සෝවියට් හමුදා අනුග්‍රහය යටතේ 1948 දී නිදහස් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කළ කොරියානු ප්‍රජාතාන්ත්‍රික මහජන ජනරජය හෙවත් උතුරු කොරියාව බොහෝ දෙනා හඳුනාගෙන ඇත්තේ කොමියුනිස්ට් රාජ්‍යයක් ලෙස යි. ඇත්තෙන් ම උතුරු කොරියාව මුල්කාලීන ව සෝවියට් කඳවුරේ ප්‍රබල සාමාජිකයෙකු වූ අතර මාක්ස්-ලෙනින්වාදය නිල වශයෙන් පිළිගත්තා.
නමුත් උතුරු කොරියාවේ පළමු නායකයා වූ කිම් ඉල්-සුංග් තමන්ගේ ම අභිලාශයන් තිබූ නායකයෙකු වුණා. ඔහුට අවශ්‍ය වූයේ තමන් විසින් ම දියුණු කරන ලද දේශපාලන දර්ශනයක් ගොඩනැංවීම සහ එය ප්‍රචලිත කිරීම යි. 1955 දී පළමුව හඳුන්වා දුන් මෙම දර්ශනය “ජුචේ” නමින් හඳුන්වනු ලැබුණා. මුල්කාලීන ව කිම් ඉල්-සුංග් එය හඳුන්වා දුන්නේ මාක්ස්-ලෙනින්වාදයේ ම දිගුවක් සහ උතුරු කොරියානු සමාජය වෙත මාක්ස්-ලෙනින්වාදය ආදේශ කිරීමේ ක්‍රමවේදයක් ලෙස යි.
පසුකාලීන ව ජුචේ දර්ශනය උතුරු කොරියාවේ දී නිර්මිත විශේෂිත දර්ශනයක් ලෙස දියුණු වූ අතර කෙමෙන් කෙමෙන් මාක්ස්-ලෙනින්වාදය පිළිබඳ අවධානය අඩු කෙරෙමින් එරට දේශපාලන දර්ශනය වැඩි වැඩියෙන් ජුචේ මත රඳවා තබනු ලැබුණා. 1990 දශකයේ දී ව්‍යවස්ථාමය වෙනස්කම් මඟින් උතුරු කොරියාව මාක්ස්වාදී රාජ්‍යයක් ලෙස නම් කිරීම අහෝසි කෙරුණා.
ජුචේ හි මූලික සංකල්ප
“ජාතික සහ ජාත්‍යන්තර චින්තනය උදෙසා කිම් ඉල්-සුංගේ ස්වීය (තමන් විසින් ම නිර්මාණය කළ), විශිෂ්ට, “විප්ලවවාදී දායකත්වය” යනුවෙන් උතුරු කොරියාව විසින් ජුචේ දර්ශනය හඳුන්වා දෙනු ලබනවා. ජුචේ හි ප්‍රධාන අරමුණ ලෙස හඳුන්වා දෙනු ලබන්නේ ස්වයං-විශ්වාසය මත පදනම් වී “චජූ” හෙවත් ස්වාධීනත්වය ළඟා කරගැනීම යි. ස්වාධීනත්වය කරා ගමන් කළ යුතු වූයේ “චරිප්” හෙවත් ස්වයං-ශක්තිය මඟින් ආර්ථික ස්වාධීනතාව ගොඩනගා ගැනීම සහ “චාවි” හෙවත් ස්වයං-ආරක්ෂාව මඟින් හමුදා ශක්තිය ගොඩනගා ගැනීම මඟින් බව යි ජුචේ දර්ශනය සඳහන් කළේ. චාවි යටතේ හමුදාවට ප්‍රමුඛත්වය ලබාදීමේ “සොන්ගුන්” ප්‍රතිපත්තිය ද ක්‍රියාවට නැගුණා.
