තරුණියන් පිරිසක් පාපන්දු ප්‍රේක්ෂකාගාරයක සිටින ඡායාරූපයක්. ෆේස්බුක් පිටුවක පළවෙලා. එයට 3200ක පමණ පිරිසක් කැමැත්ත පළකරලා. ඔවුන්ගේ ධෛර්යය ගැන සුභපතමින් ලෝකයේ විවිධ තැන්වලින් පැමිණි අය තමන්ගේ අදහස් එකතුකරලා. පාපන්දු තරඟයක් නරඹන්නට යෑම සුභපැතුම් ලබන්නට තරම් වීරකමක්ද?
ඉරානයේදී නම් එය වීරකමක්. ඒ ඉරානයේ කාන්තාවන්ට ක්‍රීඩා තරඟ නරඹන්නට ක්‍රීඩා ප්‍රේක්ෂකාගාර වලට යෑම තහනම් නිසා. මේ ඡායාරූපයෙහි සිටින කාන්තාවන් ක්‍රීඩාංගනයට ඇතුළුවී තිබුණේ පිරිමින් ලෙස වෙස් වලාගෙන. බොරු රැවුල් සහ පිරිමි ඇඳුම් ඇඳ.
මේ ඡායාරූපය තිබුණේ My Stealthy Freedom කියන ෆේස්බුක් අඩවියේ. ඉරානයේ කාන්තා අයිතීන් පිළිබඳ සටන්වලට සමාජ මාධ්‍ය ජාල වේදිකාව පාවිච්චචි කරන්නටත්, සැඟවී සිටින සටන්කාරියන්ට එක්වීමට සහ ලෝකයටම හඬ නැඟීමට අවස්ථාව විවර කරන්නටත් My Stealthy Freedom ව්‍යාපාරය සමත් වුණා. මේ වෙද්දී ඔවුන්ගේ ෆේස්බුක් පිටුවට ලක්ෂ 11කට ආසන්න පිරිසක් කැමැත්ත පළකරලා තියෙනවා.
ඉරානයේ නීතිරීති අතර කාන්තාවන්ට සීමා බොහොමයි. ප්‍රේක්ෂකාගාර වලට යෑම තහනම් කිරීම වගේ ඇතැම් නීති පුදුමාකාරයි.
එවැනි නීති රහසේ උල්ලංඝනය කරලා ඊට අදාල ඡායාරූප, වීඩියෝ සමාජ මාධ්‍යවලට එක් කිරීම My Stealthy Freedom ව්‍යාපාරයෙන් කරනවා. මේ වෙද්දී ඉරානයේ වීදි මත සටන්කරන තත්වය දක්වා ඒ ව්‍යාපාරය පුළුල් වෙලා. වීදි උද්ඝෝෂණ පවා සංවිධානය කරන්නට ඉරානයේ කාන්තාවන් මෑත කාලයේදී සමත්වුණා. ඒ ඉරානයේ ආණ්ඩු මෙන්ම බහුතර ජනතාවද හිජාබය වැනි ඉස්ලාමීය නීති අදටත් දැඩිව විශ්වාස කරන පසුබිමක.
නීති
මේ වසරේ අප්‍රේල් මාසය මැද කාලයේදී ඉරානයේ පොදු උද්‍යානයක හිජාබය පහත් කොටගෙන සිටි කාන්තාවක් වෑන් රියකට නංවාගන්නට ඉරානයේ සංස්කෘතික පොලීසියේ නිලධාරීන් සහ නිලධාරිනියන් කිහිපදෙනෙකු උත්සාහ ගන්නවා. එහෙත් ඇය එයට එකඟ නොවීම නිසා ඇයව බලහත්කාරයෙන් රියට නංවාගැනීමට උත්සාහ කරන ඒ නිලධාරීන් ඇයට පහරදෙනවා. ඇයට පහරදෙන අන්දම වීඩියෝගත කෙරෙනවා. ඒ වීඩියෝව My Stealthy Freedom ෆේස්බුක් පිටුවෙහි පළවෙනවා. එයට අනිවාර්ය හිජාබය ප්‍රතික්ෂේප කරන කාන්තාවන් අතරින් දැඩි විරෝධයක් එල්ලවෙනවා.
https://www.youtube.com/watch?v=036CVSQ_Ct4
ලංකාවේදී සංස්කෘතික පොලීසිය යන්නට අප පාවිච්චි කරන්නේ හාස්‍යමය යෙදුමක් ලෙස. එහෙත් ඉරානයේදී නම් සැබෑම සංස්කෘතික පොලීසියක් සිටිනවා. හිජාබය නොඇඳ සිටීම වැනි නීති කඩකිරීම් සම්බන්ධයෙන් පියවර ගන්නේ ඔවුන්. ඉරාන නීතියට අනුව හිජාබය ඇඳීම නීතියෙන්ම අනිවාර්යයි.
