Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සඳ ගමනේ නොදුටු දසුන් කරළියට ගෙනෙන – ‘ඇපොලෝ රිමාස්ටඩ්‘

“මට හැමදාමත් ඕනෑ කළේ එයාලා දැකපු විදිහට ම ඒ දේවල් දකින්න. අභ්‍යවකාශ යානයකට නැඟලා ඒකේ කවුළුවෙන් පිටත දකින්නත්, සඳ මත ඇවිදිද්දී එයාලා දැකපු දේවල් ඒ විදියට ම දකින්නත් මට තිබුණේ පුදුම ආශාවක්.“  

ඒ ඇන්ඩි සෝන්ඩර්ස්ගේ හිත තුළ කවදත් පෙරළි කරමින් තිබූ නොමියෙන ආසාව ය. ඇපොලෝ ගගන මෙහෙයුම වූ කලී මිනිස් වංශ කතාව අලුතින් ම ලිවීමට හේතු පාදක වූ ඓතිහාසික සංසිද්ධියක්ය යන්න සෝන්ඩර්ස්ගේ පිළිගැනීම ය. එය අසත්‍යයක් නොවේ. පෘථිවියෙන් පරිබාහිර වූ අන් පාරභෞමික ගොඩබිමක් මත එදා මෙදා තුර මිනිසා පා තැබුවා නම්, ඒ සඳ මත ය. ඔහුට කිසියම් අසහනයක් ද නොතිබුණාම නොවේ. ඒ 1960 – 1970 අතර කාලයේ දී මිනිස් වංශ කතාව එකලු කළ ඒ අනගිභවනීය ගගන මෙහෙයුම ගැන ලොවට කියන්නට ඉතිරිව ඇති එක ම සාක්ෂිය වන ඡායාරූප එකතුව අරබයා හටගත් අසහනයකි.

ඒ සා සුවිශේෂී සිදුවීම් පෙළක් නිරූපණය කරන ඡායාරූප එකතුව වර්ණවත් බවින් තොර, අපැහැදිලි බොර පැහැති සිතුවම් පෙළක් ලෙස පැවතීම ඔහුගේ එම කලකිරීමට හේතු විය. අවසානයේදී ඔහු තීරණයක් ගත්තේ ය. ඒ එතෙක් කරමින් සිටි රැකියාවට කෙටි විරාමයක් දී, නාසා ආයතනය සතු මෙම ඓතිහාසික ඡායාරූප එකතුව, නැරඹීමට ප්‍රිය උපදවනසුලු තත්වයට පත්කිරීම සඳහා පූර්ණකාලීනව කැප වීමට ය. ‘Apollo Remastered’ නමැති චිත්තාකර්ෂණීය විශිෂ්ට කෘතිය එළි දකින්නේ ඔහුගේ එම අපරිමිත උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ය. මිනිසා හාපුරා කියා පෘථිවියෙන් පරිබාහිර වූ ගොඩබිමක් සොයා සිදු කළ ගවේෂණවල සොඳුරු මතක රැගත් ඡායාරූප හාරසියයක් මෙම පොතට ඇතුළත් ය.

ඇන්ඩි සෝන්ඩර්ස් සිය කෘතිය අතැතිව – www.bbc.com 

අධිශීත කළ දළ සේයා පටලවලට නව බලාපොරොත්තුවක්

 

ඒවායින් ඇතමක් පහසුවෙන් හඳුනාගත හැකි, ඉතිහාසය පුරාවට ම ජනප්‍රිය වූ ඡායාරූප ය. නමුත් සෙසු බහුතරයක් හාපුරා කියා මහජනතාවට නැරඹීමට අවස්ථාව උදා වන්නේ ඉතිහාසයේ ප්‍රථම වරට ය. ඇපොලෝ රිමාස්ටර්ඩ් සුවිශේෂ වන්නේ ඒ නිසා ම පමණක් නොවේ. එකී ඡායාරූප මීට පෙර කිසි දිනෙක නුදුටු තරම් පැහැදිලි හා විස්තරාත්මක අයුරින් ඉදිරිපත් කිරීමට ඇන්ඩි සෝන්ඩර්ස් සමත් ව සිටින නිසා ය. දෑත ම දිගු කොට ඔබට අත නොපෙවිය හැකි මානයේ පිහිටි යමක් ස්පර්ශ කිරීමට ඔබට පෙලඹවීමට තරම් මෙම ඡායාරූප එකතුව තාත්වික ය. සජීවී බවින් යුතු ය.

