්වලින් සැරසී සිටින ආකාරයට දක්වා තිබෙනවා. මොහු මෙහිදී නිරූපණය කරන්නට උත්සාහ ගෙන තිබෙන්නේ පොලිනීසියාවේ ජනයා සංස්කෘතීන් දෙකකට මැදිව සිටින ආකාරය යි.

මේ චිත්‍රයට ඉහළ වටිනාකමක් ලැබුණේ එහි ගැබ්ව තිබෙන ගැඹුරු අර්ථය හා චිත්‍ර ශිල්පියා එය ඉතා ව්‍යක්තව ඇඳ තිබීම යන කාරණා දෙකම නිසා යි. මෙය 2015 වසරේ දී වෙන්දේසි වූයේ ඇ.ඩො මිලියන 300ක් වැනි මුදලකට යි. එය මෙහි වර්තමාන තක්සේරු වටිනාකම වන ඇ.ඩො මිලියන 210ට වඩා බොහෝ වැඩි ගණනක්.

කාඩ් ක්‍රීඩකයෝ – ඇමෙරිකානු ඩොලර් 250,000,000

vanityfair.com

ප්‍රංශ ජාතික පෝල් සෙසාන් විසින් අඳින ලද මෙම චිත්‍රයෙහි අඩංගු වන්නේ කාඩ් ක්‍රීඩාවේ නිරත වෙමින් සිටින් දෙදෙනෙකුගේ රුව යි. මෙහිදී මොවුන් දෙදෙනාගේ මුහුණුවල හැඟීම් හොඳින් නිරූපණය කරන්නට සෙසාන් සමත් වී තිබෙන අතර පසෙකින් ඇති වයින් බෝතලය වැනි දේවලින් එහි අලංකාර බව තවත් වැඩි වී තිබෙනවා. මෙය 1890 දශකයේ මැද භාගයේ ඇඳි සිතුවමක් වෙනවා.

වර්තමානය වන විට මෙම චිත්‍රය ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් වටින බැව් පැවසෙනවා. 2011 වසරේ දී මෙය විකිණුනේ ඇ.ඩො මිලියන 274ක් තරම් මුදලකට යි. සෙසාන් මේ චිත්‍රය ඇඳීමේ දී සිය ගෙවත්තෙහි උද්‍යාන පාලක හා තවත් සේවකයෙක් ගේ සැබෑම නිමේෂයක් අධ්‍යයනය කොට, එය සිතුවමට නගා තිබෙනවා.

ඉන්ටර්චේන්ජ් – ඇමෙරිකානු ඩොලර් 300,000,000

ideelart.com

ඉන්ටර්චෙන්ජ් නම් සිතුවම 1955 වසරේ දී තෙල් සායම් මගින් කැන්වසයක අඳින ලද්දේ විලියම් ඩෙ කූනින්ග් නම් ඕලන්ද සම්භවයක් සහිත ඇමෙරිකානු සිත්තරා විසිනුයි. සංකීර්ණ සිතුවමක් වන මෙය යම් පසුබිමක් නිරූපණය වන සේ ඇඳ තිබෙනවා. මෙහි අද්භූත මෙන්ම සංකීර්ණ ස්වභාවයම ඊට ඉහළ මිලක් ලබා දෙන්නට සමත් වී තිබෙනවා.

සැල්වේටර් මුන්ඩි – ඇමෙරිකානු ඩොලර් 450,300,000

Reuters

සැල්වේටර් මුන්ඩි හෙවත් ‘ගලවාගන්නා’ යනුවෙන් හඳුන්වන චිත්‍රය ලොව එදා මෙදා තුර ඉහළම මිලක් නිර්දේශ වූ චිත්‍රය ලෙස සැලකෙනවා. මෙය ලියනාඩෝ ඩාවින්චි විසින් අඳින ලද්දක් ලෙස සමහරු සැලකුවත් එය අතිශයින්ම විවාදිත යි. මෙය සාම්ප්‍රදායික ඇඳුමෙන් සැරසුණු යේසුස් වහන්සේ දැක්වෙන චිත්‍රයක් වන අතර උන්වහන්සේ සාන්කම්පිත සානුකම්පිත බැල්මෙන් බලා සිටින ආකාරයක් පෙන්නුම් කරන සේ ඇඳ තිබෙනවා. චිත්‍රයේ සුරත ඉහළට එසැවී ඇති අතර එහි ඇඟිලි දෙකක් පටලවාගෙන සිටින ආකාරයෙන් මෙය නිර්මිතයි. වමතෙහි උන්වහන්සේ පළිඟු බෝලයක් අතදරා සිටිනවා. මෙහිදී සිත්තරා ලෞකික අධ්‍යාත්මික ලෝකය යන දෙකම පෙන්නුම් කිරීමට උත්සාහ ගෙන ඇති බැව් විද්වත් මතය යි.

‘සැල්වේටර් මුන්ඩි’ පිළිබඳ විවිධාකාරයේ කථා ගෙතී තිබෙනවා. සමහරෙකුට අනුව දැන් පවතින චිත්‍රය එහි මුල් නිර්මාණය නොවේ. මෙය වර්තමාන හිමිකරුවන් අතට පත්වන විට එහි රාමුවට හානි වී තිබුණා. තවත් සමහරෙකුට අනුව මෙය ඩාවින්චිගේ අවසන් නිර්මාණ කිහිපය අතරින් එකක්. මේ ‘කථා’ නිසාම මෙහි අගය ඉතා ඉහළ ගියා.

කවරයේ පින්තූරය - vulture.com

Related Articles