සූර්යයා සහ බුධ අතර පිහිටි අභිරහස් ග්‍රහලොව: වල්කන්

සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක අතුරින් සූර්යයාට වඩාත් සමීප ග්‍රහලෝකය බුධ බව බොහෝදෙනා දන්නා කාරණයක්.  අතීතයේ එක්තරා අවදියක දී බුධ සහ සූර්යයා අතර පිහිටි අභිරහස් ග්‍රහලොවක් ගැන විද්‍යාඥයන් සැක පළ කළා. ඔවුන් එය සොයාගැනීමට සැලකිය යුතු ප‍රිශ්‍රමයක් දැරූ අතර, එම අභිරහස් ග්‍රහලොවට “වල්කන්” යන නාමය දෙන්නට පවා උත්සුක වුණා.  “වල්කන්” යනු රෝම විශ්වාසයන්ට අනුව ගින්නට අධිපති දෙවියා යි. බුධ ග්‍රහයාටත් වඩා සූර්යයාට සමීපයෙන් පිහිටි ග්‍රහයෙකු ලෙස සැළකූ නිසා “වල්කන්” නාමය ඉතා සාධාරණ බව සිතිය හැකි යි. අතීතයේ එක්තරා අවධියක මෙවැනි ග්‍රහලෝකයක පැවැත්ම ගැන විද්‍යාඥයන් සැක පහළ කළ හේතු, පසුව එවැනි ග්‍රහලෝකයක් සැබෑ ලෙසම නොපවතින බව ඔප්පු වූ අන්දම ගැන මෙම ලිපියෙන් ඔබට දැනගත හැකි යි. 

සූර්යයාට ආසන්නතම ග්‍රහයා, බුධ ගැන දැනගන්න මෙම ලිපියත් කියවන්න.

බුධ ග්‍රහයාගේ අමුතු හැසිරීම

වර්ෂ 1859 දී කීර්තිධර ප්‍රංශ තාරකා විද්‍යාඥයෙකු වූ අර්බේන් ලි වෙරියර් යම් ගැටලුවකට මුහුණ දුන්නා. සර් අයිසැක් නිව්ටන්ගේ චලිත නියම භාවිත කරමින් බුධගේ ඉහළ ඉලිප්සාකාර බවකින් යුත් කක්ෂය පැහැදිලි කළ නොහැකි බව ඔහු වටහා ගත්තා. නිව්ටෝනියානු ගුරුත්වාකර්ෂණ නියම අනුව බුධ ග්‍රහයාගේ කක්ෂීය චලිතය තුළ සෑම වසර සියයකටම සැරයක් විකලා 574 ක ඇලයකින් යුතු චාපයක් (විකලාවක් අංශකයකින් 1/3600 සමාන වේ.) නිර්මාණය වෙනවා. මේ විකලා 574 අතුරින් 531 කටම හේතු වන්නේ පෘථිවිය, සිකුරු, ඇතුළු අනෙකුත් ග්‍රහලෝකවලින් බුධ ග්‍රහයා මතට එල්ල කරන ගුරුත්වාකර්ෂණ බලපෑම යි. එසේ නම් බුධගේ ඇලයට හේතු වෙන ඉතිරි විකලා 43 සඳහා හේතු වන්නේ කුමක් ද?

1846 දී අර්බේන් ලි වෙරියර් මෙවැනිම ගැටලුවකට යුරේනස් ග්‍රහයා හමුවේ මුහුණ දුන්නා. ඔහු බුධගේ චලිතය වටහා ගැනීමට යොදාගත් ක්‍රමවේදය යුරේනස් හමුවේත් භාවිත කළ අතර, එයින් ඔහු නෙප්චූන් ග්‍රහලොව අනාවරණය කරගැනීමට පවා දායක වුණා. යුරේනස්ගේ චලිතයට බලපෑම් කළ අභිරහස් අමුත්තෙකු ඔස්සේ ගෙනගිය පර්යේෂණ නිසා නෙප්චූන් කරළියට පැමිනුණා. එම පූරෝකථනය බුධ ග්‍රහයා සම්බන්ධයෙනුත් කළ හැකි බව ඔහු සිතුවා. ඒ අනුව බුධ ග්‍රහයාගේ චලනයට බලපෑම් කරන තවත් ග්‍රහයෙකු සිටිය හැකි බවත්, එම ග්‍රහලොව බුධ සහ සූර්යයා අතර ඇතැයි අනුමාන කළ හැකි බවත්, පවසමින් “වල්කන්” ග්‍රහයා කරළියට පැමිණවීමට ඔහු කටයුතු කළා. පෙර කළ පුරෝකථනවල සාර්ථකභාවය නිසා අනෙකුත් විද්‍යාඥයන් ඔහුගේ මතය විශ්වාස කිරීමට පෙලැඹුණා. අවසානයේදී “වල්කන්” සොයා ගැනීමේ ප්‍රයත්නය විද්‍යාඥයන් ඇරඹුවා.