මුල්කාලීන ව මාක්ස්වාදයෙහි සඳහන් අයුරින් නිර්ධන පන්තියට ප්‍රමුඛත්වය ලැබුණ ද, කල් යාමේ දී උතුරු කොරියාව සිය රාජ්‍යයේ ප්‍රමුඛත්වය ලබා දුන්නේ සොල්දාදුවාට යි. උතුරු කොරියාව සිය අධික ආරක්ෂක වියදම් සාධාරණීකරණය කරනු ලබන්නේ “චාවි” සහ “සොන් ගුන්” ප්‍රතිපත්ති මඟිනුයි.
ජුචේ සඳහා බලපෑ දර්ශනයන්
ජුචේ දර්ශනය නිර්මාණය වීම සඳහා මාක්ස්-ලෙනින්වාදය සහ විශේෂයෙන් ම ස්ටාලින්වාදයත්, මාඕවාදයත්, කොන්ෆියුසියානු දර්ශනය, සහ කොරියානු සම්ප්‍රදායයනුත් දායක වුණා. මධ්‍යගත ආර්ථික ක්‍රමයක්, කිම් පවුල කේන්ද්‍ර කරගත් පාලන ව්‍යුහයක්, සහ දැඩි මතධාරී දේශපාලන දර්ශනයක් උතුරු කොරියාවේ නිර්මාණය වූයේ මේ එක් එක් දර්ශනයන්ගෙන් තමන්ට අවශ්‍ය කොටස් උකහා ගැනීම හේතුවෙන්.
1945ට පෙර කොරියාවේ පැවතියේ වැඩවසම් සමාජයක්. 1910 සිට 1945 දක්වා එහි වූයේ ජපන් පාලනය යි. මෙම සමය තුළ සීමාසහිත කාර්මික දියුණුවක් සිදු ව තිබුණ ද 1948 වන විට ද එරට බහුතර ජනයා ගොවීන් වුණා. මාක්ස්වාදය විසින් සඳහන් කරන අයුරින් උතුරු කොරියානු සමාජය වැඩවසම් යුගයේ සිට ධනවාදී යුගයක් හරහා සමාජවාදය කරා ගමන් කිරීම අනවශ්‍ය බවත් ඍජුව ම සමාජවාදය කරා ගමන් කළ හැකි බවත් කිම් ඉල්-සුංග් කියා සිටියා. මේ අනුව ඔහු ලෙනින් විසින් සෝවියට් රුසියාවේ ක්‍රියාවට නඟන ලද නව ආර්ථික ප්‍රතිපත්තිය වැන්නක් ප්‍රතික්ෂේප කළා. නමුත් ඔහු ලෙනින්ගේ යුධ කොමියුනිස්ට්වාදය අගය කළ අතර 1950-53 සමයේ කොරියානු යුද්ධයෙන් පසු රට යළි ගොඩනැංවීම සඳහා එම ක්‍රමයේ ආභාෂය ලබා ගත්තා.
මේ අතර ම භෞතික සම්පත් හිඟ වීමේ අභියෝගයට එරෙහි ව ආත්ම ශක්තිය සහ පිරිස් බලය යොදවාගැනීම පිළිබඳ ව කිම් ආදර්ශය ලබා ගත්තේ මාඕ සේතුං විසින් චීනයේ ක්‍රියාත්මක කරන ලද මහා ඉදිරි පිම්ම අනුසාරයෙන්. ඒ ඔස්සේ කිම් විසින් චොල්ලිමා ධර්මය හඳුන්වා දුන්නා. චොල්ලිමා යන වේගයෙන් ගමන් කළ හැකි මිත්‍යාමය සත්ත්වයාගේ නමින් එම ක්‍රමය නම් කරන ලද අතර වේගයෙන් සහ කැපවීමෙන් වැඩ කිරීම පිළිබඳ එහි සඳහන් වුණා.