ඇන්ඩි ලබා ඇති මෙම සාර්ථකත්වය නාසා ආයතනය එතෙක් කල් අධීශීත තත්ත්ව යටතේ සංරක්ෂණය කළ එකී මුල් දළ සේයා පටල ‘අති විස්තරාත්මක පරිලෝකනයට‘ ලක්කිරීමේ එක් ප්‍රතිඵලයකි. නූතන ඩිජිටල් සංස්කරණය හා නව වැඩි දියුණු කිරීමේ තාක්ෂණික ශිල්පීය ක්‍රම (මේවායෙන් ඇතමක් ඔහුගේම සොයාගැනීම්ය ) භාවිතයෙන් ළඟා කර ගත්තකි.

“ ඉතිහාසයේ මේ කියන සුවිශේෂී ම අවස්ථා ඉහළ ගුණාත්මක බවින් යුතු ඡායාරූප විදිහට අපිට නොදැක ඉන්න කිසිම හේතුවක් නැහැ. මොකද ඒ කාලේ වුණත් ඒවා ඡායාරූපයට නගලා තියෙන්නේ හොඳම කැමරා, හොඳම කාච, හොඳම දළ සේයා පටල යොදාගෙන. ඒවා සකස් කරලා තියෙන්නේ ඒ කාලේ තිබුණු හොඳ ම සේයාගාරවල. එහෙම තියෙද්දිත් අපිට ඒවා  හොඳ ම විදිහට දකින්න මෙච්චර කල් බැරි වුණේ ඇයි කියන එක ගැටලුවක්.“ ඇන්ඩි පවසයි.

     සඳ මත පය තබා සතුටින් පිනා ගිය  නීල් ආම්ස්ට්‍රොන්ග් –   www.bbc.com

 

සිනමාරූපී අත්දැකීමක්

නීල් ආම්ස්ට්‍රෝන්ග් සඳ මත පියවර තබද්දී ගත් වඩාත් ම පැහැදිලි  ඡායාරූපය ඇත්තේ ඇපොලෝ රිමාස්ටර්ඩ් කෘතියේ ය. සඳ මත සිටිය දී ඔහුගේ මුහුණ පැහැදිලි ව දිස්වන ආකාරයෙන් ගත් එක ම ඡායාරූපය එය ය. එසේ ම මාරාන්තික අනතුරකින් නූලෙන් ගැලවුණු ඇපොලෝ 13 ගගන යානයේ හිඳ ගත් පළමු පැහැදිලි ඡායාරූපය ද ඇපොලෝ රිමාස්ටර්ඩ්හි දැක ගත හැකි ය. ඇපොලෝ 14 මෙහෙයුමේ දී ගගනගාමී ඇලන් ෂෙපර්ඩ් සැතපුම් ගණනක් දුරට වීසි කළ බැව් කී ගොල්ෆ් බෝලයේ ප්‍රමාණයෙන් විශාල කළ ඡායාරූපයක් පවා ඇපොලෝ රිමාස්ටර්ඩ්හි ඇතුළත් ය.

කෙසේවුව ද ඇන්ඩිගේ වඩාත් ම සිත්ගන්නාසුලු දස්කම ඔහු ප්‍රකට කොට තිබෙන්නේ පෘථිවියේ සිට සඳ වෙතත්, යළි ඉන් පිටත් ව යාමේදීත් අභ්‍යවකාශ යානයේ කවුළු හරහා ගගනගාමීන් ලබා ගත් මිලිමීටර දහසය ප්‍රමාණයේ ඡායාරූප, සිනමාරූපී ආකාරයෙන් පෙළ ගැස්වීමේ දී ය. පැය දහයක් පුරා විහිදුණු කාල සීමාවක් නිරූපණය කරන ඡායාරූප පෙළක් ඊට ඇතුළත් ය. එයට ඉතා ම සිත්ගන්නාසුලු විස්තරාත්මක නිමාවක් ලබා දීම සඳහා ඇන්ඩි ඔහුගේ සංස්කරණ මෘදුකාංගය සතු ‘එක මත එක ඇසිරීමේ‘ විශේෂිත ක්‍රමවේදයක් භාවිත කර තිබේ. එමඟින් එකවර රූප රාමු රාශියක් ඒකාබද්ධ කොට, තනි විස්තරාත්මක ප්‍රතිබිම්බයක් නිර්මාණය කිරීමට ඔහුට හැකි ව තිබේ.