1846 සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහ පිහිටීමට “වල්කන්” ඇතුළත් කර ඇති අයුරු – smithsonianmag.com 

වල්කන් සොයා යෑම

රාත්‍රී අහසේ පියවි ඇසින් දැකිය හැකි ග්‍රහලෝක කිහිපයක් තිබෙනවා. සූර්යයාට ඉතාම ආසන්න ග්‍රහලෝකය ලෙස බුධ, පෘථිවියේ සිට නිරීක්ෂණය කිරීම ඉතා අපහසු යි. බුධ ග්‍රහයා ඉඳහිට ක්ෂිතියට ආසන්නයෙන් නිරීක්ෂණය කළ හැකි බව පැවසෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ බුධ සහ සූර්යයා අතර වෙනත් නොදන්නා ග්‍රහලෝකයක් තිබුණත්, පූර්ණ සූර්යග්‍රහණයක් හෝ සංක්‍රාන්තියකින් හැරෙන්න එම ග්‍රහයා දැකිය නොහැකි බව එකල විද්‍යාඥයන් විශ්වාස කළා.

තාරකා විද්‍යාවට ඇලුම් කළ තරුණ වෛද්‍යවරයෙකු වූ එඩ්මන්ඩ් ලෙස්කාබෝල්ට්, තම විනෝදාංශය සාක්ෂාත් කරගත හැකි කුඩා නිරීක්ෂණාගාරයක් පවත්වා ගෙන ගියා. 1859 දී, එනම්, අර්බේන් ලෙ වෙරියර් විද්‍යාඥයා වල්කන් ග්‍රහලොව ගැන සිය අදහස් ප්‍රකාශ කළ අවුරුද්දේම කිසියම් අමුතු යමක් එඩ්මන්ඩ්ට නිරීක්ෂණය කිරීමට ලැබුණා. ඔහු තම දුරේක්ෂය සූර්යයා දෙසට එල්ල කළ විට සූර්ය මුහුණතෙහි කිසියම් වටකුරු වස්තුවක් දුටුවා. බැලූ බැල්මටම එය සූර්යයා හරහා එක් කොනක සිට අනෙක් කොනට තරණය කරමින් තිබුණා. ඔහු තම නිරීක්ෂණ ගැන දිගින් දිගටම සටහන් තබන්නත් අමතක කළේ නැහැ.

සූර්යයාට ඉතා සමීපයෙන් පිහිටන නිසා වල්කන් දැකිය හැකි හොඳම ක්‍රමය සූර්යග්‍රහණයක් අතරතුර බව ඇතැමුන් විශ්වාස කළා -forbes.com

 එඩ්මන්ඩ් ලෙස්කාබෝල්ට් තමන් දුටුවේ කුමක්ද යන්න වග ගැන අවබෝධයකින් නොසිටි අතර, බුධ ග්‍රහයාගේ ගැටලු සහගත චලිතය ගැන අර්බේන් ලෙ වෙරියර් විද්‍යාඥයා කරමින් සිටි පර්යේෂණ ගැනත් ඔහු දැනගෙන සිටියේ නැහැ. මේ නිරීක්ෂණය දැන්විය යුතු සුදුසුම පුද්ගලයා අර්බේන් ලෙ වෙරියර් බව තේරුම් ගත් එඩ්මන්ඩ්, අර්බේන් ලෙ වැරියර්ට ලිපියක් යැව්වා. අර්බේන් ලෙ වැරියර් නව අවුරුදු උදාව වෙනුවෙන් සංවිධානය කළ උත්සවයකට සහභාගී වෙන අතරතුරේදී එඩ්මන්ඩ්ගේ ලියමන ඔහු අතට පත් වෙනවා. පසුව ඔහු එඩ්මන්ඩ් ලෙස්කාර්බෝල්ට් හමුවී එඩ්මන්ඩ්ගේ නිරීක්ෂණ ගැන විමසීමක් කළා. තරුණ වෛද්‍යවරයා දුටු දර්ශනය අනුව සැබැවින්ම මේ තමා සැක කරන ග්‍රහයාගේ සංක්‍රාන්තියක් බව අර්බේන් ලෙ වැරියර්ට ඒත්තු ගැන්වුණා.