ඉරානයට මෙවන් නීති පැමිණෙන්නේ 1979 ඉස්ලාම් විප්ලවයට පසුවයි. ඊට පෙර කාන්තාවන් නිදහසේ ඇඳුම් පැළඳුම් ඇන්දා. එහෙත් ඉස්ලාමීය විප්ලවයෙන් පසුව දැඩි ආගමික නීති ඉරානයට පැමිණියා. හිජාබය නීතිගත වෙද්දී ඒ නීතිය කඩකරන කාන්තාවන්ට දඩ, කසපහර සහ සිර දඬුවම් හිමිවුණා.
වත්මන් රජය මේ නීතිරීති වෙනස් කරන බවක් පෙනෙන්නේ නැහැ. පසුගිය දිනෙක ඉරානයේ විදේශ ඇමති අහමඩ් ජාවිඩ් ෂරීෆ් කියා තිබුණේ හිජාබය ‘ඩ්‍රෙස් කෝඩ්’ එකක් පමණක් බවයි. එය සමාජයේ කාන්තාව සංකේතවත් කෙරෙන ඇඳුමක් පමණක් බව කියන්නට ඔහු උත්සාහ ගෙන තිබුණා. එය ඔහු සමාන කළේ මැක්ඩොනල්ඩ් අවන්හලකට යද්දී ටී ෂර්ට් එකක් පැළඳිය යුතුවා මෙන් ඉස්ලාම් කාන්තාව සමාජ කටයුතුවලට පැමිණෙද්දී හිජාබය පැළඳිය යුතු බවයි. මෙයට ඉරානයේ කාන්තාවන් අතරින් දැඩි විරෝධයක් පළවී තිබුණා.
ඇය
මාසි අලිනෙජාඩ් නම් දේශපාලන මාධ්‍යවේදිනිය විසින් මගේ රහස් නිදහස ව්‍යාපාරයේ ආරම්භ කළා. ඇය කාලයක සිට ඉරානයේදී ආන්දෝලනාත්මක ලිපි ගණනාවක් ලියන ලද මාධ්‍යවේදිනියක්. ඇය මේ වෙද්දි ඉරානයෙන් පිටවී සිටින්නේද ඇගේ ආන්දෝලනාත්මක ලිවීම් සහ ක්‍රියාකාරීත්වයන් නිසායි. ඇය ‘මගේ රහස් නිදහස’ ආරම්භ කරන්නේ අහම්බයෙන්. ඒ 2014 දී.
‘වතාවක් මම මගේ ඡායාරූපයක් පළ කළා. හිජාබය නැතිව. එතකොට ඉරාන කාන්තාවන්ගෙන් මට මැසේජ් ආවා එහෙම ෆොටෝස් පළ කරන්න එපා, අපට ඔයා ගැන ඉරිසියයි කියලා. ඉන්පස්සෙ ආයෙමත් මම තවත් ඡායාරූපයක් පළකළා. ඉරානයේදී මම හිජාබය නැතිව ගත් එකක්. මම අනෙක් අයට කිව්වා ඔයාලා ලඟත් මේ වගේ රහසේ ගත්ත ඡායාරූප ඇති. ඔබටත් මේ විදියේ ඡායාරූප පළකරන්න පුළුවන් කියලා මට විශ්වාසයි කියලා. ඉන්පස්සේ එයාලා මට ඡායාරූප එවන්න ගත්තා. දහස් ගණන් නිර්භීත කාන්තාවන් ඡායාරූප එව්වා. ඒවා පළකරන්න මම මේ ෆේස්බුක් පිටුව නිර්මාණය කළා.’
ඇය විසින් ඒ විදියට නිර්මාණ්‍ය කරපු ෆේස්බුක් පිටුවට දින කිහිපයක් තුළ ලයික්ස් ලක්ෂයක් ලබන්නට හැකිවෙලා තියෙනවා. ඉතා ඉක්මනින් ලෝකයේම අවධානය මේ පිටුවට යොමුවුණා. අද තත්වයට එය පත්වෙන්නේ ඒ විදියට. කිහිපදෙනෙක් ඡායාරූප එවන්නට පටන්ගත් මේ ෆේස්බුක් පිටුවට මේ වෙද්දී විශාල ප්‍රමාණයක් ඡායාරූප එවනු ලබනවා. නිවසේදී, මහමඟේදී, ප්‍රසිද්ධ ස්ථානවල මෙන්ම පොලිස් මෝටර් රථ ඉදිරිපිට සිට ඡායාරූප එවන්නටද කාන්තාවන් නිර්භීත වෙලා තියෙනවා. මේ වෙද්දී ඉරානයේ සිටින තරුණයන්ද මේ ව්‍යාපාරයට සහයෝගය පළ කරනවා. කෙසේ වෙතත් එයට ඇති බාධා බොහොමයි. තවමත් පැරණි නීති පිළිගනිමින් සිටින්නට බහුතරය කැමතියි.