කෙසේ නමුත් මාඕවාදය මෙන් නොව ජුචේ දර්ශනය තම ක්‍රියාකාරකම්වල පසුවිපරමක් සඳහා ඉඩ තැබුවේ නැහැ. මාඕ සිය ප්‍රතිපත්ති අසාර්ථක වූ අවස්ථාවන්හි දී යම් යම් නිවැරදි කිරීම් සඳහා කටයුතු කළ ද ජුචේ දර්ශනයෙහි එවැන්නකට ඉඩක් වූයේ නැහැ. තම උපක්‍රම අසාර්ථක විය නොහැකි බවත් ව්‍යසනයන් මැද වුව ද එම ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාම මඟින් ජයග්‍රහණය කරා ළඟා වනු ඇති බවත් කිම් ඉල්-සුංග් විශ්වාස කළා.
මේ අතර මාඕවාදයේ සඳහන් ආකාරයට, ස්ව ආරක්ෂාව සඳහා නිත්‍ය මහජන හමුදාවක් ස්ථාපිත කිරීම ද කිම් ඉල්-සුංග් විසින් සිදු කෙරුණා. එමෙන්ම මුල්කාලීන ව “ජනතාව අතරට යාම” නම් වූ මාඕවාදී සංකල්පය ද උතුරු කොරියාවේ ක්‍රියාවට නැගුණා. ඒ අනුව ඉතා ඉහළ නිලතල දරන්නන් හැරුණ කල, අනෙකුත් නිලධාරීන් සතියකට දිනක් ජනතාව සමග කම්හල්, ගොවිපල ආදියෙහි වෙහෙස වී වැඩ කළ යුතු වුණා. මෙම ක්‍රමය 1970 දශකයෙන් පමණ පසු කෙමෙන් අභාවයට ගියා.
පවුල් පාලනය
ජුචේ නිර්මාණය කිරීම සඳහා ආභාෂය ලැබූ තවත් දර්ශනයක් වන්නේ සාම්ප්‍රදායික කොන්ෆියුසියානු දර්ශනය යි. චීනයේ බිහි වූ කොන්ෆියුසියානු දහම චීන සංස්කෘතික ආභාෂය ලද කලාපීය රටවල අඩු වැඩි වශයෙන් පැලපදියම් වුණා. කොරියාව මෙසේ කොන්ෆියුසියානු දර්ශනය ස්ථාවර ලෙස මුල් බැසගත් ප්‍රදේශයක් වුණා. මේ නිසා නාමික ව කොමියුනිස්ට් ක්‍රමයක් බිහි වුව ද, උතුරු කොරියාවේ මුල් බැසගෙන තිබූ සාම්ප්‍රදායික හර පද්ධතීන් මැකී ගියේ නැහැ. මෙය කිම් ඉල්-සුංග් විසින් සිය පවුල් පාලනය ස්ථාවර කරගැනීමට උපයෝගී කරගත්තා.
කොන්ෆියුසියානු ක්‍රමය අනුව නායකත්වය විසින් ජනතාවගේ සුබසිද්ධිය සැලසීමත්, ඒ වෙනුවෙන් ජනතාව විසින් නායකත්වය වෙත සිය පක්ෂපාතීත්වය දැක්වීමත් අදහස් වුණා. මේ අනුව නායකත්වය ජනතාවගේ සුබසිද්ධිය නොතකන්නේ නම් ජනතාවට ඊට එරෙහි වීමේ අයිතියක් ඇති බවත් අදහස් කෙරුණා.
