
ඩිස්නි සමාගමේ සජීවීකරණ චිත්‍රපට ඔස්සේ දිග හැරෙන වෝල්ට් ඩිස්නිගේ සුරංගනා කතා ලෝකය, වයස් භේදයකින් තොර ව කවුරුත් රස විඳින බව පැවසීම අතිශයෝක්තියක් නොවෙයි. හිම කුමරිය, නිදි කුමරිය, සින්ඩරෙල්ලා, රපුන්සෙල් ඇතුළු කුමාරිකාවන් ඩිස්නි චිත්‍රපට නරඹන්නන්ට ආගන්තුක නොවෙනවා සේ ම ඩිස්නි සමාගමේ විසින් එළි දක්වන සජීවීකරණ චිත්‍රපට ආරම්භයේ දී දැක ගැනීමට ලැබෙන රජ මැදුරක රුව රැගත් නිල ලාංඡනය ද අපිට කාටත් හුරු පුරුදු යි.

© Walt Disney Studios
නමුත් වෝල්ට් ඩිස්නි විසින් මේ ලාංඡනය නිර්මාණය කිරීම සඳහා පදනම් කර ඇත්තේ ජර්මනියේ පිහිටා ඇති පැරණි රජ මාලිගාවක් බව දන්නේ අතළොස්සක් දෙනා පමණ යි. මේ යුරෝපයේ පිහිටා ඇති ඉහළ ම සංචාරක ආකර්ෂණයක් හිමි සැබෑ ලෝකයේ සුරංගනා කතා මන්දිරය ගැන තොරතුරු බිඳක්.
තරුණ රජුගෙන් අලුත් අදහසක්
බවේරියා නම් ජර්මානු ප්‍රාන්තයේ නිරිත දෙසට වන්නට ෆුසෙන් නම් නගරය ආසන්නයේ කඳු ගැටයක් මත පිහිටා ඇති ‘නෝෂ්වෙන්ස්ටයින් මාලිගාව’ ගොඩ නංවා ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1864 – 1886 අතර කාලයේ දී එවකට ස්වාධීන රාජ්‍යයක් වූ බවේරියාවේ නාමමාත්‍රි පාලකයා වූ දෙවැනි ලුඩ්විග් රජුගේ අදහසකට අනුව යි. ප්‍රංශ-ප්‍රශියන් සංග්‍රාමයෙන් අනතුරු ව ප්‍රශියානු රජු ඉදිරියේ සිය රාජකීය බලතල අත් හරින මෙන් දෙවැනි ලුඩ්විග් රජුට බල කර ඇති අතර එම සිදුවීමෙන් පසු ව ඔහු සමාජ ඇසුරට අකැමති සිහින ලෝකයක ජීවත්වන්නෙකු බවට පත් වූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා.

(© Schloss Neuschwanstein)
දෙවැනි ලුඩ්විග් රජු
තමන් ළමා විය ගත කළ සුවපහසු මන්දිරයට සමාන සොඳුරු මාලිගාවක් ගොඩ නැගීමේ අදහසට ඔහුගේ මනසට නැගී ඇත්තේ මේ කාලයේ දී යි. ඒ අනුව පැරණි මාලිගාවේ නටඹුන් මත යළිත් වාරයක් තේජවන්ත රජ මැදුරක් ඉදි කිරීමේ සඳහා තමන් තුළ පවතින ආශාව, දෙවැනි ලුඩ්විග් රජු ඔහුගේ සමීප මිතුරෙකු වූ රිචඩ් වේගනර් වෙත හෙළිදරව් කර තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ 1866 දී එඩ්වඩ් රීඩල් නම් ගෘහ නිර්මාණ ශිල්පියාට “ජර්මානු නයිට්වරයෙකුගේ මාලිගාවක් මෙන් දිස් වන, ටිරොල් කඳුවැටියේ සහ ඈතට විහිදී යන හරිත පැහැ තැනිතලාවේ මනරම් දර්ශනය දැක ගැනීමට හැකි අමුත්තන්ගේ කාමර සහිත, මියුරු ගී රාවයන් පිරි අලංකාර උත්සව ශාලා සහ නැවුම් සුළඟේ පහස විඳිය හැකි සුවිසල් අංගණයක් සහිත සොඳුරු මාලිගාවක්” ගොඩ නැංවීමේ වගකීම භාර දෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස යි.

