Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තවමත් නොවිසඳුණු අතුරුදහන්වීම්-4: මහමඟ අතුරුදහන් වූ මෝරා

ලොව මෙතෙක් නොවිසඳී පවතින අරුම පුදුම අතුරුදහන් වීම්වලට අනුබද්ධ ව ලියැවෙන ලිපි පෙළෙහි පසුගිය ලිපියෙන්, පෘතුගාලයේ නිවාඩුවක් ගත කිරීමට ගොස් සිටිය දී හදිසියේ අතුරුදහන් වූ තෙහැවිරිදි ගැහැනු දරුවකු වන මැඩෙලින් මැකාන් පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන ආවා. ඇය පිළිබඳ පසුකාලීන ව ලෝකය පුරාම කතාබහක් ඇතිවුණ මුත්, මේ වන තුරුත් ඇයට අත්වුණු ඉරණම පිළිබඳ නිශ්චිත තොරතුරක් සොයා ගන්නට කිසිවකුත් සමත් වූයේ නැහැ.

මේ ලිපියෙනුත් අප ඔබ වෙත ගෙන එන්නේ එවැනි ම අතුරුදන් වීමක් පිළිබඳව යි. 2004 වසරේ පෙබරවාරි මස, අමෙරිකාවේ හිමෙන් ගැවසීගත් පිටිසර මාවතක දී අතුරුදහන් වූ මෝරා මරේ නම් තරුණියට කුමක් සිදුවූයේ ද යන්න පිළිබඳ විශාල කුකුසක් සහිත ව අදටත් එහි බලධාරීන් සොයා බලමින් සිටිනවා.

 මෝරා මරේ- Mauramurraymissing.org

 

නිව් හැම්ප්ෂයර් හි සිදු වූ කාර් රථ අනතුර

ඇමෙරිකාවේ නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තයට 2004 වසරේ පෙබරවාරි මස 9 වන දින සැලකිය යුතු මට්ටමක හිම පතනයක් ලැබෙමින් තිබුණා. එදින සවස 7 ට පමණ ග්‍රැෆ්ටන් හි ෂෙරිෆ්වරයාට හදිසි දුරකථන ඇමතුමක් ලැබෙනවා. ඉන් කියැවෙන්නේ මහමග සිදු වූ කාර් රථ අනතුරක් පිළිබඳව යි. ඔහුගේ පාලන ප්‍රදේශයට අයත් වුඩ්ස්විල් හි මාර්ගයක, හිම බාධකයක කළු පැහැති සැටන් වර්ගයේ කාරයක් හැපී, අනතුරට ලක් වී ඇති බැව් ඉන් කියැවුණා.

හිම මත ලිස්සීම නිසා එම කාලයේ එවැනි අනතුරු සිදුවීම බහුල බැවින් ඔහු එක්වර ම කලබල වූයේ නැහැ. කාරය එතරම් හානියට ලක් වී නොමැති බැව් ඇමතුම ගත් තැනැත්තා ප්‍රකාශ කළ හෙයින්, සමාන්‍ය පරිදි විමර්ශන කටයුතු සඳහා යාමට ඔහු සූදානම් වුණා. මේ පිළිබඳ තරමක් අසාමාන්‍ය දෙවන ඇමතුම එන්නේ මේ අතර යි.

ශරීරය අයිස් මෙන් ශීතල වී

ෂෙරිෆ්වරයා දෙවන වර අමතා තිබුණේ බච් ඇට්වුඩ් නම් ට්‍රක් රථ රියැදුරකුයි. එම කාරය තුළ තරුණ කාන්තාවක සිර වී ඇති බවත්, ඇය තුවාල ලබා ඇති බවක් බාහිරින් පෙනෙන්නට නොතිබුණත්, ශරීරය අයිස් මෙන් ශීතල වී ඇති බවත් ඉන් කියැවුණා. ඇය පොලිසිය නොඅමතන ලෙස අපහසුවෙන්  මිමිණූ බවත් ඔහු පැවසුවා. කෙසේ නමුත් ඊට අවනත වන බවක් පෙන්වා, ඇට්වුඩ් පසෙකට ගොස් පොලිසිය අමතා තිබුණා. මේ අනුව ෂෙරිෆ්වරයා අනුමාන කළේ එක්කෝ මෙම තැනැත්තියට වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැති බවයි, නැතිනම් බීමත් ව සිටින්නට ඇති බව යි. කෙසේ නමුත් එම සිද්ධිය පෙළගැසී ඇති අයුරු අනුව ඉක්මනින්ම එහි යා යුතු බැව් වටහා ගත් ඔහු ඉක්මනින් ම සිය කණ්ඩායම් අදාළ ස්ථානයට මෙහෙයවනවා.