කිම් ඉල්-සුංග් ජනතාවගේ සුබසිද්ධිය සලසන බවට වන ප්‍රතිරූපය ගොඩනැගුවේ නිරන්තරයෙන් සිදු කෙරුණ සංචාරයන් හරහා යි. විටෙක ගොවිපළකට යන ඔහු නවීන වගා ක්‍රම පිළිබඳ උපදෙස් ලබා දෙන බවත්, තවත් විටෙක කම්හලකට ගොස් නවීන යන්ත්‍ර සූත්‍ර පිළිබඳ උපදෙස් ලබා දෙන බවටත්, තවත් විටෙක ක්‍රීඩා පිටියකට ගොස් නවීන පුහුණු ක්‍රම පිළිබඳ ක්‍රීඩකයන්ට උපදෙස් ලබා දෙන බවත් ආදී වශයෙන් විවිධ මාධ්‍ය වාර්තා නිරන්තරයෙන් උතුරු කොරියානු මාධ්‍යයන් හි ප්‍රචාරය වුණා. කිම් ඉල්-සුංග් සිය පුත්‍රයා වූ කිම් ජොංග්-ඉල් නායකත්වය සඳහා සූදානම් කරන සමයෙහි ඔහුට ද මෙවන් සංචාර සඳහා අවස්ථාව ලබා දී ඒ පිළිබඳ ප්‍රචාරයන් සිදු කළා.
මෙමඟින් ජනතාවට ලබා දුන් චිත්‍රය වූයේ කිම් පවුල ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ඇප කැප වන බව යි. එමඟින් ජනතාවගේ පක්ෂපාතීත්වය ඔවුන් ලබා ගත්තා.
නායකත්වයට ඇති ගෞරවය විදහා දක්වන විශේෂිත අවස්ථාවක් වූයේ 1994 දී කිම් ඉල්-සුංග් මිය යාමෙන් පසු තුන් අවුරුද්දක් යනතුරු කිම් ජොංග්-ඉල් ඔහුගේ තනතුරු නිල වශයෙන් බාර නොගැනීම යි. ඔහු එම තනතුරු බාර ගත් අවස්ථාවේ ද ජනාධිපති තනතුර බාර නොගත් අතර කිම් ඉල්-සුංග් “සදාතනික නායකයා” ලෙස නම් කරනු ලැබුවා.
මේ අතර ආර්ථිකය කඩා වැටෙන අවස්ථාවල දී උතුරු කොරියානු රජය එය සාධාරණීකරණය කරන ලද්දේ තමන්ට එරෙහිව අධිරාජ්‍යවාදීන් ගෙන යන දරුණු ක්‍රියාමාර්ග හේතුවෙන් අපහසුතා නිර්මාණය වන බව සඳහන් කරමින්. කිසිදු අවස්ථාවක තමන් අනුගමනය කරන ක්‍රමයේ වරදක් ඔවුන් දුටුවේ නැහැ. විශේෂයෙන් ම සෝවියට් දේශය ආදී රටවල අසාර්ථක වූ මධ්‍යගත ආර්ථික සැලසුම් ක්‍රමයේ වරදක් ද ඔවුන් දුටුවේ නැහැ.
ලංකාවේ උතුරු කොරියානු තානාපති කාර්යාලය
1960 දශකයේදී සෝවියට් දේශය සහ චීනය අතර විරසකය වර්ධනය වූ අවස්ථාවේ කිම් ඉල්-සුංග් ඊට මැද වූ මාවතක් අනුගමනය කරන බව පෙන්නුම් කිරීමට උත්සාහ කළා. මේ අතර ඔහු ජුචේ දර්ශනය පිටරටවල ප්‍රචලිත කිරීමට ද උත්සුක වුණා. මෙහි එක් ප්‍රතිඵලයක් වූයේ සෝවියට් දේශය මෙන්ම චීනය ද ඒ පිළිබඳ උරණ වීම යි. නිර්ධන පාන්තික ආඥාදායකත්වය වෙනුවට ගොවීන් සහ විශේෂයෙන් ම හමුදාව කෙරේ ප්‍රමුඛත්වය දීම සෝවියට් මාක්ස්වාදීන් දුටුවේ මිත්‍යා දෘෂ්ටියක් හා සමානව යි. මේ අතර මාඕවාදී චීන රතු ආරක්ෂකයින් වරෙක කිම් ඉල්-සුංව හඳුන්වා දෙන ලද්දේ “ප්‍රතිසංස්කරණවාදී බතලයා” යනුවෙන්.