වල්කන් ග්‍රහයා සෞරග්‍රහ මණ්ඩලය වෙත ගෙන ඒමට දායක වූ අර්බේන් ලෙ වෙරියර් – cihi.org

වල්කන් ග්‍රහයාගේ පැවැත්ම ගැන විද්‍යාඥයන් අදහස් ප්‍රකාශ කළ පසු ඇතැම් මිනිසුන් වල්කන් ග්‍රහයා සියැසින් දුටු බවත් සඳහන් වෙනවා. විශේෂයෙන්ම වල්කන්ගේ සම්ප්‍රාප්තියෙන් පසුව ඇතිවූ සූර්යග්‍රහණවලදී, සූර්යයා මත ආලෝක පැල්ලම් දර්ශනය වූ විට මිනිසුන් එය බුධත්, සූර්යයාත් අතර පිහිටි ග්‍රහයා බවට විශ්වාස කිරීමට පෙලඹුණා. එය වල්කන්ගේ සංක්‍රාන්තිය ලෙසත් ඇතැමුන් හැඳින්වූවා.

අයින්ස්ටයින් හමුවේ වල්කන් හිතළුවක් වෙයි

ඇල්බට් අයින්ස්ටයින් කියන්නේ ශත වර්ෂ ගණනාවක් විද්‍යාව තුළ විශ්වාස කළ ඇතැම් දැනුම් පද්ධතිවල විශාල වෙනසක් කළ තැනැත්තෙක්. ඒ වෙනස හමුවේ වල්කන් ග්‍රහයාටත් ගැලවීමක් තිබුණේ නැහැ. අයින්ස්ටයින් සාපේෂතාවාදය ඉදිරිපත් කරන තුරුම වල්කන් ග්‍රහයා සත්‍ය වශයෙන්ම පවතින්නක් බව විද්‍යාඥයන් පවතින දත්ත මත විශ්වාස කළා. ඒත් ඔවුන්ට කවරදාකවත් වල්කන් නමැති ග්‍රහයෙන් පවතින බවට සහතික විය හැකි සාක්ෂියක් ලැබුණේ නැහැ.

අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය නිසා ස්කන්ධය, ශක්තිය, අවකාශය, සහ කාලය පිළිබඳ අපගේ අවබෝධය සෑහෙන දුරකට වෙනස් කිරීමට දායක වුණා. ඒ නිසාම ගුරුත්වය සම්බන්ධයෙනුත් නිව්ටන් සහ අයින්ස්ටයින් දැරුවේ එකිනෙකට වෙනස් මත දෙකක්. නිව්ටන්ට අනුව ඕනෑම වස්තුවක් මත වෙනත් වස්තුවක් විසින් ඇති කරන ගුරුත්වය, සාර්වත්‍ර ගුරුත්ව සමීකරණය මගින් ලබා ගන්න පුළුවන්. වස්තු දෙකක් අතර ඇතිවන ගුරුත්ව බලයෙන් නොනැවතුණු සර් අයිසැක් නිව්‍ටන්, තමාගේ සිද්ධාන්තයන් සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහ වස්තුවල ගමන් මාර්ගය පැහැදිලි කිරීමටත් යොදා ගත්තා. ග්‍රහලෝක ඉලිප්සීය කක්ෂවල ගමන් ගන්නා බව ජොහැනස් කේප්ලර් කළ ප්‍රකාශය, අයිසැක් නිව්ටන් තම සිද්ධාන්ත මඟින් ඔප්පු කර පෙන්වූවා. මෙම හේතු නිසා  නිව්ටෝනියානු දැනුම් පද්ධතියට ඉහළ පිළිගැනීමක් ලැබුණු අතර, ඒ දැනුම් පද්ධතිය ඔස්සේ පැහැදිලි කළ වල්කන් ග්‍රහයාටත් පිළිගැනීමක් ලැබුණා.

බුධ ග්‍රහයා පමණක් නොව එම ග්‍රහයාගේ කක්ෂයත් සෙමෙන් චලනය වන බව අයින්ස්ටයින් වටහා ගත්තා – medium.com

සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් සිය චලිතය දක්වන්නේ ස්ථිර ඉලිප්සාකාර කක්ෂයක බව අයින්ස්ටයින් එනතුරු ම විද්වතුන් පිළි ගත්තා. සැබවින්ම ග්‍රහලෝකය මෙන්ම, එම ග්‍රහලෝකය ගමන් කරන ඉලිප්සීය පථය ද සූර්යයා වටා ඉතා සෙමෙන් චලනය විය හැකි බව ඇල්බට් අයින්ස්ටයින් වටහා ගත්තා. සරලවම කිවහොත්, බුධ ග්‍රහලෝකය ගමන් කරන්නේ ඉලිප්සිය පථයක වුවත්, එම ඉලිප්සීය පථය ස්ථිර නැහැ. බුධ ග්‍රහයා එක් වටයක් ගමන් ගන්නා පථයට වඩා ඊළඟ වටයේ ගමන් ගන්නා පථය සුළු වෙනසක්, නැත්නම් සුළු අපගමනයක් පෙන්වන්න පුළුවන්. මේ නිසා ලිපියේ දක්වා ඇති පින්තූරය පරිදි ඉලිප්ස රාශියකින් යුතු, බැලූ බැල්මට විසිතුරු ජ්‍යාමිතික හැඩයක් ගන්නා ජාලාකාර ව්‍යුහයක් අන්දමට  බුධ ග්‍රහයාගේ චලිතය සිදු වෙනවා. මේ අනුව අනුයාත පථ දෙකක තිබෙන අපගමනය හේතුවෙන් උක්ත සඳහන් කළ විකලා 43 ක ඇලය බුධ ග්‍රහයාගේ සිදුවන බව ඇල්බට් අයින්ස්ටයින් තේරුම් ගත්තා.

අයින්ස්ටයින් හමුවේ වල්කන් අසත්‍යයක් බවට පත්වූ පසු බුධ ග්‍රහයා නැවතත් හිරුගේ සමීපතමයා වුණා – space.com

බුධ, නැවතත් සූර්යයාගේ සමීපතමයා වෙයි

ඉතිහාසයට ගැටලුවක් වූ බුධ ග්‍රහයාගේ චලිතය අයින්ස්ටයින් පැහැදිලි කළ අන්දම සැබැවින්ම මීට වඩා ගැඹුරට විග්‍රහ වන්නක්. ග්‍රහලෝකයක උපහේලිකය, කාල අවකාශයේ වක්‍ර වීම, ගුරුත්වය සම්බන්ධයෙන් අයින්ස්ටයින් දැරූ මතය, වැනි බොහෝමයක් කරුණු මේ පිටුපස තිබෙනවා. 

මෙතනදි අයිසැක් නිව්ටන්ට හෝ අර්බේන් ලි වෙරියර් විශාල වැරැද්දක් සිදු කළායැ යි කිව නොහැකි යි. ඔවුන් විශ්වාස කළේ බුධ ග්‍රහයා ‘වැනෙමින් සිදු කරන චලිතය’ කිසියම් ආගන්තුක වස්තුවක් නිසා සිදු වන බව යි. ඇල්බට් අයින්ස්ටයින් එම චලිතය බුධ ග්‍රහයා වෙතින්ම සිදු වන්නක් බව ඔප්පු කිරීමෙන් පසු වල්කන් ග්‍රහලෝකය ඉබේම අසත්‍යයක් බවට පත් වුණා.

කරුණු කාරණා එසේ වුවත්, අයින්ස්ටයින් හමුවේ වල්කන් ග්‍රහයා එකවරම පරාජය පිළිගත්තේ නැහැ. උදාහරණයක් ලෙස 1918 දී පූර්ණ සූර්යග්‍රහණයක් අතරතුර ඇතැම් අමෙරිකානුවන් අයින්ස්ටයින්ගේ න්‍යාය පරීක්ෂා කිරීමට උත්සහ කළා.  පෙර පුරුද්දට මෙන් ඔවුන් සූර්යග්‍රහණය අතරතුර වල්කන් ග්‍රහයා සෙවීමත් අතහැරියේ නැහැ. ඒ වනවිට රාජකීය තාරකා විද්‍යා සංගමයේ ලේකම් ධූරය හෙබවූ ශ්‍රීමත් ආතර් එඩිංටන්, ඔහුගේ සහායකයා සමඟ සූර්යග්‍රහණයේ නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් බටහිර අප්‍රිකා වෙරළට ඔබ්බෙන් පිහිටි ප්‍රින්සිප් දූපතට සංචාරය කළා. එහිදී ඔවුන් වල්කන් නමැති ග්‍රහලොවක් නොපවතින බවත්, අයින්ස්ටයින්ගේ න්‍යායන් මත පිහිටීම සාධාරණ බවත්, තේරුම් ගත්තා. යම් අරගලයකින් පසු “සූර්යයාගේ සමීපතමයා” ලෙස තමාගේ ස්ථානය යළි ලබා ගැනීමට බුධ ග්‍රහයාට ඒ අනුව හැකි වුණා.

කවරයේ ඡායාරූපය: වල්කන් ග්‍රහලොවේ උපකල්පිත ඡායාරූපයක් - www.forbes.com

මූලාශ්‍ර:

forbes.com

courses.lumenlearning.com

aether.lbl.gov 

Related Articles

Exit mobile version