අනතුරෙන් ගැලවුණු ඇපොලෝ 13 යානයේ ඇතුළත දර්ශනයක් – www.bbc.com

කවරයට ගිය බලාපොරොත්තුවේ බැල්ම

ඇපොලෝ 8 යානයේ ගමන්ගත් බිල් ඇන්ඩර්ස් භාවිත කළ Clapper Board පුවරුවේ ඡායාරූපය ද, පැහැදිලි ව දිස්වන සේ ඇන්ඩි ප්‍රතිනිර්මාණය කළ තවත් එක් අපූරු ඡායාරූපයකි. එය කෙතරම් පැහැදිලි ද යත් ඇන්ඩර්ස්ගේ අත් ඔරලෝසුවේ කටු පවා එහි පැහැදිලි ව දැක ගැනීමට පුළුවන. කෙසේවුව ද මේ ඡායාරූප සියල්ල අතරින් ඇන්ඩිගේ ප්‍රියත ම සේ ම, ඇපොලෝ රිමාස්ටර්ඩ් හි කවරයට යාමට පවා වාසනාවන්ත වූ ඡායාරූපය වන්නේ ඇපොලෝ 9 හි අණ දෙන නිලධාරි ජිම් මැක්ඩිවිට්ගේ බලාපොරොත්තු සහගත බැල්ම රැගත් ඡායාරූපයකි.

ව්‍යාපෘතිය සඳහා ඇන්ඩි පරික්ෂාවට ලක් කළ ඡායාරූප තිස්පන්දහසක් අතරින් වඩාත් ම අඳුරු සහගත, කිසිදු කැපී පෙනෙන සලකුණකුදු නු වූ ඡායාරූපයක් වූයේ මැක්ඩිවිට්ගේ රුව රැගත් එම ඡායාරූපය යි. මුල්වරට නරඹන කල එහි ඉහළ කොනක වූ කුඩා ආලෝක කදම්බයක් හැරෙන්නට අන් කිසිදු වැදගත් යැයි කිව හැකි යමක් බැලූ බැල්මට දක්නට තිබුණේ නැත. නූතන ඩිජිටල් මෘදුකාංග හරහා සිදු කළ වැඩි දියුණු කිරීමේ දී ඉන් මැවුණේ දුටුවන් මවිත කරවනසුලු දසුනකි. ඒ මැක්ඩිවිට් පෘථිවියට සැතපුම් දහස් ගණනක් ඉහළ අභ්‍යවකාශයේ වූ යානා දෙකක් යන්ත්‍රවල පාලනයකින් තොරව තමා ම ස්ථානගත කිරීමට සූදානමින් සිටින ආකාරය දැක්වෙන තීරණාත්මක ඡායාරූපයකි.

 

 

පොතේ කවරයට ගිය ජිම් මැක්ඩිවිට්ගේ බලාපොරොත්තුවේ බැල්ම  – www.bbc.com

 

“ ඒක 1969 දී ගගනගාමියෙක් එයාගේ යානයේ කවුළුවෙන් පිටත ඉහළ අභ්‍යවකාශය විනිවිදින බැල්මක් හෙළන ආකාරය දැක්වෙන, අපූර්වත්වය කඩාහැලෙන ඡායාරූපයක්. යථාර්තයක් විදිහට සැලකුවොත් මේ අවස්ථාවේ තියෙන වැදගත්කම හරිම සුවිශේෂයි. නැවත පෘථිවිය බලා ඒමේ හැකියාවක් නැති යානයකින් අජටාකාශගාමීන් අභ්‍යවකාශයට ගිය පළමුවැනි අවස්ථාව තමයි ඒක.

එයාලා චන්ද්‍ර යානය අත්හදා බලමිනුයි හිටියේ. ඒ නිසා එයාලා ගමන් කරපු යානයේ ඉහළ ඌෂ්ණත්වවලට ඔරොත්තු දෙන විශේෂිත ආවරණයක් තිබුණේ නැහැ. ඉතිං බැරිවෙලාවත් එයාලා මේ චන්ද්‍රයානය සමඟ සම්බන්ධවීම හරියට කළේ නැතිනම් එයාලට ආපහු පෘථිවියට ඒමේ හැකියාවත් නැති වෙනවා. ඒ නිසාම ඒක හරිම තීරණාත්මක වගේම ඓතිහාසික අවස්ථාවක් වුණා. ඒ තීරණාත්මකභාවය මැක්ඩිවිට්ගේ බැල්මේ හොඳට ම ගැබ්වෙලා තියෙනවා……“