1970 දශකය වන විට මෙම විරසකය තරමක් ප්‍රබල වී තිබුණා. ඊට කරුණු කිහිපයක් හේතු වුණා. එක් අතකින් කොමියුනිස්ට් රටවල ආර්ථික එකමුතු ව හෙවත් කොමිකොන් හරහා සෝවියට් දේශය මිත්‍ර රටවල ආර්ථිකයට බලපෑම් කිරීම පිළිබඳ උතුරු කොරියාව නොසතුටින් සිටියා. එමෙන්ම චීනයේ සංස්කෘතික විප්ලවය ක්‍රියාත්මක වෙමින් තිබුණා. උතුරු කොරියාව ජුචේ දර්ශනය ප්‍රචලිත කිරීමට උත්සාහ දරමින් සිටියා. එමෙන්ම, මෙකල එරට ආර්ථිකය දකුණු කොරියාවට වඩා හොඳ තත්ත්වයක පැවතීම හේතුවෙන් 1960-1970 දශකවල සීමා සහිත කාලයක දී බටහිර රටවල් උතුරු කොරියාවට ආධාර කිරීමට පෙළඹුණා.
මේ සමයේ සිදු වූ එක් විශේෂිත වූ සිද්ධියක් වූයේ ලංකාවේ උතුරු කොරියානු තානාපති කාර්යාලය ඉන්දියාවට ගෙන යාමට නියෝග කිරීම යි. 1971 අප්‍රේල් කැරැල්ලට පෙර උතුරු කොරියාව ලංකාවේ පුවත්පත් දැන්වීම් පළකරමින් සහ පොත් මුද්‍රණය කර බෙදාහරිමින් ජුචේ දර්ශනය ප්‍රචාරය කළා. මේ සමග ම උතුරු කොරියාව ජනතා විමුක්ති පෙරමුණට ආධාර කළේ යන චෝදනාවක් නැඟුණ අතර ලංකාවේ උතුරු කොරියානු තානාපති කාර්යාලය ඉන්දියාවට ගෙන යාමට නියෝග කෙරුණේ එම සැකය මත යි. නමුත් එය සැකයක් පමණක් වූ අතර උතුරු කොරියාව ජනතා විමුක්ති පෙරමුණට සහාය ලබා දීමක් සිදුවූයේ නැහැ.
එපමණක් ද නොව උතුරු කොරියාව කෙතරම් උත්සාහ කළ ද ජුචේ දර්ශනය හෝ “කිම් ඉල්-සුං චින්තනය” එරටින් එපිට ජනප්‍රිය දේශපාලන දර්ශනයක් බවට පත් වූයේ නැහැ. උතුරු කොරියාව කෙමෙන් කෙමෙන් හුදෙකලා රාජ්‍යයක් බවට පත් වුණා. මීට හොඳම උදාහරණයක් වන්නේ ඇල්බේනියානු කොමියුනිස්ට් පාලනය වරක් උතුරු කොරියාව පිළිබඳ දැක්වූ අදහස යි. ඉතා සංවෘත පාලනයක් වූ ඇල්බේනියාව උතුරු කොරියාව පිළිබඳ සඳහන් කළේ “ඔවුන් පුදුමාකාර ලෙස සංවෘත වූ රටක්” යනුවෙන්.
Cover Image: මන්සුඩේ කන්දේ පිහිටි කිම් ඉල්-සුංග් (වමේ) සහ කිම් ජොංග්-ඉල් ප්‍රතිමා (Reuters)
මූලාශ්‍රයයන්:
- North Korea: The Paranoid Peninsula by Paul French
- Juche, the State Ideology that Makes North Koreans Revere Kim Jong Un, Explained (VOX)