Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විශ්වාසභංගය, දෝෂාභියෝගය සහ ව්‍යවස්ථාදායකය විසුරුවීම

ශ්‍රී ලංකාවේ වත්මන් සමාජ, ආර්ථික – දේශපාලනික තත්ත්වය මත පීඩාවට පත් ජනතාව සාමකාමී අරගලයක නිරත වෙමින් සිටින මොහොතකයි අප දැන් සිටින්නේ. එවන් මොහොතක සබුද්ධිමත් ව ක්‍රියා කිරීම ජනතාව නියෝජනය කරන සියලු මාධ්‍යයන්ගේ යුතුකමක් යැයි Roar සිංහල අප විශ්වාස කරනවා.

එම නිසා මේ දිනවල නිතර අපට කනවැකෙන, සමාජ මාධ්‍ය ඔස්සේ ඇස ගැටෙන විශ්වාසභංගය, දෝෂාභියෝගය සහ ව්‍යවස්ථාදායකය විසුරුවා හැරීම යන මාතෘකා සම්බන්ධයෙන් මෙම ලිපිය ඔස්සේ ඔබ වෙත ගෙන එනවා. 

විශ්වාසභංගය

රටක පාර්ලිමේන්තුවක ප්‍රජාතාන්ත්‍රීය බව සංකේතවත් කෙරෙන යහපත් ලක්ෂණයක් තමයි විශ්වාසභංගය කියන්නෙ. ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම රජයක මෙන් ම අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ වගකීම යි. එහෙයින්, අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමුහික ව වගකියන්නට වගේ ම පාර්ලිමේන්තුවට පිළිතුරු දීමටත් සැම විට ම බැඳී සිටිනවා.

ඒ හේතුවෙන් ජනපති, අගමැති, කැබිනට් මණ්ඩලය හෝ රජය කිසියම් හෝ අයුරකින් මෙකී වගකීම පැහැර හැරි අවස්ථාවක රටේ මහජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට/ මන්ත්‍රීවරියන්ටවිශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන් . කතානායකවරයා හෝ නියෝජ්‍ය කතානායකවරයා සම්බන්ධයෙනුත් ඔවුන්ගේ ක්‍රියා පටිපාටිය, තීරණ සම්බන්ධයෙන් වගකීම් පැහැර හැරී බවට සාධාරණ සැකයක් පවතින වටපිටාවක දී විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට හැකියාව පවතිනවා. 

Which was the first country to witness a no confidence motion? Check
වැඩි පිරිසක් නම සමඟ අත්සන් තැබූ විශ්වාසභංගය කතානායකවරයාට ඉදිරිපත් කිරීම – english.newstrack.com 

විශ්වාසභංගය ක්‍රියාත්මක වන්නේ කොහොමද?

විශ්වාසභංගය ක්‍රියාත්මක වීම පිළිබඳ ව පැහැදිලි නෛතික පටිපාටියක් නොමැති අතර එය සාම්ප්‍රදායික ක්‍රියාදාමයක් හැටියට යි සැලකෙන්නේ. එහි දී සාමාන්‍යයෙන් සිදුකෙරෙන්නේ අදාළ පාර්ශවයන්ට එරෙහි ව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්/ මන්ත්‍රීවරියන් වැඩි පිරිසක් නම සමඟ අත්සන් තැබූ විශ්වාසභංගය කතානායකවරයාට ඉදිරිපත් කිරීම යි. අනතුරු ව කතානායකවරයා එය පාර්ලිමේන්තු මහලේකම්වරයාට ඉදිරිපත් කරනවා. මහලේකම්වරයා මෙය ස්ථාවර නියෝග හා එකඟ වන්නේදැ යි බලා මෙය ඉදිරියට ගෙන යා හැකි ද, නොහැකි ද යන්න කතානායකවරයාට උපදෙස් ලබාදීම යි ඉන්පසු සිදුවන්නේ.

විශ්වාසභංගය එසේ ඉදිරියට ගෙන යා හැකි නම් කතානායකවරයා මෙය න්‍යාය පත්‍රයට ඇතුළත් කරනවා. න්‍යාය පත්‍රයට ඇතුළත් කළ අවස්ථාවක වැඩ කරන දින 5කට පසු ව මෙය විවාදයට ගැනෙනවා. විවාදයට ගැනීමට නම් කතානායකවරයා මුලසුන් ගත් නියෝජ්‍ය කතානායකවරයා, මහලේකම්වරයා සහ පක්ෂ විපක්ෂ සියලු නායකයන් රැස් වන පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ දී ඊට දින නියම විය යුතු යි. එසේ දින නියම නොවී, විවාදයට නොගතහොත් විශ්වාසභංගය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ දිගින් දිගට ම රැඳී සිට අවසන් සැසි වාරයෙන් පසු නිෂ්ක්‍රීය වීමටත් පුළුවන්. විශ්වාසභංගයට භාජනය වන පාර්ශවය ඉල්ලා අස් වූ විටෙක දීත් විශ්වාසභංගය අහෝසි වෙනවා.