බිල් ඇන්ඩර්ස් භාවිත කළ Clapper Board පුවරුවේ  ඡායාරූපය  –  www.bbc.com 

 

නාසාවේ අලුත් ම පිම්ම – ආටිමිස්

මෙම ඡායාරූප ප්‍රතිනිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඇන්ඩිට ආලෝකය හා වර්ණ සංකලනය සම්බන්ධයෙන් පෘථුල හැදෑරීමක් කිරීමට සිදු ව තිබිණි. ගගනගාමීන් හා කතාබහ කරමින් ඔවුන්ගේ අත්දැකීම් පිළිබඳ විස්තර රැස් කිරීමට මෙන් ම ඡායාරූප ගත් අවස්ථාවේ ගගනගාමීන් අතර සිදුකෙරුණු සංවාද දෙබස් පටිගත කිරීම්වලට සවන්දීමට ද ඔහු පෙලඹුණේ ය. ඒ ඡායාරූප සම්බන්ධයෙන් කුමන හෝ ඉඟියක් එවැනි සංවාදවල අන්තර්ගත වේදැයි පරික්ෂා කිරීමට ය. ඒ සා කැපකිරීමක් ඔහු මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් සිදු කළේ ය.

“ දළ සේයා පටලයක් මත සටහන් වෙන ඡායාරූපයක වර්ණවලට බලපෑම් කරන්න පුළුවන් සාධක හුඟක් තියෙනවා. නිදසුනක් විදිහට යානයක මෙහෙයුම් මැදිරි කවුළුවක් හරහා ලබා ගන්නා ඡායාරූපයකට වඩා චන්ද්‍ර යානයේ මැදිරි කවුළුවක් හරහා ලබා ගන්නා ඡායාරූපයක වර්ණය හා තානය (tone) වෙනස්.“

සඳ මත පියනගන බස් ඕල්ඩ්‍රින්ගේ රුව රැගත් ඡායාරූපය ප්‍රතිනිර්මාණයට පෙර හ පසුව  – www.bbc.com 

 

ඇපොලෝ රිමාස්ටර්ඩ් කල එළි බසින්නේ නාසා ආයතනය අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ තවත් දැවැන්ත පිම්මක් පනින්නට සූදානම් වෙමින් සිටියදී වීම විශේෂත්වයකි. ‘ආටිමිස්‘ වැඩසටහන යටතේ සඳ වෙත මිනිසුන් රහිත යානයක් යැවීමට නාසාව සූදානමින් සිටින අතර එය ඉදිරි දස වසර ඇතුළත සඳ මතට මිනිසුන් යළිත් යැවීමේ මෙහෙයුමකට ප්‍රාරම්භයක් ලෙස සිදුකරන්නකි. ආටිමිස් හි සෑම කුඩා ක්‍රියාකාරකමක් ම සෑම කෝණයකින් ම සජීවි ලෙස පටිගත කිරීම සඳහා විශේෂිත කැමරාවලින් ද එය සන්නද්ධ ය. දැනටමත් ආටිමිස්හි දැවැන්ත රසිකයකු ව සිටින ඇන්ඩි පවසන්නේ දශක ගණනාවකට එපිට දී ඉපැරණි දළ සේයා පටලවල ගැබ්වූ  මායාකාරී සුන්දරත්වය හා පෑහීමට නූතන තාක්ෂණය සමත් නොවනු ඇති බව යි.

“ ළඟදී ම අපිට සඳ මත පළමුවරට කාන්තාවක් ඇවිදිනවා දකින්න ලැබේවි. සැකයකින් තොරව ම ඒක ඇත්තට ම ඉතිහාසය වෙනස් කරන කඩඉමක් වේවි. අන්න ඒ අවස්ථාව මතක ඇති ව කවුරුහරි ඡායාරූපයට නඟාවි කියලා මං බලාපොරොත්තු වෙනවා.“ ඇන්ඩි පවසයි.

මූලාශ්‍ර :

‘Look closely and there’s a tear in Armstrong’s eye’: the Apollo space missions as you’ve never seen them before - www.theguardian.com 

Apollo Remastered: One man's mission to show us the Moon - www.bbc.com 

Apollo Remastered Shows the NASA Moon Missions Like You’ve Never Seen Before -www.techeblog.com 

Related Articles