අනිවාර්ය හිජාබය
මාසි අලිනෙජාඩ් පැහැදිළිවම කියන විදියට ඔවුන් විරුද්ධ වෙන්නේ හිජාබයට නෙවෙයි. හිජාබය නීතියෙන් අනිවාර්ය කිරිමටයි. හිජාබය අඳින්නට කැමති අයට අඳින්නට නිදහස තියෙනවා. එහෙත් ඔවුන් ඉල්ලන්නේ එය නොඇඳ ඉන්නට කැමති අයට එය නොඇඳ සිටින්නට ඇති නිදහසයි.
හිජාබය එදිනෙදා පළඳින සෑම කාන්තාවක්ම එය නොපැළඳීමෙන් ලබන ආශ්වාදය ගැන අවබෝධයක් ඇති බව මාසි කියනවා. ‘කොණ්ඩය බලහත්කාරයෙන් සිර කරගෙන සිටීම පහසු කටයුත්තක් නෙවෙයි. එය මහත් කරදරයක්. වේදනාවක්.’ ඇය කියන්නේ එහෙම. කිසිවෙක් නොදකින මොහොතක හිජාබය ගලවා කොණ්ඩයට නිදහස් වාතාශ්‍රය වදින්නට සැලැස්වීම ඉරාන කාන්තාවන් ඉතා කලාතුරකින් රහසේම විඳින මසුරන් අත්දැකීමක් බව ඇය කියනවා. එසේ රහසේ විඳින නිදහස ප්‍රසිද්ධියේ විඳින්නට නිදහස ලබාගැනීම ඇයගේත් ඇය සමඟ සිටින කාන්තාවන්ගේත් අරමුණයි. එහෙත් එයට බාධක බොහොමයි. බොහෝවිට හිජාබයේ අපහසුව නොදන්නා පුරුෂ පාර්ශ්වයෙන් මෙන්ම හිජාබය ගලවා ලබන නිදහසෙහි අගය නොදන්නා කාන්තාවන්ගෙන් මේ විරෝධය එල්ලවෙන බව ඇය කියනවා.
ඇතැම් සැමියන් සහ පියවරුන් කාන්තාවන්ගේ නිදහස සීමා කරන්නට උත්සාහ ගන්නා ආකාරය, ප්‍රසිද්ධ ස්ථානවල සිටින පිරිමින් මෙන්ම කාන්තාවන්ද හිජාබ් විරෝධී ව්‍යාපාරවල යෙදෙන කාන්තාවන්ට අපහාස කරන ආකාරය මෙන්ම එවැනි කාන්තාවන්ට පහරදෙන ආකාරයද ඇතුලත් වීඩියෝ ඔවුන්ගේ ෆේස්බුක් පිටුව හරහා ප්‍රසිද්ධ කෙරෙනවා.
ඔවුන් නොසැලි, නොනැවතී සටන් කරනවා. ඒ නිසාම ක්‍රම ක්‍රමයෙන් ඔවුන් සමඟ තව තවත් කාන්තාවන් එක්වෙනවා. මාසි පවසන ආකාරයට මේ මහා දේශපාලන අදහස් ඇති, සටන්කාමී කාන්තාවන් නෙවෙයි. සාමාන්‍ය කාන්තාවන්. ඔවුන් ඉල්ලන්නේ නිදහස.
‘කාන්තාවන් අඳින්නේ කුමක්දැයි තීරණය කිරීමේ නිදහස කාන්තාවට තිබිය යුතුයි. වෙන කිසිවෙක්ට එය තීරණය කළ නොහැකියි.’ ඔවුන් එක හඬින් එසේ කියනවා. ඔවුන්ගේම ෆේස්බුක් පිටුවේ ඇති පෝස්ටුවක කියන විදියට ‘මුලින් ඔවුන්ව නොතකා හරින්නටත්, පසුව ඔවුන්ව විහිළුවට ගන්නටත් දැන් ඔවුන්ට අපහාස කරන්නට සහ පහරදෙන්නටත් ඉරාන ආණ්ඩුව ඇතුළු පසුගාමී සමාජය කටයුතු කරනවා. එහෙත් යම් දිනෙක ඔවුන්ව පිළිගන්නට සිදුවේවි.’ ඒ දිනය තෙක් සටන් කරන බව ඔවුන් පවසනවා.
Cover: My Stealthy Freedom