විශ්වාසභංගයක විවිධ පැතිකඩ

එක් එක් රටවල පවතින දේශපාලන පසුබිම මත ව්‍යවස්ථාදායකයට ආණ්ඩුවේ ප්‍රමුඛයා වාරණය කිරීමට තිබෙන බලය විවිධ ගතිකයන් ඔස්සේ යොමුවන්නට පුළුවන්. එවන් වූ ව්‍යවස්ථා කිහිපයක ම අගමැති කෙරෙහි වූ ව්‍යවස්ථාදායකයේ විශ්වාසය පාලනය කිරීමේ විවිධ ක්‍රමවේද හඳුන්වා දී තිබෙනවා. 

රුසියාවේ එක් ව්‍යවස්ථාවකට අනුව රුසියානු ජනපතිට පාර්ලිමේන්තුවේ සම්මත එවන් විශ්වාසභංග යෝජනාවක් පවා එම මොහොතේ දී ම  ප්‍රතික්ෂේප කිරීමට ඇති බලය මේ පිළිබඳ විමසීමේ දී කැපී පෙනෙන්නක්. තෙමසකට පසුව නැවතත් එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට හැකියාව පවතිනවා. ඉන් ඔබ්බට ගියහොත්, නියමිත කාල සීමාවකට පසු අගමැති ඉවත් කිරීම ඉඩ ලැබෙන තවත් විකල්පයක් ලෙස ව්‍යවස්ථා සම්බන්ධ තවත් තොරතුරු මුලාශ්‍රවල දී අපට හමුවෙනවා. ඒ රටවල ඇමති මණ්ඩලයෙන් නියමිත පිරිසක් එක් වරෙක දී ඉවත් කිරීමට ද ඇතැම් ව්‍යවස්ථාවලට අනුව හැකි බව ද ඇතැම් මුලාශ්‍රවල සඳහන්. 

ජර්මනිය, හංගේරියාව, ලිසෝතෝ, පෝලන්තය සහ ස්පාඤ්ඤය වැනි රටවල පැවති සමහර ව්‍යවස්ථාවලින් මීට වඩා වෙනස් පියවරක් පෙරට තබා තිබෙනවා. එනම්, අගමැති ඉවත් කිරීමේ යෝජනාව සමග නව අග්‍රාමාත්‍යවරයකු යෝජනා සම්මත කර ගැනීම යි. ද්විත්ව විධායක ක්‍රමයක දී ව්‍යවස්ථාවේ විශ්වාසභංග පැතිකඩ මීට තරමක් වෙනස් මුහුණුවරක් ගන්නවා. පෝලන්තය ඊට උදාහරණ ලෙස ගතහොත්; එරට ද්විත්ව විධායක ක්‍රමයක් පවතිද්දී විශ්වාසභංග යෝජනාවක ප්‍රමුඛ ප්‍රතිපල දෙකක් ඇති විය හැකි යි. ඉන් එක් අවස්ථාවක දී අගමැති හෝ අමාත්‍ය මණ්ඩලය මුලික ව පත් කිරීමට ජනපතිවරයාට අවස්ථානුකූල ඉඩක් පෑදෙනවා. එහි දෙවැනි ප්‍රතිපලය තමයි; විශ්වාසභංග යෝජනාවෙන් පසු නව ආණ්ඩුවක් පිහිටුවීමේ ක්‍රියාවලියෙන් ජනාධිපතිවරයා වෙන් කොට, කොන් කර තැබීම.

How does impeachment work? - Alex Gendler | TED-Ed
තවත් උපක්‍රමයක් තමයි දෝෂාභියෝගය කියන්නෙ – ed.ted.com 

දෝෂාභියෝගය                

පවතින පාලන ව්‍යුහයේ යම් අර්බුදකාරී බවක් නිරීක්ෂිත අවස්ථාවක විධායකය යම් වරදක් කළහොත් එය පාලනයකට නතු කර ගැනීමට යොදා ගැනෙන තවත් උපක්‍රමයක් තමයි දෝෂාභියෝගය කියන්නෙ. අප ඉහත දී සඳහන් කළ දේශපාලන උපාය මාර්ගයක් වන විශ්වාසභංග යෝජනාව හා සසඳන කල්හි මෙහි විශේෂත්වය වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය වෙත එල්ල කරන දෝෂාභියෝගය තුළින් විධායකයේ ප්‍රධානියා (ජනපති/ අගමැති) ඉවත් කෙරෙන්නේ අදාළ පාර්ශවය සිදු කළ නීතිමය වැරදි, දූෂණ වංචා පදනම් කොට ගනිමින් වීම යි.

 අධිකරණයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් ද මෙපරිද්දෙන් ම දෝෂාභියෝග ගෙන ආ හැකි යි. විධායකයේ මෙන් ම අධිකරණයේ අනිසි බලපෑම්වලට එරෙහි ව ද නැගී සිටිය හැකි ක්‍රියාමාර්ගයක් ලෙස දෝෂාභියෝගය හැඳින්වීමට ද අපට පුළුවන්. 

විධායකයේ ප්‍රධානියා ඉවත් කිරීම ආයතනික සැලසුමක් නොවන අවස්ථාවක, එවන් ජනාධිපති ක්‍රමයන්හි දී ක්‍රියාවට නංවන්නේ අප මේ කතා කරන දෝෂාභියෝගය යි. දෝෂාභියෝග ක්‍රියාමාර්ගයකට මුල පුරන වැරදි කිහිපයක් ගැන අපි දැන් අවධානය යොමු කරමු. ලෝකයේ පවතින ඇතැම් ව්‍යවස්ථාවන්ට අනුව දෝෂාභියෝගයක් ගෙන ආ හැක්කේ දේශද්‍රෝහී වීම වැනි බරපතල වරදකාරී අවස්ථාවක පමණ යි.

තවත් බොහෝ රටවල සිය ව්‍යවස්ථාවල දී එය අදාළ විධායක ප්‍රධානියා තම ධූර කාලය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම, ජනාධිපති ධූරයට නොගැළපෙන පරිදි හැසිරීම වැනි අවස්ථා වුව ද දෝෂාභියෝගයකට යාමට ප්‍රමාණවත් බව විග්‍රහ කරමින් එය ඉතා පුළුල් ආස්ථානයකට ගෙනැවිත් තිබෙනවා. විශේෂයෙන් ම සමූහාණ්ඩු රාජ්‍යයන්ගේ මේ තත්ත්වය දක්නට ලැබෙනවා.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව –  ISHARA S. KODIKARA/AFP via Getty Images 

 

ව්‍යවස්ථාදායකය විසුරුවා හැරීම

නුතන ආණ්ඩුක්‍රමයන්ගේ දේශපාලන යාන්ත්‍රණය තුළ ප්‍රමුඛස්ථානයක් ව්‍යවස්ථාදායකයට හිමි වෙනවා. මහජන නියෝජිතයන්ගේ සංකේතය විදියටත් ව්‍යවස්ථාදායකය සැලකෙනවා. අමෙරිකා එක්සත් ජනපදයේ දී ‘කොංග්‍රසය’ නමිනුත්, ජපානය ‘ඩයට් සභාව’ නමිනුත්, එක්සත් රාජධානිය ‘පාර්ලිමේන්තුව’ නමිනුත්, ස්විට්සර්ලන්තය ‘සන්ධීය සභාව’ නමිනුත් වගේ ම ශ්‍රී ලංකාවේ පළමු ජනරජ ව්‍යවස්ථාවේ ‘ජාතික රාජ්‍ය සභාව’ ලෙසත් විවිධ අන්වර්ථ නාමයන්ගෙන් හැඳින්වුණේ මෙකී ‘ව්‍යවස්ථාදායකය’ ම යි. මෙය පෙර සඳහන් කළ පරිදි මහජන නියෝජිතයන්ගෙන් සැදුම්ලත් ආයතනයක් නිසා, ව්‍යවස්ථාදායකය සැම විට ම ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී මූණත්තහඩුව යනුවෙන් සැලකෙනවා.

මහජන නියෝජිත ආයතනයක් වශයෙන් ක්‍රියාකිරීම හැරුණා ම තවත් ප්‍රමුඛ ලක්ෂණ කිහිපයක් ව්‍යවස්ථාදායකය තුළ අන්තර්ගත වෙනවා. ඒ අතර; නීති සම්පාදනය, විධායකය පාලනය කිරීම, මූල්‍ය පාලනය, ආණ්ඩුව හා ජනතාව අතර අන්තර් සම්බන්ධතාව ගොඩනැඟීම යනාදිය දැක්විය හැකි යි. මෙහි සුවිශේෂිත ම ලක්ෂණය වන්නේ; එක් පසෙකින් පාලන තන්ත්‍රය පවත්වා ගෙන යාමට සහාය ලබාදෙන අතර ම, තවත් පසෙකින් ජනතාවගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වන ලෙස ආණ්ඩුවට බලපෑම් කිරීම යි. මෙම ලක්ෂණ අතුරින් අද අපේ මාතෘකාවේ කශේරුකාව වන්නේ මෙහි ‘විධායකය පාලනය කිරීම’ යන ලක්ෂණය යි. 