© Andrew Czap
තවමත් ඉදි වෙමින් පවතින පැරණි රජ මැදුර
නමුත් රජු සිතූ තරම් ඉක්මනින් මාලිගාව නිර්මාණය කිරීමට අවස්ථාවක් නොලද අතර ‘නෝෂ්වෙන්ස්ටයින් මාලිගාව’ ඉදි කිරීම සඳහා මුල් ගල තබා ඇති එයින් තෙවසරකට පසු ව ක්‍රිස්තු වර්ෂ 1869 දී යි. මාලිගාවේ අත්තිවාරම සඳහා සිමෙන්ති යොදාගෙන ඇති අතර නවතම තාක්ෂණික ක්‍රම යොදා ගනිමින් නිර්මාණය කර ඇති එහි බිත්ති ගොඩ නැංවීම සඳහා ගඩොල් සහ ළා පැහැ හිරිගල් යොදාගෙන තිබෙනවා. සිව් වසරකට පසු ව මාලිගාවේ වාහල්කඩ ගොඩනැගිල්ල නිර්මාණය කිරීම අවසන් කර ඇති අතර මැදුරේ ඉතුරු කොටස් නිම වන තෙක් දෙවැනි ලුඩ්විග් රජු වාසය කර ඇත්තේ එහි යි.

(© Ray Anderson)
සිහසුනක් නොමැති රාජාසන කුටිය
නමුත් ක්‍රිස්තු වර්ෂ 1886 දී රජතුමා අභිරහස් ලෙස මරණයට පත් වන තෙක් ම මාලිගාවේ වැඩ කටයුතු සිදු වෙමින් පැවතුණා. සැප පහසුකම් පිරි මනරම් මන්දිරයක ජීවත් වීමට කොතරම් ආශා කළ ද දෙවැනි ලුඩ්විග් රජුට ‘නෝෂ්වෙන්ස්ටයින් මාලිගාව’ දැක ගැනීමට ලැබුණේ ඝෝෂාකාරී ඉදි කිරීම් බිමක් ලෙස පමණ යි. ඔහුගේ මරණයෙන් පසු ව මාලිගාව මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලද අතර ක්‍රිස්තු වර්ෂ 1890 දී සැලකිය යුතු මට්ටමකට මන්දිරයේ වැඩ කටයුතු අවසන් වුණා. නමුත් දෙවැනි ලුඩ්විග් රජු බලාපොරොත්තු වූ මට්ටමට තවමත් එහි වැඩ කටයුතු අවසන් කර නැහැ. එයට හේතුව සොඳුරු සිතුවමින් සහ රන් පත්‍රයන් යොදා ගනිමින් සරසා ඇති රාජාසන කුටිය නිර්මාණය කර අවසන් වුව ද කිසිම දිනෙක ‘නෝෂ්වෙන්ස්ටයින් මාලිගාව’ තුළට සිහසුනක් රැගෙන ඒමට අවස්ථාවක් හිමි නොවීම යි.

(© Wikimedia Commons)
ක්‍රිස්තු වර්ෂ 1890 දී මාලිගාව පැවති ආකාරය දැක්වෙන මනඃකල්පිත සිතුවමක්
නිදි කුමරියගේ මාලිගාව
වසරකට සංචාරකයින් මිලියන 1.4 ක් පමණ පැමිණෙන ‘නෝෂ්වෙන්ස්ටයින් මාලිගාව’ වෝල්ට් ඩිස්නිගේ ද අවධානය යොමු වී ඇති අතර එය නැරඹීමට පැමිණි ඔහු 1950 වර්ෂයේ දී එළි දක්වන ලද ‘සින්ඩරෙල්ලා’ චිත්‍රපටයේ දැක්වෙන මාලිගාව නිර්මාණය කිරීම සඳහා ‘නෝෂ්වෙන්ස්ටයින් මාලිගාව’ උපයෝගී කර ගත් බව සඳහන්. පසු ව 1959 වර්ෂයේ දී තිරගත කරන ලද ‘නිදි කුමරිය’ චිත්‍රපටයේ දී එහි දැක් වූ මාලිගාව සහ ‘නෝෂ්වෙන්ස්ටයින් මාලිගාව’ අතර පැවති සමානත්වය කැපී පෙනුනා. මේ නිසා ‘නෝෂ්වෙන්ස්ටයින් මාලිගාව’ බලා ඇදී එන සංචාරකයින් සංඛ්‍යාව බලා සිටිය දී ම ඉහළ ගියේ සුරංගනා කතා ලොවට පිවිසීමට ඇති ආසන්නත ම අවස්ථාව එය වීම හේතුවෙන්.

© WallpaperStudio
1995 වර්ෂයේ දී ඩිස්නි සමාගමේ නිල ලාංඡනය බවට පත් වුණේ ‘නෝෂ්වෙන්ස්ටයින් මාලිගාව’ මතින් බිහි වූ නිදි කුමරියගේ මාලිගාව යි. ‘සුරංගනා කතා රජුගේ මාලිගාව’ ලෙස සලකනු ලබන ‘නෝෂ්වෙන්ස්ටයින් මාලිගාව’ යුරෝපයේ ඇති මාලිගා අතරින් ජනප්‍රිය ම මාලිගාව ලෙස මෙන් ම වැඩි ම වාර ගණනක් ඡායාරූප ගත කරන ලද මාලිගාව ලෙස ද සැලකෙනවා.
කවරයේ පින්තූරය : © WallpaperStock