 මෝරා මරේ ගේ කාරය – Youtube.com

අතුරුදන් වූ කත

පොලිසිය අනතුර වූ ස්ථානයට යන විට, ඉහත සඳහන් කළ කාරය තිබූවන ම එහි තිබුණා. කෙසේ නමුත් එහි කිසිදු පුද්ගලයෙක් වූයේ නැහැ. එහි අංක තහඩුව අනුව, අයිතිකරු හඳුනා ගැනීමට පොලිසිය ක්‍රියා කළ අතර, ඒ අනුව එය මැසචුසෙට්ස් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක වන 21 හැවිරිදි මෝරා මරේ නම් අයකුට අයිති බැව් පෙනී ගියා. ඇය සොයා යාමට ඔවුන් උත්සාහ කරන විට ඔවුනට දැන ගන්නට ලැබුණේ ඇය අතුරුදහන් වී ඇති බව යි.

පොලිසිය විශ්වාස කළේ මෝරා දැඩි ලෙස බීමත් ව සිට වාහනය පදවා ගෙන එන විට මෙම අනතුර සිදුවන්නට ඇති බව යි. අනතුර සිදුවීමෙන් පසුව බොහෝ ගැහැට විඳීමට සිදුවන බැව් දන්නා නිසා එක්කෝ ඇය සිතාමතා වාහනය අතැර යන්නට ඇති බැව් හෝ, අවාසනාවන්ත ලෙස මාරක තුවාල ලබා සිටීම නිසා ඉන් ඉවත් වී අසල වූ වන ලැහැබට ගොස් මිය යන්නට ඇති බැව් ඔවුන්ගේ නිගමනය වුණා. මේ අනුව ඉදිරි පරීක්ෂණ සැලසුම් වූ අතර, සිද්ධිය වඩාත් අපූර්ව හා පැටළිලි සහගත එකක් බැව් ඔවුනට කෙමෙන් කෙමෙන් වැටහී යන්නට ගත්තේ ඒ ඔස්සේ ඉදිරියට යාමත් සමඟ යි.

විශ්වවිද්‍යාලයේ සාදයක් 

ට්‍රක් රථ රියැදුරු ට පෙර මෝරා අවසන් වතාවට සජීවී ලෙස දැක තිබුණේ ඇගේ පියා ෆ්‍රෙඩ් විසිනු යි. ඔවුන් දෙදෙනා අනතුර සිදුවූ දිනට පෙර දින සවස් යාමයෙහි එකට ආහාර ගෙන තිබූ අතර, එහිදී ඇය ඉතා සමාන්‍ය ලෙස හැසිරී තිබුණා. අනතුරු ව ඇය කාරය පදවා ගෙන විශ්වවිද්‍යාලයේ සාදයක් වෙත ගොස් තිබුණා. එය නිමවී, පාන්දර 2.30 ට පමණ නැවත පැමිණීමේදී ඇය අතින් රථය අනතුරට ලක් වී තිබූ අතර, සිය පියා ඇමතූ ඇය ඒ පිළිබඳ පවසා තිබෙනවා.

මෙහිදී ඔහු පවසා ඇත්තේ කලබල නොවී සිටින ලෙස යි. එමෙන් ම පසුදින ඒ පිළිබඳ ව අදාළ බලධාරීන් දැනුම්වත් කරන ලෙස ඔහු ඇයට යෝජනා කරනවා, ඒ එම අනතුර සුළු අනතුරක් බැව් ඇය ම පැවසූ නිසා යි. ඉන් අනතුරු ව ඇය නිවසට පැමිණ තිබූ අතර, සිදු වී ඇති අනතුර ඇත්තෙන් ම ඉතා සුළු එකක් බැව් ඔහු දැක තිබෙනවා. එහිදී ඇය ඉතා සාමාන්‍ය ලෙස හැසිරී තිබුණා. කෙසේ නමුත් එදින සවස් යාමයෙහි ඇය අතුරුදහන්ව තිබුණා. ඒ නැවත ඇය අනතුරට ලක් වීමත් සමඟ යි.