විසුරුවා හැරීමේ බලය 

විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ සම්බන්ධතාව තීරණය කිරීමේ දී, ඡන්දයකින් තෝරා පත් කරගත් සභාවක් විසුරුවා හැරීමට ජනාධිපතිවරයකුට ඇති බලය එක්තරා ආකාරයකට බැලුවහොත් බරපතල ගැටලුවක්. එම බලය හේතුවෙන් මතු වන්නේ ව්‍යවස්ථාදායකයට මැතිවරණයෙන් ලැබී ඇති කාල සීමාව කෙටි වීමේ අර්බුදය යි. එකී විසුරුවා හැරීමේ බලය හසුරුවා ගැනීමට සැලසුම් කර ඇති ආකාරය අනුව බලයේ සමබරතාව කෙරෙහි දැවැන්ත බලපෑමක් එල්ල කරනවා. 

ද්විත්ව විධායකය 

ද්විත්ව විධායකය සැලසුම් කිරීමේ දී අර්ථාන්විත සීමා නීර්ණ ඉදිරිපත් කර නොතිබුණහොත් තත්ත්වය මීටත් වඩා බරපතල යි. එවන් වටපිටාවක දී ජනපතිවරයාට හැකියාව තිබෙනවා ව්‍යවස්ථාදායකයේ කැමැත්තක් නොමැති ව පුද්ගලික අභිමතය මත වුව නව ආණ්ඩුවක් පිහිටුවන්නට. ඒ විතරක් නෙවෙයි, ව්‍යවස්ථාදායකය විශ්වාසභංගයක් ගෙන එන මොහොතක් නිර්මාණය වුවහොත් සභාව විසුරුවා හරින බවට ජනපතිවරයා තර්ජනාත්මක බලපෑමක් කරන්නටත් ඉඩ තිබෙනවා.

ව්‍යවස්ථාදායකය ආණ්ඩුවේ නායකත්වය තෝරා පත් කර ගැනීමේ ආණ්ඩුක්‍රමයන් හි දී විසුරුවා හැරීමේ බලය, පක්ෂ ඡන්ද වැඩිපුර ලබා ගෙන තනතුරට නැවත පත්වීමේ දේශපාලන උපාය මාර්ගයක් ලෙස භාවිත කරන්නත් බැරි නැහැ. ජපානයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය, අගමැති මැදිහත් වීමෙන් ඕනෑම මොහොතක ව්‍යවස්ථාදායකය විසුරුවා හැරිය හැකි වීම මීට උදාහරණ ලෙස ගත හැකි යි.

Last Day to Register to Vote!
ජනමත විචාරණය – kittermanwoods.com

එසේ කළ හැක්කේ වසර හතරහමාරකට පසුව වන අතර එසේ විසුරුවා හැර තිබුණේ වසර හැටකට පසු එකම එක වරෙක දී පමණ යි. අනෙක් සියලු ම ව්‍යවස්ථාදායකයන් නියමිත කාල සීමාවට පෙර විසුරුවා හැර ඇති බවට මුලාශ්‍රවල සඳහන් වෙනවා. මේ වන විට බොහෝ රටවල ව්‍යවස්ථාදායකය විසිරවීමේ බලය ලබා දී ඇත්තේ යම් යම් අතිරේක සීමාවන්ට යටත්ව බවත් කිව යුතු ම යි. ඒ අතර සමහර රටවල ව්‍යවස්ථාදායකය විසුරුවා හළ විට ජනාධිපතිවරණයක් ද පැවැත්විය යුතු අතර, තවත් රටවල ජනමත විචාරණයකින් අනුමත නොකළහොත් ජනපතිට තම විධායක බලය භාවිත කොට ව්‍යවස්ථාදායකය විසුරුවා හරින්නට කිසිසේත් ම නොහැකි යි.

කවරයේ ඡායාරූපය- ඉන්දීය ලෝක් සභා ගොඩනැඟිල්ල - www.thequint.com 

මූලාශ්‍ර:

විධායක අංශයේ නිර්මිතය - නීතිඥ එස්. ජී. පුංචිහේවා 

ව්‍යවස්ථාදායකයේ සැලැස්ම - නීතිඥ එස්. ජී. පුංචිහේවා

www.facebook.com/SriLankanParliament

myschool.lk 

Related Articles