 මෝරා සිය පියා සමඟ – wcvb.com

 

පැටළිලි සහගත අවසානයක්

2004 වසරේ පෙබරවාරි මස 9 වන දින, එනම් ඇගේ අතුරුදහන් වීම සිදු වූ දිනයෙහි උදෑසන ම සිය ආචාර්යවරුන් ඇමතූ ඇය ‘සතියකට’ නිවාඩු ලබා ගෙන තිබුණේ පවුලේ මරණයක් සිදු වූ බැව් කියමිනු යි. අනතුරු ව කාටත් හොරා සිය අඩුම කුඩුම පාර්සල් කරගෙන තිබූ ඇය, ඒවාද කාරයේ බහා ගෙන ඒ.ටී.එම් යන්ත්‍රයක් වෙත ගොස් ඩොලර් 280 ක් ද ලබා ගෙන තිබුණා. ඉන් අනතුරුව ප්‍රදේශයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත ගිය ඇය, කාරයෙහි වූ අනතුර පිළිබඳව ද රපෝර්තු කර තිබුණා.

ඒ එන ගමනේ දී මත්පැන් අලෙවිසලක් වෙත ඇය ගොස් තිබූ අතර, මත් පැන් විශාල ප්‍රමාණයක් මිලදී ගෙන තිබුණා. මෙය ඇය විෂයෙහි යම් අසාමාන්‍ය තත්ත්වයක් බැව් සමීපතමයන් පැවසුවා. ඉන් අනතුරුව ඇය සවස 4.37 ට තමන්ගේ ම දුරකථනයට වොයිස්මේල් පණිවිඩයක් තබා තිබුණා. එහි අන්තර්ගතයේ ගත යුතු තරම් දෙයක් තිබුණේ නැහැ. ඉන් අනතුරු ව ඇය දැක තිබුණේ පෙර කී ට්‍රක් රථ රියැදුරා පමණ යි.

මෝරා මරේට සිදු වූයේ කුමක්ද?

මෝරා මරේ ගේ කාරයේ තිබී වර්මවුන්ට්, බර්ලින්ටන්හි කොන්ඩෝ කොම්ප්ලෙක්ස් නම් ගොඩනැඟිලි සංකීර්ණයක් වෙත යාම සඳහා වූ මාර්ග සිතියම් හමුවුණා. ඇගේ දුරකථන වාර්තා අනුව එහි අයිතිකරුවකුට ඇය දුරකථන ඇමතුමක් පවා ලබා ගෙන තිබුණා. එමෙන්ම අස් කළ ඇගේ කාමරයේ කුණු රොඩු අතර තිබී ඇය හා පෙම්වතා අතර වූ විරසකයන් පිළිබඳ දැක්වෙන සටහනක් ද හමුවුණා. මේ අනුව ඇය සොයා ගැනීමේ ආසන්නයට ම පොලිසිය පැමිණ ඇති බැව් ඔවුන් සිතුවා. කෙසේ නමුත් එය එසේ සිදුවූයේ නැහැ. හැකි සෑම තැනක ම පරීක්ෂා කළ ද, ඒ කිසිදු තැනක මෝරා මරේ සිටියේ නැහැ. ඇය පිළිබඳ ඉන් එහා හෝඩුවාවක් හෝ හමු වූයේ ද නැහැ. ඉහත සිද්ධියෙන් වසර 18 ක් ගත වී තිබුණ ද අදටත් ඇයට සිදුවූයේ කුමක්දැයි නිශ්චිත ව අනුමාන කරන්නට කිසිවකුටත් නොහැකි වී තිබෙනවා.

 කවරයේ ඡායාරූපය - මෝරා මරේ නම් තරුණිය - mauramurraymissing.org 

මූලාශ්‍ර:

Allthatsinteresting.com

Wmur.com

Mauramurraymissing.org

Related Articles